අතීතයේ පටන් මෙරට සමාජ සකස් වී පවතින්නේ ගමේ පන්සල වටා එක්වීමෙනි. ගමේ ප්‍රධානත්වය හිමිවන්නේ පන්සලටය. පන්සල හැරුණු විට ‘ආරණ්‍ය සේනාසන’ හෙවත් ‘වන සෙනසුන්’ ලෙස හඳුන්වන තවත් ආරාම විශේෂයක් දක්නට හැකිය. ගම්මානවලින් දුරස්ව ‘වනගොමු’ ආශ්‍රිතව මේ ආරණ්‍ය සේනාසන සකස් වී තිබේ. ගම්මාන ආශ්‍රිතව පවතින ‘විහාරස්ථාන’ හා වන උයන් ආශ්‍රිතව පවතින ‘ආරණ්‍ය සේනාසන’ තුළ දැකිය හැකි වෙනස වන්නේ ඒවායේ පවත්වාගෙන යන වත්පිළිවෙත් හා සම්ප්‍රදායන් තුළ ඇති වෙනසයි.
‘ග්රාමවාසී’ භික්ෂුන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථාන මෙන්ම ‘වනවාසී’ භික්ෂුන් වහන්සේ වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසනද බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේම ආරම්භ වූ අතර, මෙරට බුදු සසුන ඇති වීමෙන් අනතුරුව ‘ග්රාමවාසී සම්ප්රදාය’ මෙන්ම ‘වනවාසී සම්ප්රදාය’ද මෙරටද ස්ථාපිත විය. මේ නිසා මෙරට සියලු බෞද්ධ නිකායන් තුළ ග්රාමවාසී සම්ප්රදාය හා වනවාසී සම්ප්රදාය අනුගමනය කළ භික්ෂුහු වැඩ වාසය කළහ. වර්තමානයේද මෙරට ආරණ්‍ය සේනාසන අතර නිකායන් කිහිපයකට අයත් ආරණ්‍ය සේනාසන පවතී. එම නිසා සියලු ආරණ්‍ය සේනාසනද එකම සම්ප්රදායක් අනුගමනය නොකරයි. ඒ ඒ නිකායන්ට අයත් ආරණ්‍ය සේනාසන ඒ ඒ නිකායන් පිළිගන්නා සම්ප්රදාය අනුව පවත්වා ගෙන යෑම සිදුකරයි. කෙසේ නමුත් මෙරට පවතින ආරණ්‍ය සේනාසන අතරින් බහුතර ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් පවතින්නේ වතුරුවිල ආරණ්‍ය සේනාසනය මූලස්ථානය කොටගත් ‘මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකාය’ යටතේය.
අතීත රජ සමයේ පැවැති ශාසන සමෘද්ධිය මහනුවර යුගයෙන් පසුව ඇති වූ අවුල් – වියවුල් නිසා පිරිහීගිය අතර, පසුව යළි ‘ගම් සෙනසුන්’ හා ‘වන සෙනසුන්’ ඇති කරමින් ශාසන සමෘද්ධිය ඇති කළද, වනවාස භික්ෂු පරපුර හා ප්‍රතිපත්ති යළි පුනරුත්ථාපනය කිරීම සාර්ථකව සිදුනොවිණි. නමුත් වන සෙනසුන් ඇසුරු කරගනිමින් වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ කිහිප නමකගේ කැපවීම හා ධෛර්ය නිසා බිහි වූ ‘මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකාය’ මඟින් මෙරට වනවාසී ශාසන සම්ප්රදාය ව්‍යාප්ත කිරීම හා රැකගැනීමට හැකිවී තිබේ.
ආරණ්‍යගතව මහණදම් පිරූ කුකුල්නාපේ ශ්‍රී දේවරක්ඛිත, අස්මඬලෙ රතනපාල, දඩගමුවේ ශ්‍රී ඤාණරතන, මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද, වේරකේ ශ්‍රී සුමංගල, බෝවත්තේ හේමාලෝක, වතුරුවිල ශ්‍රී ඤාණානන්ද, රංවල සද්ධාතිස්සගම පුඤ්ඤරතන වැනි නායක ස්වාමින් වහන්සේ හා උන්වහන්සේ ඇසුරේ පැවිදිවූ භික්ෂු සාමණේරයන් වහන්සේ වෙනම ලේඛන ගතකරන ලෙස ඉල්ලීම කළත් එය ඉටු නොවීය. මෙම ස්වාමින් වහන්සේ අතරින් වේරකේ ශ්‍රී සුමංගල, මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද හා වතුරුවිල ශ්‍රී ඤාණානන්ද යන ස්වාමීන් වහන්සේ, කළුගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් ආරණ්‍ය ප්‍රතිපදාව ගැන වසර පහක් පමණ පෙරහුරුවක් ලබාගෙන ඇත. පසුව දිවයිනේ ස්ථාන කිහිපයක වනවාසී සේනාසන තුළ සාමණේර භික්ෂුන් වහන්සේ පැවිදි කරමින් 1948 වසරේදී මදුනාගල ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව ගිහි පැවිදි දෙපිරිසම ඇතුළත්වන සේ ‘බඹසර සමාගම’ නම සංවිධානයක් ඇති කොට වනවාස නිකාය ආරම්භ කිරීමේ පළමු පියවර තැබීම සිදුකරන ලදී. පසුව මාලිගාතැන්න වන සෙනසුනට රැස්වූ ස්වාමීන් වහන්සේ බඹසර යන නම වෙනස් කොට එය ‘ශාසනෝභාෂ යෝගී සංඝ සභාව’ බවට පත්කිරීම සිදුකරන ලදී. පසුව මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයේදීම 1954 වසරේදී මෙම සංඝ සභාව ‘සම්බුද්ධ ශාසනාරක්ෂක ශ්‍රී නැණනදයෝගී සංඝ සභාව’ ලෙස යළි වෙනස් කොට තිබේ. අවසානයේ මෙම සංඝ සභාව 1967 වසරේදී වතුරුවිල වන සෙනසුනේ මංගල උපෝසථාගාරයේද ‘මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස සංඝ සභාව’ යනුවෙන් වෙනස් කොට රජයේ ලේඛනගත කිරීම සිදුකරන ලදී.
මෙම සංඝ සභාව වෙනම නිකායක් ලෙස රජයේ ලියාපදිංචි කරන ලෙස මල්වතු විහාරයෙන් හා රජයෙන් කිහිපවාරයක් ඉල්ලුම් කළ නමුත් එය සිදුකරගත නොහැකි විය. නමුත් උත්සාහය අත්නොහැරි වතුරුවිල ශ්‍රී ඤාණානන්ද හිමියන් විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී තිරාණගම රතනසාර හිමියන්ගේද සහාය ලබා ගනිමින් එවක රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ ආචාර්ය විජයානන්ද දහනායක මහතා මූලික කරගනිමින් රෙජිස්ටාර් ජනරාල් රොබට් සමරනායක මහතා සහ නියෝජ්‍ය රෙජිස්ටර් ජනරාල් ජී. ජේ. කුමාරගේ මහතාගේ දායකත්වය ලබා ගනිමින් 1968 සැප්තැම්බර් මස 26 වැනි දින මහා විහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස නිකාය වෙනම ලේඛන ගතකිරීම සිදුකරන ලදී. මෙහිදී මෙම අභිනව නිකායේ මහ නායක ධුරය සඳහා වතුරුවිල ශ්‍රී ඤාණානන්ද හිමියන් පත්කිරීමද සිදුවිය. එලෙස සිදුකර මේ අභිනව නිකාය රජය ලේඛන ගතකරන අතර, එය පිළිගත් බවත් එහි ප්‍රථම මහනායක හිමියන් ලෙස වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහ නායක හිමියන්ගේ නම සටහන් කරගත් බව ප්‍රධාන රෙජිස්ටාර් ජනරාල්වරයා දැනුම් දීමත් සමඟ මෙම නව නිකායට නීත්‍යානුකූල පිළිගැනීම හිමි විය. පසුව එම වසරේම නොවැම්බර් මස 27 වැනි දින දළදා මැඳුර අභියසදී මෙම ඓතිහාසික සිදුවීම ප්‍රකාශ කොට ප්‍රසිද්ධ කිරීම නිල වශයෙන් සිදුකර ඇත.
මෙලෙස අභිනවයෙන් ලේඛනගත කරන ලද නව නිකායේ අනුනායක හිමියන් වශයෙන් රජරට මිහිඳු සේනාසනාධිපති වේරකේ සුමංගල හිමියන්ද, ලේඛකාධිකාරී වශයෙන් ශාස්ත්‍රවේදී බද්දේගම බුද්ධසාර හිමියන් පත්කරන ලදී. බුද්ධසාර හිමියන් මෙරට ප්‍රථම උපාධිධාරී වනවාසී ස්වාමින් වහන්සේද වෙයි. උප ලේඛකාධිකාරි වශයෙන් උස්ගමුයායේ සමිද්ධි හිමියන් පත්කරන ලදී. මීට අමතරව නිකායේ ක්‍රමවත් පාලනයක් සඳහා විංශත්වර්ගික කාරක සංඝ සභාවක්ද ඇතිකර තිබේ.
එමෙන්ම නිකායේ කටයුතු ඉදිරියට පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රධාන අනුශාසක පදවියකින් සහ උප අනුශාසක පදවි තුනකින් යුත් අනුශාසක මණ්ඩලයක්ද අධිකරණමය කටයුතු සඳහා උත්තරීතර අධිකරණ මණ්ඩලය සහ අධිකරණ විනිශ්චය මණ්ඩලය ලෙස විශේෂ අධිකරණ මණ්ඩල දෙකක්ද පිහිටුවා ඇත. මින් උත්තරීතර අධිකරණ මණ්ඩලය මහනායක, අනුනායක යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා තුන් නමකින් සමන්විත වන අතර, අධිකරණ විනිශ්චය මණ්ඩලය සාමාජිකයන් වහන්සේලා හය නමකින් සමන්විත වන සේ කාරක සංඝ සභාව විසින් පත්කිරීම සිදුකරයි. මෙලෙස පාලනය ආරම්භ වූ නිකාය වර්ධනය වීමත් සමඟ පාලන ව්‍යුහය ව්‍යාප්ත වීම සඳහා තව තවත් නිලතල එක්වී ඇත.
වනවාස මහා නිකාය ලියාපදිංචි කිරීමට පෙර වනවාස භික්ෂුන් වහන්සේලා උපසම්පදාව ලබා ගැනීම මල්වතු මහා විහාරයෙන් සහ දෙණියාය ඉළුක්තැන්නේ ආරණ්‍ය සෙනසුනෙන්ද සිදු කරන ලදී. ලියා පදිංචියෙන් පසුව වනවාස භික්ෂුන් වහන්සේලා සඳහා උපසම්පදා විනය කර්ම සිදුකිරීම සඳහා වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන මංගල උපෝසථාගාරය සහ රජරට මිහිඳු ආරණ්‍ය සේනාසනස්ථාන උපෝසථාගාරය සම්මත කරගන්නා ලදී. මේ සීමා මාලක දෙකෙහිම වාර්ෂික උපසම්පදා විනය කර්ම සිදුකරනු ලැබූ අතර පසුකාලීනව රජරට උපසම්පදාව දඹුල්ල එඬෙරගල සෙනසුනේදී සිදුකෙරිණි. නමුත් වනවාස නිකායස්ථ ආයතන සහ භික්ෂුන් වහන්සේලා පිරිස වැඩිවත්ම වනවාස දිස්ත්‍රික්ක පදනම මත විධිමත්ව කරගෙන යෑම සඳහා සෙනසුන් පිහිටි දිස්ත්‍රික්ක අනුව දිසා අනුශාසක පදවි, කාරක සංඝ සභාව විසින් පත්කිරීම සිදුකරන ලදී. මෙලෙස භික්ෂුන් වහන්සේලා පිරිස වැඩිවීම නිසා තවත් අනුනායක පදවියක්ද 1983 වසරේදී ඇතිකර පාලනය විධිමත්ව ගෙනයෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබේ.
නමුත් වනවාස භික්ෂුන් වහන්සේලා සඳහා ශාසනානුලෝමික අධ්‍යාපනයක් ලබා දීම සඳහා අධ්‍යාපන ආයතනයක් නොවීම ප්‍රධාන ගැටලුවක් විය. එම නිසා 1961 මැයි 21 වැනි දින වතුරුවිල සංඝ මූලස්ථානානුබද්ධ ‘ශ්‍රී ඤාණානන්ද වනවාස පිරිවෙන’ ආරම්භ කරන ලදී. මේ වනවාස පිරිවෙන මෙරට වනවාසී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන අධ්‍යාපන ආයතනයයි. මේ මඟින් වනවාස භික්ෂුන් වහන්සේලා සඳහා ධර්ම, විනය සහ භාෂා ශාස්ත්‍ර දැනුම ලබා දීම සිදුකරයි. “සීලෙන, අනුපේතස්ස, සුතෙනත්ථොන විජ්ජති’ යන්න තේමා පාඨය කරගත් මේ පිරිවෙන අද වර්ග පටිපාටියට අනුව නවීන, ප්‍රථම, ද්විතීය, ප්‍රාචීන ප්‍රවේශ, ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍ය, ප්‍රාචීන අවසාන යන පන්තිවලින් සමන්විතය. මේ හරහා රාජකීය පණ්ඩිත උපාධිය, ත්‍රිපිටක අධ්‍යාපනය, භාවනා, වත්පිළිවෙත්, ධර්ම දේශනා, පිරිත් පුහුණුව හා සේනාසන පරිපාලනය වැනි වනවාස භික්ෂුවකට අවශ්‍ය සියලු දැනුම ලබා දීම සිදුකරයි. මේ මඟින් දැන උගත්, යහපත් භික්ෂු ආකල්පවලින් යුත් සිල්වත් සුපේශල වනවාස භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් රටට දායාද කොට තිබේ.
අසිරු වේදිත කරුණාරත්න











