• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වින්ද කරදර නිමා කරන බැද්දෙ මහා පූජාව

September 19, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලේසියෙන් යන්න බැරි බලගතු ගමනක් යන්න අපි ගිය සතියේ පටන්ගත්තා. ඒත් අපි ඒ ගමනෙන් භාගයයි ගියේ. මතකනේ කුඹුක්කන් ඔය අයිනේ හදාගත්ත වාඩියක අප රෑ නිදාගත්තා. මේ ගමනේ ඉතිරි ටික. ඒ වගේම මේ තමයි ගමනේ වැදගත්ම ටික.
“චූටි මහත්තුරු නැඟිට්ට නම්…” කපුමහත්තය අපිව ඇහරවද්දි හරියටම පාන්දර දෙකයි. ගමන් මහන්සියටද, සනීපෙටද කියන එක කොයි හැටි වෙතත් අපට හොඳ හැටි නින්ද නම් ගියා. මහ රෑ දෙතුන් පාරක්ම මද්දු ඇවිත් ගිහින්. ඒ මදිවට වල්ඌරු රංචු දෙක තුනකුත් අපේ තනිය මකලා. හැබැයි ඉතින් ඒ බව කපු මහත්තය තමයි කිව්වේ. අපි ඔය මොකුත් දන්නෙ නෑ.

පාන්දර දෙකට නැඟිට්ට ගමන් පළමුවැනි වැඬේ තමයි නාන එක. ගිනි කාෂ්ටක පැත්තක වුණත් ඒ වෙලාවට වතුර සීතලයි. අනිත් එක මේ නෑම නාන්නෙත් වෙනද නාන විදියට නෙවෙයි. කහයි, දෙහියි හොඳට ඇඟේ ගාල තමයි නාන්න ඕනේ. ගඟ මැද්දේ හාරගත්ත වළෙන් ඒ විදියට නෑව අපි සුදු ඇඳුමින් සැරසිලා මුරුතැන් බත උයන්නයි මේ හදන්නේ. එක්කෙනෙක් කලින් දවසේ වෙන්කරගත්ත ළිප අවුළනවා. තව කෙනෙක් පොල් ගානවා. තව කෙනෙක් හකුරු කුඩුකරනවා. වැඩ ගොඩයි. හැබැයි මේ හැම වැඩක්ම කරන්නේ බොහොම භක්තියෙන්. ඒ වගේම තමයි පිරිසුදුකම. හැමෝම ඒ වෙලාවට ඉන්නේ මුකවාඩම් බැඳලා. උයන භාජන ඔක්කොම ගන්නේ කහ වතුරෙන් හෝදලා.

මුරුතැන් බත උයන එකත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගානට වතුර තියන්න ඕනේ. හරි වෙලාවට කිරි දාන්න ඕනේ. කුඩුකර ගත්ත හකුරු කුඩු, මීපැණි, මේ ඔක්කොම හරි වෙලාවට දාන්න ඕනේ. අනෙක් හැම වැඬේදි වගේම මේ වැඬේදිත් කපු මහත්තයගෙ උපදෙස් මත තමයි ඒ හැම දේම වෙන්නේ. මුරුතැන් බත ඒ විදියට සකස් වෙද්දි පූජා වට්ටිය හදන එකත් කරගන්න ඕනේ. නියමිත විදියට පලතුරු කපලා ලස්සනට වටේට මල් තියලා රතුපාට රෙදි කෑල්ලක පඬුරකුත් ගැටගැහුවම තමයි ඒ වැඬේ සම්පූර්ණ වෙන්නේ.

කොහොමින් කොහොම හරි පාන්දර බිමට එළිය වැටෙන්න කලින් ඒ වැඩ ටික ඉවර කරගත්තා කියමුකෝ. ඒත් ගඟෙන් එහා පැත්තට යන්න නම් හොඳටම පොළොවට එළිය වැටෙනකම් ඉන්න ඕනේ. මේ හැම දේම හරි විදියට සිද්ධ වෙලා අපි ගඟෙන් එහා පැත්තට යද්දි උදේ 5.30ට විතර ඇති. ඒ තමයි අපි කැබිලිත්තට ආව වෙලාවේ ඉඳන් මඟ බලාගෙන හිටිය මොහොත. ගඟෙන් එහා පැත්තට යන එක. අපි වගේම වත්පිළිවෙත් ඉටුකරපු හැමෝම ඒ වෙලාවේ තමයි ගඟෙන් එහා පැත්තට යන්නේ. කලින් වැඩ ටික ඉවර කරගත්තා නම් ඉක්මනට යන්න පුළුවන්. ඒක තමයි පාන්දර නැඟිටින්න හේතුව.

කුඹුක්කන් ඔයේ වතුර හොඳටම හිඳිලා හින්දා ගඟෙන් එහා පැත්තට යන එක එච්චර අමාරු වුණේ නැහැ. ඒත් ගඟේ වතුර වැඩි කාලෙට නම් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලොකු කඹයක ආධාරයෙන් තමයි ඒ කාලෙට ගඟෙන් එගොඩ වෙන්නේ. කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙන එක වැදගත් වෙන්නේ කැබිලිත්ත දේවාලය හින්දම නෙවෙයි. කැබිලිත්තට යන බැතිමතුන් යාල ජාතික වනෝද්‍යානයට නිල වශයෙන් ඇතුළු වෙන්නෙත් කුඹුක්කන් ඔය තරණය කළාට පස්සේ.

ගඟෙන් එගොඩවුණු ගමන් මුලින්ම හමුවෙන්නේ බෝධියක්. ඕනෙම තැනකදි දේවාලයකට යන්න කලින් බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරන එක බෞද්ධ අපේ සිරිතක්. ඒ සිරිත අඩුවක් නැතුව මේ මහ කැලේදි වුණත් ඉටුකරන්න මේ බෝධින්වහන්සේ හින්දා අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි ඒ බෝධිය අදක ඊයෙක එතැන පැළකරපු එකක් නෙවෙයි. ඒක කැබිලිත්ත දේවාලය තරමටම පැරැණි එකක් කියලයි බැලූ බැල්මට පේන්නේ. මල් පහන් විතරක් නෙවෙයි, අපි හදාගත්ත මුරුතැන් බතේ පළමු කොටසත් පූජා කරන්නේ මේ බෝධින්වහන්සේටම තමයි. බෝධින්වහන්සේ වැඳපුදාගෙන කැබිලිත්ත සියඹලාවේ දේවාලයට යන අතරමඟ ඔන්න ආයේ මද්දු ඉන්නවා. බෝධින්වහන්සේට පූජා කරපු මුරුතැන් බත එයාට හම්බවෙන බව මද්දු දන්නවා. මොකද බෝධින්වහන්සේට වගේම කැබිලිත්ත දේවාලයටත් පූජා කරපු සියලුම දේවල් පූජ කරපු අයම ආපහු අරගෙන යන්න ඕනේ. ඒ තමයි කැබිලිත්තේ සිරිත. ඉතින් එහෙම ගේන මුරුතැන් බත හැමෝම දෙන්නේ මද්දුට. පැණි රසට තියෙන මේ බත් ටික මද්දුත් හරිම ආසාවෙන් ගිලදානවා. ඒත් ඒක මද්දුගේ ශරීර සෞඛ්‍යයට නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මද්දු කියන්නේ වල් අලියෙක් වුණත් එයත් කම්මැලි වල් අලියෙක්. ළඟට ගෙනත් දෙන කෑම කන්න පුරුදු වුණු වල් අලියෙක්. ඒ හින්දා මද්දුට දියවැඩියාව රෝගය දරුණුවටම වැලඳිලා තියෙන බව වනජීවී නිලධාරීන් සොයාගෙන තියෙනවා. ඒ රෝගය හින්දම මද්දුගේ කකුලේ සුව නොවන තුවාලයකුත් තියෙනවා. ඒ හින්දම මද්දුට පැණි රස කෑම දෙන්න එපා කියලා දැනුවත් කරපු දැන්වීම් පවා කැබිලිත්තේ තියෙනවා. ඒත් තාමත් මද්දු කෑදර විදියට පැණි රහ කනවා.

දැන් තමයි මේ ගමනේ හොඳම අවස්ථාව. අපි දැන් ඉන්නේ කැබිලිත්ත සියඹලාවේ දේවාලය ළඟ. හැමෝම බොහොම භක්තියෙන් සකස් කරගෙන ආව පූජා වට්ටි කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කළාට පස්සේ කපු මහත්තයා හැම දෙනාටම ආශීර්වාද කරනවා. කපු මහත්තයා කියන විදියට පඬුරු ගැටගහන එක වගේම පොල් ගහන එක කරන්නෙත් ඊට පස්සේ. සාමාන්‍යයෙන් එක වෙලාවකට නඩ තුන හතරක් එක්ක කපු මහත්තුරු තුන් හතර දෙනෙක්ම දෙවියන් වෙනුවෙන් පූජාව පවත්වනවා. ඒ හින්දා ඒ වෙලාවට ඒ ප්‍රදේශයේ ශබ්දය නම් හොඳටම වැඩියි.
වර්තමානය වෙද්දි දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නේ කැබිලිත්තේ නියම සියඹලා වෘක්ෂය ළඟ නෙවෙයි. ඊට ටිකක් මෙහායින් ඒ වෙනුවෙන් ඉඩකඩ සකස්කරලා තියෙනවා. සියඹලාවේ දේවාලය කිව්වට ඇත්තටම කැබිලිත්තේ දේවාලයක් නැහැ. දේව රූප කිහිපයක් ඉදිකරපු මණ්ඩපයක් තමයි ඒ වෙනුවට තියෙන්නේ. ඒ මැද්දේ පැළකරපු පුංචි සියඹලා පැළයක් දකින්න තියෙනවා.

දෙවියන් වෙනුවෙන් පූජාව අවසන් කළාට පස්සේ තමයි කැඹිලිත්තේ ඓතිහාසික සියඹලා වෘක්ෂය ළඟට යන්න බැතිමතුන්ට අවස්ථාව ලැබෙන්නේ. කැබිලිත්තේ තියෙන වැදගත්ම ස්ථානය වෙන්නෙත් මේ සියඹලා වෘක්ෂය තමයි. ඒක මහා දැවැන්ත සියඹලා ගහක්. වයස කොච්චරක්දැයි කියන්න බැරි මහා ගහක්. ඇස් දෙකෙන් බලල ඉවර කරන්නත් බැරි තරම් උස සියඹලා ගහක්. බලන් ඉඳිද්දි හිතට ගුප්ත හැඟීමක් එන සියඹලා ගහක්. ඒ සියඹලා ගහේ තමයි කතරගම දෙවියන් භාවානුයෝගීව වැඩඉන්න බව විශ්වාස කරන්නේ. කතරගම දෙවියන් භාවානුයෝගීව වැඩහිඳීමම තමයි කැබිලිත්ත මේ තරම් බැතිමතුන්ගේ ගෞරවාදරයට ලක්වෙන්න හේතුවෙලා තියෙන්නේ.

මේ ළඟක් වෙනතුරුම කැබිලිත්ත දේවාලයට එන බැතිමතුන් පූජා පවත්වලා තියෙන්නේ මේ දැවැන්ත සියඹලා ගහ ළඟ තමයි. එහෙම එන බැතිමතුන් දල්වපු පහන්වලින් ගලාගිය පොල් තෙල් අදටත් ඒ සියඹලා ගහ වටේ තියෙනවා. පරීක්ෂණවලින් හොයාගෙන තියෙන විදියට ඒ පොල් තෙල් තට්ටුව අඩි ගණනක් යටට තියෙනවා. එයින් මේ ඓතිහාසික සියඹලා ගහට වෙන හානිය වළක්වන්න තමයි දැන් ඒ ස්ථානය සියලුම පූජා කටයුතුවලින් ඈත් කරලා තියෙන්නේ.
ඒ වගේම තමයි මේ ඓතිහාසික සියඹලා ගහ ළඟට මේ ළඟක් වෙනතුරුම කාන්තාවන් ගිහිල්ලා නැහැ. කතරගම දෙවි හාමුදුරුවන් භාවානුයෝගීව වැඩඉන්න තැනකට කාන්තාවන් යන එක සුදුසු නැහැ කියන විශ්වාසය තමයි ඒකට හේතුවෙලා තියෙන්නේ. පවුලේ සියලු දෙනාම එකට කැබිලිත්තට ගියත් ඒ අවට ගම්වල එක කාන්තාවක්වත් අදටත් කැබිලිත්ත දේවාලය පැත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අය ගඟෙන් එගොඩට යන්නේ නැහැ. ඒත් කැබිලිත්තට සංචාරය සඳහා එන කාන්තාවන් කිහිප දෙනෙක්ම අපි ගිය දවසෙත් සියඹලාවේ දේවාලය අසලටම ගිහින් තිබුණා. ඒ ගැන කැබිලිත්තට වාර්ෂිකව යන එන බැතිමතුන්ගෙ නම් එච්චර කැමැත්තක් නැහැ.
කැබිලිත්තට ගිහින් පුද පූජා කරන විදිය තමයි ඒ. පූජාව සඳහා තබන දේවල් තමන්ම අරන් එන්න ඕනේ කියන එක කලින්ම කිව්වනේ. ඒ පලතුරුවලින් භාගයක්ම යන්නේ මද්දුට තමයි. පූජාව අවසන් කරලා ආපහු ගඟෙන් මෙගොඩට ඇවිත් උදේට, දවල්ට කන්න මොනවා හරි උයාගෙන ආපහු එන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් ඉතින් නිකම්ම කැබිලිත්තේ ගිහින් එන එක හිතට හරි මදි. තැනකට ගියාම එහෙ අලගිය, මුලගිය තැන් හොයන එක තමයි අපේ සිරිත. අන්න ඒ විදියට කැබිලිත්ත ගැන හොයාගත්ත විස්තර තමයි මේ.

කැබිලිත්ත මුලින්ම හොයාගත්තේ කවුද කියන එකවත්, මුලින්ම කැබිලිත්තේ ගියේ කවුද කියන එකවත් කවුරුවත් හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි තමන්ගේ අත්තල, මුත්තල, කිරිකිත්තලා හැමෝම කැබිලිත්තේ ගිහින් ඇවිත් තියෙනවා කියලයි අපේ කපුමහත්තයා අපිත් එක්ක කිව්වේ. ඒ වගේම කතරගම දෙවියන් කැබිලිත්තේ භාවනානුයෝගීව වැඩඉන්න බවට වන විශ්වාසය කවදා ඇතිවුණු එකක්ද කියලා කියන්නත් සාක්ෂි නැහැ. හැබැයි කැබිලිත්තට මේ තරම් සෙනඟ එන්න පටන්ගත්තෙ නම් 2010 වසරෙන් පස්සේ. යුද්ධය අවසන් වීමත් එක්ක කැබිලිත්ත මාධ්‍ය හරහා ප්‍රචාරයවීම තමයි ඒකට හේතුව. ඊට කලිනුත් මොනරාගල අවට ගම්වාසීන් කැබිලිත්තට වාර්ෂිකව ගිහින් තියෙනවා. ඒත් ඒ බොහොම සුළු පිරිසක්. යුද්ධය කාලේ මේ අවට ත්‍රස්තවාදීන් සැරිසරලත් තියෙනවා.

හැබැයි මේ හැම දේම අතරෙදි කැබිලිත්ත අවට ප්‍රදේශය දඩයක්කරුවන්ගේ නිජබිමක් වුණා කියල කියන්නත් පැහැදිලි සාක්ෂි මේ කතා අතරෙදි හම්බවෙනවා. දඩයම විතරක් නෙවෙයි අනවසර මැණික් පතල් කැණීමත් මේ කුඹුක්කන් ඔය දිගේ සරුවට සිද්ධවෙලා තියෙනවා. ඒ කාලේ දඩයමේ යන පිරිස් කඩවර දෙවියන් වෙනුවෙන් බාරහාර වෙලා තියෙන්නෙත් මේ කැබිලිත්තෙදිම තමයි. ඒත් වර්තමානය වෙද්දී ඒ අවට කිසිම තැනක දඩයම් කරන්න කිසිම ඉඩක් නැහැලු. සොබාදහමෙන් සහ අද්භූත බලවේග මඟින් ඒ දේවල් පාලනය කරනවා කියලයි කැබිලිත්තේ නිතර යන එන අය කියන්නේ.

“ඉස්සර කැබිලිත්තේ බොහොම අනුහස් තිබුණා. සියඹලාවේ දේවාලයට ගිහින් බාරවෙලා පටන්ගත්ත කිසිම දෙයක් වැරැදුණේ නැහැ. ඒත් දැන් කැබිලිත්තේ අනුහස් නැහැ. මිනිස්සු ඇවිත් මේක විනාශ කරලයි තියෙන්නේ” ඒ කතාව කියන්නෙත් පරම්පරාවෙන් පරම්පරාවට කැබිලිත්තට ආව ගිය මිනිස්සුම තමයි. අනුහස් කියන්නේ මොනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් මහ කැලෑවක් ඇතුළේ පාළුවට ගිය සියඹලා ගහක් ළඟදි හිතට දැනෙන හැඟීම තුළම මහ පුදුමාකාර දෙයක් දැනෙන්න ඇති. දැන් ඒ හැඟීම විඳින්න අවස්ථාව නැතත්, ඒ කාලේ ආව මිනිස්සු හොඳ හැටි ඒ හැඟීම විඳගන්න ඇති.

ඉන්දියාවේ ඉඳන් ලංකාවට ආව කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාරයා ඔකඳ වෙරළෙන් ලංකාවට ගොඩබැස්සා කියලයි විශ්වාස කරන්නේ. ඉන් පස්සෙ ස්කන්ධ කුමාරයා යාල වනය මැදින් තමයි කතරගමට ගිහින් තියෙන්නේ. වන සතුන්ගේ හිරිහැර විඳගනිමින් ස්කන්ධ කුමාරයා කතරගමට ගිය ගමන සිහිවෙන්න තමයි හින්දු භක්තිකයන් පාද යාත්‍රාවේ නිරත වෙන්නේ. ඔවුන් විශ්වාස කරන විදියට ඒ තමයි ස්කන්ධ කුමාරයා කතරගමට ගිය මඟ.
කුමන ජාතික වනෝද්‍යානයෙන් ඇතුළු වෙන ඒ ගමන යන්නෙත් යාල ජාතික වනෝද්‍යානය මැදින් තමයි. ඒත් ඒ පාද යාත්‍රාවට මේ කැබිලිත්ත අයත් වෙන්නේ නැහැ. පොඞ්ඩක් කල්පනා කරද්දි ඒකට හේතුවන කාරණාවක් ගැනත් පොඩි හෝඩුවාවක් හම්බ වුණා. පාද යාත්‍රාව කියන්නේ හින්දු භක්තිකයන්ට අයත් පූජාවක්. ඒත් ආරම්භයේ ඉඳන්ම කැබිලිත්ත කියන්නේ සිංහල බෞද්ධ ජනතාව අතර ගෞරවයට පාත්‍රවුණු තැනක්. ඔකඳ වෙරළෙන් ගොඩබැස්ස ස්කන්ධ කුමාරයා කතරගම ගිය විදිය ගැන හින්දු භක්තිකයන් අතර පවතින විශ්වාසයන්ට කැබිලිත්ත ඇතුළත් වෙලා නැත්තේ ඒ හින්දයි. හැබැයි අද වෙද්දී නම් හින්දු භක්තිකයන් යම් ප්‍රමාණයකුත් කැබිලිත්තට එනවා. එහෙම එන පිරිසෙන් නැඟෙන ‘හරෝ හරා’ හඬත් දැන් ඉඳහිට කැබිලිත්තෙන් ඇහෙනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

එජාපයේ ‘ප්‍රී’ කැබිනට් 2‌ට

Next Post

SDB බැංකුව මහ බැංකුව සමඟ සුවිශේෂී ගිවිසුමකට අස්සන් තබයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.