පින්නවල යැයි පැවසූ පමණින්ම අපේ සිහියට නැඟෙන්නේ අලි ඇතුන්ය. ඒ පින්නවල ඉදිකර ඇති අලි අනාථාගාරය නිසාය. එදා කැලයේදී අතරමං වූ කුඩා අලි පැටවුන් නව දෙනෙක් සමඟින් ඉදිකළ මෙම අලි අනාථාගාරය තුළ වර්තමානයේදී අලි ඇතුන් අසූවකට අධික ප්‍රමාණයක් දැකිය හැකිය. දිනකට දහස් සංඛ්‍යාත පිරිසක් එන යන මෙම පින්නවල අලි අනාථාගාරය යනු දැනට ශ්‍රී ලංකාවේ ඇති එකම අලි අනාථාගාරයයි. එමෙන්ම අලි අනාථාගාරයට යන දෙස්-විදෙස් සංචාරකයන්ට මෙහිදී තවත් අමතර වාසියක් හිමිවෙයි. එනම් පින්නවල සත්ව උද්‍යානයද ඒ අසලම තිබීමයි. එම සියලු කරුණු කාරණාද සමඟින් අප අද පවසන්නේ මෙම පින්නවල අලි අනාථාගාරයේ ඔබ දන්න නොදන්න වත්මන් කතාවයි.
වනය තුළ අනාථ වන අලි ඇතුන් රැකබලාගනු ලබන ශ්‍රී ලංකාවේ එකම තැන වන්නේ පින්නවල අලි අනාථාගාරයයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයේ පින්නවල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙය වර්තමානයේ දෙස්-විදෙස් සංචාරකයන්ගේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වී තිබේ. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ලේ සිට කි.මී. 82 කණුව අසලින් හැරී කි.මී. 10ක් පමණ ගිය විට පින්නවල හමුවෙයි. දුම්රියෙන් ගමන් කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට කෑගල්ල දෙසට කි.මී. 2ක පමණ ගිය විට මෙම අලි අනාථාගාරය හමුවේ. අලි ඇතුන් සම්බන්ධ කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්‍ෂණාගාරයක් ලෙසද මෙම අලි අනාථාගාරය හැඳින්විය හැකිය. එම නිසාම පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම විදේශීය ලෙසද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධානතම සංචාරක කේන්ද්‍රස්ථානයකි.
වර්ෂ 1975දී ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අක්කර 25ක් පමණ වූ භූමි භාගයක පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළ බව සඳහන්ය. එය පසුව 1987 වර්ෂයේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබේ. 1982 වර්ෂයේදී සත්ව අභිජනන වැඩසටහනක් පවා මෙහි ආරම්භ කර ඇත. රටේ තෙත් භූගෝලීය කලාපයට අයත් වන මෙම ප්‍රදේශය තුළ පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන විට සිටියේ අනාථ අලි පැටවුන් නව දෙනකු පමණි. එහෙත් වර්තමානය වන විට එහි අලි ඇතුන් ප්‍රමාණය අසූව ඉක්මවයි. ඒ නිසාම පින්නවල අලි අනාථාගාරය හැඳින්වෙන්නේ ලෝකයේ සිටින විශාලතම අලි රංචුවේ නිවහන ලෙසයි. මෙහි විවිධ වූ වයස් ප්‍රමාණයන්ට අයත් අලි ඇතුන් ප්‍රමාණයක් එකවර දැකගත හැකිය.
පින්නවල අලි අනාථාගාරයට එක්තරා දෛනික කාලසටහනක්ද තිබේ. පෙරවරු 8.30ට සංචාරකයන් සඳහා විවෘත වන මෙහි අලි පැටවුන්ට කිරි ලබා දෙන්නේ පෙරවැරු 9.15ට පමණය. අනෙකුත් විශාල අලින්ට ආහාර ලබා දීම සිදුවන්නේ පෙරවරු 10.00ට වන අතර අලි රංචුව දිය නෑම පිණිස රැගෙන යන්නේ දහවල් 12.00ටය. පස්වරු 1.15ට පමණ නැවැත එම අලි රංචුව අලි අනාථාගාරය වෙත රැගෙන එනු ලබයි. අලි පැටවුන්ට කිරි ලබා දීම සහ අනෙකුත් අලින්ට දිවා ආහාරය ලබා දෙන්නේ පස්වරු 2.00ටය. දිනකට දෙවරක් අලි රංචුව මා ඔය වෙත ගෙන යන අතර, ඒ අනුව නැවැත අලි රංචුව මා ඔය වෙත ගෙනයන්නේ පස්වරු 4.00ට පමණය. පස්වරු 5.00ට අලි පැටවුන්ට සවස කිරි ලබා දීම සිදුකරන අතර, සියලුම අලි ඇතුන් ගාල් කිරීම පස්වරු 5.30ට පමණ සිදුකරයි. දිනය අවසානයේදී අලි අනාථාගාරය වසා දමන්නේ සවස 6.00ටය.
මෙම අලි රංචුව දිය නෑම පිණිස ගෙන යන මා ඔය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ජලාශයක් ලෙසිනි. බොහෝ විට මා ඔයේ පතුල ගල් තලාවකින් යුක්ත වන අතර, එය අලින්ට දිය නෑම සඳහා කදිම තටාකයක් බවද නොරහසකි. අලි ඇතුන් වැඩිපුරම ජලයට ප්‍රිය සත්ව පිරිසක් නිසා දිනකට දෙවරක්ම ඔවුන් මා ඔය වෙත ගෙනයනු ලබයි.
පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් වර්ග දෙකකි. එයින් එක් වර්ගයක් වන්නේ පින්නවල අනාථාගාරය තුළම උපත ලද අලි ඇතුන්ය. අනෙක් වර්ගය වන්නේ අනාථ වී අනාථාගාරය වෙතට ගෙන එනු ලැබූ අලි ඇතුන්ය. මෙහිදී අලි පැටවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ කිරිය. දිනපතා අලි පැටවුන්ට කිරි වේල් තුනක් ලබා දෙන අතර, එක් වේලකට දෙන කිරි ප්‍රමාණය ලීටර 5.5කි. එක් පැටවකුට දිනකට කිරි ලීටර් 16.5ක් පමණ අවශ්‍ය අතර, කිරි බෝතලයේ කටට රබර් බටයක් ගසා එමඟින් අපතේ යෑමකින් තොරව පහසුවෙන් පැටවුන්ට කිරි ලබා දීම මෙහිදී සිදුකරයි. මෙම පින්නවල අලි අනාථාගාරය නැරැඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය යන සංචාරක පිරිස් දෙවර්ගයම පැමිණෙන අතර, දේශීය සංචාරකයන් බහුලවම පැමිණෙන්නේ අප්‍රේල් මෙන්ම අගෝස්තු සහ දෙසැම්බර් යන මාස තුනේදීය. එමෙන්ම විදේශීය සංචාරකයන් බහුලවම පැමිණෙන්නේ දෙසැම්බර් සිට අගෝස්තු දක්වා කාලය තුළය.
රුවන් එස්. සෙනවිරත්න











