• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොටුවෙ කට්ටිය පිටකොටුවට ආපු කයිමන් දොරකඩ

November 7, 2020
in Mahawanshaya
Reading Time: 5 mins read
A A
කොටුවෙ කට්ටිය පිටකොටුවට ආපු කයිමන් දොරකඩ
Share on WhatsAppShare on Facebook

“පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා”


කයිමන් දොරකඩ? මොකක්ද ඒ? ඒ කිව්වේ අර සෙලෙස්තිනා බලා සිටියා කියන තැනද? එතකොට ඒකටමද කොළොම්පුරේ කිඹුල් දොරටුව කියන්නෙත්?

ඔව්… ඒ එතන තමයි… එන්න අපි යමු! ගිහිල්ලා කයිමන් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුණු කතන්දරේ දැනගෙන එන්න.

කොළඹ රජ වීදිය (KONINGS STREET, KINGS STREET) නමින් එදා හැඳින්වූ පිටකොටුවේ කෙළින් වීදියේ (MAIN STREET) කෙළවරේ කොළඹ ගෑස්පහ හන්දියේ ඇත්තේ පැරණි නගර ශාලාවයි. එය ටිකක් පසුකොට වරාය දෙසට එන විට හතරවැනි හරස් වීදිය බෝඞ් ලෑල්ල ඔබට හමුවේ. එතැන සීනු කණුවක් වටකොට කිසිවකුට යා නොහැකි ලෙස කොළ පැහැති දැල් වැටක් ගසා ඇත. සීනු කණුව මුදුනේ කපුටු බෝ ගසක් කදිමට පැළවී තව නොබෝ කලකින් බිම පත බෑවෙන ලෙස යන්තම් ඉරිතළාද ඇත. ගසා ඇති දැල් වැට අතරින් සීනුව අසල සවිකොට ඇති බෝඞ්ලෑල්ල කියවීමටද අපහසු වුවත් එහි සඳහන්ව ඇත්තේ එය පුරාවිද්‍යා ස්මාරකයක් බව පමණි. මෙය අතීතයේ කයිමන් දොරකඩ ඝණ්ටාර කුලුනු (BELFRY AT KAYMAN’S GATE) නමින් හැඳින්වුණු මේ සීනු කණුව හා ලෝ පුරා ප්‍රකට වූ ඓතිහාසික උරුමයක් වූ කොළඹ කොටුව හා බැඳි මෙම වස්තූන් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී තිබීම කෙතරම් අවාසනාවක්ද.
මෙතරම් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් කිසිවකුට සමීපයට යා නොහැකි ලෙස වැටක් ගසා ඇත්තේ ඇයි දැයි කිසිවෙකුටවත් නොතේරෙන කරුණකි. පාරට පෙනෙන ලෙස නිකල් ප්ලේට් තහඩුවක හාරන ලද අකුරෙන් මුද්‍රණය කළ සටහන කියවීමට පවා අපහසුය.

මෙම ඝණ්ටාර කුලුන අසල ඇති සටහන අනුව පෙනී යන්නේ ලන්දේසින් විසින් කොළඹ නගරය පෘතුගීසින්ගෙන් අත්පත් කර ගන්නා විට දැනට කොටුව නමින් හැඳින්වෙන පෙදෙසේ පෘතුග්‍රීසීන් විසින් ඉදි කරන ලද ඔවුන්ගේ ප්‍රධානතම බලකොටුව තිබූ බවයි.



1554දී පෘතුග්‍රීසීන් විසින් මෙම බලකොටුව ආරක්ෂක උපක්‍රමයක් ලෙස සාදා නිම කොට ඇත්තේ දෙස්/ විදෙස් හමුදා ප්‍රහාරයන්වලින් බේරී, ආරක්ෂා සහිතව සිය මාලිගා, මන්දිර හා නිවෙස් ඉදි කිරීමටත්, සිය වෙළෙඳ කටයුතු පහසු ලෙස පවත්වාගෙන යාම සඳහාත්ය. අද හැඳින්වෙන කොළඹ කොටුව, ඕල්කට් මාවත බේරේ වැව සහ අවට ප්‍රදේශය වට කරමින් ඔවුන් විසින් කබොක් ගල්වලින් විශාල ප්‍රාකාරයක් බඳිමින් මෙම බලකොටුව නිමවා ඇත. එම විශාල තාප්පයෙන් කොටු වූ එම ප්‍රදේශය කොළඹ කොටුව ලෙසත්, එම තාප්පයෙන් පිටත ප්‍රදේශය පිටකොටුව ලෙසත් පසු කාලයේදී නම් වී ඇත. බි්‍රතාන්‍ය ලේඛක ජෝන් කාපර් විසින් ‘ඕල්ඞ් සිලෝන්’ ග්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ, මේ කොටු පවුර කබොක් ගලින් නිමවා හුණු පිරියම් කොට ඇති අතර මෙහි පිටත ප්‍රාකාරය ගං ඉවුරට සමාන්තරව මුහුදු වෙරළ දක්වා පැතිරි තිබී ඇති බවයි.

මෙම බලකොටුවට නැඟෙනහිර දෙසින් ඇතුළු වීමට ප්‍රධාන පිවිසුම ඉදිවී තිබූ අතර එය විශාල ආරක්ෂක දොරටුවක් සහිත විය. මෙම ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St.John’s Canel) මතින් ඉදිවුණ පාලම වෙතයි. පාලම ඔස්සේ බලකොටුවේ ප්‍රධාන පිවිසුමක් වන මෙම දොරටුව වෙත පැමිණිය යුතු නිසාම, බලකොටුවට සුවිශේෂී ආරක්ෂාවක් ඒ හරහා සැකසී තිබිණි. ඒ නිසාම පෘතුගීසින් විසින් මෙම ආරක්ෂිත පාලම සහිත දොරටුව හැඳින්වූයේ “PUENTE REINA” හෙවත් “රැජින පාලම හෙවත් රැජින දොරටුව” ලෙසයි.

1656 දී පෘතුගීසි යුගය නිම වී ලන්දේසි යුගය ඇරඹෙන විටත් කොළඹ වඩාත් ඉඩකඩ ඇති බලකොටු නගරයක් ලෙස සකස් වී තිබුණු බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. කොටුව වටා තිබූ පවුර සැතපුම් තුනක් වූ අතර පවුරේ තැන තැන අට්ටාල දාහතරක් වූ බව කියවේ.

පෘතුග්‍රීසීන් විසින් ඉදි කළ මෙම කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුව වූ රැජින පාලමට ‘කයිමන් දොරටුව‘ හෙවත් කිඹුල් දොරටුව ලෙසින් නම තැබුවේ ලන්දේසින් විසිනි. එයට විශේෂ හේතුවක් විය. ඒ ඉහතින් සඳහන් සාන්ත ජෝන් ඇළ යාවී තිබී ඇත්තේ බේරෙ වැවටය. බේරෙ වැවේ කිඹුලන් සිටි බවත් එම කිඹුලන් මේ ඇළ මාර්ගය ඔස්සේ කයිමන් දොරටුව අසල ජලාශයේ කුණු කසළ ආදිය කා දමමින් ජීවත් වූ බව කියවේ. හැම විටම කිඹුලන් ගැවසුණු ස්ථානයක් නිසා මෙම ස්ථානය ලන්දේසින් විසින් ‘KAIMAAN POORT’ හෙවත් කයිමන් දොරටුව ලෙස නම් කොට ඇත. කයිමන් යනු ඇමෙරිකානු /ඉන්දියානු වචනයක් වූ ‘ගෙයිමන්’ යන වචනයෙන් බිඳී ‘කයිමන්‘ ලෙස ලන්දේසි භාෂාවට එක් වූ වචනයකි. එහි අරුත ‘දැවැන්ත කිඹුලා’ යන්නයි. ‘KAIMAAN POORT’ යන්න ඉංග්‍රීසියට ‘KAYMAN’S GATE’ ලෙසත් එය සිංහල බසට කයිමන් දොරකඩ ලෙසටත් පෙරළුණා.

කයිමන් දෙරකඩ ඉදිවී ඇති මෙම කුලුන සහිත දොරටුවේ ඉහළ කොටස ආරක්කු හැඩයකින් යුක්තය. මෙහි ශීර්ෂය කේතු රූපාකාර මෝස්තරයකින් යුතුය. එහි සවිකොට ඇති ඝණ්ටාරය නිමවූ ලෝහය ගැන නිෂ්චිත සටහනක් නැත. එය දහසය වෙනි සියවසට අයත් බව සැලකේ. අද එය මුළුමනින් කුළුගැන්වී ඇත. මෙය පෘතුග්‍රීසින් විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරනු ලැබු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ ඝණ්ටාරය බව ඓතිහාසික තොරතුරුවලින් කියවේ. පසු කාලෙක ලන්දේසින්ගේ අතින් බොහෝ කතෝලික දේවස්ථාන විනාශ වන විට, එම දේවස්ථානයද විනාශ වූ අතර, එහි ඇති වටිනා ඝණ්ටාරය ලන්දේසීන් විසින් කොළඹ බලකොටුවේ කයිමන් දොරකඩ පිවිසුමේ නව ඝණ්ටාර කුලුනක් ඉදිකොට එහි මෙම වටිනා ඝණ්ටාරය සවිකළ බව විශ්වාස කිරීමට සාක්ෂි ඇත.


මෙම ඝණ්ටාරය ලන්දේසීන් හට කයිමන් දොරකඩ සවි කිරීමට තරම් වැදගත් හා වටිනාකමක් ඇති වූයේම, එහි වෙනත් ඝණ්ටාරවල මෙන් මුද්‍රා කොට තිබුණේ එහි නිෂ්පාදිත වර්ෂය හෝ නිපදවූ තැනැත්තාගේ නම පමණක් නොවීමයි. එහි “Ave Maria” gratia plena” Dominus tecum” Benedicta tu in mulieribus” et benedictus fructus ventris tui” Jesus’” ලෙස ලතින් භාෂාවෙන් ලියැවුණු ක්‍රිස්තියානි යාච්ඤා කොටස මුද්‍රා වී තිබුණි. එය ඉංග්‍රීසි භාෂාවෙන් “ Hail Mary” full of grace” The Lord is with thee’ Blessed art thou among women” and blessed is the fruit of thy womb” Jesus” ලෙසටත්, සිංහලෙන් එය “නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පුර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්ත්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශීර්වාද ලද්දාවූමය” යන අරුත දක්වයි. එම නිසා මෙම ඝණ්ටාරය ආරක්ෂා කිරීමට ඔවුන් කැප වූ බව කියවේ.

මේ ඝණ්ටාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (WOLVENDAAL CHURCH) ඉරිදා දේව මෙහෙයන් දැනුම් දීමත්, රාත්‍රි කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (CURFEW BELL) යොදාගත් බව කියවේ. දේව මෙහෙයන් දැනුම් දීමට උදේ/සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයක් ලබා දුන් බව දන්වා සිටීමටත් මෙම සීනුව සහිතව තුන්වරක් නාදවූ බවද කියවේ. ඒත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ සිට ඝණ්ටාරයට ඇති දුරත් සමගින් මේ නිවේදනය ලබා දීම සඳහා මෙම සීනුව නාද කළ බව විශ්වාස නොකළ හැකි බවයි.

මෙම ඝණ්ටාර කුලුන අසලින්ම සන්නද්ධ මුරභටයින් රඳවා තැබූ මුරගෙයක්ද ඉදිවී ඇත. පසු කලෙක ඉංග්‍රීසීන් විසින් මෙම බලකොටුව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කොට දැමීමත් සමග එම මුරගෙයද කැඩීබිඳී නටබුන් වී, කොටුව /පිටකොටුව ජනාකීර්ණ වෙළෙඳ පොළක් බවට පත්වී ඇත.

1870 සමයේ, ඉංග්‍රීසි පාලනය යටතේ මෙම බලකොටුව සම්පූර්ණයෙන්ම වාගේ කඩා බිඳ විනාශ කර දැමුවේ එම කොටුව වටේම ඉදි වී තිබූ ශාන්ත ජෝන් ඇළත්, බේරෙ වැවත්, වරායත් ඇළමාර්ග හා එකට බැඳී තිබූ සියලු කුඩා ඇළ මාර්ගයන් වසා දමමිනුයි. අද ඔබ කොළඹ කොටුවේ හා පිටකොටුවේ දකිනා සියලු හරස් වීදී එදා තිබූ ඇළ පාරවල්ය. එමෙන්ම ඒ අවට තිබූ සියලු පහත් බිම්ද ඉංග්‍රීසීන් විසින් පුරවා ගොඩකර නව ගොඩනැගිලි ඉදි කිරීම අරඹා ඇත.

මෙම කයිමන් දොරකඩ ඝණ්ටාරය අවසන් වරට නිල වශයෙන් නාද වූ බවට සටහන් වෙන්නේ 1926 ජනවාරි 21 සහ 28 වෙනිදායි. ඒ පස්වෙනි ජෝර්ජ් රජතුමා අභාවප්‍රාප්ත වුණු බව දැනුම් දීමටත්, රජතුමා වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වුණු අනුස්මරණ දේව මෙහෙය දැනුම් දීමත් සඳහායි. ඊට අමතරව දෙවන ලෝක යුද සමයේ, 1945 අගෝස්තු 14 දින අනෙක් පල්ලිවල ඝණ්ටාර සමගින් මෙම ඝණ්ටාරයද නාද කළ බව ජනප්‍රවාදයේ කියවේ. අවසන් වරට මේ කුලුණ පිළිසකර කර ඇත්තේ 1926 මාර්තු මාසයේදි කොළඹ නාගරික ඉංජිනේරුතුමා විසිනි. ඒ ක්‍රිස්තියානි සභාවේ ඉල්ලීමක් මතයි.

ඉතිහාසය සාක්ෂි දරන්නේ පෘතුගීසින් රළු, කෲර හා ආගම පැතිරවීම සඳහා සැහැසි ක්‍රියාවල යෙදුණු ජාතියක් ලෙසය. පෘතුගීසි සික්ක්‍රෝවරුන් විසින් තම මව් බිමේදී මෙන්ම සැහැල්ලුවෙන් ගෙවී ගිය බවට අනුමාන කළ හැකිය. කයිමන් දොරකඩ හරහා එකල බෙහෙවින් පිළිගැනුණු සේද, විල්ලුද හා රනෙන් රිදියෙන් වැඩ දැමූ ඇඳුම් හා ආයිත්තම්වලින් සැරසුණු පෘතුගීසි ජාතිකයන් ස්වදේශකයින් විශ්මයට පත්කරමින් අවි ආයුධ භාවිත කළ බවද ඉතිහාසයේ සඳහන්ය. මේ කයිමන් දොරකඩින් ඇතුළු වූ කොටුව තුළ ප්‍රධාන විනෝදාස්වාද මාධ්‍යයක් වී ඇත්තේ ස්පාඤ්ඤ වීනා සංගීතයයි. පෘතුගීසින් ස්පාඤ්ඤ සංගීතයට බෙහෙවින් ලොල් වී සිටි බවට සාක්ෂි ඇත. එම නිසා ඔවුන් සෑම යටත් විජිතයක් පාසා ස්පාඤ්ඤ සංගීතය ව්‍යාප්ත කළ බැව් පෙනේ.

මෙම කයිමන් දොරකඩ ගැන ඇති ලේඛනවල ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිත පවුල්වල පුද්ගලයින්ගේ හා නිලධාරින්ගේ ජීවන රටාව කොටුව ඇතුළේ ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් වූ බවය. මෙම කයිමන් දොරකඩ ගැන අධ්‍යයනය කළ ඉතිහාසඥයන් පවසන පරිදි එදා කයිමන් දොරකඩ අසල වරදකරුවන් එල්ලා මැරූ ස්ථානයක් තිබී ඇත. සෙනඟ පීරමින් එම ඝතනයට ලක්වෙන පුද්ගලයින් බැලීමට පොරකන පිරිසක් ද හුරු වී සිට ඇත. 19 වන ශතවර්ෂයේ අග භාගය වන තෙක්ම යටත් විජිත පාලකයෝ කයිමන් දොරටුව පිහිටි ස්ථානය ප්‍රසිද්ධියේ වැරදිකරුවන් එල්ලා මැරීම සඳහා භාවිතා කළ බව ඉතිහාසය අපට කියා පායි.

ඉහතින් සඳහන් පරිදි ශාන්ත ජෝන් ගංගාව දිගේ කිඹුලන් ඇදී එන්නට ඇත්තේ නගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට යන්න ඉතිහාසයේ සඳහන් වුවත්, එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් කොළඹ නගර සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් ඬේලිනිව්ස් පුවත්පතට ලියන ලද ලිපි පෙළක මේ කයිමන් දොරකඩ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබුණි. ඔහුට අනුව කයිමන් දොරකඩ මිනිසුන් එල්ලා මැරූ ස්ථානයක් ලෙසද යොදා ගෙන තිබීම යන්න හරහා, එම මිනීකඳන් කිඹුලන්ගේ ආහාරය බවට පත්වූවා දැයි ඔබට සැක පහළ විය හැකි වුවත්, එල්ලා මැරූ මිනිසුන් මුහුදට ගසාගෙන යාමට ශාන්ත ජෝන් ගංගාවට දැමූ බවට සාක්ෂි නැති බැවින් කිඹුලන් පැමිණ ඇත්තේ අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට බව මෙහිදී සාක්ෂාත් වේ.

එකල, කයිමන් දොරකඩ අසල පෘතුගීසි සෙබළුන් ජීවත් වී ඇත්තේ ජනතාව පීඩාවට පත්වන ලෙස බවය. මේ කයිමන් දොරකඩ අසල සිටි සෙබළුන් මේ අසල වූ මත්පැන් ගුදම්වලින් පිරි තැබෑරුම් තුළ එකක් ඉවර වෙන්නට එකක් වයින් පිරවූ වීදුරු හිස් කොට ඇත. පහත් පෙළේ විහිලු කරමින් ඔවුන් කාලය කා දමා ඇත.

ඉතිහාස දත්ත පිරික්සීමේදී පෙනී යන්නේ ලංකාවේ එකල පැවැති ගෘහ නිර්මාණ ගැන ද තොරතුරක් දැනගත හැකි වී ඇත. ඒ එකල ඉදිවූ විශාල ආලින්ද සහිත නිවාස හේතුවෙන් පාරවල්වල ඉඩ ඇහිරී ඇත. එබැවින් 1846 දී බි්‍රතාන්‍ය රජය ‘ආලින්දයේ නීතිය’ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කොට ඇත. ඉන්පසු කයිමන් දොරකඩ අසලත් රට පුරාමත් ආලින්ද සහිත නිවාස ඉදිවීම නතර වී ඇත.

කයිමන් දොරකඩ හරහා පිටකොටුවට තිබූ වීදිය එකල ඉතා පටු එකක් වී ඇත. එච්.ඒ.ජේ. හුලුගල්ල විසින් සංස්කරණය කළ කොළඹ සංවත්සර කලාපයේ කයිමන් දොරකඩ ගැන මෙසේ සඳහන්ව ඇත.

“කයිමන් දොරටුව වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් ලෙස අදද සිංහලයා තුළ හැඟීම් මාත්‍රයක් ඇත. කයිමන් දොරටුව නොහොත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනෙක් පසට වැටී ඇති වීදිය පටු හෙයින් මේ ප්‍රදේශය අධික රශ්මියෙන් යුක්ත බව කියන්නේ පර්සිවල්ය. සරප්වරු මුදල් මාරු කරන්නන් පදිංචි වී සිටියා යැයි සැලකෙන මේ ප්‍රදේශයේ කාර්යබහුලව නොතිබුණේ යයි කාටනම් කිව හැකිද? මුදල් මාරු කරන්නන් වඩාත් බලවත් පුද්ගලයින් ලෙස එකල සමාජයේ ජීවත් වූවාට සැකයක් නැත. ජේත්තුවට යුරෝපීය ඇඳුම් පැලඳුමෙන් සැරසුණු ස්වදේශිකයන් බර සපත්තු පැලඳ මේ වීදි පුරා ඇවිද යනු මඳකට නෙත් පියාගෙන මෙනෙහි නොකර සිටීමට කාට නම් හැකිවනු ඇතිද?”

හුලුගල්ලයන් එසේ සඳහන් කළද අද කයිමන් දොරටුව අසල සීනුව අසල මුදල් මාරු කරන්නන් බේතකටත් සොයා ගැනීමට නැත. මේ කයිමන් දොරකඩ අසලින් ඇරඹෙන හතරවැනි හරස් වීදියේ ඇත්තේ කරවල තොග කඩ සමූහයකි. බර සපත්තු කෙසේ වෙතත් ජේත්තුවට යුරෝපීය ඇඳුම් ඇඳ මේ කයිමන් දොරකඩ සීනු කණුව පසුකර යන ඇත්තන් දෙස මේ සීනු කණුව නිසොල්මනේ බලා සිටින්නේ දශක ගණනාවක ඉතිහාසයක් කියාගත නොහැකිව වේදනා බරිතව බලා සිටින්නාක් මෙනි.

එදා සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ.

අද එහි ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කළ ඝණ්ටාර කුලුනක් පමණයි.

කයිමන් දොරකඩ ඝණ්ටාරය නාදවෙනවා අසන්නට මතු පරම්පරාවට කිසිදා නොහැකි වනු ඇත.
එහෙත් එම අතීත තොරතුරු ආරක්ෂා සහිතව අපට දායාද කළ සියලු කතුවරුන්ට පින් සිදුවන්නට ඔබ වෙත මේ තොරතුරු ඉදිරිපත් කිරීමට මට හැකියාව ලැබිණි.

අද ඔබ මේ දකිනා අතීත තොරුතුරු ඔබෙන් මතු උපදින්නා වූ පරම්පරා වෙත දායද කිරීමට ඔබත් කැප වෙන්න.

ක්‍රිස්ටෝපර් ප්‍රශාන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වේදිකාවෙන් හොඳම නිළිය වුණු කොළඹ කෙල්ල

Next Post

ඇවිදින්න වාරු නැතිව අසරණ වෙලා ඉන්න ගාමිණී අම්බලන්ගොඩ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.