බෞද්ධයන් වන අපට සමරන්න ලැබෙන සුවිශේෂීම උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. බුදුන්ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන යන මංගල්‍යයන් තුන එකම දිනක යෙදී තිබෙන මෙම දිනය ලංකාවේ අප පමණක් නොව ලෝවාසී බෞද්ධයන් පවා සමරන්නේ ඉතාමත් ඉහළින්. කොවිඞ් වසංගතය හේතුවෙන් වෙනදා මෙන් වෙසක් සමරන්න බෞද්ධ සැදැහැවතුන් හට අවස්ථාවක් නොලැබුණද මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙවර වෙසක් පෝය නිවෙස්වල සිටම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් සමරන්න බෞද්ධයන්ට හැකිවුණා. වෙනදා දකින පහන්, කොඩිවැල්, වෙසක් කූඩු, තොරණ, දන්සල් මෙවර වෙසක් සැමරුමේදී අපට දකින්න ලැබුණෙ නැහැ. වෙනදට වෙසක් උත්සවයට විදුලි බුබුළුවලින් ආලෝකමත් වන, වාහන තදබදයෙන් පීඩා විඳින කොළඹ නගරය පවා මෙවර නිසොල්මනේ සඳඑළියෙන් පමණක් ආලෝකමත් වුණා.
වෙසක් උත්සවයත් සමඟ අපට දකින්න ලැබෙන සුවිශේෂීම දෙයක් වෙන්නෙ දන්සල් දීම. රැස් කිරීමෙන් නොව අත්හැරීමෙන් සැනසීම ලබාගත හැකිය යන දහම ප්‍රායෝගිකව අත්හදා බැලීමට අවස්ථාවක් මෙම දන්සල් මගින් බෞද්ධයන්ට ලබාදෙනව. බෞද්ධාගමෙන් පෝෂණය වූ සංස්කෘතියකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් වන අපට දන්දීම අලුත් දෙයක් නොවන්නේ, ජීවිතයේ කුමන සුවිශේෂී අවස්ථාවක් උදාවුවත් අප ඒ සඳහා දානය ප්‍රමුඛත්වයෙහිලා සලකන නිසයි. උපතේ සිට ජීවිතය හමාර කරන අවසන් මොහොත දක්වාම අපේ ජීවිතය දානය හා බැඳී පවතිනවා. එසේම බුද්ධචරිතයේත් දානය පිළිබඳ කියැවෙන අවස්ථා බොහෝ දකින්න ලැබුණත් එක් සුවිශේෂී දානයක් පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා.
මෙම දානය වසර කල්ප ගණනකට එක් මනුෂ්‍යයකුට පමණක් දිය හැකි සුවිශේෂී දානයක් වන අතර, ඒ සඳහා වාසනා මහිමය උදාකරගත්තේ කාන්තාවක් වීමද විශේෂත්වයක්. සුජාතා නම් සිටු දියණිය විසින් සිදුහත් බෝසතාණන් බුදුවීමට ප්‍රථම ලබාදුන් මෙම දානය සැලකෙන්නේ ගෞතම බුද්ධ ශාසනය තුළ සිදුකළ මහා දානයක් හැටියටයි.
විසිනව වියේදී සිදුහත් කුමරාණන් තමන් විඳි සියලු සැප සම්පත් හැරදමා සියලු ලෝ සතුන්ගේ විමුක්තිය වෙනුවෙන් මහාභිනිෂ්ක්‍රමණය කළහ. තිස්පස් වැනි වියෙහි මහා සම්බුධත්වය ලබාගන්නා තෙක්ම සිදුහත් කුමාරයාණන් නොයෙකුත් ඉගැන්වීම්, අත්හදාබැලීම් අනුගමනය කරමින් මහා දුෂ්කර කාලයක් ගෙවා දැම්මේය. ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර වැනි එකල හුන් මහා තාපසයන් සෙවණෙහි උග්‍ර වත්‍ර සමාදන්ව තම විමුක්තිය සෙවීමට වෙහෙසුණහ. එම ශරීරය දවන දැඩි භාවනා හා අභ්‍යාස පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මනා රූසපුවකින් හෙබි, මනා ඉන්ද්‍රියයන් ඇතිව සෝභමානව ආරෝහ පරිණාහ දේහයෙන් වැජඹුණු සිදුහත් තවුසාණන් පරඬැල් මෙන් වැහැරී ගියේය.
“අල්ප ආහාරය නිසා මාගේ තට්ටම් ඔටුකුරයක් බඳු විය. මාගේ පිටකොන්දේ ඇට නූල් කටින කටු පේළියක් මෙන් එබුණු මතුවූ ආකාරයක් ගත්තේය. දිරූ මඩුවක පරාල යම් සේ නෙරා සිටීද මාගේ ඉළ ඇටද එසේ නෙරා සිටියේය.
ගැඹුරු ළිඳක තරු මෙන් පෙනෙන දියබුබුළු යම් පරිදි ගැඹුරෙහි කිඳුණේද එපරිදිම මාගේ කළු ඉංගිරියාව අක්ෂිකූපයෙහි ගැඹුරින් ගිලී පෙනුණෝය. අමුව නිල්ව තිබෙන කරවිල කරලක් කපාගත් කල අව්වෙන් හා සුළඟින් වියළී හැකිලී යන්නේ යම්සේද මාගේ හිසේ සමද එසේම හැකිළී මැළවී ගියේය.
බඬේ සම අතගාම්හයි අතගාන විට මට අතගෑවෙන්නේ පිටකොන්දයි. පිටකොන්ද අතම්හයි අතගාන විට මට අතගෑවෙන්නේ බඬේ සිවියයි. මාගේ බඬේ සම අල්ප ආහාරය නිසා එතරම්ම පිටකොන්දට ඇලී සිටියේය. මම මල මුත්‍ර හෝ පහ කරම්ද එතැනම මුණින් ඇද වැටෙමි. කයේ වේදනාව පහකර ගැනීම සඳහා මම අතින් ශරීරාවයව පිරිමදිමි. එවිට මාගේ කයින් මුලින් ඉදිරුණු කුණු වූ ලෝමයෝ ගිලිහී වැටෙති.”
මනුෂ්‍යයකුට විඳිය නොහැකි ඒ මහා දුෂ්කර ජීවිතය පිළිබඳ බුදුන් වදාරා තිබුණේ ඒ ආකාරයට. ශරීරයට සැපදීමේ කාමසුඛල්ලිකානු යෝගය මෙන්, ශරීරයට අධිකව දුක් දීමේ අත්තකිලමතානු යෝගයද තවත් එක් අන්තයක් බව උන්වහන්සේට වැටහී ගියේය. කයට දුක් දීමෙන් ආත්මය පිරිසුදු වීමට හෝ විමුක්තිය ලබාගැනීමට කිසිදු උපකාරයක් නොවන බව උන්වහන්සේ තේරුම් ගත්හ.
මෙසේ සියලු අන්තයන් අත්හැරි උන්වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් තම ඥාන ගවේෂණයෙහි කූඨප්‍රාප්තිය වෙත ළඟාවීමට සිතුවිලි උපදවා ගත්හ. සය වසරක අතිදුෂ්කර වූ උත්සාහයක ප්‍රතිඵලය ලෙස තමාට හිමිව තිබූ දුබල සිරුර ඒ සඳහා බාධකයක් විය හැකි බවත්, එය පෝෂණය කළයුතු බවත් උන්වහන්සේ තේරුම් ගත්හ. සිරුර පැවැත්වීමට ආහාර අවශ්‍ය බව උන්වහන්සේට වැටහිණි. දීර්ඝ කාලයක් ආහාර නොමැතිව වියළී ගිය සිරුර යථා තත්ත්වයට පත්කරගත හැකි ආහාරයක් උන්වහන්සේට අවශ්‍ය විය. සිදුහත් තවුසාණන් උරුවෙල් දනව්වේ සේනානි නම් ගම් සමීපයෙහි ඇසතු නුගරුක මුල දැහැන්ගත්තේ ඒ අරමුණ සිතේ දරාගෙනය.
නන්දික නම් කුල පුත්‍රයාගේ වැඩිමහල් දියණිය වූ සුජාතා නම් සිටු කුමරිය මෙම ඇසතු නුග රුකට අධිපතිව දේවතාවක් ඇතැයි සිතා බාරයක් වී ඇත. කුලවත් තරුණයකු සමඟ විවාහ වී පළමුවෙන් පුතකු ලැබීමේ අපේක්ෂාවෙන් ඇය මෙම බාරය වී ඇත. මෙම බාරය සපල වීමෙන් පසු එය ඉටුකිරීම යෙදී තිබුණේ වෙසක් පුන් පොහෝ දිනට පෙර දිනය. ඇය මෙම දානය සඳහා සකස් කරන කිරි මිශ්‍රිත ආහාරය සඳහා එළකිරි ලබාගන්නා ආකාරය පිළිබඳව අපූරු විස්තරයක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. බෞද්ධයන් අතර ඉතා ප්‍රචලිත මෙම කිරිපිඬු පූජාව මේ මිහිපිට යළිත් කිසිවකුට කළ නොහැකි ආකාරයේ ආහාර වට්ටෝරුවක් අනුසාරයෙන් සකස් කළ ආහාරයක් විය. බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා බෝසතාණන් වහන්සේට අවශ්‍ය කායික, මානසික ශක්තිය ලබාදුන්නේ මෙම ආහාර පූජාවෙනි. සය වසක් ආහාර පෝෂණයක් නොලබා වැහැරී ගිය සිරුරක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි ප්‍රභාසම්පන්න සිරුරක් බවට ජීවයෙන් පුරවාලීමට සමත් වූයේ මෙම අසිරිමත් ආහාරයයි.
සුජාතා සිටු දියණිය අප්‍රමාණ කැපවීමෙන් සකස් කළ මෙම කිරිපිඬු සඳහා එළකිරි සපයාගත් අන්දම ගැන පුදුමදනවන කතාවක් ඇත. ඇය එම එළකිරි ලබාගෙන ඇත්තේ අසාමාන්‍ය තාක්ෂණයක් භාවිතා කරමින්ය. එනම් එළදෙනුන් දහසකට වැල්මි දළු පමණක් ආහාරයට දී එම එළදෙනුන් දහසකගේ කිරි දොවා එම කිරි තවත් ගව දෙනුන් පන්සියයකට පානය කිරීමට සලස්වා ඇත. ඉන්පසු එම පන්සීයක් දෙනුන්ගේ කිරි දොවා, එම දොවාගත් කිරි දෙසීය පනහක් වූ කිරි දෙනුන්ට බීමට සලස්වා, එම දෙසීය පනහක් දෙනුන්ගේ කිරි දොවා තවත් එකසිය විසිපහක් කිරි දෙනුන්ට පොවා ඇත.
ඉන් අනතුරුව එම ගව දෙනුන්ගේ කිරි දොවා හැට හතරක් දෙනුන්ට පානය කිරීමට සලස්වා, එම හැට හතරක් දෙනුන්ගේ කිරි දොවා, තවත් තිස්දෙදෙනෙක් දෙනුන්ට බීමට සලස්වා ඇත. එම දෙනුන් තිස් දෙනාගෙන් දොවාගත් කිරි තවත් කිරි දෙනුන් දහසයදෙනකුට බීමට සලස්වා, එම දාසය දෙනාගෙන් දොවාගත් කිරි තවත් කිරි දෙනුන් අටදෙනකුට බීමට සලස්වා ඇත. ඉන්පසු එම දෙනුන් අටදෙනාගේ තනබුරුලුවලින් ඉබේ කිරි වැගිරෙන්නට පටන්ගෙන ඇති අතර එම කිරි නැවුම් කළ අටකට පුරවා සකස් කරගෙන ඇත.
මෙසේ දහසක් දෙනුන්ගෙන් පෙරාගත් එළකිරි නැවත නැවත පිරිසිදු වී පරිපූර්ණත්වයට පත්වී අවසන් කිරිකළ අට සකස් කරගෙන ඇත. මෙම විස්මිත ක්‍රියාවලියේදී කිරි වඩා වඩාත් පිරිසිදු බවට හා පෝෂණයෙන් ඉහළ සංඝටකයක් බවට පත්වී ඇත. සුජාතා සිටුදියණිය විසින් මෙසේ සකස් කළ ආහාරය බුද්ධත්වයට සිරුර සකස් කළ පෝෂ්‍යදායී ආහාරය වූයේය.
තවද මෙම කිරිබත් සැකසීම යොදාගත් සහල් වර්ගයේද විශේෂත්වයක් ගෙන ඇත. ‘සුවඳ හැල්’ නමින් හැඳින්වූ මෙම සහල් වර්ගය යොදා කිරිබත සැකසීමේදී එයට දර වශයෙන් යොදාගෙන ඇත්තේ අඟරු, දෙව්දුරු, කපුරු, සඳුන් සහ කළුහර යන දර වර්ගය. තවද මෙම දානය පිළිගැන්වූ මැටි බඳුනද විශේෂ වන්නේය. එය රන් කුඹලුන් ගෙනා රන් මැටියෙන් නිම කළ බඳුනක් විය. දන් පිළිගත් පසු සිදුහත් තවුසාණන් නේරංජනාවේ උඩුකුරුව පාකර හැරියේ මෙම මැටි බඳුනය. එබැවින් මෙම කිරිපිඬු පූජාව කල්ප ගණනකට එක් ස්ත්‍රියකට පමණක් කළ හැකි මහා දානයක් වන්නේ ඒ නිසාය.
ඉන්දික වික්‍රමරත්න











