විවිධ කාලවකවානු අනුව ඇතැම් ස්ථාන, නගර, ගම්දනව් ප්‍රසිද්ධ වෙයි. කතාබහට ලක්වෙයි. එසේම එවන් ස්ථානයක් දැකබලා ගැනීමේ අදහසින් බොහෝමයක් පිරිස් එම ස්ථාන වෙත ගමන් කිරීමද සිදුවෙති. එවැනි ස්ථාන පිළිබඳව ඉතිහාසය පුරාම, විවිධ අත්දැකීම් ඇතත් ඒ අතර විශේෂිත වූ තැන් ඇත්තේ කිහිපයකි. එසේ නැතහොත් එවැනි තැන් ඇත්තේ අතළොස්සකි. ඒ අතරින්ද ජනතාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මතකයේ තබාගෙන සිටිනා ස්ථාන ඇත්නම් ඒ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. ඒ අනුව අමතක නොවන තැනක් ලෙස ‘කුඩාගම පල්ලිය’ සඳහන් කළ හැකිය.
එහෙමත් නැත්නම් කුඩාගම පල්ලිය – රඹුක්කන 1970 දශකයේ ලක්දිව පුරා රඹුක්කන ප්‍රකට වූයේ කුඩාගම පල්ලිය නිසාවෙනි. ඒ කුමක් නිසාද යන පැනය ඔබගේ සිත්සතන්වල ඇති වන බැව් නම් නොරහසක්.
යක්ෂ ආත්ම, බන්ධනවලින් වෙළාගත් මිනිසුන් සුවපත් කර ඔවුන්ට නැවත ජීවය ලබාදීම මෙන්ම එහි පැමිණෙන ජනයාට දේව ආශිර්වාද ලැබීම යන කරුණු කාරණා හේතු කොට ගෙන රඹුක්කන කුඩාගම දෙස්-විදෙස් පතළ විය.
පල්ලියේ විසූ කැමිලස් ජයමාන්න නම් දේවගැතිවරයෙක් සිදුකරන ලද දේව පූජාව මේ සඳහා ඉවහල් වූ බැවින්, ලක්දිව නන්දෙසින් දහස් සංඛ්‍යාත ජනකායක් රඹුක්කන කුඩාගම පල්ලිය අවට ඉඩම්වලට පැමිණියෝය.
ඇතමෙක් පල්ලිය අසල කූඩාරම් ගසාගෙන නතර විය. තවකෙකු අසල නෑදෑ නිවෙසෙක නතර වූයේ කෙසේ හෝ දවසේ පැවැත්වෙන දේව මෙහෙයක් සඳහා සහභාගි වී දේව ආශිර්වාදය ලබා ගැනීමටය.
යක්ෂ බන්ධනවලට ලක්ව සිහි විකල්ව පැමිණි ඇතමෙකු, කැමිලස් පියතුමාගේ දේව මෙහෙයෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ සුවපත් භාවයට පත්වූ නිසාවෙන් සැබැවින්ම මෙය නම් දේව හාස්කමක්ම විය.
එකල කොළඹ-කොටුව දුම්රිය ස්ථානයේ සිට දේව ආශිර්වාද ලබා ගැනීම සඳහා රඹුක්කන පෙදෙසට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් වෙනමම දුම්රියක් පවා ධාවනය කර තිබූ බැව් ඔබ අසා තිබුණාද? එය සත්‍යකි.
මෙහි දේව පූජාවකට සහභාගි වීමට පැමිණි යක්ෂ ආත්මයක් අරක්ගත් තරුණියක් කැමිලස් පියතුමාගේ දේව පූජාවට පැමිණි එක් තරුණයෙක් සමඟ ඇති කරගත් හාදකමක් හා ඒ හා සිදුවූ සත්‍ය සිදුවීම් සමුදායක් අලළා මෑතකදී ජයන්ත චන්ද්‍රසිරියන් ‘ඝරසරප’ නම් සිනමා කෘතියක් නිපදවීය.
මෙවැනි ඉතිහාසගත තොරතුරු සමුදායකින් හා හාස්කම් රැසකින් සමන්විත කුඩාගම පල්ලිය ඔබ එක් මොහොතකට හෝ දැකබලා ගතයුතුම ස්ථානයකැයි පැවැසුවහොත් එහි වරදක් නැත.











