විවිධ යුගයන්හි නොයෙකුත් ආක්‍රමණයන්ට ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට ලංකාවට සිදුවූ අතර ඒ ඇතැම් ප්‍රහාරයන් ගැන හෙළි නොවූ තොරතුරු විශාලය. එවැනි අප්‍රකට ද්‍රවිඩ ප්‍රහාරයක් ගැන විශේෂ හෙළිදරව්වක් කරන්නට සමත් සුවිශේෂ සෙල්ලිපියක් පහළ හේවාහැට හේවාවිස්ස කෝරලයට අයත් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝපිටිය නම් ග්‍රාමයෙන් හමුවී තිබේ.
මෙම සෙල් ලිපිය හමුවී ඇත්තේ කුඹුරු අස්වැද්දීමකදී හෝ කුඹුරු යායට ජලය ගෙන යෑමට ඇළ මාර්ග සැකසීමේදී වන අතර, තරමක් කුඩා පිහිටි ගල් පුවරුවක අකුරු කොටවා ඇති මෙම සෙල් ලිපියේ කොටසක් කැඩීගොස් ඇතත්, එයින් වටිනා රහස් රැසක් හෙළිකෙරෙන බව හඳුනාගෙන තිබේ. එදා ගොවීන් විසින් සොයා ගැනුණු මේ ලියවිල්ල මෙරට විසූ සුවිශේෂ පඬිවරයකු වූ සෙනරත් පරණවිතාන සූරීන් පිටපත් කරගෙන ඔහු විසින් එංගලන්තයේදී ප්‍රකාශයට පත් කළ ‘ඉපිග්‍රැපියා සිලොනිකා’ නම් ග්‍රන්ථයේ දෙවැනි වෙළුමේ 190-192 පිටුවල මෙම සෙල්ලිපිය ගැන සඳහන් කර ඇත. එමෙන්ම වර්ෂ 1871දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ‘ලංකා ඉතිහාසය’ සිංහල පරිවර්තනයේ බෝපිටිය සෙල්ලිපිය ගැන සඳහන් වේ. එම තොරතුරු අනුව අප්‍රකට ද්‍රවිඩ ප්‍රහාරයක් ගැනද සඳහන් වේ. වර්ෂ 1197- 1200 අවධියේ ලීලාවතී රැජින පොළොන්නරුව රාජධානිය කරගනිමින් මේ ලක් දෙරණ පාලනය කළ අවධියයි. පසු කලෙක ලීලාවතී රැජින නෙරපා සහස්සමල්ල කුමරු රජවන අතර වර්ෂ 1202දී අයස්මන්ත සෙන්පති සහස්සමල්ල පරදවා නිස්සංකමල්ල රජුගේ දෙවැනි බිරිය වන කල්‍යාණවතී බිසවට රජ කිරුළ භාරදෙන ලදී. නිස්සංකමල්ල රජුගේ ලියවිලි අනුව කල්‍යාණවතී බිසව දෙවැනි බිරිය ලෙස සටහන් වුවද චූලවංශයට අනුව ඇය රජුගේ අගබිසව ලෙස සැලකේ. කෙසේ වෙතත් ඇය රජකම් කළේ වසර හයක් පමණි. ඇගේ සෙන්පති ලෙස කටයුතු කළ අයස්මන්ත ඇය පන්නා දමා 1208දී ධර්මාශෝක නම් තෙමසක් වයසැති කුමරකු පොළොන්නරුවේ රජකරවීමට කටයුතු කළේය. පසු කලෙක මේ අයස්මන්ත සෙන්පති ද්‍රවිඩ ප්‍රහාරයකින් මියගිය බව මහාවංශයේ මෙන්ම මිනිපේ පුවරු ලිපියෙන්ද පැහැදිලි වේ.
මිනිපේ ලිපියට අනුව කල්‍යාණවතී රැජිනගේ අටවැනි රාජ වර්ෂයේදී මෙය ලේඛනගත කර ඇති අතර රැජින ද්‍රවිඩයන්ගෙන් හා තම සෙන්පති වන අයස්මන්තගෙන් බේරීමට මිණිපේ ද්‍රෝණියට පැනවිත් තම ආරක්ෂාව සපයාගෙන ඇතත් පසුව ඉන්දිය මාඝ නම් ආක්‍රමණිකයාගේ ප්‍රහාර හමුවේ හොර රහසේම පසුබැස ගිරිදුර්ගවලින් ආරක්‍ෂිත බෝපිටිය ග්‍රාමයට පැමිණ තම ආරක්ෂාව තහවුරු කරගෙන ඇති බව මෙම සෙල්ලිපියෙන් හෙළිවන බවට සෙනරත් පරණවිතාන සූරීන්ගේ මතයට අනුව පැහැදිලි වෙයි.
ඇය විසින් මෙම ප්‍රදේශය අප්‍රකටව පාලනය කර ඇති අතර කෘෂිකර්මාන්තය හා බුදුදහම නඟාසිටුවීම උදෙසා විශාල සේවාවක් සිදුකර ඇති බවද මෙම සෙල්ලිපියෙන් හෙළිදරව් වී තිබේ. එහෙත් එතැනින් පසු කල්‍යාණවතී රැජිනට සිදුවූයේ කුමක්ද යන්න කිසිදු සඳහනක් සොයාගන්නට නොමැති අතර ඇය සිය ආරක්ෂාව පතා එතැනින් වෙනත් ප්‍රදේශයකට පලාගියා යැයි ජනප්‍රවාද ඇසුරේ හඳුනාගත හැකිය.
එකල කල්‍යාණවතී රැජින අල්ලා ගන්නා අදහසින් සොලී සේනාවන් පහළ හේවාහැට වනසා දැමූ බවද පැවැසේ. එය මහා දැවැන්ත ප්‍රහාරයක් වූ බවත්, මේ ප්‍රහාරයෙන් හාගම භාවනා කැලේ වනවාසී බෞද්ධ ආරාමයක් සොලීන් විසින් වනසා දමා ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.
හාරගම බල අමුණ විනාශ කිරීමෙන් භාවනාකැලේ විහාරයට කිරි ආහාර සැපයූ හාරගම කුඹුරු යාය පාළුවූ බවද පැවැසේ. දඹදෙණි යුගයේදී සමස්ත ලංකාවම මාඝ නම් සොලියාගෙන් බේරාගන්නට කටයුතු කළ දෙවැනි පරාක්‍රමබාහු රජු නැවත හේවාහැටට විත් කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට කටයුතු කර හාරගම විහාරය පිළිසකර කරවා විහාර තනවා ඇති බව හඟුරන්කෙත විහාරය අසල ඇති හාරගම සෙල්ලිපියෙන් පැහැදිලි වෙයි.
කුමාර රත්නායක











