ටොලමි විසින් ගංගා නම් ගඟ හෝ බරකස් වශයෙන් හැඳින්වූ මහවැලි ගඟ ලංකාවේ ගංගා රාජිනිය ලෙස හැඳින්වීම වරදක් නොවේ. මධ්‍යකාලීන ගංගා විස්තරයන්හි මහවැලි ගඟ විවිධ නම්වලින් හඳුන්වනු දැකිය හැකිය. මහා ගංගා, මහා වාලුකා නදී යන නම් තරමක් සුවිශේෂී වේ. මධ්‍යම කඳුකරයෙන් පැනනැඟී මහියංගණයට සැතපුම් හතක් පමණ ආසන්නව ගලා බසින මහවැලි ගඟ ඊසාන දිශාවට බරව උතුරට ගමන් කොට ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුද හා යාවේ.
මෙහිදී සුවිශේෂී ස්ථානයක් ලෙස පොළොන්නරුව සැලකිය හැකි අතර පොළොන්නරුවට නැඟෙනහිරින් ඇත්තේ ගඟේ පිටාර තැනිතලා ප්‍රදේශයයි. එම ප්‍රදේශවල සෑම අස්සක් මුල්ලක් නෑරම ජලයෙන් යට කරන්නට වසරකට අවම වශයෙන් වරක්වත් පිටාර ගලන මේ ගංගාව සමත්කම් දක්වයි. මෙම ජල ගැලීම් නිසා තාවකාලිකව ඇතිවෙන ජලාශ හෙවත් විල්වලින් මේ ප්‍රදේශය පිරී පවතී.
මෙම පිටාර තැනිතලා ප්‍රදේශය සියුම්ව සොයා බැලීමේදී පුරාවිද්‍යාත්මක සහ පෞරාණික වටිනාකමින් බොහෝදුරට වැදගත්කමක් දරයි. මෙම ප්‍රදේශවල හඳපාන් විල, බ්‍රැන්ඩිය විල, ගොන්ගල විල ආදී විශාල විල් ප්‍රමාණයක් පිරී පවතින අතර මනම්පිටියෙන් උතුරට ඇති ප්‍රදේශය බොහෝ සෙයින් මිනිස් පහසක් නොලැබුණු තැන් වේ. මෙම පිටාර සීමාවේ දකුණු සීමාවට පොළොන්නරුවේ සිට ළඟා වීමේදී “සහස්තිස්ස” නමින්ද ප්‍රසිද්ධ සහස්තොට නම් තොටුපොළක් පවතින අතර පුරාණයේ ඉතා ප්‍රසිද්ධ යාත්‍රා තොටුපළක් ලෙස මේ තොටුපළ හඳුනාගෙන තිබේ.
දාස්තොට තොටුපළේ සිට කිලෝමීටර් 6ක් පමණ ගඟ දිගේ ඉහළට ගමන් කළ පසු දිගින් කිලෝමීටර් 1.5ක් පමණ හා පළලින් කිලෝමීටර් 0.5ක් පමණ වන දූපතක් හමුවේ. මෙම දූපත කාලිංග දූව/ කාලිංග නුවර ලෙස අතීතයේ සිට හැඳින්වේ. කාලිංග දූව වටා ජලය වේගයෙන් ගලායන අතර කාලිංග දූපත ප්‍රමුඛ කොටගත් සෙසු දූපත් සමූහය නිසා මහවැලි ගඟ එම ප්‍රදේශය තුළ ප්‍රධානව කොටස් 7කට බෙදී නාළිකා 7ක් සේ ගමන් කරනු ලැබේ.
මධ්‍යකාලීන යුගයේ භික්ෂූන් උපසම්පදා විනය කර්මය සිදුකළ ස්ථානය ලෙස කාලිංග නුවර හඳුන්වාදිය හැකිය. විජයබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් 13 වන සියවසේ සිදුකළ විශාලම උපසම්පදා විනය කර්මය මේ කාලිංග දූපත මූලික කරගෙන සිදුකළ බවට සාක්ෂි හමුවී තිබේ. තවද මේ දූපත පුරා විසිරී පැතිරී ගිය අතිවිශාල නටබුන් ප්‍රමාණයක් දැකිය හැකි අතර මකර තොරණේ නටබුන් ඉලිප්සියාකාර ගොඩනැගිලි පාදම් සහ ගඩොල් බැමි සලකුණු සහ ගල් ඇතිරූ සැතපුම් බාගයක පමණ පාරක සලකුණු ද ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබේ.
කාලිංග නුවර පිළිබඳව සහ එහි ඇති නටබුන් පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණය කරගන්නේ 1965දී සැලසුම් ශිල්පියකු ලෙස මහත් ප්‍රසිද්ධියට පත් ආර්. බ්‍රෝහියර් විසිනි. එසේම විජයබාහු රජතුමාගේ කාලයට කලින් පරාක්‍රමබාහු රජු විසින් බුරුමය ආක්‍රමණය සඳහා භාවිත කළ නැව් තොට මෙය බවද මතයක් පවතී. මහවැලි ගඟේ පළල මේ අදාළ ස්ථානයන්හිදී කිලෝමීටර් 1ට නොඅඩු නිසා මේ මතවාදය ද සාපේක්ෂව නිවැරැදි වන අතර නැව් ගමන් කිරීමට තරම් ගැඹුරක් සහ පළලක් සැබැවින්ම මහවැලි ගඟ සතු බවද දැකිය හැකිය.
අපේ ගමනේදී උදෑසනම පොළොන්නරුවටත් එතැනින් උදේ ආහාර රැගෙන මනම්පිටියෙන් කාලිංග දූපතටත් පිටත් වුණ අප හට මූලික වශයෙන් අභියෝගයක් වූයේ ගඟ හරහා ගමන් කොට ප්‍රධාන දූවට එනම් කාලිංග නුවරට ළඟාවීමත් පසුව සෙසු දූපත් සොයා ගැනීමත්ය. පළමු කොටස සාර්ථකව අවසන් කළද, දෙවැනි කොටසේ ගඟ හරහා එතෙරවීම අතිශයින්ම අමාරු කටයුත්තක් වූයේ එදින සැඩ පහරේ වේගය වැඩි වූ නිසාය. කෙසේ හෝ තැන් කීපයක් පරීක්ෂා කොට තැනක් තෝරාගෙන එතෙරවීම ඇරඹුවෙමු. ගඟ මැද පිහිටි ගල් තලාවකට පළමුව ගොඩ වී ඉන් පසුව ඉතුරු ටික වෙනම ලීයක ආධාරයෙන් අසීරුවෙන් තරණය කළෙමු. එහා ඉවුරට ගොඩ වූ පසු ගමන ලේසිය. දැන් ඇත්තේ දූපත ගවේෂණය සහ නටබුන් සොයා යෑමයි.
ගඟ මැද වතුරට ගසාගෙන ආ ගසක කොටසක් කෙළින් අතර සිරවී තිබූ අතර එය අපගේ තරණයේදී විශාල මඟ පෙන්වන කොටසක් ලෙස දායක විණි. අපි කාලිංග නුවර දූවට ගොඩ වී මඳ වේලාවකින් අදාළ කොටස ගැලවී වතුරේ ගසා ගෙන යන අයුරක් දක්නට ලැබිණි. ගඟේ වතුර ක්ෂණිකව වැඩිවෙමින් පැවතිනි. අපි දූපත ගවේෂණයට ගොස් පැමිණෙද්දී එතෙරවීමට බැරි ප්‍රමාණයට වතුර වැඩිවී අපි දූපත තුළ කොටු වීමට ඉඩ ඇති බැවින් පෙරළා ආපසු පැමිණීමට තීරණය කළ අපි ගඟෙන් එතෙරවීම ඇරඹුවෙමු.
අපගේ නිගමනය නිවැරැදි බව පෙන්වමින් තරණය අතිශයින්ම අසීරු කිරීමට සැඩ පහර සමත්විය. වතුර ප්‍රමාණය සීඝ්‍රගාමී ලෙස ඉහළ නඟිමින් පැවතුණ අතර රිටක් ආධාරයෙන් කළ තරණය එක් අවස්ථාවක ඉවත දමා මටත් අසිතටත් පිහිනා ගල් පොත්තක් කරා යෑමට සිදු විය. දූපත ගවේෂණය පසු දිනකට කල් තබා අපි පොළොන්නරුවට සමු දුන්නෙමු. අධික වන අලි ගහනය සහ වලස් ගහනය මේ ගමනේ බැරෑරුම්කම වැඩි කරන අතර ගම්වාසීන් ද මේ හේතු නිසාවෙන් තරමක විරෝධතා දක්වනු ඇත. නැවත දවසක කාලිංගය සොයා යන අරමුණින් පසුවන අතර වියළි කාලය තෝරාගැනීම සාර්ථකත්වයට හේතු වනු ඇත.
සසිත පෙරේරා