• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දුෂ්ටකමේ සෞන්දර්ය සොයා රත්මලානට

July 25, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
දුෂ්ටකමේ සෞන්දර්ය සොයා රත්මලානට
Share on WhatsAppShare on Facebook

දුෂ්ටකමට සෞන්දර්යක් තිබෙන්න පුළුවන්ද? දුෂ්ට කිව්වම ඇඟෙන්නෙ නපුරු, කපටි, රුදුරු, ආත්මාර්ථකාමී වගේ කැත චිත්‍ර. ඒ වගේද සෞන්දර්ය. සෞන්දර්ය ඇතුළෙ ඇඟෙන්නෙ ලස්සන, කලාත්මක, ආදරය දැනෙන චිත්‍රයක්. ඉතිං කොහොමද ඔය දෙක ගළපගන්නෙ. ගළපගන්න බෑ තමයි කියලා හිතුණත් රත්මලානට ඒ නොගැළපීම අදාළ වෙන්නෙ නෑ. ඇයි රත්මලාන වෙන ලෝකෙකද තියෙන්නෙ? නෑ රත්මලාන තියෙන්නෙ මේ ලෝකෙ තමයි. හැබැයි රත්මලාන වෙනම ලෝකයක්. ඒක දැනගන්න රත්මලානෙ ඉඳලම බලන්න ඕන. වරක් කැලණිය වැන්දම සියලු පව් ගෙවෙනවා වගේ වරක් රත්මලානෙ හිටියම දුෂ්ටකමටත් සෞන්දර්යක් තියෙනවද කියලා බලන්න පුළුවන්.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් රත්මලාන ජනාකීර්ණ නගරයක්. ඒ නිසා ලංකාවෙ නගරයක් කිව්වම (ලංකාවෙ නගර තියෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්) තියෙන හැම දෙයක්ම ඒ විදියටම රත්මලානෙත් තියෙනවා. ඒ කියන්නෙ අධික ජනගහනය, කැළිකසළ ගැටලු, මුඩුක්කු නිවාස, අක්‍රමවත් අනවසර ඉදිකිරීම්, අවිධිමත් ප්‍රවාහන සේවා, ජල ගැටලු, විෂ දුම, අවම පහසුකම් වගේ ඒවා අනෙක් නගරවල වගේම අඩු වැඩි වශයෙන් මෙහෙත් තියෙනවා. “අද එහෙම උනාට ඉස්සර එහෙම නොවෙයි” කියලා හැම දෙයක් ගැනම කතා කරන අපිට රත්මලානෙදි ඒ කතාව වෙනස් කරගන්න සිදුවෙනවා. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රත්මලාන එදා ඉඳලම දුෂ්ටකමත් සෞන්දර්යත් එකට එක් තැන් කරගත්ත තැනක්. අතීතයෙ රත්මල්වලින් පිරුණු කැලෑවක් තිබුණ නිසා රත්මල් ආන “රත්මලාන” වෙලා තියෙනවා. අද තියෙන බස් පාරවල් එදා වේරැස් ගඟ හා බොල්ගොඩ ගඟ හරහා ඔරු පාරුවලින් වෙළෙඳාම කරගෙන යෑමට භාවිතා වූ තොටුපළවල් එකිනෙකට සම්බන්ධ කරපු අඩිපාරවල් සහ කරත්ත පාරවල්. එහෙම බැලුවම රත්මලාන ඉස්සර ඉඳලම නගරයක් විදියට පැවතිලා තියෙනවා. තිසර සංදේශයෙ සඳහන් වෙන මොරටුවත් කොළඹත් අතර පිහිටන මාපා පටුන මේ රත්මලානය කියලා බොහෝ අය පිළිගන්නවා. කෝට්ටේ රාජධානිය කාලෙත් බොහොම සරුවට තිබුණු රත්මලාන පෘතුග්‍රීසි, ලන්දේසි ආක්‍රමණ හමුවෙ පරිහානියට පත්වෙලා ගිහින්. එදා මේ ප්‍රදේශවල වාසය කරපු සිංහල ජනයා රට ඇතුළට සංක්‍රමණය වුණු බවත් කතෝලික ආගම වැලඳගත් සුළු පිරිසක් පමණක් මෙහි රැඳී සිටි බවත් ඉතිහාසගත කතා ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා.
සමෘද්ධිමත් අතීතය වගේම රත්මලානෙ දුෂ්ටකම්වලටත් අතීතය සාක්ෂි දරනවා. අතීත රත්මලාන මිනීමැරීම්, මං පැහැරීම් හා හරක් හොරකම් ආදී දුරාචාරවලින් බහුල ප්‍රදේශයක් බව කියවෙන්නෙ රත්මලානෙන්ම හමුවන ජනකවි මගින්.
“බොහොම දුකයි සිහිවන විට මගේ ගොනා
සිලිම සිලිම එක්කරලා ගත්තු ගොනා
මැරුවෙ රත්මලානේ කොටි ජුවන් ගොනා
බැරිය වාවන්ට සිහිවෙයි මගේ ගොනා.”

රත්මලානෙන්ම හමුවන සුන්දර ජනකවි අතර මේ වගේ සිදුවීම් ගැන දුෂ්ටකතා ඕන තරම්. පුද්ගලයකුට සවස හයෙන් පසුව නිවෙසින් එළියට බැසීම පවා අනතුරුදායක වෙන තත්ත්වයට රත්මලාන පත්වූ බව අතීත කතාවල කියැවෙනවා. පණට ආදරේ ඇති කිසිම මිනිහෙක් ඔය කාලෙ හවස හයෙන් පස්සෙ ගෙදරින් එළියට අවෙ නැතිලු. මේ දරුණු ක්‍රියා නිසාම ඉංග්‍රීසි ආණ්ඩුව සූදානම් වෙලා තියෙන්නෙ “කොමියුනිටි පොලිසියක්” ඇති කරන්න. ඒ කියන්නෙ ගම්වැසියන්ගේ වියදමින් නඩත්තු කළයුතු පොලිසියක්. ඒ සඳහා අවශ්‍ය වියදම් ගම්වාසීන් ගෙවන්න ඕන. එහෙම පොලීසියක් වෙන කොහේවත් තිබිලා නෑ. මේක රත්මලානට අපකීර්තියක් වගේම ජනතාවටත් පීඩාවක් නිසා රත්මලානෙ පාසල් ඇති කරලා ජනතාව තුළ යහපත් ගුණධර්ම ඇතිකරලා රත්මලාන සන්සුන් කරන්න පියවර අරන් තියෙන්නෙ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙහි නායක හාමුදුරුවො. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක වැනි රටම ආලෝකමත් කළ මහා යතිවරයාණන් වහන්සේලා බිහිකරලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය වැනි මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල බිහිකරන්නත් මේ පරමධම්මචේතිය පිරිවෙන මූලික වෙලා තියෙනවා.

පිළිවෙළක් නැති රත්මලානෙ ඉතිහාස කතාවත් දුෂ්ටකම් වගේම සුන්දරත්වයද එකට එක්වුණු අපූරු ඉතිහාස කතාවක්. රත්මලානට පායන්නෙත් ඔබේ ගමට පායන ඉරම තමයි. හැබැයි දුම් පිටකරන කර්මාන්තශාලා රාසියක් තියෙන කර්මාන්ත පුරයක් වුණු රත්මලානට ඒ ඉරේ සැර ගමට වඩා තදින් දැනෙනවා. මෙහෙට පායන සඳත් ඔබේ ගමට පායන සඳම තමයි. හැබැයි රෑපානෙ වෙරළෙ නිදාගෙන ඉන්න විට දැනෙන සැහැල්ලුවත් එක්ක ඔබේ ගමට වඩා සඳ සෞම්‍යයි කියලා අපිට දැනෙනවා. රත්මලාන කර්මාන්ත පුරයක්. කළුදුම් අහසට පිඹිමින් ගිනියම් වෙන රත්මලානෙ කර්මාන්ත ශාලාවලට ජීවිතය දිය කරමින් මිනිස්සු කාසි හොයන්නේ ඒ කාසිවලින් සුන්දර ජීවිතයක් ගෙවන්න. වේගයෙන් නැළවෙන සන්නාලියන්ගෙ ඇඟිලි තුඩුවලින් ඇඳුම් වියවෙන්නෙ ඒ ජීවිතත් යන්තම් හෝ ගැටගසා ගන්න ඕන නිසා. දන්නවද රටේම මිනිස්සු බොහොම පරිස්සමට රට වටේම ගෙනියන කෝච්චි කැඩුණම හදන්නෙත් රත්මලානෙ. කාර්, වෑන්, බස් විතරක් නෙමයි කෝච්චි හදන හැටි උගන්නන පාසල් තියෙන්නෙත් රත්මලානෙ. ඒ නිසා ටයි කෝට්, ජාතික ඇඳුම් අඳින අය වගේම මජං ඇඳුම් ඇඳගත්ත පොත්ත සුදු උනත් කාල වර්ණ මිනිස්සු මේ රත්මලානෙ ඕන තරම් ඔබට හමුවේවි.

මැලිබන් හන්දිය ගාවින් යද්දි දැනෙන මිහිරි සුවඳට නැහැය අහකට ගන්න හිතුණෙ නැතත්, රසම රස ඩෙල්ටා ටොෆි හදන තැනින් දිවට මිහිරි රසක් දැනුණත්, සමපෝෂවල මිහිරි සුවඳට කටට කෙළ ඉනුවත්, රසම රස ග්ලූකෝරසක් දැනුණත් ඒ හැම එකක්ම උණුසුම් කර්මාන්ත ශාලා. රටටම රස මිහිර බෙදන්න රත්මලානෙදි ගිනියම් වෙන්නෙ ඒවයෙ වැඩ කරන දහස් සංඛ්‍යත කම්කරුවන්ගෙ බඩ කටවලුත් පුරවන ගමන්. කලබලකාරී ගොරහැඩි ශබ්ද නගන කර්මාන්න ශාලාවලින් එළියට එන්නෙ නිවී සැනසිල්ලේ රස විඳින්න පුළුවන්, රස නහර පොපියන රස ගුලාවක්. ඕනම ලෙඩකට දුකකට අපේම රටේ සුවය අරන් රජයේ බෙහෙත් එළියට එන්නෙත් රත්මලානෙන්. එහෙම බැලුවම දුෂ්ට වටපිටාවෙන් බිහිවෙන්නෙ රසවත් සුවදායක සුන්දර ප්‍රතිඵල. ඒ තමයි රත්මලානෙ හැටි.

සත් පියුමින් සුසැඳි විල්, මල් පිරුණු උද්‍යාන, ගුම් ගුම් නද දෙන බඹරු, නේක වර්ණ මල්වල රොන් සොයා යන සමනලුන්, දෑත් පලවා මල් ගොමු මැදින් පියමං කරන පෙම්වතුන් මම මෙහෙම කියනකොට කෙනෙක් අහයි “තමුසෙට පිස්සුද ඕයි” ගිනියම් කර්මාන්තශාලා, වාහන තදබදයෙන් මිරිකෙන ගාලුපාර, තවත් රුපියලක් හරි වැඩියෙන් හොයාගන්න ඩාදිය වගුරන කම්කරුවො, මහ හයියෙන් අඬන ජූකීමැෂින් ඇතුළෙ ජීවිතය වියමන් කරන සන්නාලියො මැද්දෙ එහෙම තැන් කොහෙද? ඒක තමයි මම කිව්වෙ, රත්මලාන එහෙම තමයි. රත්මලාන ගුවන්තොටුපළ පහුකරලා ඇතුළට යන්න ඒක ඔබටම සහතික කර ගන්න පුළුවන්. රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයට එක් වරක් හෝ ඇවිත් තියෙනවා නම් එවැනි සොඳුරු උද්‍යානයක් මේ රටේ වෙන කොහෝවත් නැති බව ඔබටම දැනිලා ඇති. අහස තුළ තම අණසක පතුරුවා විශ්‍රාම ගිය දැවැන්තයන් අතර මල් ගොමු මැදින් ඇවිද යද්දි, හංසයන් පිහිනා යන විල් තෙරට වෙලා ආහාරයක මිහිර විඳිද්දි, උද්‍යානයෙ බංකුවක් මත වාඩිවෙලා පෙම්වතා හෝ පෙම්වතිය සමග දොඩමළු වෙද්දි මේ ඉන්නෙ රත්මලානෙමද කියලා ඔබට සැකයක් ඇතිවෙයි.

රාවණා රජ්ජුරුවන්ට පසුව ලංකාවෙ මිනිස්සු මුලින්ම අහසට නැග්ගෙත් රත්මලානෙන්. කොළඹ ගුවන් තොටුපළ කිව්වට ඒක තියෙන්නෙ රත්මලානෙ. දැන් ලෝකෙට යන්න ඕන තරම් තැන් තිබුණට ඉස්සර තිබුණෙ මෙතැන විතරයි. දැන් රට යන්න තැන් ගොඩක් තියෙන නිසා මෙතැන කරන්නෙ පියාඹන්න පුරුදු කරන එක. ඒ නැතත් පියාඹන එක, පාවෙන එක රත්මලානෙ අයට අරුමයක් නෙමෙයි. හැන්දෑ යාමෙ අඳුරු මාවත් දිගේ පියමං කළොත් නිදහසේ පාවෙන මිනිස්සු ඕන තරම් මෙහේ ඉන්නවා. පාවෙන මිනිසුන්ට පිටගංකාරයො කියන්නෙ “කුඞ්ඩො” කියලා. කුඞ්ඩො කියන්නෙ කුඩුවලට ඇබ්බැහි වුණු වැලක රෙද්දක්වත් බේරගන්න බැරි ජාතියක්. තියෙන්නෙ ඇඟ පත දිරාගිය පරඬැල් වගේ ශරීර. එහෙම උනාට දොඹකර දාලා ඔසවන බර යකඩ තහඩු ක්ෂණයෙන් උස්සන්න මෙහේ කුඞ්ඩන්ට පුළුවන්ලු. දොඹකරෙන් බාපු තහඩුව තේ එකක් බීලා එන ඩිංගට වාෂ්ප වෙලා කියලා මෙහේ කර්මාන්තශාලාවක අයියා කෙනෙක් මා එක්ක කියලා තියෙනවා.

රත්මලාන තරම් ලෝකෙට දොරටු ඇරපු තැනක් නැතිව ඇති. මෙහේ එකිනෙකට මූණ බලාගත්තු රජයේ විශ්වවිද්‍යාල දෙකක්ම තියෙනවා. ඒ දෙකම වෙනස්ම සරසවි දෙකක්. එකක් ආරක්ෂක උපාධිධාරීන් බිහිකරන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය. අනික තාක්ෂණික දැනුමෙන් උපාධි ගන්න පුළුවන් ලංකාවෙ පළමු තාක්ෂණික විශ්වවිද්‍යාලය වන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. උසස් පෙළ වගේ විභාග නැතත් හැකියාව දක්ෂතාව තියෙනවා නම් උපාධියක් දක්වාම ඉගෙන ගන්න පුළුවන් ලංකාවෙ එකම තැනත් මේ විශ්වවිද්‍යාලය විතරයි. ජර්මානු කාර්මික විද්‍යාලය, ජර්මන් දුම්රිය කාර්මික විද්‍යාලය, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, ඇඟලුම් හා පේෂකර්ම අභ්‍යාස ආයතනය, කාර්මික විද්‍යාලය, ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනය වගේ තරුණ දරුවන්ට අභිමානයෙන් ලෝකය දිනන්න දොරටු විවෘත කරපු නිපුණතා පරාදීසයක් මේ රත්මලාන. මේ නිසා රත්මලානෙන් බහින්නෙ පොත් පාඩම් කරලා විභාග පාස්වෙලා හොඳ ළමයි කියලා අහගත්තු අය නෙමෙයි. මැට්ටො, මෝඩයො කියලා දෙකේ කොළේට දාපු අය. හැබැයි උන් රත්මලානෙන් යන්නෙ ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම තමන් වැඞ්ඩො කියලා පෙන්නලා.
ඒ නිසා රත්මලාන අඩුපාඩුවලට බයවුණ නගරයක් නෙමෙයි. මේ නිසාම විශේෂ අවශ්‍යතා නිසා සාමාන්‍ය පාසල්වල දොරවල් වැහුණු අන්ධ බිහිරි දරුවො මුළු ලෝකයම ගොඩදාගන්නෙ මෙහෙට ඇවිත්. අන්ධ, බිහිරි දරුවන් වෙනුවෙන් ලංකාවෙ මුලින්ම පාසලක් ඇරඹෙන්නෙ මේ රත්මලානෙ.ඒ රත්මලාන අන්ධ විද්‍යාලය සහ බිහිරි විද්‍යාලය. මේ විද්‍යාල දෙක බිහි නොවෙන්න තාමත් අන්ධ බිහිරි දරුවන්ට උරුම ගෙයි දොර මුල්ල විතරයි. අතේ ඇඟිලිවලින් කතා කරමින්, ඇඟිලි තුඩුවලින් අතගාමින් ඉගෙන ගන්න මේ දරුවො අනිත් සාමාන්‍ය දරුවො වගේම මේ ලෝකයෙ දෙපයින් හිටගන්නෙ බොහොම ආඩම්බරයෙන්. රත්මලානෙ ඒ ආඩම්බරකාරයො බිහිකරන හන්දියට ලංකාවෙ මිනිස්සු දීලා තියෙන්නෙ හරිම කැත නොහොඹිනා නමක්. “ගොළුමඩම හන්දිය” සුන්දරත්වයක් නොදකින දරුවන්ට සුන්දරත්වයක් ලබා දීපු තැනට දීපු ඒ නම මොනතරම් දුෂ්ටද? මිනිස්සු එච්චරටම දුෂ්ට නිසා “ගොළුමඩම කියන්න එපා මාමෙ” කියන පුවරු අල්ලගත්ත ළමයි අවුරුද්දකට පාරක් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ දිනයෙදි පාසල ඉදිරියේ ඉන්නවා දකින්න පුළුවන්.

රත්මලානෙ වැඩිහරියක් තියෙන්නෙ අමුතු හන්දි. ගොළුමඩම හන්දිය, බෙලෙක් කඬේ හන්දිය, මැලිබන් හන්දිය. බ්ලොක් කියන සුද්දගෙ නම හරියට කියා ගන්න බැරි වුණ නිසා නම් ලද බෙලෙක්කඬේ හන්දියෙන් යන්න තියෙන්නෙ දුම්රිය කර්මාන්ත ශාලාවට. කලබලකාරී පිළිවෙළක් නැති බෙලෙක්කඬේ හන්දියට වෙලා උපේක්ෂාවෙන් රත්මලාන දිහා බලාගෙන වැඩ ඉන්න බුදුන්වහන්සේ මේ ජීවිතයෙ තියෙන දුෂ්ටකමේ සෞන්දර්ය බොහොම අපූරුවට චිත්‍රණය කරනවා. අමාරුවෙන් හදන නිෂ්පාදන බයිසිකලේ බැඳන් ගෙවල් ගානෙ ගිහින් විකුණලා මහා පරිමාණ කර්මාන්ත බිහිකරපු මැලිබන් මුදලාලි, සිඬාලේප වෙද මහත්තයා වගේ අය හමුවෙන්නෙ මිහිරි සුවඳ විසිරෙන මැලිබන් හන්දියෙදි. ව්‍යාපාර විතරක් නෙමෙයි කලාව අතිනුත් මෙහේ ඉන්නෙ දක්ෂයො.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා එහෙමත් මෙහේ කෙනෙක්. වෙසක් එකට ලංකාවෙ ලොකුම කූඩුව හදන්නෙත් රත්මලානෙ. රත්මලානෙ මහා පහන්කූඩුව කිව්වම නොදන්න කෙනෙක් නෑ. ඒ වගේම සර් ජෝන් කොතලාවල, ලලිත් ඇතුලත්මුදලි වගේ දැවැන්ත නායකයොත් රත්මලානෙන් හමන සුළඟෙ පහස විඳපු අය.

සාමාන්‍යයෙන් ගෙවල් හදන්නෙ ගෙදර ඉදිරිපස ප්‍රධාන පාරට දාලා කුස්සිය, වැසිකිළිය පිටුපසට දාලා. හැබැයි මෙහේ වෙනස්. මෙහේ ප්‍රධාන පාරට දාලා තියෙන්නෙ වැසිකිළිය සහ කුස්සිය. ප්‍රධාන දොරටුව පිටුපසට. නෑ කියලා කියනවා නම් 117 රත්මලාන බස් එකක දුම්රියපළ පැත්තට ගිහින් බලන්න. මහත්තුරු වැඩට ගියාම ගෙවල් ඇතුළට රිංගන ඝරසරපයො වගේම එයාලව බෙදා ගන්න බැරිව මහපාරේ කෙස්වලු පටලවා ගන්න උදවියත් මෙහේ ඉන්නවා. තාත්තා වැඩට ගියාම අම්මව හොයන් එන මනුස්සයට දූවත් දෙන අම්මලා මෙහේදී මට හමුවෙලා තියෙනවා. හැමදාම වැඩිහිටියන්ට විතරක් වෙන්වුණු චිත්‍රපට පෙන්වන සිනමා ශාලා තියෙන්නෙ මෙහෙම විතරයි. කිව්වට විශ්වාස කරන්න “ෆෝන්වලට බ්ලූ ෆිල්ම් දමනු ලැබේ” කියලා කඬේ ඉස්සරහා දැන්වීම් පුවරුවෙ දාලාම ව්‍යාපාරෙ කරන්න තරම් හයියක් තියෙන අය ඉන්නෙ මෙහේ විතරයි. ඔය සමාජ ජාලාවල සැරිසරන ඒ දැන්වීම් පුවරුව මෙහේ එකක්.

ඒ දුෂ්ට කතාව ටිකකට අමතක කරලා ගොළුමඩම හන්දියෙන් බැහැලා බොරුපන පාරෙ ඇතුළට යන කෙනෙකුට කුණුවලින් දූෂණය වුණත් රත් මානෙල් පිපුණු බොල්ගොඩ ගඟ පහුකරලා කරදියාන කුණු කන්දට යන්න පුළුවන්. සමගිපුරට වගේම ඇපල් වත්තට යන්න තියෙන්නෙත් මේ පාරේ. විශ්වවිද්‍යාල දෙකක්, කර්මාන්තශාලා, හමුදා කඳවුරු, නිවාස සංකීර්ණ, වෘත්තීය පුහුණු ආයතන රැසක් තියෙන නිසා දහස් ගණනක් මේ පාරේ ආවා ගියත් මේ පාරෙ යන එන අයට බස් රථ වෙනුවට තියෙන්නෙ ත්‍රිරෝද රථ. සාමාන්‍ය හන්දිවල කුලී ගමන් යන ත්‍රිරෝද රථ ගාලක් පමණක් තිබුණත් මෙහි කුලී ගමන් යන ත්‍රිරෝද රථ ගාලට අමතරව පොදු මගීසේවා ත්‍රිරෝද රථ ගාලකුත් තියෙනවා. එයින් බස් වෙනුවට ඒ සේවය සපයනවා. මෙහි එක් ත්‍රිරෝද රථයකට මගීන් තිදෙනෙක් ගොඩ වුණාට පසුව එය පිටත් වෙනවා. ගමනාන්තය වන බොරුපන දක්වාම ගියත්, මගින් බැස්සත් එක් අයෙකුට ගාස්තුව රුපියල් 20යි. නැවත ගොළුමඩමට එද්දි මගීන් බස්සවා ආපසු එන ත්‍රිරෝද රථයක එන්න පුළුවන්. ආපසු ඒමේදි අය කරන්නෙ රුපියල් 10 වගේ සාධාරණ මුදලක්.

මල් පිරි විල් වගේම කුණු පිරි කානුත් එකම පාරේ දෙපැත්තෙ මේ රත්මලානෙදි හමුවෙනවා. බොරුපන පාර දිගේ ගියාම සුවඳ හමන මල් ගොමු පිරි ගුවන් හමුදා කෞතුකාගාර උද්‍යානයට යන්නත් පුළුවන්. හැබැයි කරදියාන කුණු කන්දට කුණු අරන් යන රථ මේ පාරේ නිතරම ගමන් කරන නිසා මේ පාර දෙපස නිරන්තරයෙන් තියෙන්නෙ ඉවසිය නොහැකි දුර්ගන්ධයක්. ඒ තමයි රත්මලානෙන් හමුවන දුෂ්ටකමේ සෞන්දර්ය. බොහොම අමාරුවෙන් ජීවිතේ අල්ලා ගෙන ගොඩදා ගන්න අය වගේම අමාරුවෙන් ගොඩදා ගත්ත ජීවිතේ බොහොම පහසුවට දිය කරන අයත් මේ රත්මලානෙ ඉන්නවා. ගෙදර දරුවන්ට කන්න බොන්න දෙන්න කීයක් හරි හොයා ගන්න ඇඟලුම් කම්හලේ ජීවිතය අමුණන අය වගේම ගෙදර මිනිහගෙන් බේරිලා නිදහස සොයාගෙන ආපු අයත් මෙහෙදි හමුවෙනවා. පෙම්වතුවන් විදියට නැතිනම් විවාහ වෙලා මෙහෙට එන අය අලුත් පෙම්වතුන්/වතියන් හොයාගෙන, අලුත් විවාහයන් කරගෙන මෙහෙන් යනවා. රණ්ඩු සරුවල් නොවීම පරණ ගිවිසුම් අවලංගු වෙනවා. රත්මලානෙ හැටි එහෙමයි.
රත්මලානෙ කතාව එහෙම වුණත් මේ හැම දෙයකම වැඩි පංගුවකට හිමිකම් කියන්නෙ රත්මලානට පිටින් ආපු පිටගංකාරයො. ස්ථිරව හිටියත් තාවකාලිකව හිටියත්, නීත්‍යානුකූලව හිටියත් අනවසරයෙන් හිටියත් රත්මලාන හදලා තියෙන්නෙ ඒ අය. රත්මලානෙ අනන්‍යතාව ඒ අය. මේ ලියන මමත් පිට ගමකින් රත්මලානට ඇවිත් ජීවිතේ ගොඩ දාගෙන රත්මලානෙන් ගිය කෙනක්. ඉතිං දැන්වත් ඔබ විශ්වාස කරනවද දුෂ්ටකමටත් සෞන්දර්යක් තියෙන් පුළුවන් කියන එක. නෑ කියලා හිතෙනවා නම් රත්මලානට ඇවිත් බලන්න. හැම තැනම තියෙන දුෂ්ට නගර අතරේ සෞන්දර්යකුත් තියෙන තැනක් රත්මලානෙදි ඔබට හමුවේවි.
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

සේද මාවත දිගේ සිනමාවට ආපු අංජුමාලා

Next Post

සීතාවක රාජසිංහ රාවණගේ දෙවැනි උපතද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.