ගාමිණී අම්බලන්ගොඩ කියන්නේ කාලයක් පුරාවටම වේදිකා නාට්‍යය සහ පුංචිතිරය ඔස්සේ නිතර අපිට දකින්න ලැබුණු චරිතයක්. ඒත් මීට වසර කිහිපයට ඉඳන් ඔහුව අපට දකින්න ලැබුණේ නැහැ. හදිසි අනතුරක් හේතුවෙන් ඇතිවුණු අවාසනාවන්ත කාරණයක් තමයි ඒකට හේතු වෙලා තිබුණේ. එදා ඉඳන් අද වනතුරුම ඔහු කිසිම කලා කටයුත්තක් සඳහා සම්බන්ධ වෙලා නැහැ. ගාමිණී අම්බලන්ගොඩ කියන නම කෙමෙන් කෙමෙන් කලා ලෝකයට අමතක වෙලා යද්දී, ඒ මතක නැවත අලුත් කර ගන්න අපි ඔහුට කතා කළා.
රංගනය නවත්වන්න වෙලා දැන් කොච්චර කල්ද?
2016 වසරේදී තමයි මම මේ අනතුරට මුහුණ දුන්නේ. එදායින් පස්සේ මම කිසිම කලා කටයුත්තක් එක්ක එකතු වුණේ නැහැ.
අවසන් වරට රඟපෑව නිර්මාණය මොකක්ද?
ස්වර්ණපාලි නාට්‍යයේ තමයි අන්තිමට රඟපෑවේ.
ඔබට නැවත රඟපාන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද?
මේ අනතුර හින්දා මගේ එක කකුලක විළුඹින් පහළ කොටස ඉවත් කරලා තියෙන්නේ. ඒකට මොකක් හරි කරන්න පුළුවන් නම් මට රඟපාන්න පුළුවන්.
මේ අනතුරින් පස්සේ ඔබට උදවු කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැද්ද?
කලා ලෝකයේ මගේ යාළුවෝ බොහෝ දෙනෙක් මට උදව් උපකාර කළා. මම හැමදාම කලාකරුවන්ට කරුණාව මෛත්‍රිය දැක්වුව කෙනෙක්. කවදාවත් කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නැහැ. ඒක මාව දන්න අය හොඳින් දන්නවා. ඒ හින්දා බොහෝ අය මට උදව් කළා. ඒත් හැමදාමත් ඒ අයට ඒක කරන්න බැහැනේ. මේ වෙද්දී ඒ අයටත් ජීවත් වෙන එක ප්‍රශ්නයක් වෙලා. දැන් කාටවත් වැඩක් කර ගන්න බැහැනේ.
අපි අහලා තියෙනවා කලාකරුවන්ගේ සංගම්වලින් මේ වගේ අවස්ථාවල කලාකරුවන්ට උදව් උපකාර කරන බව. ඔබට එවැනි උදව්වක් ලැබුණේ නැද්ද?
නැහැ. ඒ වගේ තැනකින් නම් මට කිසිම උදව්වක් ලැබුණේ නැහැ. මාව දන්න හිතවත් කලාකරුවෝ තමයි මට උදව් කළේ.
රජය සහ පාලකයන්ගෙන් ලැබුණු උදව් ගැන කතා කෙරුවොත්?
එහෙම කිසිම විශේෂ උදව්වක් මට ලැබුණේ නැහැ. ඇත්තම කිව්වොත් මේ වෙද්දී ජීවත් වෙන එක හරිම අමාරු දෙයක් වෙලා තියෙන්නේ. මුදල් අවශ්‍යතා ගොඩක් තියෙනවා. මේ වෙලාවේ රජයෙන් ලබා දෙන සහන මල්ලක් හරි ලැබෙනවා නම් හොඳයි කියලයි කියන්න තියෙන්නේ.
අපි පොඞ්ඩක් අතීතයට ගිහින් ඔබේ කලා කටයුතු ගැන කතා කරමු. මතකද කලාවට සම්බන්ධ වුණු විදිය?
සිඟාල ගෝස්තරේ වේදිකා නාට්‍යයෙන් තමයි මම කලාවට සම්බන්ධ වුණේ. ශ්‍රියන්ත මෙන්ඩිස් හරහා තමයි මට ඒ අවස්ථාව උදා වුණේ. ඊට පස්සේ රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක් එක්ක සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
මං හිතන්නේ ටෙලි නාට්‍ය 25ක, 30ක විතර මම රඟපාලා ඇති.
මේ අනතුරින් පස්සේ ඔබට ආදරය කරන රසික රසිකාවියන්ගේ ප්‍රතිචාරය මොන වගේද ලැබුණේ?
ඇත්තටම සතුටුයි. ගොඩක් අය මට කතා කළා. දුක සැප ඇහුවා. තවමත් එහෙමයි බොහෝ අය කතා කරලා දුක සැප අහනවා. ඒ අයට ඊට වැඩිය දෙයක් කරන්න බැහැනේ.
කොහොම වුණත් මේ වගේ වටිනා කලාකරුවෙකුට මෙවැනි ඉරණමක් අත් වෙන්න ඉඩ දීලා බලා ඉන්න එක කෙතරම් යුක්තිසහගතද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් දෛවය අපි හැමෝටම සලකන්නේ එකම විදියට නෙවෙයි. ඉතාම සාධාරණ පුද්ගලයකුට වුණත් ඇතැම් වෙලාවලදී දෛවය සලකන්නේ ඉතාම නරක විදියට. හැබැයි ගාමිණී අම්බලන්ගොඩ නැමැති සොඳුරු කලාකරුවාම කියන විදියට ඔහුගේ දෛවය වෙනස් කරන්න අපිට පුළුවන්. අපි හැමෝම එකතු වුණොත් ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි. බුලුගහවත්ත, තාලිංගාමඩ, නුවර පාර, ඇල්කඩුව නැමැති ලිපිනයේ තමයි මේ වෙද්දී ගාමිණී අම්බලන්ගොඩ මහතා ජීවත් වෙන්නේ. 0777699808 තමයි ඔහුගේ දුරකතන අංකය. ඔහුගේ අවසරය ඇතිව අපි මේ විස්තර පළ කරන්නේ. මුළු ලෝකයම මුහුණ දීලා ඉන්න මේ අවසානාවන්ත කාලය නිමා වුණාට පස්සේ හරි අපි ඒ වෙනුවෙන් එකතු වෙමු.
චන්දන පොන්නම්පෙරුම













