ලෝකයේ බොහෝ විට රටේ රජකම ලැබෙන්නේ රළු අත් යුගළයක් ඇති පිරිමින්ට මිස සිනිඳු අත් ඇති ගැහැනුන්ට නොවේ. එහෙත් අතීතය දෙස යළිත් හැරී බැලීමේදී රළු පිරිමි අත් පරදා සිනිඳු ගැහැනු අත් රජ වූ සිදුවීම් කිහිපයක් ගැන අසන්නට ලැබේ. එහෙත් එම සිදුවීම් ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු මිස වැඩි නම් නැත. ලෝකයේ ඇති රට රටවල් වෙන වෙනම ගෙන බැලීමේදී රළු පිරිමි අත් පරදා සිනිඳු ගැහැනු අත් රජ වූ සිදුවීම් වැඩිපුරම දක්නට ලැබෙන්නේ අපේ මේ රටින්ය. එනම් ශ්‍රී ලංකාවෙන්ය. එය විශේෂයෙන්ම කිව යුතුය.
අප දන්නා ආකාරයට මෙන්ම පොතේපතේ ඇති ආකාරයට සරලවම අතීතයේ රජකම ලැබූ කාන්තාවක් හඳුන්වා තිබෙන්නේ “රැජින” යනුවෙනි. එහෙත් වර්තමානයේ රජවෙන කාන්තාවන් හඳුන්වා දෙන්නේ “ජනාධිපතිනිය” හෝ “අගමැතිනිය” ලෙසිනි. කාලයෙන් කාලයට ඒ කතාව කොහොම වෙනස් වුවද අපේ රටේ රළු පිරිමි අත් පරදා රට කළ රැජිනියන් සේම ජනාධිපතිනියන්ද සිටියි.ඒ අතරින් “සුගලා” නාමය අදටත් කතාබහට ලක්වෙන චරිතයකි. ඉතින් අද අපේ කතාවද සුගලා රැජිනගේ ජීවිත කතාවේ වැදගත්ම කොටසක සැඟවුණු පරිච්ඡේදයකි.
ඓතිහාසික කරුණු කාරණා ගැන පැවසීමේදී සුගලා දේවිය යනු ශ්‍රී වල්ලභ රජුගේ බිසවයි. තවත් ලෙසකින් කිවහොත් වැඩිම වරක් ශ්‍රී ලංකාව පාලනය කළ ලීලාවතී රැජිනගේ මවයි. ලීලාවතී යනු පසුව පොළොන්නරුවේ රාජ්‍ය කළ මහා පරාක්‍රමබාහු රජුගේ අගබිසවයි. එවකට මහා පරාක්‍රමබාහු රජු ශ්‍රී ලංකාව එක්සේසත් කර ලීලාවතී බිසවගේ සහෝදරයා වූ මානාභරණ කුමරු සහ මව වූ සුගලා දේවිය සමඟින්ද සටන් වැද ඇති බව වංශ කතා තුළ පැවසෙයි. කෙසේ හෝ මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව රටේ රජකම බාරදීමට සුදුසු අයෙක් නොසිට ඇති අතර පසුව රජකම විවිධ පුද්ගලයන් අතට පත්ව තිබේ. එම කාල පරාසයන් තුළ අවස්ථා තුනකදී පමණ ලීලාවතියද රැජිනක් ලෙස රාජ්‍ය කළ බව සඳහන්ය. එහෙත් අපේ කතාව පොතක් ලිවිය හැකි තරමේ කරුණු ඇති ලීලාවතිය ගැන නොව පොතක් ලිවිය හැකි තරමේ කරුණු ඇතත් වංශ කතා සඟවා ඇති ඇගේ මව වෙන සුගලා රැජින ගැනය.
සැබෑවටම සුගලා රැජින රාජකීය චරිතයකි. ඇය ගැන බොහෝ කතා මොණරාගල අවටින් සහ පොළොන්නරුවට අයත් සිරිපුර මෙන්ම යක්කුරේ වැනි ප්‍රදේශවලින්ද අසන්නට ලැබෙයි. ක්‍රි.ව. 12 වෙනි සියවසේ රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය. ඇය විජයබාහු රජුගේ මිණිපිරියකද වෙන අතර පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුගේ නැන්දණියකද වෙයි. ඇයට හෙළයේ රජ කිරුළට අයිතියක් තිබූ බැවින් ඇය “සුගලා රැජින” ලෙස එවකට හඳුන්වා තිබේ. ඇය සේනාධිනායිකාවක මෙන්ම සෙන්පතිනියක ලෙසද ඇතැම් තැන්හි හඳුන්වයි. එයින්ම ඇගේ තරම පැහැදිලි වෙයි.
එවකට සුගලා රැජින ශ්‍රී ලංකාවේ රටේ බලවත් අයෙකු ලෙස සැලකුවේ රටේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකෙන දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ඇගේ රෝහණ රාජධානියේ තිබූ නිසාය. බොහෝ විට එවකට රජවරුන්ද රටේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකෙන දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තමන් සතු කරගැනීමට උත්සාහ දරා තිබේ. එහෙත් එම භාග්‍යය සෑම රජෙකුටම උදාවී නැත. නමුත් එම භාග්‍යය සුගලා රැජිනට උදාවීම විශේෂත්වයකි. එවකට පොළොන්නරුවේ තිබූ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ රෝහණයට රැගෙන ආවේ භික්ෂූන් වහන්සේලා විසිනි. ඒ වෙන විට පොළොන්නරුව රාජධානිය විජයබාහු රජුගෙන් පසු අවිචාර සමයකට යමින් තිබීම ඊට හේතුවයි.
එදා සුගලා රැජින රෝහණයේ පාලකයා වූ අතර දක්ඛිණ දේශයේ රජු බවට පත්වෙන පරාක්‍රමබාහු රජතුමා අනතුරුව රෝහණයද අල්ලා ගැනීමට සැරසෙයි. එහි අරමුණ වූයේ මුලදී අප පැවසූ ආකාරයට රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකෙන දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තමා යටතට ගැනීමයි. මේ අතර සුගලාගේ පුතු මානාභරණ කුමරු කෙටි රාජ්‍ය කලකින් පසු අසනීපයෙන් මියයයි. එය පරාක්‍රමබාහු රජුට රෝහණය අල්ලා ගැනීමට ලැබුණු වටිනාම අවස්ථාවයි. එහෙත් ඒ මොහොතේ රුහුණේ ජනයා ඊට අකමැති වී සුගලාව රජ පුටුවේ ඉන්දවයි.අනතුරුව ඇය නිතැතින්ම සටන්කාමී රැජිනක් බවට වෙයි. ඒ “සුගලා රැජින” යන නාමයත් සමඟිනි.
ඓතිහාසික කරුණු කාරණාවලට අනුව සුගලා රැජිණ තම පාලනය ගෙන ගියේ මොණරාගල, සියඹලාණ්ඩුව පාරේ පිහියි උදුන්දොර ප්‍රදේශයේ බව පැවසෙයි. අද “ගලබැද්ද” ලෙසින් හඳුන්වන්නේ එම ප්‍රදේශයයි. දළදා පූජාවලියේ සඳහන් වන්නේ උදුන්දොර අමරගිර පර්වත සමීපයේ එදා දළදාව සුරක්ෂිත කර තිබූ බවත් සතුරන්ට වුවද ඊට ළඟාවීම අපහසු වූ බවත්ය. ඒ අවට ඊට සාක්ෂි සපයන නටබුන් රැසක් පසුවට සොයාගත් අතර ඒ නටබුන් සියල්ල පොළොන්නරුව යුගයට අයත් වූ බව පැවසෙයි.
සුගලා රැජින රෝහණයට නායකත්වය දී ටික කලක් ගත්වීමත් සමඟ රෝහණ රාජධානිය අල්ලා ගැනීමට මාන බැලූ පරාක්‍රමබාහු රජතුමා සුගලා රැජින සමඟින් මහා සටනක් කරයි. අවසානයේ එම සටන පරාක්‍රමබාහු රජු ජයගනියි. ඒ හරහා එවකට රාජ්‍යත්වයේ සංකේතය වූ දළදාව ඔහු සතුවෙයි. ඒ අතරවාරයේ සුගලා පැනගොස් තම සේනාවන් ශක්තිමත් කර නැවත පැමිණ දළදාව ලබා ගැනීමට සැරසෙයි. නමුත් අවසානයේ සිදුවන්නේ සුගලා රැජින පරාක්‍රමබාහු රජුට අසුවීමයි. පසුව රජු ඇයව පොළොන්නරුවට රැගෙනවිත් හුදකලාවේ ඉන්නට සලසා තිබේ.
කාලයත් සමඟ සුගලා රැජින සාමාන්‍ය කාන්තාවක ලෙස මියයයි. ඓතිහාසික කරුණු කාරණාවලට අනුව මියගිය පසු ඇගේ මිනිය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් තුළ පිහිටි ගල් ගුහාවක මිහිදන් කර තිබේ. මීවත්පුර ගම්මානය තිබෙන්නේ පොළොන්නරුවේ සිට කිලෝමීටර් 48ක් දුරින් පිහිටි සිරිපුර ප්‍රදේශය ආසන්නයේ වෙන අතර එහි මිහිදන් කළ සුගලා රැජිනගේ සිරුර එසේ මිහිදන් කර ඇත්ත මමීකරණය කරමින් බව අප්‍රකට ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මේ අතර සුගලා රැජින සිහිවෙන්නට මෙන්ම ඇයට ගෞරව කිරීමක් වශයෙන් සුගලාදේවී රජමහා විහාරය නමින් විහාරයක්ද තිබේ. ඒ සිරිපුරට නුදුරින් පිහිටි නුවරගල ප්‍රදේශයේ කඳුවැටියක් උඩය. රජමහා විහාරයක් වෙන එහි නටබුන් රැසක් මෙන්ම දාගැබ් ගොඩැල්ලක් පවා දැකිය හැකිය. තවද එහි ශෛලමය මල් ආසන, ගල් කණු කොටස් මෙන්ම සෙල්ලිපිද දක්නට ලැබෙයි. මෑතකදී එම විහාරයේ බුද්ධ ප්‍රතිමාක් සහ දාගැබක් ඉදිකර තිබේ. ඉතින් දළදාව රකින්නට පිරිමින් හා සටන් කළ සුගලා රැජිනගේ අවසානය සිදුවන්නේ එසේය.
රුවන් එස්. සෙනවිරත්න











