මේ ගෙවී යන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසයි. මේ කාලයේදී රජරට පාලනය කළේ එළාර නම් රජ කෙනෙකි. ඔහු අනුරාධපුරයේ සිට රාජ්‍ය කරන අතරවාරයේ ලංකාවේ තැන් කිහිපයක ප්‍රාදේශීය පාලනයක්ද පැවැති බව පැහැදිලිව කීමට හැකි සාධක කිහිපයක් හමුවේ. මේ කතාව ඒ හා දැඩි සබඳතාවක් දක්වයි. මේ කාලයේ කැලණිය ප්‍රදේශය පාලනය කළේ තිස්ස නමැත්තෙකි. ලංකාද්වීපයේ තිස්ස නමින් හැඳින්වූ රජවරුන් බොහෝ දෙනකු සිටින නිසා මොහු ප්‍රසිද්ධ වූයේ කැලණිතිස්ස යන නාමයෙනි. ඔහුට සහෝදරයකු වූ අතර ඔහු ‘උත්තිය’ නම් විය.
උත්තිය කැලණිතිස්ස රජුගේ හිත දිනාගෙන සිටි නිසා කෙටි කලකින්ම යුවරජ ලෙසින් පිදුම් ලැබීය. පැවරෙන වගකීම් නොපිරිහෙළා සිදුකිරීමට ඔහු වෙහෙසගත් නිසා බොහෝ දෙනෙකු ඔහු හා ඉතා සමීප විය. එපමණක් නොව ඔහුගේ දේහධාරී විලාසය ඕනෑම කාන්තාවකගේ සිත වසඟ කරන්නේය. එහි වඩාත් වැදගත් අවස්ථාවක් වූයේ කැලණිතිස්ස රජුගේ අගමෙහෙසිය උත්තිය කුමරු හා පෙමින් වෙළීමයි. දෙදෙනා රාජ මාලිගාවේ ඉතා රහසිගතව මෙම සබඳතාව පවත්වාගෙන ආවත් කෙටි කලකින්ම රජුට මෙම සබඳතාව හෙළි විය. රජු අතිශයින් කෝපයට පත් වූ අතර උත්තිය කුමරු තම සහෝදරයාගේ ස්වභාවය දන්නා නිසා එතැනින් පලාගොස් උඩගම්පොළනුවර ලැගුම් ගත්තේ එහි ගම්නායකයාගේ නිවෙසේය.
උත්තිය කුමරු කුඩා කාලයේ ශිල්ප ශාස්ත්‍ර උගත්තේ එක්තරා තෙරුන් වහන්සේ නමක් සමීපයේය. උන්වහන්සේ හා රජතුමා අතර සමීප සබඳතාවක් පැවැති අතර බොහෝ දිනවල රාජ මාලිගාවේ දන් වැළඳීම සඳහා උන්වහන්සේත් පරිවාර භික්ෂූන් වහන්සේලාත් වැඩම කරන්නාහ. එසේ යන පරිවාර භික්ෂූන් වහන්සේ පිළිබඳ උන්වහන්සේට තැකීමක් නැත. උන්වහන්සේ එහි සිටින්නේ කුමන භික්ෂූන්දැයි නිශ්චිතව දන්නේ නැත. උන්වහන්සේට ඒ ගැන සෙවීමටත් අවශ්‍යතාවක් නොවීය.
තම ප්‍රියාවිය නොදැක සිටීම නිසා උත්තිය කුමරු මහත් කනස්සල්ලට පත් වූයේය. ඇයගේ ස්පර්ශය නොමැති වීම නිසා ශරීරය සුදුමැලිවී ගියේය. ඇය සමග රහසින් වුවත් ගත කළ කාලසීමාව ඔහුගේ සිහියට නැඟුණු කල්හි බොහෝ වේදනාවෙන් සිත වෙළී ගියේය. ඇයගේ තොරතුරු කෙසේදැයි දැනගැනීමට හසුනක් ලිවීමේ අදහස ඇති වූයේ එවන් මොහොතකදීය. උත්තිය කුමරු පෙර සඳහන් කළ තෙරුන් වහන්සේ සමීපයේ අකුරු කළ නිසා අකුරුද උන්වහන්සේගේ අකුරුවලට බෙහෙවින් සමානය. මෙකී තෙරුන් වහන්සේ රාජ මාලිගාවේ දන් වැළඳීමට වඩින බව එකල සිට ඔහු දැන සිටියේය. ඒ නිසා ඔහුට සමීප තරුණයෙකු හමු වූ උත්තිය කුමරු තම ප්‍රියාවියට ලියූ හසුන රැගෙන ගොස් පෙර කී තෙරුන් වහන්සේලා දනට වැඩ දන් වැළඳීමෙන් පසු එන ගමනේදී රජ බිසවට පෙනෙන අයුරින් හසුන බිමට පතිත කරන ලෙසින් ඔහු අවශ්‍ය දෑ කියා සිටියේය.
භික්ෂු වෙස්ගත් තරුණයාත් සුදුසු දිනක් බලා සැලැස්ම ක්‍රියාත්මක කළේය. එදිනත් පෙරකී භික්ෂූන් වහන්සේත් තවත් භික්ෂූන් වහන්සේලා කිහිපදෙනකුත් සමග මෙකී භික්ෂු වේශධාරී තරුණයා පසුපසින් ගමන් කොට රාජ මාලිගාවේ දන් වළඳා ආපසු එන ගමනේදී පසුපසින්ම ගමන් කොට රාජ දේවියට පෙනෙන සේ හසුන බිම පතිත කළේය. ඒ වේලාවේ ඉතා නිශ්ශබ්ද බවකින් මුළු රාජ මාලිගාවම පැවැති නිසා එසේ බිමට පතිත කළ හසුනේ හඬ රජතුමාටද ඇසිණි. රාජ දේවිය එය අහුලාගැනීමට පෙර රජු එය තමා සන්තකයට ගත්තේය. ලිපිය පෙම් හසුනක් බව ඔහුට සැලවීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. එහි අකුරු කැලණි වෙහෙරේ තෙරුන්ගේමය. මේ ගැන භික්ෂු වෙස්ගත් තැනැත්තාගෙන් විමසූ විට ඔහුත් බේරී පළායාමට මේ ලිපියේ අකුරු තෙරුන් වහන්සේගේම බව සපත කළේය.
මේ සිදුවීමෙන් රජු අතිශයින් කෝපයට පත්විය. තම සහෝදරයා සමග අනියම් ඇසුරක් පවත්වාගත් මැය කැලණියේ තෙරුන් සමගද අනිසි සබඳතාවක් පවත්වා ඇතැයි සැලවීමෙන් වඩාත් කෝප ගත්තේය. මෙවැනි කාන්තාවන් රාජමාලිගාවේ තබා රටේ සිටීම අනර්ථය පිණිස හේතු වන බව ඔහු වටහා ගත්තේය. ඉතින් රාජ පුරුෂයන් ඇමතූ ඔහු ආඥා කළේ මැය ගොස් ගඟට දමන ලෙසයි. රජුගේ අණ ඉටු නොකිරීම රාජ උදහසට ලක්වන්නකි. මේ වේලාවේ කවුරුන්ද නිවැරැදිද? කවුරුන්ද වැරැදිද? නිසි ලෙස තර්ක විතර්ක කර තීන්දු ගැනීමට වේලාවක් නොවේ. කවරෙක් අකැමති වුවත් රාජ අණ ඉටු කළ යුතුය. එසේ නොවන්නේ නම් උදහසට ලක්වීමෙන් පරම්පරාවටම අනර්ථයක් වන්නේමය. ඒ නිසා රජු කී පරිදි ඇය ගෙන ගොස් ගඟේ දමා ආවාහුය.
රජුගේ කෝපය එතැනින් සංසිඳුණේ නැත. තම බිසව සමග අනිසි ඇසුරක් පවත්වාගත්තේයැයි සැක කළ කැලණි වෙහෙරේ තෙරුන් වහන්සේටද වධ පමුණුවාලූයේය. උන්වහන්සේ මේ කිසිවෙකින් තැති නොගත්තේ උතුම් වූ රහත් භාවයට පත්ව සිටි නිසාය. කරුණු පැහැදිලි කර දීමේ හැකියාවක්වත් එකී දෑ පිළිගන්නා බවක් වත් රජුගෙන් නොපෙනුණු නිසා කිසිවක් නොකියාම රජුගේ උදහසට උන්වහන්සේ ලක්විය. රජුගේ අණ ඉටු කළ රාජ පුරුෂයෝ උන්වහන්සේ බුබුළු නගිමින් උණු වන තෙල් කටාරමට දමා මරණයට පත් කළාහුය.
මේ අවාසනාවන්ත සිදුවීම නිසා කැලණිය ප්‍රදේශයේ වැසියන් පමණක් නොව මුළු ලංකාවේම වැසියන් මහත් ශෝකාග්නියට පත්වුණු බව බොරුවක් නෙවේ. රජුගේ අමනෝඥ ක්‍රියාවෙන් ලැබුණේ රටට සුබදායී ප්‍රතිඵලයක් නොවේ. මහමුහුද ගොඩගලන්නට පටන් ගත්තේ කිසිවකු නොසිතූ වේලාවකය. මන්නාරමේ සිට දකුණු පෙදෙසට වන්නට සියලු ප්‍රදේශවලට ඉන් මහත් හානි සිදුවිය. එයින් ගැලවීමට නම් රජු තමා කළ පාපකර්මයෙන් ගැලවිය යුතු බවත් ඒ සඳහා කළ යුතු එකම දේ තම දූ කුමරිය මුහුදේ පාකර යැවීම බව ඇතැමකුගේ මතය විය. මේ ව්‍යසනදායක අවස්ථාවෙන් රට මුදවා ගැනීමට තම ජීවිතය පූජා කිරීමට වුව කැමැත්තෙන් කැලණිතිස්ස රජුගේ දියණිය වූ දේවී කුමරිය සිටියාය. ඒ අනුව ඇය අලංකාර කරන ලද නෞකාවක ලා මුහුදට පාකර හැරිය අතර මුහුදේ චණ්ඩ ස්වභාවය ද නිවී ගියේය. ඇයගේ වීර ක්‍රියාව නිසා ‘විහාර මහාදේවිය’ නමින් ඇය ප්‍රසිද්ධ වූවාය.
මෙසේ පාකර හැරි නෞකාව දින කිහිපයකින් මුහුදේ පාවී රුහුණු ප්‍රදේශයේ මුහුදු සීමාවට ගොඩගසා තිබිණි. මේ කාලයේ මෙහි පාලනය කළ කාවන්තිස්ස රජු රාජ සේවකයන්ගේ පණිවුඩය අසා එහි පැමිණ ඉතා රූමත් කුමරියක එහි සිටින බව දැක ඇය අස්වාමික බවත් දැන තම මාලිගාවට ගෙන ගොස් අගමෙහෙසිය කොට ගත්තේය. කාවන්තිස්ස රජුට දාව විහාරමහාදේවිය ලද පුතුන් දෙදෙනා දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන්ය.
රාජ මෙහෙසියට පෙම් බැඳි උත්තිය කුමරු නිසා කෙටි කාලයක් තුළ රටේ සිදුවූ වෙනස පුදුම සහගතය. එයින් රටට හානියක් සිදුවූ බවක් හඳුනාගත හැකි අතරම කාවන්තිස්ස රජුට විහාරමහාදේවිය හමු නොවන්නට එතෙක් රජරට ප්‍රදේශයේ පැවති එළාර පාලනය සීමා කිරීමට හැකි වන්නේදැයි සැක සහිතය. කෙසේ වුවත් මෙම පුරාවෘත්තයෙන් බොහෝ උපදේශ අපහට ලබා දෙන්නේය.
පදියතලාවේ ඥාණවිමල හිමි











