නාගරික ප්‍රදේශයක ජීවත් වූ තරුණයකු සිය ඥාති නිවෙසක මරණයකට සම්බන්ධ වීම සඳහා පැමිණියේ තනියමය. දහවල් කාලයේ පැමිණ මරණ ගෙදර පැවැති නිවෙසට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි වෙනත් ඥාතියකුගේ නිවෙසට පැමිණි ඔහු එම නිවෙසේ පදිංචිව සිටි අවැස්ස මාමණ්ඩිය සහ නැන්දණියත් තවත් කිහිප දෙනෙකුත් සමග මරණයට සම්බන්ධ වීමට යෑම සඳහා පිටත් වුවද, ඔහුගේ සිත තිබුණේ නිවෙසේ තනිව නතර වූ නෑනා ගැනය. ඔයත් යමු යැයි ඇවටිලි කළත් ඇය ඊට පැමිණියේද නැත.
තරමක් සංකර ගති ගුණ හිමි තරුණයා නෑනා ගැන සිතමින් මරණයට සම්බන්ධ වුවද, ඔහු සිටියේ ඉක්මනින් ආපසු පැමිණෙන සිතුවිල්ලෙනි. එහෙත් අනෙක් පිරිස පසුදා යන අදහසින් එහි නතර වීමට තීරණය කර දියණියට ඇමැතුමක් දී අසල්වැසි ඥාති නිවෙසක නතර වෙන්නැයි දැනුම් දුන්නේ තරුණයාගේ දුරකථනයෙනි.
‘මටත් කොළඹ යන්නයි හිත මාමේ යාළුවෙකුත් හම්බවුණා, මං යනවා.’
තරුණයා එසේ පවසා කිසිවකු නැති තැනකට ගොස් සිය නෑනණ්ඩියට ඇමැතුමක් ගත්තේය. කිහිප වතාවක් උත්සාහ කළ විට අනෙක් පසින් ඇමැතුමට සම්බන්ධ වූයේ සිය නෑනණ්ඩියයි.
‘ඔයා ගෙදර ඉන්න අපි දැන් එනවා’ එසේ කියා අනෙක් පිරිසට බොරුවක් පැවැසූ තරුණයා මහ රැයේම මරණ ගෙදරින් පිටත්ව ආවේ තමා පැමිණි යතුරුපැදියෙන්මය. ගම්බද මාර්ග නිසාදෝ තරමක් පාළුවට ගොස් තිබුණේය. තරුණයාට යම් බියක් සහ සැකයක්ද ඇති විය. වැව් කණ්ඩි වන ලැහැබ පසු කරමින් පැමිණි ඔහු සිය මාමණ්ඩියගේ නිවෙසට යෑමට ඇති මාර්ගයට යතුරුපැදිය හරවද්දී තරුණියක පාර අයිනේ සිට අත දැමුවාය.
රූමත් තරුණියක දුටු තරුණයා යම් තරමකට අමුතු ප්‍රබෝධයකටත්, කුතුහලයකටත් පත්විය. තරුණිය සිය යතුරුපැදියේ නංවාගෙන යෑමට ඔහුගේ සිත තුළ අමුතු ආශාවක්ද හටගත්තේය.
‘ඇයි නංගි’
තරුණයා යතුරුපැදිය නතර කරමින් ඇසුවේය.
‘අයියා මාව ඉස්සරහ වැව ළඟින් දාලා යනවද?’
‘අයියෝ ඕක මොකද්ද යමු යමු…’
තරුණයා කැමැත්ත දෙන්නටත් පෙර තරුණිය යතුරුපැදියට නැගගත්තේය ඇගේ සිරුර සිය සිරුරේ ස්පර්ශ වෙතැයි සිතමින් ගමන අතර තුර කිහිපවතාවක් තිරිංග තදකළද එවැන්නක් නොවීම ඔහුගේ පුදුමයට හේතුවක් විය. ඇගේ මුහුණ දැකගන්නා අදහසින් පැති කණ්ණාඩිය කරකැවුවද ඇගේ රුව දැකගන්නට හැකි කෝණයකට එය ගන්නට ඔහුට නොහැකි විය. යන්තමින් ඇගේ ගත රැඳි සුදු සායේ පොටක් පමණක් එහා මෙහා යනවා ඔහුට පෙනිණි.
විවිධ සිතුවිලි සිතපුරා සැරිසරද්දී ඇය පැවැසූ වැව අසල යතුරුපැදිය නතර කළ තරුණයා ඉතා උනන්දුවෙන් බලාගෙන සිටියේ ඇගේ ස්තුතිය අපේක්‍ෂාවෙනි.
‘නංගි මෙතැනින් කොහාටද යන්නේ. මේ හරිය පාළුයිනේ යමු මං ගේ ළඟින් දාලා එන්නම්.’
ඊට සිනාවකින් පිළිතුරු දුන් තරුණිය එතැනින් යන්නට යද්දී ඔහුගේ ඇස ගැටුණේ ඇගේ පිටුපස ප්‍රදේශයයි. අදහාගත නොහැකි තරමේ තුවාලයක් ඇගේ පිටුපස ප්‍රදේශයේ තිබෙනු දැක ඔහු තැති ගත්තේය. අවසානයේ යතුරුපැදිය පණගන්වා ගෙන වේගයෙන් ඉදිරියට ගිය ඔහු සිය ඥාති නිවෙස ඉදිරිපිටදී යතුරුපැදියෙන් වැටී සිහිසුන් විය. එම හඬ ඇසී එතැනට පැමිණි ගම්මුන් ඔහුව ගමේ වෙද මහතා අසලට ගෙන ගියේය.
සිහි ලැබුණු විගස සිදුවූ සියල්ල ඔහු අකුරක් නෑර පැවැසුවේ තැතිගැන්මෙනි.
‘මෝහිනිගෙ අවතාරයට බයවෙලා තියෙන්නේ. ඔය තුවාලය තියෙන්නෙ මෝහිනීට.’
වෙද මහතා කරුණු පැහැදිලි කරදුන්නේ සියල්ල විස්තර කරමිනි.
මේ එක්තරා සිදුවීමකි. මෙවැනි සිදුවීම් රැසකම රූමත් තරුණියකගේ පිටේ ඇති තුවාලයක් දැක තරුණයන් සේම වැඩිහිටි පිරිමින්ද බියට පත්ව ඇති බව පැවසේ. අද මෙන්ම අතීතයේදී මෙවැනි පුවත් බොහෝ අසන්නට ලැබේ. කෙසේ නමුත් මෝහිනීගේ පිටෙහි ඇති සුව නොවන තුවාලය ගැන ඇත්තේද අමුතුම කතාවකි.
දිර්ඝ කාලයකට එහා අතීතයේ දිනයක මෝහිනී සිය සමීපතමයකු වූ යම දෙවියන් සමග මනුෂ්‍ය ලෝකයේදී රංගනයකට එක්ව තිබේ. එහිදී දෙදෙනා අතර සිදුවූ වැලඳ ගැනීමකින් යමගේ ලිංගේන්ද්‍රය මෝහිනීගේ පිට ප්‍රදේශයේ වැදීමෙන් තුවාලයක් හටගෙන තිබේ. එසේ ලිංගික ක්‍රියාවලිය නිසිලෙස සිදු නොකිරීමෙන් හටගන්නා තුවාල සුව නොවී විෂබීජ ඇතුල් වී බරපතළ තත්ත්වයට පත්වන්නා සේම මෝහිනිගේ තුවාලයද සුව නොවන තත්ත්වයට පත්ව තිබේ. මේ නිසාම අයථා අයුරින් කායික සැපත සොයන්නන් කෙරේ මෝහිනි කුපිතව කටයුතු කරන බවත් ඇගේ බැල්ම එවැන්නන් හට වැටෙන බවත් ජනප්‍රවාදයේ පැවත එයි.
මෝහිනිගේ දිෂ්ඨිය ඇතිව මියයන කෙනෙක්, නම් මියයන මොහොතේ ඇතිකර ගන්නා නරක සිතුවිලි හේතුවෙන් නරකයේ ඉපිද පරම්පරා ගණනක් දුක්විඳින බවද පැවසේ. එමෙන්ම අනෙකකු පීඩාවට පත්කොට කායික සැපත සොයන්නන් මෝහිනිගේ බැල්ම නිසා මරණින් පසු යක්‍ෂ, ප්‍රේත ආත්මවල ඉපිද අනන්තවත් දුක් විඳින බවටද විශ්වාසයක් වෙයි.
එවැනි පුරුෂයන් ගැන මෝහිනියට විශේෂ ඉවක් ඇති බවත් කොහේ කොතැනක එවැන්නකු සොයාගෙන ඒමේ හැකියාව ඇය සතු බවත් ජනප්‍රවාදයේ පැවැත එන්නකි.
මේ හේතු කාරණා මැනවින් තේරුම් ගෙන අයථා ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළැකී නිසි ආකාරයට ජීවත් වීමට සියලු දෙනා කල්පනාකාරී විය යුතුය. එසේම යම් ලෙසකට මෝහිනිගේ බැල්මට හසුවුවහොත් ඉන් ගැලවීමට පුද පූජාවන් රැසක් කිරීමට සිදුවනු ඇත. එසේ කිරීමෙන්ද ගැලවීමට නොහැකි තරමට ප්‍රබල ලෙස මෝහිනිගේ බැල්ම වැටුණු අයද ඉඳහිට හමුවන බව ජන විශ්වාසයයි.
කුමාර රත්නායක











