මීට වසර සිය ගණනකට පෙර රාජ වංශික පවුලක කුමාරයෙක් බිහිවෙනවා. මේ කුමාරයා ලක් පොළොවට පය තියපු දා ඉඳලම ලක්බිම ගැන තිබුණේ ළෙන්ගතු හැඟීමක්. හය, හතර තේරෙන සංධියේ ඉඳලම මේ කුමාරයට ලක් පොළොව මත එවකට සිද්ධ වුණු ඇතැම් දේ ගැන පැහැදීමක් තිබුණේම නැහැ. පරදේශක්කාරයන් ලක්බිමට කරන විනාශය, ජනතාවට කරන හිරිහැර ගැනත් මේ කුමාරයා හිටියේ කේන්තියෙන්. ඒ විතරක් නෙවේ තමන්ගේ පිය රජතුමා මේ පරදේශක්කාර පාලකයන් ගැන අනුගමනය කළ ක්‍රියාකලාපයන් ගැනත් මේ කුමාරයට එතරම් සුන්දර හැඟීමක් නෙවෙයි තිබුණේ. මෙන්න මේ හේතු නිසාම, නිතර නිතර පිය රජුන් සමග ගැටුණු මේ නිර්භීත කුමාරයා ඉන් කලකට පසු පිය රජුගේ ඇවෑමෙන් පස්සේ ලංකා භූමියේ රජු බවට පත්වෙනවා. හැබැයි කැඩිලා, බිඳිලා, බෙදිලා විවිධාකාරයෙන් වෙන්වෙලා මේ ලංකා භූමිය පිටදේශක්කාර පාලකයන්ගේ අඩම්තේට්ටම්වලට නතුවෙලා ජනතාව දුක්විඳිනවා බලන්න මේ අලුත් රජු කැමැති වුණේ නැහැ. අන්තිමට තීන්දුවක් ගන්නවා ඒ තමයි පරදේශක්කාර පාලකයන්ගෙන් මේ මවුබිම බේරාගෙන එක්සේසත් කරනවාය කියන තීන්දුව.
ඒ අභීත තීන්දුව අරගෙන වැඩි කාලයක් නොගොස්ම මේ රජු එවකට සිටි ද්‍රවිඩ පාලකයකු වූ එළාර රජු පරදා මේ ලක්පොළොව එක්සේසත් කරනවා. එදා ලංකා භූමිය ඒ විදියට එක්සේසත් කරපු රජු තමයි දුටුගැමුණු කියන්නේ. මේ නිසාම ලංකා වංශ කතාවල ගැමුණු කුමාරයාට විශේෂ තැනක් හිමිවෙනවා. ඒ අනුව මහා වංශයේ පමණක් පරිච්ඡේද 11ම ගැමුණු රජුට වෙන් වෙනවා. හැබැයි එතරම් ඉඩක් වෙන් කෙරුණත් මේ සියලු වංශ කතාවල නොලියවුණු බොහෝමයක් රහස් සැඟවුණු කතා අද වෙද්දි ජනප්‍රවාද ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් හෙළිවෙමින් තිබෙනවා.
දුටුගැමුණු රජුට බිසෝවරු 16,000ක් සිටි බවටද ජනප්‍රවාද ඇසුරේ කතාබහක් පවතිනවා. මේ තොරතුරු සිතාමතාම සැඟවූවාද යන්නත් එම බිසෝවරු රාජකීය කාන්තාවන් නොවන හෙයින් එම තොරතුරු සඟවා තබා ගැනීමට කටයුතු කළාද යන්නත් අනුමාන කරන්න පුළුවන්. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් අතිශය වැදගත් කරුණුත් සඟවා තිබීම යම් විමතියක් දනවන කරුණක්. ඒ අතර රජුගේ මරණය සහ දූදරුවන් ගැනත් විශේෂයි. බොහෝ වංශකතාවලට අනුව දුටුගැමුණු රජුගේ පුත්‍රයකු ගැන පමණක් කතාබහ කෙරෙනවා. ඒ සාලිය කුමරු. ඔහු රජකම පසෙකලා චණ්ඩාල කුලයේ අශෝක මාලාට පෙම්බැඳි හෙයින් දුටුගැමුණු රජුගේ මළණුවන් වුණු සද්ධාතිස්ස රජකමට උරුමක්කාරයෙක් බවට පත්වෙලා තිබෙනවා.
මේ සාලිය කුමරුගේ මව රජකමට පෙර ගැමුණු කුමරු සැඟව සිටි කොත්මලේ ප්‍රදේශයේදී ඔහු හා පෙමින් බැඳුණු සිරිමල් එතනා බවටත් ජනප්‍රවාදයේ මතයක් පවතිනවා. මේ බව සාහිත්‍යයේද සඳහන් වෙනවා.
දුටුගැමුණු රජුගේ බිසෝවරු සහ දරුවන් ගැන ප්‍රචලිත කරුණු එසේ වෙද්දී මේ සියලු තතු නව මඟකට යොමු කරමින් පියංගල ආරණ්‍ය සේනාසනයෙන් හමුවූ සෙල්ලිපි තවත් සුවිශේෂී තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.
පියංගල ආරණ්‍යයට ලෙන් පූජා කළ දායක දායිකාවන් පිළිබඳව දිර්ඝ විස්තර සහිත එම සෙල්ලිපිවල දුටුගැමුණු රජුගේ දූදරුවන් ගැන තොරතුරු හමුවී ඇති අතර, ගැමුණු රජුගේ රාජිකා නම් බිසවක පියංගල ආරණ්‍යයේ ලෙන් පූජාව ආරම්භ කළ බවත් පසුව ඇයගේ දියණියක වන අබිතිස්සා නම් අයකු ලෙන් පූජා කළ බවක්ද සඳහන් වෙයි. එම සෙල්ලිපියට අනුව දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අබය මහරජු එනම් දුටුගැමුණු රජුගේ දියණියක වූ පරුමක දූත ශුමනගේ භාර්යාව වුණු අබිතිස්සා සංඝයාට ලෙන් පූජා කළ බව සඳහන් වෙයි. ඒ අනුව රජුට දියණියක සිටි බවට මනාව ඔප්පු වෙයි.
මෙහිදී අබිතිස්සාගේ සැමියා පරුමක දූත ශුමන ලෙස සඳහන් වේ. දූත යන්නෙහි තේරුම් වර්තමානයේ තානාපති තනතුර හා සමාන තනතුරක් විය හැකි යැයි විද්වත් මතය වන අතර, ඒ අනුව රජුගේ දියණිය එවැනි රාජකීය තනතුරක් දැරුවකු සමගින් විවාහ වී සිටි අයකු ලෙස අනුමාන කළ හැකිය. පරුමක ශුමනගේ පියා පරුමක මිත්‍ර නැමැත්තෙකු බවත්, ඒ අනුව ඔහු දුටුගැමුණු රජුගේ දසමහ යෝධයකු වූ නන්දිමිත්‍ර විය හැකි බවත් ඒ අනුව ඔහුගේ පුත්‍රයා වන පරුමක දූත ශුමන රජුගේ සේවයට එක්ව සිටින්නට ඇති බවටත් විද්වතුන්ගේ අනුමානය වී ඇත.
එසේම අබිතිස්සාට පුතකු සිටි බවත් ඔහු පරුමක අභය නම් වන බවත් පරුමක අභය විසින්ද ලෙනක් පූජා කළ බවත් සෙල්ලිපියේ සඳහන් වෙයි. ඒ අනුව පරුමක අභය යනු දුටුගැමුණු රජුගේ මුණුපුරකු බව පැහැදිලි කර ගැනීම අපහසු නොවේ.
මේ අතර අයශිව නම් පුතෙකු ගැනත් යම් සඳහනක් වන අතර, අයශිව කුමරුගේ මවද රජුගේ බිසවක් ලෙස සිටි වගද සඳහන් වෙයි. එහෙයි ගැමුණු රජුට පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිට බව අනුමාන කළ හැකිය.
බොහෝ වංශකතාවලට අනුව සාලිය කුමරුට රජකම නොලැබීමට හේතුව අශෝක මාලා බව සඳහන් වුවද ඊට යටින් තවත් ප්‍රබල හේතුවක් තිබූ බවටද යම් මතයක් වෙයි. එනම් සාලිය කුමරු කොත්මලේ තරුණියක වූ එතනාගේ පුත්‍රයා නිසාත්, එවකට රජකමේ උරුමය හිමි වූයේ සහෝදරයාගෙන් සහෝදරයාට නිසාත් විය හැකි බවට ජනප්‍රවාදය මතයක් පවතී. ඒ අනුව ගැමුණු රජුගේ අගබිසව සිරිමල් එතනා නොව රාජිතා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. වංශකතාකරුවන් කෙසේ ලිව්වද තුන්හෙළය එක්සේසත් කළ ‘මව්බිමට, ජාතියට ණයගැති අභීත පාලකයකු ලෙස දුටුගැමුණු මහ රජු කළ වටිනා සේවය කිසිවකු කිසිදා අමතක නොකළ යුතුය.
කුමාර රත්නායක