• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ආවට ගියාට යන්න බැරි බලගතු ගමන

September 18, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටි ගමන් කතාවෙලා හදිසියේ යන ගමන් බිමන් තමයි ගොඩක්ම සාර්ථක. ඒ කතාව ඇත්ත නේද? මොකද කල් තියලා ප්ලෑන් කරලා දින වෙන්කරගෙන යන්න ඉන්න ගොඩක් ගමන් යන්න වෙන්නේ නැහැ. හැබැයි අද කතාවෙලා හෙට යන්න ලැහැස්ති වෙන ගොඩක් ගමන් යැවෙන සම්භාවිතාව වැඩියි. ඒ වගේම ඒ ගමන් හරිම රසවත් වීමේ සම්භාවිතාවත් හරිම වැඩියි. ඒත් ඒ වගේ හදිසියේ හිතුණු ගමන් යන්න බැරි ගමනුත් තියෙනවා. ඒ බාහිර ප්‍රශ්න හින්දා නෙවෙයි. ඒ ගමනටම අදාළ වන යම් යම් කාරණා හින්දා. අපි යන්න හදන කැබිලිත්ත ගමනත් ඒ වගේ. හිතුණු ගමන් යන්න බැහැ. ඒකට කල්තියා සූදානම් වෙන්නම ඕනේ.

මොකක්ද මේ සූදානම? මූලිකම දේ තමයි මේ ගමන් යන්න නම් පේවෙන්න ඕනේ. පේවෙන කාලසීමාව තම තමන්ගේ භක්තිය අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහරු මේ ගමන යන්න මාස 03ක් පේවෙනවා. සමහර විට ඊටත් වැඩි කාලයක් මේ ගමනට පේවෙන අය ඉන්න පුළුවන්. එච්චර කාලයක් පේවුණේ නැතත් මේ ගමන යන හැම දෙනාම අඩුම තරමේ සතියක්වත් පේවෙනවා. පේවෙනවා කියන වචනයත් එක එක විදියට නිර්වචනය කරන්න පුළුවන්. ඒත් මස් මාංශ අනුභවයෙන් ඈත්වෙලා මත්පැන් පානය නොකර ඉන්න එක තමයි මේ කාලේ නම් ගොඩදෙනෙක් පේවෙනවා කියලා කරන්නේ. හැබැයි හරි විදියට පේවෙනවා නම් මළගෙවල්, කොටහළු මඟුල් ගෙවල් වගේ තැන්වලිනුත් ඈත් වෙලා පුළුවන් තරම් පන්සිල් ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම පේවෙන්න ඕනේ ඇයි කියන එක නම් ගමන ගිහිල්ලම තමයි බලන්න ඕනේ.

කොහොම හරි සතියක් පේවුණා කියමුකෝ. පාන්දර 03ට මොනරාගලින් ගමන පිටත්වෙන්නත් ඔක්කොම සූදානම්. අපි යන්තම් සතියක් පේවුණාට අපි එක්ක මේ ගමන යන අනෙක් හැමෝම මේ වැඬේට මාස ගණන් පේවෙලා හිටියේ. අවුරුද්දට එකපාරක් විතරක් යන මේ ගමන ඒ හැමෝම බොහොම භක්තියෙන් තමයි යන්නේ. ඒත් ඉතින් මේ වැඩ රාජකාරි අස්සේ කොහොම කරන්නද? පාන්දර 03ට මොනරාගල ඉන්න ඕනෙ. අපි රෑ 11ටත් දිවුලපිටියේ. මහ වැස්සයි නිදිමතයි අස්සෙ පුළුවන් ඉක්මනට මොනරාගලට යනකොට උදේ 05යි. “උදෙන් ගියෙ නැත්නම් ගඟ අයිනේ වාඩි ගහගන්න බැරිවෙනවා” විනාඩියෙන් විනාඩියට අපි එනකම් මඟ බැලුව සම්පත් අයියා අපිව පිළිගත්තේ ඒ නෝක්කාඩුව එක්කම තමයි. ඒවට උත්තර දෙන්නත් බැහැ. මේ ගමනෙදි කට වරද්දගන්නත් හොඳ නැහැලුනේ. අන්තිමට හැමදේම හදාගෙන ගමන පිටත්වෙද්දි සැලසුම් කළාට වැඩිය පැය 03ක් පරක්කුයි.

කැබිලිත්තට යන මාර්ග කිහිපයක්ම තියෙනවා. එකක් තමයි යාල වනෝද්‍යානයේ ගල්ගේ පිවිසුම හරහා වැටිලා තියෙන මාර්ගය. අනෙක් මාර්ගය වැටිලා තියෙන්න කුමන වනෝද්‍යානයේ කුඩා කැබිලිත්ත හරහා. හැබැයි මේ මාර්ග දෙකෙන්ම ගමන් කරන්න නම් විශේෂ අවසරයක් ගන්න වෙනවා. එහෙම නැතුව කැබිලිත්තේ යනවා නම් යන්න වෙන්නේ සියඹලාණ්ඩුව කොටියාගල පාරෙන් විතරයි. කොටියාගල පාර කියලා කිව්වට මේ පාරේ අතරමඟින් ඒ අවට ගොඩක් ගම් ප්‍රදේශවලට හැරෙන්න පුළුවන්. ඒ හින්දා මොනරාගල නගරයෙන් වගේම මාලිගාවිල හරහා ඇවිත් වුණත් කැබිලිත්තට යන්න දැන් අවස්ථාව තියෙනවා. අපි දැන් යන්නේ මොනරාගල නගරය අයිනෙන්ම තියෙන මාරාව පාරේ. මාරාව පාරේ කෙළවරේදිම තමයි අපේ අනෙක් ගමන් සගයෝ අපිට එකතු වුණේ. ඒ වගේම අපේ නඬේගුරා විතරක් නෙවෙයි මුළු ගමන පුරාම අපේ ආරක්ෂකයා වුණු කපුමහත්තයා අපි එක්ක එකතු වුණෙත් මාරාවෙදි.

එතැන ඉඳන් අපේ වාහනය වුණේ සෆාරි ජීප් එකක්. එන්න එන්න පොඩිවුණු තාරපාර දිගේ ගිහින් කොන්ක්‍රීට් කට්ටෙකට මාරුවුණු අපේ වාහනේ ඊට පස්සේ වැටුණේ දූවිල්ල පිරුණු මැටි පාරකට. ලංකාවේ ඈත කෙළවරක මිනිස්සු ගෙවන දුෂ්කර ජීවිත තමයි ඒ හරියේ ඉඳන් අපිට පේන්න තිබුණේ. මාරාව ගමේ ඉඳන් කැබිලිත්තට තියෙන සම්පූර්ණ දුර කිලෝමීටර් 40ක්. හැබැයි ඔය මුළු දුරම යන්න තියෙන්නේ කැලේ මැදින් කියලා හිතුවොත් ඒක නම් වැරැදියි. මොකද මාරාවේ ඉඳන් තවත් කිලෝ මීටර් 15ක් 20ක් යනකම්ම හේන් ගොවිතැන සරුවටම කෙරෙනවා. යාල ජාතික වනෝද්‍යානයේ පරිවාර රක්ෂිතයට අයිති වුණත්, තමන් දන්න කාලේ ඉඳන්ම ඒ ප්‍රදේශවල බඩඉරිඟු, කොමඩු ඇතුළු තවත් බෝග වර්ග රැසක් වගාකරන බව තමයි අපි එක්ක ගිය මාරාව ගමේ මිනිස්සු කිව්වේ. මුළු ලංකාවේ හතර දිග්භාගයටම වැස්සත් ඒ පැත්තට අන්තිමට වැස්සක් වැටිලා තියෙන්නේ මාස පහ හයකට කලින්. හේන් පිටි ගිනිතියාගෙන මිනිස්සු වැස්ස වැටෙනකම් බලාගෙන ඉන්නවා. ඒ හින්දා අපේ ගමනෙන් භාගයක්ම අපිට යන්න වුණේ ගිනිගත්තු හේන් පිටි අතරින්. හැබැයි වැස්ස වැටිලා බඩඉරිඟු පැළවල මල් පිපෙන කාලෙට මේ පළාතට පුදුම ලස්සනක් එනවලු. ඒත් ඒ ලස්සන බලන්න නම් ඒ ගමනෙදි අපේ ඇස් පින් කරලා තිබුණේ නැහැ.

ගමනේ මුල් භාගය පුරාම තියෙන්නේ හේන් බිම් වුණත්, ඒ අතරින් පතර පොඩි පොඩි කැලෑ කොටස් ඉතුරිවෙලා තියෙනවා. වියළි කලාපීය වනාන්තරයක අයත් සියලුම ලක්ෂණ රැකගෙන තාමත් ඉතිරිවෙලා තිබුණට ඒ වනාන්තර කොටස් තව කොච්චර කල් ඒ විදියට තියේවිද කියන එක නම් කියන්න බැහැ.

මිනිස්සු ජීවත් වෙන්න හේන් කුඹුරු කරන්න ඕනේ තමයි. ඒත් මේ විදියට කැලේ කපලා තියෙද්දි හිතට දැනෙන වේදනාවත් සුළුපටු එකක් නෙවෙයි. ඒ හින්දා මේ හේන් කෙටිල්ල ගැනත් විස්තර අපි ගමේ අයගෙන් හෙමිහිට අහලා බැලුවා. ඒ විස්තර අනුව මේ හේන් කෙටිල්ල මුළුමනින්ම අනවසර ක්‍රියාවක්. හැබැයි ඒක අදක ඊයෙක පටන්ගත්ත දෙයක් නෙවෙයි. අවුරුදු ගානක ඉඳන් කරන දෙයක්. මේ වැඬේට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගන්න අදාළ බලධාරීන් අවස්ථා ගණනාවක ක්‍රියාකරලා තිබුණත් ඒ වැඬේ නවත්තන්න නම් ඒ කාටවත් පුළුවන් වෙලා නැහැ. ඒ වගේම මේ වැඬේ කවදාවත් නවතින එකක් නෑ කියලත් ගමේ මිනිස්සු කියනවා. ස්ථිර පදිංචිකරුවෝ නැති වුණත් තාවකාලික නවාතැන් ඉදිකරගෙන මිනිස්සු හේන් ගොවිතැන කරනවා. මේ වැඬේ දිගටම මෙහෙම ගියොත් නම් ඉතිරිවෙලා තියෙන කැලෑ කොටස් ටික නැතිවෙන්නත් තව වැඩි කාලයක් යන එකක් නැහැ. එහෙම වුණොත් අපිට ඒ හරියේ බලන්න වෙන්නේ බඩඉරිඟු මල්වල ලස්සන විතරක්ම වේවි.

හේන් මණ්ඩි පහුකරගෙන ගිය අපි ගල් වළකින් එගොඩ වුණා. රෝද හතරටම බලය සැපයෙන ජීප් එකක් වුණත් ඒ ගල් වළෙන් එගොඩ වෙන්න අපි හැමෝටම ජීප් එකෙන් බිමට බහින්න වුණා. බිමට බැස්සත් ඒ වළෙන් වාහනේ එගොඩ කරවන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. හැබැයි අපේ රියැදුරා වුණු සෝමේ අයියා මේ වැඬේට හොඳ පුරුදුකාරයෙක්. සොමේ අයියාගේ වැඩ අපි හොඳටම දැක්ක එක තැනක් තමයි මේ ගල් වළ.

අපි දැන් ඉන්නේ කෝන්ගස් මණ්ඩියේ. ඇත්තටම ඒක ගමක නමක් නෙවෙයි. ඒක ඇත්තම ඇත්ත කෝන්ගස් මණ්ඩියක්. ඒ කියන්නේ කෝන්ගස් යායක්. වැඩිය හුරුපුරුදු නැති කෝන් ගෙඩියක රස ඇඹුල බලන්නත් එතැනදි අපේ ගමන් සගයෝ අපිට උදවු කළා. මෙච්චර වෙලා මිනිස්සු ගැවසෙන හේන් මණ්ඩි දිගේ ආව අපි හරියටම කැලේට ඇතුළු වෙන්නේ මේ කෝන්ගස් මණ්ඩියෙන්. ලංකාවේ භාවිත වෙන සියලුම වර්ගවල දුරකතන සංඥා අවසන් වෙන්නෙත් මෙතැනින්. ඒ හින්දා කෝන්ගස් මණ්ඩියෙන් එහාට තියෙන්නේ වෙනමම ලෝකයක් කිව්වත් හරි. කෝන්ගස් මණ්ඩියෙදි වාහනයෙන් බැහැපු අපි කපු මහත්තයා එක්ක කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලබාගත්තා. කතරගම දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරලා කැලෙන් කඩන් ආව කොළ අත්තක් ගහක එල්ලන එක එතැනින් එහාට යන ඕනෙම කෙනෙක් කරන දෙයක්. ඒක චාරිත්‍රයක්. මෙතැනින් එහාට අපි ගැන සියලුම වගකීම තියෙන්නේ කපු මහත්තයා අතේ. කපු මහත්තයා කියන විදියට තමයි මෙතැනින් එහාට හැමදේම වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෙම දේවාලයක කපු මහත්තුරු ඉන්නවා. ඒත් කැබිලිත්තේ ඒ වගේ කපු මහත්තුරු නැහැ. ඒ හින්දා කැබිලිත්තේ යනවා නම් කපු මහත්තයෙක් එක්ක තමයි යන්න ඕනේ. දේවාරක්ෂාව මොන වගේ වුණත් කැලේ කොළේ ගැන හොඳට දන්න නිතරම මේ පාරවල්වල කරක්ගහන වැඩිහිටියෙක් එක්ක මේ වගේ ගමනක් යන එක හිතට හයියක්නේ.

කැබිලිත්තට යන පාරවල් කිහිපයක් ගැන මුලින් කිව්වනේ. ඒ අතරින් කොටියාගල පැත්තෙන් එන පාරයි. මාලිගාවිල පැත්තෙන් එන පාරයි එකට එකතු වෙන්නෙත් මේ කෝන්ගස් මණ්ඩියෙදිම තමයි. එතැනින් එහාට අපිට යන්න තියෙන්න මහ කැළේ මැදින්. කැලේ මැද වැටිලා තියෙන පුංචි ට්‍රැක්ටර් පාර දිගේ අපි ඉස්සරහට යනවා. අපේ ජීප් එකේ වහල අස්සෙන් රිංගලා එන අතු ඉති අපේ මුහුණට රිදෙන්න පාරවල් දෙනවා. ගමන යන අතරතුරේ වටපිට බලද්දි තමයි පොඩි කාලේ සමාජ අධ්‍යයනයට ඉගෙනගත්ත වියළි කලාපීය වනාන්තරයක ලක්ෂණ ගැන මතක් වෙන්නේ. මහා දැවැන්ත ගස් කොළන් තිබුණට යටි රෝපණයක් නැහැ. ඒ හින්දා බිම් මට්ටමෙන් ගොඩක් දුරට පේනවා. හැබැයි උඩින් වියනක් වගේ ගස් එකින් එකට යාවෙලා. ඉර එළිය බිමට වැටෙන්නේ නැති හින්දා කර්කශ පරිසරයක වුණත් වැඩි මහන්සියක් නැහැ.
අපි මේ ගමන යන්නේ සිකුරාදා දවසක. පාන්දර 03ට මේ ගමන පිටත් වෙන්න ඕනේ කියලා සම්පත් අයියා අපිට කිව්වේ ඇයි කියලා අපිට තේරුණේ ටිකක් ඉස්සරහට යද්දී. මඟ දිගටම එක එක වර්ගයේ ට්‍රැක්ටර්. ඒවා පිරෙන්න සෙනඟ. ගැහැනු පිරිමි දෙගොල්ලොම. අපි හිතාගෙන ආව කැබිලිත්ත නෙවෙයි කියලා හිතට පුංචි දුකක් ආවත් ඒක තමයි යථාර්ථය. මේ වෙද්දි හැම සති අන්තයකම කැබිලිත්තේ තත්ත්වය ඕකයි. ඉක්මනට ගිහින් වාඩිය ගහගන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. කොහොම වුණත් ට්‍රැක්ටරයකට වඩා වැඩි වේගයකින් ජීප් එකට යන්න පුළුවන් හින්දා අතරමඟදි ඒ ගොඩ දෙනෙක් පහුකර ගන්න අපිට පුළුවන් වුණා.

අපි මොනරාගලින් පිටත් වුණේ උදේටත් බඩට මොකුත් නැතිව හින්දා තවත් බඩගින්නෙ ඉන්න බැරි තරමටම අපි හෙම්බත් වෙලා. හැබැයි ඒ හැමදේමට අපේ ගමන් සගයෝ සූදානම් වෙලයි තිබුණේ. මේ ගමනේ හැටි එහෙමයි. කැබිලිත්තේ යන නඩ නැවතිලා කෑම කන තැන් දෙකක් මේ අතරමඟ තියෙනවා. හැබැයි ඒ තැන් දෙක ඇරෙන්න වෙන කිසිම තැනක නැවතිලා කෑම කන්න එහෙම යන කවුරුත් පෙලඹෙන්නේ නැහැ. ඒකත් මේ ගමනේ විශේෂත්වයක්. ඒ හැම දෙයක්ම වෙන්නෙත් කපු මහත්තයාගේ කැමැත්තටම තමයි.

පාන්දර 05ට පිටත් වුණත් දහවල් ඉර මුදුන් වෙන්න කලින් අපිව ආරක්ෂිතව කැබිලිත්තට එක්කගෙන යන්න සෝමේ අයියට පුළුවන් වුණා. ඒ වෙද්දිත් නඩ කිහිපයක්ම ඇවිත් තිබුණත් ගඟ අයිනෙම පහසු තැනක වාඩිය ඉදිකර ගන්න අපිට ඉඩ තිබුණා. කැබිලිත්තට ගිය ගමන් කරන පළමුවැනි වැඬේ තමයි ඒක. වාඩිය ගහගන්න එක. වාඩියක් කිව්වම ලොකු ලොකු දේවල් හිතට මවාගන්න එපා. ගඟ අයිනේ ගස් තුනක සහ ඒ අසල නැවැත්තුව අපේ ජීප් එකේ උදව්වෙන් ගැටගහගත්ත ටෙන්ට් රෙද්ද තමයි අපේ වාඩිය. බිමට පැදුරු දාලා උයන පිහන උපකරණ ටික තියාගත්තට මුළු හතරවටේම විවෘතයි. සැරින් සැරේ හමන හුළඟට මුළු පළාතම දූවිල්ලෙන් වැහෙනවා. කැබිලිත්තේ ආව නම් ඒ දේවල් විඳගන්න ඕනේ.

වාඩිය හදාගත්ත ගමන් ඊළඟ වැඬේ තමයි මුරුතැන් බත උයන ළිප හදාගන්න එක. අපේ වාඩිය තියෙන්නේ කුඹුක්කන් ඔය අයිනේ. පෑවිල්ල හින්දා ඔය හොඳටම හිඳිලා. දෙපැත්තෙන් ගලාගෙන යන පුංචි දිය සීරාවක් විතරයි ඔයටම තිබුණේ. ඒ හින්දා මේ දවස්වල කැබිලිත්තේ යන හැමෝම මුරුතැන් බත උයන්නේ ගඟ මැද්දේ තියෙන වැල්ලේ. වාඩිය ඉස්සරහින්ම ළිප බැඳගන්න එක තමයි ලේසි. ඒ හින්දා වැලි පොළොව ශුද්ධ පවිත්‍ර කරලා ළිප බැඳගෙන ඒ වටේ පහන් තියල කොළ අතු එල්ලුවම වෙන කවුරුවත් එතැනට එන්නේ නැහැ. ළිප බැඳගත්තට විතරක් මදි.
ගඟේ වතුර නැති හින්දා වතුර ගන්න වළක් හාරගන්නත් ඕනේ. ගඟ මැද්දේ වැලි පොළොව ටිකක් හෑරුවම වතුර එනවා. අපේ ගමන් සගයන්ට ඒක අලුත් අත්දැකීමක් නොවුණත් වැලි පොළොව හාරලා වතුර ගන්න එකත් අපිට නම් තවත් අලුත් අත්දැකීමක් වුණා.
කැබිලිත්තට ආව අපේ මූලික වැඩ කටයුතු ඉවර කරලා ටිකක් නිදහසේ ඉඳිද්දී තමයි මද්දු එතැනට ආවේ. මද්දු කියන්නේ අලියෙක්. එයා තමයි කැබිලිත්තේ ආරක්ෂකයා. වන අලියෙක් වුණත් මිනිසුන්ට හරිම හීලෑ මද්දු වාඩි මැද්දෙන් එහෙ මෙහෙ යනවා. කැබිලිත්තට එන කපු මහත්තුරු තමයි මද්දුව පාලනය කරන්නේ. කපු මහත්තුරු අතේ තියෙන කෝටුවට මද්දු බයයි. ඒ වගේම මද්දු වෙනුවෙන්ම අරන් ආව පලතුරු එහෙමත් කපු මහත්තුරු මද්දුට දෙනවා. ගඟ අයිනට වෙලා මද්දු දිහා බලන් ඉන්න එකත් එපා වෙන්නේ නැති වැඩක්. එයා එච්චරටම හුරතල්. හැබැයි එක වෙලාවකට මද්දු දඟ කරනවා. එයා සමහර නඩවල බෑග් උස්සගෙන තියෙනවා. ඒ වෙලාවට කපු මහත්තුරු තමයි ඒවා ආපහු අරන් එන්නේ.

“හරියට පේවෙලා ආව නැති නඩවලට තමයි මද්දු එහෙම කරදර කරන්නේ” මද්දුගේ දඟ වැඩ ගැන අපේ කපු මහත්තයා කිව්වේ එහෙමයි.
ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් මෙච්චර සෙනඟක් මැද්දේ කාටවත් කරදර නොකර වල් අලියෙක් ඉන්න එකත් පුදුම වැඩක් තමයි. හවස් වෙද්දි ගඟ අයින දිගටම නඩවලින් පිරිල ගිහින්. ගඟ අයිනෙ විතරක් නෙවෙයි පාර දිගටත් වාඩි. එච්චර ට්‍රැක්ටර් ගොඩක් මම නම් ජීවිතේටම දැකලා නැහැ. ඒ අතරේ එක එක ජාතියේ ට්‍රැක්ටර්. මේ දේවල් එක්ක එදා දවස ගෙවිලා ගියා. ගඟේ වතුර තිබුණු තැනකින් නාගෙන රෑ කෑම හදාගත්ත අපි මහ කැලේ මැද්දේ ජීවිතේ ගෙවුණු අමුතු විදියේ හැන්දෑවකට සූදානම් වුණා. කැබිලිත්තේ තියෙන්නේ ඔච්චරද? නැහැ. තාම අපි ඉන්නේ ගං ඉවුරෙන් මෙහා පැත්තේ. ඒත් කැබිලිත්ත දේවාලය තියෙන්නේ ගං ඉවුරෙන් එහා පැත්තේ. ඒත් අපිට හිතෙන හිතෙන වෙලාවට එහා ඉවුරට යන්න බැහැ. ඒ හින්දා ඒ ගමන යන්න ඊළඟ දවසේ උදේ වෙනකන් ඉන්න ඕනේ. කැබිලිත්ත දේවාලයට යන්න කලින් කරන්නත් තව වැඩ ගොඩක් තියෙනවා. සතියක් ඉවසලා ඉන්න. අඩුවක් පාඩුවක් නැතුව ඒ හැමදේම කරගෙන කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩඉන්න කැබිලිත්ත සියඹලාවේ දේවාලය වැඳපුදා ගන්න අපි හැමෝම යමු.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තවත් ‌පෙරළියක් අත ළග: ‌හෙට හදිසි කැබිනට් රැස්වීමක් කැදවයි!

Next Post

බිලියන ‌දෙකේ කතාවට පසු ‌මෛත්‍රියි-මහින්දයි හිනා ‌වෙවී එකම කෑම ‌මේසයේ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.