මෙරට අග රජු වීමට තෝරාගත් විල්බාවේ කුමරුට අගරජු වීමට පැවැති එකම අඩුපාඩුව වූයේ දළදා වහන්සේ ඔහු සතු නොවීමය. අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කළද දළදා වහන්සේ නොමැති නිසා ජනතාව ඔහු රජු ලෙස පිළිනොගන්නා බැවින් දළදා වහන්සේ සතුකර ගැනීම අත්‍යාවශ්‍ය විය. දන්ත ධාතුන් වහන්සේ යම් කෙනකු සතු වේද ඔහුට ලංකා රාජ්‍ය හිමි බව මතයක් වසර දහස් ගණනාවක සිට පැවැතිණි. ඒ නිසා නව සිංහල රජුගේ රාජ්‍යත්වය තහවුරු කිරීම දළදා වහන්සේ වැඩමවා ගැනීමට අවශ්‍ය පෙරමුණ ගත්තේ මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ සහ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ විශ්වාසවන්ත භික්‍ෂුවක් වූ නිසා එකල දළදා වහන්සේ සුමංගල හිමියන් භාරයේ පැවතිණි. ඉංග්‍රීසීන් මෙරට පාලනය භාර ගත්තද දළදා වහන්සේගේ භාරකාරත්වයෙහි වෙනසක් නොවීය.
සුමංගල හිමියන් රහසිගතව දළදා වහන්සේ හඟුරන්කෙතට පිටත්කර හරින ලද අතර, පසුව උන්වහන්සේද දළදා මාලිගයෙන් පිටවී කැප්පෙටිපොළ හා එක්විය. මෙලෙස රහසිගතව වැඩමවාගෙන එන ලද දළදා වහන්සේ පාතහේවාහැට ගොඩමුණේදී විල්බාවේ කුමාරයා ඇතුළු නිදහස් සටනේ නායකයන් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි. පසුව කැප්පෙටිපොළ නිලමේ ජනතාව ඇමැතූ අතර, ‘අපට තිබුණු එකම අඩුපාඩුව නම් සිංහලයාගේ පරම පූජනීය වස්තුව දළදා වහන්සේයි. එයද වාරියපොළ සුමංගල මහා ස්ථවිර පාදයන් වහන්සේගේ දායකත්වයෙන් අප සතුව ඇත. අප කාර්ය ඉටුකර ගැනීම සඳහා රජකුද සිටින බැවින් අඩුපාඩුව තිබූ එකම වස්තුවද හිමිකර ගතහැකිවූයෙන්, ජයග්‍රහණය නියතය’ යනුවෙන් අදහස් දැක්වූ බව සඳහන් වෙයි.
විල්බාවේ කුමරු උඩරට රජු වශයෙන් ඔටුනු පැලැඳීම සිදුකළේ මෙම අවස්ථාවේ බවටද මතයක් පවතී. ඒ පිළිබඳ ඇති වාර්තා අනුව විල්බාවේ කුමරු විශාල ජනකායක ප්‍රීති ඝෝෂා මධ්‍යයේ හඟුරන්කෙතදී ‘වීර වික්‍රම ශ්‍රී කීර්ති’ නමින් අභිෂේක කරවූ බව සඳහන් වෙයි. අභිනව රජුගේ අභිෂේක ස්ථානය පිළිබඳව විවාදයන් පැවැතියද, ඔහු නිල රජකු ලෙස වර්තමානයේ පිළිනොගත්තද සැබැවින්ම ඔහුගේ රජවීම මෙරට සම්ප්‍රදායට මුළුමනින්ම එකඟවූවකි. රජ තනතුරෙහි කටයුතු කිරීමට අවශ්‍ය සියලු දෑ ඔහු සතුව තිබිණි. යම් ගැටලුවක් තිබුණේ ඔහුගේ රාජ උරුමය පිළිබඳව පමණි. නමුත් ඔහු රජ වන විටද එයද ගැටලුවක් නොවීය. දිනයක් දෙකක් වැනි කෙටි කාලයක් රජ කළ රජවරුන්ද මෙරට රාජාවලියෙහි හමුවන නිසා වසර දෙකක පමණ කාලයක් විජාතිකයන්ට එරෙහිව සටනට නායකත්වය දුන් ‘වීර වික්‍රම ශ්‍රී කීර්ති’ රජතුමා මෙරට නිල රජතුමකු ලෙස පිළිගැනීමට හැකිය.
ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු සිංහල සිහසුන යළිත් සිංහලයකු හොබවනු ඇසූ සිංහලයෝද, බුරුතු පිටින් නිදහස් සටනට එක්වූහ. එහෙයින් උඩරටට කොටුවූ බි්‍රතාන්‍ය හමුදාවන්ගේ තත්ත්වය අතිශය බියකරු විය. පවතින බිහිසුණු තත්ත්වය හමුවේ උඩරටින් පසුබැසීමට බි්‍රතාන්‍ය පාලකයෝ උඩරට ප්‍රදේශයේ රඳවා තැබූ තම හමුදා සහ ප්‍රධානීන් වෙත අණ කරන ලදී. බි්‍රතාන්‍ය රජයේ සහ හමුදාවේ ශක්තිය පිළිබඳව මනා අවබෝධයක් බි්‍රතාන්‍යයන් ඇසුරේ විසීමෙන් ලබා සිටි මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ අභිනව රජුගේ මහාදිකාරම් ලෙස කටයුතු කරන බව ඇසූ බව බි්‍රතාන්‍යයෝ භීතියට පත්වී පරාජයත් මරණයත් එකවර භාර ගැනීමට සූදානම්ව සිටි බව සඳහන් වෙයි.
නමුත් ‘වීර වික්‍රම ශ්‍රී කීර්ති’ නමින් රජවූ දොරේසාමි කුමාරයා සැබෑ දොරේසාමි කුමාරයාම දැයි සැකයක් බි්‍රතාන්‍යයන්ට තිබිණි. දොරේසාමි නම් වූ නායක්කර් රාජ උරුමය සහිත කුමාරයකු උඩරට වාසය කළ නමුත් එවක රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වී ඉන්දියාවට පිටුවහල් කරනු ලැබ තිබිණි. බි්‍රතාන්‍යයන් මුලදී විශ්වාස කළේ මෙම දොරේසාමි රාජ්‍යත්වයට පත්වන්නට ඇති බවයි. නමුත් වැඩිකල් නොගොස්ම මේ දොරේසාමි සැබෑ දොරේසාමි නොවන බව සොයා ගැනීමට බි්‍රතාන්‍යයන් හට හැකි විය. මේ වන විට බි්‍රතාන්‍යයන්ට එරෙහි සටන සාර්ථක අන්දමින් ව්‍යාප්ත වෙමින් පැවැති අතර, වීරවික්‍රම ශ්‍රී කීර්ති රජු යටතේ කැප්පෙටිපොළ මහාදිකාරම සටන මෙහෙය වීය. ජයග්‍රාහී ලෙස ඉදිරියට ඇදී යමින් තිබූ සටනින් ජය ලැබීම අපහසු බව වටහා ගත් බි්‍රතාන්‍යයන්ට දොරේසාමි නායක්කර් රාජ උරුමය ඇති කුමාරයා නොවන බව දැනගැනීම ප්‍රමෝදයට හේතු වූ අතර, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහිව සිදුකළ ආකාරයේ කුමන්ත්‍රණයක් මඟින් නිදහස් සටන දියාරු කොට හැරීමට එම තොරතුරු ඉතාම හොඳ අවස්ථාවක් විය. ඒ අනුව වීරවික්‍රම ශ්‍රී කීර්ති රජතුමා කෙරෙහි වූ ජන ප්‍රසාදය බිඳුවීමේ කූට සැලසුම ක්‍රියාවට නැංවුණු අතර, වීර වික්‍රම ශ්‍රී කීර්ති ලෙස කිරුළු පැලඳූ ‘දොරේසාමි’ රාජවංශිකයකු නොවන බව ලක්දිව පුරා ප්‍රචාරය කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කරන ලදී.
ඉතිහාසය පුරාම සූර්ය වංශික රාජපරම්පරාව පැවැති රජ කිරුළ මෙරට රජවරුන්ගේ නොමනා ක්‍රියා නිසා උඩරට රදලයන්ගේ දැඩි විරෝධතා මැද නායක්කර් රාජවංශයට අයත් වුවද, මෙරට ජනතා මනාපය වූයේ ලංකා රාජ්‍යයේ සාම්ප්‍රදායික උරුමය සිංහලයන් යටතටම යළි පත්වීමය. නමුත් ඒ සඳහා සිහසුන යළි නීත්‍යානුකූල ලෙස තබාගත යුතුය. පිළිමතලව්වේ නිලමේගේ අභිප්‍රාය වූයේද මෙලෙස සිහසුන නීත්‍යානුකූල ලෙස ලබා ගැනීමයි. නීත්‍යානුකුල නොවන ලෙස සිහසුන ලබා ගත්තද එය පවත්වාගෙන යෑම මෙරට සම්ප්‍රදාය තුළ අසීරු විය. මහනුවර රාජධානියට අහඹු ලෙස මෙසේ උරුමකම් කීමට වාසනාව ලැබූ නායක්කර් හෙවත් වඩුග රාජ වංශයේ නරපතියන් බුදුදහමට නිසි තැන ලබා දෙමින් රාජ්‍ය විචාළ නිසා මෙරට ජනයා අතර දැඩි විරෝධයක් මතු නොවූවද ඔවුන්ගේ ඇතැම් ක්‍රියා නිසා සිහසුන යළි සිංහලයන් වෙත හිමිකර ගැනීමේ උත්සාහයන් ගණනාවක් දරනු ලැබිණි. රාජවංශික නුවරවැව දිසාවේ උඩරට රජකරවීමටද උඩරට නායකයන් වරෙක උත්සාහ දැරීය. මේ නිසා යළි රජකම නායක්කර් නරපතියකුට ලබා දීමට නොව ඓතිහාසික රාජ වංශයක උපන් ‘විල්බාවේ’ නිලමේ උඩරට රජු ලෙස තෝරා ගැනීම සිදුකරන ලදී. නමුත් මේ වන විට රාජ්‍ය උරුමය නායක්කර් වංශිකයන් සතු යැයි පැවැති මතය නිසා ඒ බව ඇඟවීමට ‘විල්බාවේ’ නිලමේ ‘දොරේසාමි’ ලෙස හඳුන්වනු ලදී.
මෙය වාසියට ගත් බි්‍රතාන්‍යයන් පැතිරූ මතය නිසා නිදහස් සටනේ රජු පිළිබඳ නොදත් සමහර සිංහලයන් අතරද ‘නිදහස් සටනේ රජු හෙවත් දොරේසාමි රාජවංශිකයකු නොවේ’ ය යන ප්‍රකට රහස පතළ වෙමින් තිබිණි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ බි්‍රතාන්‍යයන්ගේද බලාපොරොත්තු සඵල කරමින් සිංහල රණකාමීන් අතරද මත ගැටුමකට හේතුවක්ව නිදහස් සටනේ අරමුණට බලපෑමයි. ‘දොරේසාමි රජු රාජ වංශිකයකු නොවේ’ යැයි බි්‍රතාන්‍යයන් පතුරුවා හළ රහස තහවුරු කරමින් නිදහස් සටනේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් වීරවික්‍රම ශ්‍රී කීර්ති රජු සිරභාරයට ගන්නා ලදී. උඩරට නිදහස් සටනේ රජු රාජවංශිකයකු නොවේ යැයි බි්‍රතාන්‍යයන් පැතිරූ අසත්‍ය විශ්වාස කොට රජතුමා සිංහල හටන්කරුවන්ගේම අත්අඩංගුවට පත්වීමත් සමඟ බි්‍රතාන්‍යයන්ට එදිරිව සිංහලයන් දියත් කළ නිදහස් සටන බිඳවැටීම ආරම්භ විය. උඩරට සිංහල රණකාමීන් නිසා තැති ගැන්වී සිටි බි්‍රතාන්‍යයෝ යළි පණ ලබා සිංහල රජු හා නිදහස් සටනේ නායකයන් අත්අඩංගුවට ගැනීමට රට පුරා ස්වකීය හමුදා මෙහෙයවීය.
අසාර්ථක වූ අරගලයෙන් පීඩාවට පත්ව ආරක්‍ෂාව පතා කැප්පෙටිපොළ නිලමේ තම සහචර පිරිසද කැටුව මාතලේ ප්‍රදේශයට පසුබැස ගිය අතර, මරක්කලයකුගෙන් ලද ඔත්තුවකින් බි්‍රතාන්‍ය යුද හමුදාවේ කපිතාන් විලියම් ඕනිල් 1818 ඔක්තෝබර් 28 වැනිදා කැප්පෙටිපොළ නිලමේ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීමට විලියම් ඕනිල් හා එක්ව කටයුතු කළේ ‘එක්නැලිගොඩ නිලමේ’ වරයාය. ක්‍රි.ව. 1818 නොවැම්බර් 26 වැනිදා කැප්පෙටිපොළ නිලමේගේ හිස ගසා දමන ලද අතර, අල්වාගත් වීරවික්‍රම ශ්‍රී කීර්ති රජු සිරගත කොට පසුව පිටුවහල් කරන ලදී. ඇතැම් ලේඛනවලට අනුව ඔහුගේද හිසගසා දමා තිබේ. කැප්පෙටිපොළ නිලමේගේ අවසානයත් සමඟ උඩරට නිදහස් අරගලයේ ප්‍රථම භාගය නිමාවූ අතර, වීරවික්‍රම ශ්‍රී කීර්ති උඩරට රජු අල්වා ගැනීම සමඟ මෙරට රාජ්‍යත්වය යළි බි්‍රතාන්‍යයන් සතු විය. වසර දෙකක පාලන කාලයකින් පසු රජුගේ අවසානයත් සමඟ සිංහල රාජ්‍යයේ සිහිනය බිඳවැටුණු අතර, යළිත් මෙරට බි්‍රතාන්‍යයන් යටතටම පත්වීම සිදුවිය.
යළි බි්‍රතාන්‍යයන් හට මෙරට පාලනය හිමිවුවද නැවැතත් නිදහස් සටනට පණපොවා බි්‍රතාන්‍යයන්ගෙන් රට මුදා ගැනීමේ සටනක් 1820දී ආරම්භ විය. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙනු ලැබුවේ මෙරට අවසාන රජතුමා යැයි සැලකිය හැකි විමලධර්ම නරේන්ද්‍රසිංහ රජතුමා විසිනි. 1820 ජනවාරි 6 වැනි දින බින්තැන්න ප්‍රදේශයේදී සිංහලයේ අග රජු ලෙස ඔටුනු පැලැඳූ විමලධර්ම නරේන්ද්‍රසිංහ රජතුමා හේවාහැට ඉපදුණු සිංහලේ අවසාන රජුගේ නෑයකු බවත්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඔහුව ඌව පළාතට පිටුවහල් කර තිබූ බවත් සඳහන් වෙයි. මෙම රජතුමාද පෙර ‘කුමාරස්වාමි’ නමින් නායක්කර් වංශිකයකු ලෙස පෙනී සිටි අතර, ඔහුද කලක් පැවිදි වී සිටි අයකු බව සඳහන් වෙයි. වීරවික්‍රම ශ්‍රී කීර්ති රජුගේ නායකත්වයෙන් 1818දී සිදුකළ නිදහස් සටනට සිය දායකත්වය දුන් මෙම රජතුමා සටන අතරතුර ඉංග්‍රීසීන් හට අසුවී සිරගත වී සිට නිදහස ලැබුවකු වන අතර, වීරවික්‍රම ශ්‍රී කීර්ති රජුද ඔහු රාජ උරුමය ඇත්තකු ලෙ පිළිගෙන තිබූ බවද සඳහන් වෙයි.
1818 නිදහස් සටන බිඳවැටීමෙන් පසු සිහසුනට උරුමකම් සහිත එකම පුද්ගලයා වූ ‘බඹරගම කුමාරස්වාමි’ කුමාරයාද විල්බාවේ නිලමේ මෙන්ම සිංහලයකු වූ අතර, විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් රාජ්‍යත්වයට පත්විය. මෙරට නිල රජතුමා ලෙස පිළිගැනීමට ලක්වීමට නම් දළදා වහන්සේ රජතුමා සතුවිය යුතුය. වීරවික්‍රම ශ්‍රී කීර්ති රජතුමා රජ වන විට දළදා වහන්සේ ඔහු සතුවූ නමුත් විමලධර්ම නරේන්ද්‍රසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වුවද දළදා වහන්සේ ඔහු සතු නොවීය. රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව ගණේගොඩ අදිකාරම වෙත පුස්කොළ පතක් යවමින් ඔහු පවසන්නේ තමා කොබ්බෑකඩුවේ නායක තෙරණුවන් හමුවන්නට බලාපොරොත්තු වන බව මොල්ලිගොඩ අදිකාරම ඇතුළු අන් අයට දන්වන ලෙසත්, බුළුවාලේ උන්නාන්සේ භාරයේ ඇති දළදාව විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් රජවී ඇති තමා වෙත ගෙන එන ලෙසත්ය. 1818 නිදහස් සටනේදීද වැදි ජාතිකයන්ගෙන් විශාල සහායක් ඒ සඳහා හිමිවූ අතර, මෙවරද නව රජු පත්වීමත් සමඟ වැදි ජනතාව සටන සඳහා පෙරමුණු ගත් බව සඳහන් වෙයි. නව රජතුමා රජ වීමෙන් පසුව වැදි ගම්මානයට පැමිණ ඇති අතර, 7,000ක පමණ වැදි පිරිසක් වැඳ වැටී ඔහුට රජකුට මෙන් ආචාර කොට දුනු, ඊතලවලින් සන්නද්ධව ඔහුව මහවැලි ගඟින් එතෙරට ගෙන ආ බව සඳහන් වෙයි. මේ බව ආණ්ඩුකාරවරයාගේ සටහන්වලින්ද හෙළිවෙයි.
විමලධර්ම නරේන්ද්‍රසිංහ මහ රජුගේ නායකත්වයෙන් ඉංග්‍රීසීන්ට එරෙහිව සටන දියත් කළ අතර, මොල්ලිගොඩ නිලමේ මහාදිකාරම ලෙස සටන මෙහෙය වීය. නමුත් මෙම සටන 1818 නිදහස් සටන මෙන් සාර්ථක නොවූ අතර, 1818 සිදුවූ විනාශයෙන් පසු යළි ශක්තිමත්ව ගොඩනැඟීමට තරම් කාලයක් සිංහලයන් හට නොවූ බැවින් සටන ඇරැඹී ඉතා කෙටි කාලයකදී සටන අඩපණ වූ අතර, විමලධර්ම නරේන්ද්‍රසිංහ මහ රජතුමාද ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. විමලධර්ම නරේන්ද්‍රසිංහ රජු උඩරට සටනේ දෙවැනි භාගයේදී නැවැත සටන මෙහෙයවූ බැවින් ඔහු අල්වාගත් බි්‍රතාන්‍ය ඔහුට විරුද්ධව නඩු අසා ‘මුරුසි’ දිවයිනට පිටුවහල් කළ අතර, දෙවැනි වරදීද නිදහස් රටක් බිහිකර ගැනීමේ අරමුණ අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය. ක්‍රි.ව. 1820දී විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් හේවාහැට බඹරගම ප්‍රදේශයෙන් නැවැතත් උඩරට සිංහල රජු කුමරකු නිදහස් සටන නැවැත පණගන්වමින් කිරුළ පැලැන්දේය. ‘මහනුවර හේවාහැට බඹරගම කුමාරස්වාමි’ හෙවත් ‘විමලධර්ම නරේන්ද්‍රසිංහ මහා රාජ’ යන නාමය සහ එම ස්වරූපය ආරූඪ කරගෙන බින්තැන්න ප්‍රදේශයේ කිහිප දෙනෙක් සමඟ යුද්ධායුධ සහිතව නීත්‍යානුකූලව පිහිටුවා ගන්නා ලද අපමහ රජාණන්ගේ ආණ්ඩුව නැති කිරීමට වෙල්ලස්සේ බින්තැන්නේ දිසාවට මීට එකතු වන ලෙස තල්පත් යැවීම හෝ යවන ලෙස බලකිරීම සහ දිසාවේගේ රාජපක්‍ෂ භාවය බිඳ දැමීමට උත්සාහ කිරීම’ ලෙස ක්‍රි.ව. 1820දී දැරූ කැරැල්ලේ දෙවැනි වාරයේ රජුට එදිරිව බි්‍රතාන්‍යයන් ගොනුකළ නඩු විභාගයේ චෝදනා අතර සඳහන් වෙයි.
කුමන්ත්‍රණයක් මඟින් ඉංග්‍රීසීන් යටතට පත්වූ රට වසර තුනකට පසුව යළි ලබා ගැනීමට නව රජතුමකු හා මහ අදිකාරම් යටතේ සාර්ථක ආරම්භයක් ගත්තද සුපුරුදු ලෙසම යළිත් බි්‍රතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයකට නතුව නිදහස් සටන දියාරු වී ගියේය. අල්ලා ගන්නා ලද මහ අදිකාරමගේ හිසගසා දැමුණු අතර, මහරජු සිරගත කරන ලදී. ඇතැම් වාර්තාවලට අනුව වීරවික්‍රම ශ්‍රී කීර්ති රජුද මරා දැමුණු අතර, රටින් පිටුවහල් කළ බවද ඇතැම් වාර්තාවලින් දැක්වෙයි. එම නිදහස් සටන කනගාටුදායක ලෙස නිමා වෙද්දී පරාජය භාර ගැනීමට අකැමැති සිංහලයන් යළිත් 1820දී විමලධර්ම නරේන්ද්‍රසිංහ නව රජු යටතේ යළි නිදහස් සටනට පණ පෙවීමට උත්සාහ කළද බොහෝ විනාශයක් අත්දැක සිටියදී තවත් සටනක් කිරීමට ශක්තියක් නොමැති වූයෙන් එම සටනට උපන්ගෙයිම මරණය හිමිවිය.
අසිරු වේදිත කරුණාරත්න











