• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ශ්‍රී ලංකාවට නම තිබ්බෙ කවුද

October 24, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
ශ්‍රී ලංකාවට නම තිබ්බෙ කවුද
Share on WhatsAppShare on Facebook

මහ මුහුදින් වට කෙරිච්ච අරුම පුදුම රටක් තියෙනවා.
අඹ ගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් කියනවා.
ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා…. ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඬේ වෙච්ච
ඒකට මරු නමක් තියෙනවා…. ඕයි

දහම්දිව, පින්කෙත, ලෝකෙන් උතුම් රට වැනි නම්වලින් හඳුන්වමින් අතීත ශ්‍රී විභූතිය ගැන බොහෝ පාරම්බෑ රටක් පිළිබඳව ප්‍රසංග වේදිකාවේදී දීපාල් සිල්වා ගායනා කරන්නේ ඒ රටේ මිනිසුන්ගේ ගති ස්වාභාවයද සරදමට ලක් කරමිනි. අඹ ගෙඩියක හැඩය ගත් මේ දූපතේ වර්තමානය ගැන දීපාල් සිල්වා එසේ පැවසුවද වසර දහස් ගණනාවකට පෙර ලෝකයේ මිනිසුන් මේ පුංචි රට ලෝක සිතියමේ මහා පරිමාණයෙන් සටහන් කළේ මෙහි විසූවන් පිළිබඳ ඔවුන් අසා දැනගත් කරුණු අනුව යමිනි. බොහෝ පැරණි පාසල් භූගෝල විද්‍යා ග්‍රන්ථයන්හි ශ්‍රී ලංකාවේ හැඩය දක්වන්නේ අඹ ගෙඩියක් ලෙසිනි. අඹ ගෙඩියක නැට්ට සහිත පැත්ත යටි අතට තැබූ විට පෙනෙන ආකාරයට ලංකාව දිස්වේ යැයි එම ග්‍රන්ථයන් මගින් ඉගැන්වීම සිදුවේ. ශ්‍රී ලංකාව මහ මුහුදෙන් වටවූ අඹ ගෙඩියක හැඩයක් ගත් කුඩා දූපතක් ලෙස පාසල් පොත් හරහා දක්වමින් මෙරට ඉතා කුඩා, නොදියුණු ජාතියක් ජීවත්වන්නේ යැයි අදහසක් ඇති වන පරිදි දූපත් මානසිකත්වයක් දරුවන්ගේ මනසට ඇතුළත් කොට ඇති නිසා තම මව්රට පිළිබඳ හීනමානයක් වත්මන් පරපුර තුළ ඇතිවී ඇතැයිද ඇතැම් විද්වත්හු පෙන්වා දෙති.

කෙසේ නමුත් නූතන භූගෝල විද්‍යාව ඉතා නොදියුණු අවධියකදීම මුහුදෙන් වටවූ මේ සුන්දර රටට හැඩයක් දීමට උත්සාහ කළේ ග්‍රීක ජාතික (ඊජිප්තු) ගණිතඥයකු වූ ක්ලෝඩියස් ටොලමි විසිනි. නූතනයේ අඹ ගෙඩියක හැඩයට ඉතා කුඩාවට දැක්වූවද ක්‍රි. ව. 140 දී පමණ ලෝක සිතියම නිර්මාණය කළ ටොලමි විසින් මෙරට, තම ලෝක සිතියම තුළ ස්ථාන ගත කළේ තම සිතියමේ විශාල ඉඩ ප්‍රමාණයක් මෙරටට වෙන්කර දෙමිනි. එය පුදුමයට හේතුවක් නොවන්නේ කිසිදිනක මෙරටට පය නොතැබූ ටොලමි ලෝක සිතියම නිර්මාණය කළේ වෙළෙඳාම සඳහා ලෝකය පුරා නැව්වලින් ගමන් ගත් නාවිකයන්ගෙන් ලබා ගන්නා දත්ත අනුව වීම නිසාය. එවකට ලොව ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මෙරට ප්‍රමාණය පිළිබඳව, ඉන්දියාවටත් වඩා විශාල තැනක තබමින් ටොලමි නිවැරදි තීරණයක් ලබාදී තිබිණි. ටොලමි ලබා ගත් දත්ත ඇසුරෙන් සම්පූර්ණ ලංකා සිතියමක් නිර්මාණය කළ අතර මෙරට ලොව ප්‍රබල වරායන් රැසක් තිබීම හා ඒවා හරහා විශාල වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳාම සිදුවීම නිසා ලංකාව ඉතා විශාල රටක් ලෙස ටොලමි විසින් හඳුනා ගන්නට ඇත.

ටොලමි මෙරටට හැඩයක් දීමට උත්සාහ කළද මෙරටට නමක් දීමට ගත් උත්සාහයන් පිළිබඳ තොරතුරු හමුවන්නේ ටොලමිට බොහෝ කාලයකට පෙර සිටමය. සාධක සහිත තොරතුරු මෙන්ම ජනප්‍රවාදයන් බොහොමයක්ද ඒවා අතර වෙයි. ගෞතම බුදුන් වහන්සේට පෙර සිටි බුදුන් වහන්සේලාගේ කාලයේ සිටම මෙරට පිළිබඳව ලෝකයා දැන සිටි බවත් ඔවුන් මෙරට විවිධ නම්වලින් හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ දැක්වෙයි. කකුසඳ බුදුන් වහන්සේගේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා වූ කාලයන් තුළ මේ රට ඔජදීපය, වරදීපය, මණ්ඩදීපය, යනුවෙන් හැඳින්වූ බව දැක්වේ. එවැනි පුවත් පසු කාලීනව ලියැවුණු රාජාරත්නාකරය වැනි ග්‍රන්ථයන්හි පවා ඇතුළත් වී තිබෙන මුත් එවැනි හැඳින්වීම් පසුකාලීනව ඇති කරගත් විකෘති අදහස් බවට මත ඉදිරිපත් කරන්නෝද වෙති. මෙරට වර්තමානයේ හඳුන්වන “ලංකා” යන නාමයද එවැනි ජනප්‍රවාද හරහා පළමුවෙන් හමුවේ. ප්‍රකට පුරාවෘත්තයක් වූ සංස්කෘත මහා කාව්‍යයක් වන රාමායණයෙහි දැක්වෙන රාවණා නම් ශේෂ්ඨ රාක්ෂ ග්‍රෝත්‍රික රජතුමා විසූ “ලංකාපුරය” මේරට බව මෙරට වැසියන් මෙන්ම විදේශිකයන්ද දැඩිව විශ්වාස කරයි. එමෙන්ම මෙරට විශේෂ භූමි ප්‍රදේශයක් ලෙස ස්කන්ධ පුරාණයෙහිද දක්වා තිබේ. එයට අනුව ස්කන්ධ දෙවියන්ගේ බිරිඳ වූ වල්ලි අම්මා හමුවන්නේ ලංකාවේ ගිනිකොන දිග කෙළවරේදීය.
මෙරට ගැන පැහැදිලි නිශ්චිත සඳහන් හමුවන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත් සමගිනි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ලක්දිවට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බව මහා වංශයෙහි දක්වා තිබේ. එහි ඒ පිළිබඳව දැක්වෙන විස්තරයේ මෙරට හැඳින්වීමට “ලංකාදීප”, “ලංකාය”, “ලංකාදිපට්ඨ” වැනි වදන් භාවිතා කොට තිබේ.

‘බෝධිතො නවමෙ මාසෙ
පුස්ස පුණ්ණමියං ජිනො
ලංකාදීප විසොධෙතුං
ලංකාදීප මුපාගමි

සාසනුඡ්ජොතනං ඨානං
ලංකා ලූතා ජිනෙන හි
යක්ඛ පුණ්ණය ලංකාය
යක්ඛා නිබ්බාසිය තිච

මහානාග මනුය්‍යනෙ
යක්ඛ සමාගම භූමියා
ලංකාදිපට්ඨ යක්ඛානං
මහා යක්ඛ සමාගමො

මහියංගන ථූපස්ස
ඨානෙ වෙහාසයං ටිතො
වුට්ටිවාතාන්ධකාරෙහි
තෙසං සංවෙජනං අකා’

‘සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි “ලංකාද්වීපය” ශුද්ධ කරනු පිණිස “ලක්දිවට” පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් “ලංකා තොමෝ” සසුන් බබළන තැනෙකැයිද යකුන් විසින් පිරුණු “ලක්දිව” යක්ෂයන් බැහැර කටයුතු යැයිද දක්නා ලදී යනුවෙන් මහා වංශයෙහි දක්වා තිබේ. නමුත් ථේරවාදි ත්‍රිපිටක ග්‍රන්ථවල මෙම ලංකාගමනය පිළිබඳව කිසිවක් සඳහන් නොවන අතර මහායානික මූලග්‍රන්ථයක් වන “ලංකාවතාර සූත්‍රයෙහි” ඒ පිළිබඳව තොරතුරු දැක්වේ. මෙම සූත්‍රය සමනල කන්දේදී එනම් මෙරටදී දේශනා කළා යැයි සැලකෙන නිසා “ලංකාවතාර” සූත්‍රය ලෙස නම් කළ බවටද මතයක් පවතී. ඒ අනුව ඈත අතීතයේ සිටම මෙරට හැඳින්වීම සඳහා “ලංකා හෝ ලක්” යන පදය යොදා ගන්නට ඇතැයි සැලකිය හැකිය. රාවණා පුවත් බැහැර කළද මහා වංශයේ මෙරට හැඳින්වීම සඳහා “ලක්දිව” “ලක්දිව්හි” “ලංකාද්වීප” යන පද යොදා ගන්නා නිසා 5 වැනි සියවස වන විට මෙරට හැඳින්වීමට “ලංකා” යන පදය යොදා ගත් බව විශ්වාස කළ හැකිය.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට මෙරට “සීහලද්වීප” යනුවෙන් හඳුන්වා ඇති බව සීහළවත්ථු ප්‍රකරණයෙන් පැහැදිලි වේ. එහි ඇතැම් බණ කතාවන්හි මෙරට නම්කොට ඇත්තේ “සීහලද්වීප” යනුවෙනි. ත්‍රිපිටකයේ පැහැදිලි කිරීම් සඳහා සිංහල භාෂාවෙන් ලියන ලද හෙළටුවා නම් අටුවා ග්‍රන්ථවලද මෙරට හඳුන්වා ඇත්තේ “හෙළදිව” හෙවත් “සීහලදීප” යනුවෙන් බව 5 වැනි සියවසේ ලියූ බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා පරිවර්තන අනුව සැලකිය හැකිය.

“සීහලද්වීපවාසීන්ගේ” භාෂාවෙන් ලියා ඇති අටුවා පාලියට පෙරළන්නේ දීපාන්තරවාසී භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස යැයි බුද්ධඝෝෂ හිමියන් සමන්ත පාසාදිකාවේ ආරම්භක ගාථාවල සඳහන් කොට තිබේ. මගධ බසින් වැටෙමින් ආ බුදුකාලි අටුවා, “හෙළදිව” ඇදුරෝ හෙළු බසින් තැබූහ යනුවෙන් ධම්පියා අටුවා ගැටපදයෙහිද දක්වා තිබේ. මෙරට ශාසන ඉතිහාසය දැක්වෙන සමන්තපාසාදිකාවේ ස්ථාන කිහිපයක පමණක් “ලංකාද්වීප” යනුවෙන්ද අනිත් සියලු ස්ථානයන්හි “තම්බපණ්ණි ද්වීප” යනුවෙන්ද මෙරට හඳුන්වා දී තිබේ. ඒ වන විට ලංකාද්වීප යන නාමය භාවිත වෙමින් පවතින්නට ඇති අතර අටුවාවල සඳහන්ව තිබූ “සීහලද්වීප” යන්න බුද්ධඝෝෂ හිමියන් “තම්බපණ්ණි ද්වීප” යනුවෙන් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ ඒ වන විට එම නම විදේශයන්හි ප්‍රකටව භාවිතා වූ නිසා විය හැකිය.

බුදුන් වහන්සේ වැඩම වන විට “ලංකාදීපය” වූවද විජය ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට ස්ථානයේ පිහිටි වෙරළ තඹ පැහැගැන් වී තිබූ නිසා මේ රට “තම්බපණ්ණි” වී යෑයි. “එකල් හි නැවින් ගොඩබටුවා වූ විජය කුමර ආදිහු ක්ලාන්ත වූවෝ අතින් භූමියෙහි ස්පර්ශ කොට හිඳගත්තෝය. යම් හෙයකින් තඹවන් අත්ල ඇතිවී ද එහෙයින් ඒ දේශය ද දිවයින ද ඒ නම ඇත්තේ හෝ “තාම්‍රපර්ණි” නම් විය.” යනුවෙන් මහාවංශය සඳහන් කරයි. මහාවංස ටීකාව වූ වංසත්තප්පකාසිනියේද විජය කුමරු “තම්බපර්ණියට” පැමිණි බව දක්වන අතර දීපවංසයෙහි දැක්වෙන්නේ විජය කුමරු “ලක්පොළොවට” පැමිණි බවත් මෙහි බිම ඇන සිටීමේදී දෑත් තඹ පැහැවීම නිසා තම්බපණ්ණි යන නාමය දුන් බවත්ය.”

ඔවුහු පාවී ලක්දිවට පැමිණ ලක්පොළොවෙහි ස්පර්ශය ලැබුවාහුය. මොවුන් මෙහි පැමිණෙන විට පිපාසයෙන් පෙළුණු අතර ක්ලාන්ත බවින්ද යුක්ත විය. පයින් ගමන් කළාවූ ඔවුන්ගෙන් සමහරෙක් දෙඅත් හා දෙදණ බිම ඇනගෙන සිටියෝය. මෙසේ වැතිරී සිටි ඔවුහු එම භූමියෙන් නැගිට්ටෝය. පොළොවේ තිබූ පස් ගෑවීමෙන් ඔවුන්ගේ අත් රත් පැහැයෙන් බබළන්නට විය. ඔවුහු ඒ දෙස බලන්නට වූහ.එම නිසා මෙතැන් සිට ලංකාදීපයට ‘තම්බපණ්ණි‘ යන නාමය ඇති විය.” දීපවංසයෙහි ඇතැම් තැන්වල ලක්දිව හා ලක්බිම යනුවෙන් මෙරට හැඳින්වූ අවස්ථාද හමුවේ. මහින්දාගමනයට අවුරුදු 10කට පෙර අශෝක රජු විසින් පිහිටු වන ලද ශිලා ලේඛනයක ‘තම්බපණ්ණි‘ යනුවෙන් සඳහන් වන අතර ඒ වනවිටද ‘තම්බපණ්ණි‘ නාමය මෙරට හැඳින්වීම සඳහා ප්‍රකට වී තිබූ බව සැලකිය හැකිය.

මෙරට ග්‍රීසිය, රෝමය ප්‍රමුඛ යුරෝපය හා බොහෝ සබඳතා පැවැත්වූ අතර ග්‍රීකයන් මෙරට හැඳින්වූයේ “තැප්‍රෝබෙන්” නමිනි. මෙරට හැඳින්වීම සඳහා භාවිතා කළ තම්බපණ්ණි යන්න ඇසුරෙන් “තැප්‍රෝබෙන්” යන්න නිර්මාණය වූ බව විශ්වාස කරයි. ඒ අනුව තැප්‍රොබේන් යනු තම්බපණ්ණි යන පාලි හා තාම්රපර්ණි යන සංස්කෘත වචනවල ග්‍රීක ස්වරූපයයි. දැනට මෙරට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති ආදීම බටහිර ලේඛකයා වන ඇරිස්ටෝටල්ගේ “De Mundo” නම් ග්‍රන්ථයේද “තැප්‍රබේනය” නම් රටට වඩා බිතාන්‍යය තරමක් විශාල බව දක්වයි. ටොලමිගේ ලෝක සිතියමේ ලංකාව හඳුන්වා ඇත්තේද “තැප්‍රොබානා” (TAPROBANA) යනුවෙනි. මහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාපතියකු වූ ක්‍රි.පූ. 4 වැනි සියවසේ සිටි ඔනේසික්‍රිටස් නම් ග්‍රීක් ජාතිකයා මෙරට හඳුන්වා ඇත්තේද තැප්‍රොබේන් යනුවෙනි. පුරාණ සංස්කෘත ග්‍රන්ථවල “පාරසමුද්‍ර” යනුවෙන්ද ඇතැම් ග්‍රීක – රෝම වාර්තාවල “පලේසිමුන්ඩු (Palaesimandu)” යනුවෙන්ද මෙරට හඳුන්වා දී තිබේ. ප්‍රකට ඉන්දීය පඬිවරයකු වූ කෞටිල්‍යය ලංකාව හඳුන්වා ඇත්තේ “පාර සමුද්‍ර” යනුවෙනි. පලේසිමුන්ඩු යන්න පාර සමුද්‍ර යන්න්නෙහි ග්‍රීක ස්වරූපය වේ. නමුත් පලේසිමුන්ඩු යනුවෙන් ලංකාව හැඳින්වීම මුල් ලේඛකයන්ට සිදුවූ වරදක් බවත් පසු ලේඛකයන් එම වරද ඉදිරියට ගෙන යාම නිසා මෙරට පලේසිමුන්ඩු ලෙසින් දැක්වූ බවටද මතයක් පවතී.

ග්‍රීකයන් මෙන්ම අරාබීන් සමගද මෙරට අනාදිමත් කාලයක් සබඳතා පැවැත් වූ අතර අරාබි සහ පර්සියානු ජාතිකයන් මෙරට “සෙරන්ඩිබ්” යනුවෙන් හැඳින්වීය. අරාබි ජාතික ඒද්රිස් නම් භූගෝල විද්‍යාඥයා ලංකාව දිවයින් දෙකක් ලෙස හඳුනාගෙන තිබිණි. ඔහු මේ දූපත් දෙකින් එකක් “සෙරෙන්ඩා” නමින් හැඳින්වූ අතර අනිත් දූපත “සෙරෙන් – ඩිබ් (සෙරන්ඩිබ්)” යනුවෙන් හඳුන්වා දෙන ලදී. පසුකාලීනව යූරෝපීයන් මෙරට හැඳින්වීමට යොදාගත් සිලාන්, සෙයිලාන්, සෙයිලඞ්, සිලෝන් ආදී නම් සඳහා ප්‍රභවය වූයේද අරාබීන් මෙරට හැඳින්වීමට භාවිතා කළ “සෙරන්ඩිබ් (Serendib)” යන නාමයයි. සිංහයන්ගේ දිවයින යන අරුතින් “සෙරන්ඩිබ්” යන නම බිහිවී තිබේ. වෙළෙඳාම සඳහා මෙහි පැමිණි අරාබීන් ධනයෙන් හා ස්වාභාවික සම්පතින් ආඪ්‍ය සුන්දරත්වයෙන් අනූන මේ දූපත තම ආගමේ ඉගැන්වෙන පරාදීසය යැයි විශ්වාස කළහ. මේ නිසා අරාබීන් මෙරට “සෙරන්ඩිබ්” යනුවෙන් හැඳින්වූ අතර ශ්‍රී පාදස්ථානය ආදම්ගේ පාදය ලෙස හැඳින්වීමටද මෙය හේතු විය. අරාබි නිසොල්සාසය වැනි මැද පෙරදිග කතාවන්හි සින්බෑන්ඞ් නම් වෙළෙන්දා “සෙරන්ඩිබ්” නම් රටට පැමිණ සිදුවූ සිදුවීම් ගැන දක්වා තිබේ. සින්බෑන්ඞ් නැවියාගේ කතාවලදී “මැණික් නිම්නය” නමින්ද මෙරට දක්වා තිබේ. අතීතයේ මැණික් වෙළෙඳාමට මෙරට විශාල ප්‍රසිද්ධියක් ඉසිලීය. පෘතුගීසින් විසින් සෙයිලාන් ලෙසද, ලන්දේසීන් විසින් සීලැන් ලෙස ද ඉංග්‍රීසින් විසින් සිලෝන් (Ceylon) ලෙසද මෙරට හැඳින්වීම සිදු කළ අතර එම වචන සෙරන්ඩිබ් යන්න බිඳී ඇති වූ ඒවාය. ක්‍රි.ව. 603 දී චීන ජාතික හියුත්සාංද මෙරට හඳුන්වා දී ඇත්තේ “රත්නදීප” යන නමිනි. මෙරට අතීතයේ සිටම වටිනා මැණික්වලට ලබා තිබූ ප්‍රසිද්ධිය අනුව මෙලෙස නම් කළ බව සැලකිය හැකිය.

මෙරට හැඳින්වීමට විවිධ නම් භාවිතා කිරීම මෙන්ම හැඩයෙන් මෙරට හඳුනා ගැනීමටද විවිධ ජාතීන් උත්සාහ කළහ. එහි පළමු උත්සාහය ගනු ලැබූ ටොලමි තමා විමසා දැන ගත් කරුණු අනුව මෙරට ලෝක සිතියමේ සලකුණු කිරීම මෙන්ම මෙරට වරායන් ගංගා හා වාණිජ මධ්‍යස්ථාන දක්මින් සවිස්තරාත්මක සිතියමක්ද නිර්මාණය කළේය. එවකට ලෝකය තුළ මෙරටට හිමිව තිබූ ස්ථානය පිළිබඳ කදිම අදහසක් මේ සිතියම අනුසාරයෙන් ලබා ගත හැකිය. ටොලමි විසින් අඳිනු ලැබූ සිතියමට වඩා දැන් මෙරට හැඩය වෙනස් වී ඇත්තේ පසුකාලීනව සිදුවූ මුහුදු ගැලීම නිසා මෙරට විශාල භූමියක් මහා සාගරයට යට වීම නිසා යැයි මතයක්ද ඉදිරිපත්වී තිබේ. එැවැනි මුහුදු ගොඩ ගැලීම් පිළිබඳ විස්තර ජනශ්‍රැතියේ මෙන්ම වංශකතාවන්හිද දක්වා තිබේ.

පෘතුග්‍රීසි ජාතික වස්කෝද ගාමා විසින්ද 1497 දී මෙරට හැඩය සිතියමක් හරහා හඳුනා ගැනීමට උත්සාහ කළේය. පසුව 16 වන සියවසේදී සිප්‍රියානෝ සැන්ඬේස් නම් ස්පාඤ්ඤ ජාතිකයා විසින්ද නාවිකයන්ගෙන් ලැබූ තොරතුරු අනුව මෙරට දිගැටි පංචාස්‍රයක් ලෙස දකිමින් සිතියමක් නිර්මාණය කරන ලදී. මෙලෙස නාවිකයන්ගෙන් ලබා ගන්නා තොරතුරුවලින් මෙන්ම පසුකාලීනව මෙරටට ගොඩ බට විදේශිකයන්ද තමන් ඇසූ හා දුටු විස්තර ඇසුරෙන් මෙරට හැඩය නිශ්චය කිරීමට විවිධ උත්සාහයන් ගත් නමුත් වඩාත් සාර්ථක ලෙස නියම භූගෝලීය හැඩයෙන් යුතුව මෙරට සිතුවම් ගත කරන්නේ 1640 දී පමණ ඕලන්ද ජාතිකයන් විසිනි. ලන්දේසීන් විසින් අඳින ලද මෙරට සිතියම මෙරට සැබෑ පෙනුම නිරූපිත පළමු සිතියම සේ සැලකේ.

මෙරට කොටස් යුරෝපීය ජාතිකයන්ට යටත් වන සමය වන විට මෙරට නාමය සිංහල ජනයාගේ දේශය වශයෙන් “සිංහලය” බවට පත්ව තිබුණි. මහනුවර යුගයේදී මෙරට හඳුන්වන්නේ “සිංහලය” නමිනි. පසුකාලීන ඉතිහාසයේ මෙරට ලෝකය පුරා වඩාත් ප්‍රකට වූයේද “සිංහලය” නමිනි. යුරෝපීයන් මෙරට හැඳින්වීමට භාවිතා කළ සීලාන්, සෙයිලාන්, සිලොන් වැනි නම් “සිංහලය” යන්න යුරෝපීයන් ගේ උච්චාරණයෙන් දැක්වීම බවටද මත ඉදිරිපත් වී තිබේ. පසුකාලීනව “සීහල” යන පාලි වචනය බිඳීමෙන් සෑදුණු “ඊළාම්” හා “ඉලංකෙයි” වැනි වදන් දෙමළ ජනතාව විසින් මෙරට හැඳින්වීමටද භාවිතා කොට තිබේ.

රත්නදීප, ධර්මද්වීපය, හෙළදීප, හෙළ දෙරණ, හෙළය, සීලදීප, වැනි නම්වලින් මෙන්ම පාරාදීසිය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය වැනි නම්වලින්ද හැඳින්වූ මේ රට බිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු සිලෝන් (Ceylon) නමින් නිල වශයෙන් හැඳින්වීම සිදුවිය. පසුව 1948 දී බි්‍රතාන්‍යන්ගෙන් නිදහස ලබා, 1972 දී සම්පුර්ණයෙන්ම ජනරජයක් වූ පසු වර්තමානයේ භාවිතා වන නාමය වන “ ශ්‍රී ලංකාව” යන්න බවට පත්විය. “ශ්‍රී” අකුර මෙරට රාජකීය අන්‍යතාව ලෙස බොහෝ ස්ථානවල භාවිතා වූ අතර අනුරාධපුර සමයේ සිට භාවිතා වූ “ලංකා” යන වදනට “ශ්‍රී” එක්කොට ගැනීමෙන් නිර්මාණය කොට ගත් “ශ්‍රී ලංකාව” නමින් අදටත් මෙරට හැඳින්වීම සිදුවෙයි. නමුත් “ශ්‍රී” යන්න මෙන්ම “ලංකා” යන්නද ඉන්දියාවෙන් ආනයනය කළ වදන් බව කියන්නෝද සිටින අතර ඔවුන්ගේ අදහස මෙරට ලොව පුරා වඩාත් ප්‍රකට වූ “සිංහලය” යන්නෙන් මෙරට හැඳින්විය යුතු බවයි.

වසර දහස් ගණනක් තිස්සේ විවිධ ජාතීන් විවිධ අයුරින් හඳුනාගත්, විවිධ අයුරින් නම් කළ අපගේ සොඳුරු මව්රට වර්තමානයේ “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” ලෙස නිල වශයෙනුත් “ශ්‍රී ලංකාව” ලෙස පොදුවේත් ලොව සියලු දෙනා භාවිතා කරයි. නමුත් අතීතයේ විවිධ ජාතීන් මෙරට හැඳින්වීමට විවිධ නම් භාවිතා කළත් ඒ සෑම නමට තිබූ ගෞරවය හා පිළිගැනීම, ලෝකයාම පොදුවේ පිළිගන්නා “ශ්‍රී ලංකාව” යන නාමයට ලබා ගැනීමට නොහැකි වී තිබේ. ඒ මෙරට වාසය කරන අපගේම ක්‍රියාවන් නිසාය. එබැවින්,

ඔළුව හොඳට සකස් වෙච්ච
විනීත පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා..
මිණි කැටයක රුව රැඳිච්ච
නීල හරිත ගුණ පිරිච්ච
ඒකට ගරු නමක් තියෙනවා..
යනුවෙන් ලෝකයා පවසන තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුය. එවිට එදා මෙරට වැසියන්ට තිබූ තැනම මේ මව්රටේ නූතන පරපුරටද හිමිවෙනු ඇත.

අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ටෙලි කරළියට ආපු අලුත්ම පෙම්වතා

Next Post

රජකම දෙපා මුලට ගෙනත් දෙන කේන්දරේ වාසනාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.