දිගු නිහැඬියාවකින් පසුව කැලෑ කොලමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වසර 13ක කාලයක් පුරා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොටි ගහනය පිළිබඳ සිදුකළ පර්යේෂණයේ ප්‍රතිඵල පිළිබඳවයි. (Sri Lanka Latest News)
මෙරට පැරැණිතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව වර්ග කිලෝමීටර් 1,317ක වපසරියකින් යුක්ත වන අතර, එය සුවිශාල වන ගහනයක් සහ විල්ලු සහිත සුන්දර පරිසර කලාපයක් ලෙස හඳුන්වා දිය හැකිය. විල්පත්තුව වනාන්තරය ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළේ 1938 දෙසැම්බර් 25 වැනිදායි. මන්නාරම, අනුරාධපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට මායිම්ව ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය ඉතා විශාල ජෛව විවිධත්වයකින්ද යුක්තය. කොටි ගහනය පිළිබඳ සිදුකළ පර්යේෂණයෙන් හෙළිව ඇත්තේ ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් සහිත මෙරට පිහිටි වනෝද්‍යානය විල්පත්තු ජාතික වනෝද්‍යානය බවයි. වනජීවී ඡායාරූප ශිල්පියකු මෙන්ම කීර්තිමත් සත්වවේදියකු වන කිත්සිරි ගුණවර්ධන මහතා ඇතුළු සියයකට අධික පිරිසක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයෙන් මේ බව අනාවරණ වී තිබෙනවා. වසර 13ක් පුරා සිදුකරන ලද ඉතා දුෂ්කර වූ මෙම පර්යේෂණයෙන් හෙළිකරගෙන ඇත්තේ විල්පත්තු වනෝද්‍යානයේ ආසන්න වශයෙන් කොටි 313 දෙනකු දිවි ගෙවන බවයි. පැටවුන් සමග දිවි ගෙවන කොටි දෙනුන් 08 දෙනකු සිටින බවද එම පර්යේෂණ කණ්ඩායමට හඳුනාගැනීමට හැකිව තිබෙනවා.
හෙක්ටයාර 1,31,690ක් පුරා පැතිර ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වර්ග සැතපුම් 100කට කොටින් 14 දෙනකු පමණ සිටින බවද සඳහන්ය. මෙම වනෝද්‍යානයේ සංචාරය කිරීමට දේශීය විදේශීය සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන අතර, ඊට හේතුව ලෙස සැලකෙන්නේ එහි දැකගන්නට ලැබෙන මෙම කොටි ගහනයය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශාල ශක්තියක් වී ඇති සංචාරක ව්‍යාපාරයට තීරණාත්මක දායකත්වයක් දැක්වීමට විල්පත්තු ජාතික වනෝද්‍යානයට හැකියාව ලැබී තැබීමද සතුටට කරුණකි.
වනජීවී ඡායාරූප ශිල්පීන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට මෙම වනෝද්‍යානය තුළදී කොටින්ගේ ජීවන රටාවන් පහසුවෙන් මෙන්ම නිදහසේ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබීමද එම සංචාරකයන්ගේ පැසසුමට ලක්ව ඇති කරුණකි. ඊට ප්‍රධානම හේතුවක් ලෙස වනෝද්‍යානය තුළ ජංගම දුරකතන භාවිත කිරීමට අවස්ථාවක් නොමැති වීම පෙන්වා දිය හැකිය.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට පැමිණෙන පරිසරයට ආදරය කරන, සතා සිවුපාවාට ආදරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම මාහැඟි පරිසර කලාපය රැකගැනීමට හැකි උපරිමයෙන් ඔබේ දායකත්වය ලබාදෙන ලෙසයි. සංචාරය අතරතුරදී වනෝද්‍යානයට හෝ එහි ගැවසෙන සතුන්ට කිසිදු හානියක් නොකිරීමට වගබලා ගැනීම අප කාගේත් පරම යුතුකමකි. ඒ හරහා විල්පත්තුව නමැති අපගේ ජාතික උරුමය අනාගත පරපුරටත් උරුම කරදීමට අපට හැකියාව ලැබෙනු ඇත.
සමන් හල්ලොලුව