ටෙලි සිනමාව ඔස්සේ මෑත කාලයේ ජනප්‍රිය වූ අලුත්ම තරු අතර ඉන්න තවත් එක් නිළියක් ලෙස ප්‍රාර්ථනා සෙව්වන්දි හඳුන්වලා දෙන්න පුළුවන්. සිත්කලු රූ සපුවකට හිමිකම් කියන ප්‍රාර්ථනා කවමදාවත් නිළියක් වෙන්න හීන දැකපු කෙල්ලෙක් නෙවෙයි. හැබැයි වාසනාවට වාගේ නොහිතපු විදියට ඈ නිළියක් වෙනවා. සරල වාණිජ රැල්ලේ නිර්මාණවල වගේම ගුණාත්මක නිර්මාණවලටද නොසිතූ ලෙස ඇයට ඇරයුම් එනවා. ප්‍රාර්ථනා හැම මොහොතකම වාගේ කියන්නේ තමා ගැන දන්න අයට වඩා නොදන්න අය ඉන්නවා කියලයි. ඒ හින්දම ඔන්න අපට හිතුණා ‘හාට්’ එකේ පත්ඉරුවක ඈ ගැන පුංචි සටහනක් තියන්න. Sri Lanka Latest News
කොහොමද ප්‍රාර්ථනා ඉතින් ඔයාගේ සුව දුක් එහෙම?
මම සතුටින් බොහොම සරලව ජීවතේ ගෙනියනවා.
මොනවද මේ දවස්වල වෙන්නේ කියලා ඇහුවොත්?
මේ දවස්වල මගේ ටෙලි ඩ්‍රාමා දෙකක්ම විකාශය වෙනවා. ඒ ඉරුගල් වලව්ව සහ තදලු සේයා යන ටෙලිනාට්‍යයි. ඒ දෙකේම ප්‍රධාන චරිත තමයි මට ලැබුණේ. ඊට අමතරව චිත්‍රපට දෙකකටම ආරාධනා ලැබිලා තියෙනවා.
චිත්‍රපට දෙක ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද?
ඒ ගැන නම් තවම එහෙමට යමක් කියන්න බැහැ. මොකද මට තවම එහි තිර පිටපතවත් ලැබිලා නැහැ. පිටපත බලලා තමයි මම ඒ චරිතය කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ නිසා අපි වෙනත් දවසක ඒ ගැන කතාබහ කරමු.
ඔබ බොහෝ විට චරිත තෝරන කෙනෙක්?
ඔව්. මටය කියලා යම් සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ ඉඳගෙනයි චරිත භාරගන්නේ.
ඒ සීමා මොනවද කියනවා නම්?
මම ප්‍රේමය මුසු දර්ශන කරන විට සිපගැනීම් වැනි දේවල් ප්‍රතික්ෂේප කරනවා. අඩ නිරුවත් සීන්වලට කොහොමත් කැමැති නැහැ. හුඟක් දුර පළාත්වල රූගතකිරීම් වැටෙනවා නම් ඒ ගැනත් පාඩ්ඩක් හිතන්න වෙනවා. ඔන්න ඔවැනි සීමා ගැන තමයි කියන්නේ.

නවක නිළියක ලෙස එවැනි සීමාවක් තුළ ඔබට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙයිද?
හැමෝම කපාගෙන ඉදිරියට යන්න ලංකාවේ ජනප්‍රියම නිළිය වෙන්න මම හීන දකින්නේ නැහැ. නාට්‍ය ගොඩක් එකපාර බදාගන්න හෝ හැමදාම ටීවී එකේ පෙනීසිටින්න මට වුවමනාවකුත් නැහැ. අන්න ඒ හින්දා මා විසින්ම තනාගත් සීමාවන් තුළ මා ගෙනයන ප්‍රතිපත්ති වෙනස් කරන්න මම කැමැති නැහැ. නාට්‍ය ගොඩක් අහිමි වෙන නිසා මම කවදාවත් මගේ අනන්‍යතාවට හානි කරගන්නෙත් නැහැ.
ඉහත සීමාවන් තුළ ඔබට අහිමිව ගිය ටෙලි නිර්මාණ තියෙනවද?
ඔව්. ගුණාත්මක වගේම වාණිජ රැල්ලේ සරල නිර්මාණද මට අහිමි වී ගිය අවස්ථාවන් තියෙනවා. හැබැයි ඒ අහිමිවීම් ගැන මට දුකක් නැහැ. මොකද කියනවා නම් මම ප්‍රතිපත්තිගරුක කෙනෙක්. ඒ මගේ අම්මයි තාත්තයි මාව හදපු විදිය. ඒ අභිමානය නැති කරගන්න මම කවදාවත් උත්සාහ කරන්නේ නැහැ.
ඔබ රංගනයට ආපු විදිය ගැන කියනවා නම්?
මගේ හිතේ හීනයක් තිබුණේ නැතුවට මගේ අම්මයි තාත්තයි ආශාවෙන් හිටියා මම නිළියක් වෙනවට. ඒ අතරේ තමයි මම 2019 අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙන්නේ. එතැනදී ජයග්‍රහණ හතරකට මම හිමිකම් කියනවා. ඒ ඔස්සේ තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ. මෙහිදී මට අතහිත දුන්න පිරිස අතර තිළිණි පෙරේරා රංගනවේදිනියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
ඔබේ පළමු ටෙලි නිර්මාණය රාවණා?
නැහැ. මගේ පළමු ටෙලි නිර්මාණය සිද්ධාර්ථ ගෞතම. හැබැයි ප්‍රේක්ෂකයන් අතරට මම ආවේ සහ මාව ඔවුන් හඳුනාගත්තේ රාවණා ටෙලි නිර්මාණය හරහායි.
ඔබ බොහොම ලැජ්ජාශීලී චරිතයක් කියලයි අහන්න ලැබුණේ?
ඔව්. පුංචි කාලේ මම හරිම කුලෑටි කෙල්ලෙක්. ඉස්කෝලේ යන දවස්වලත් එහෙමයි. ඒ දවස්වල ඉගෙන ගන්න කාලේ ටෙලිනාට්‍යයක් රූගත කරන්න අපේ ඉස්ලෝකෙට ආව ටෙලි ශිල්පීන් පිරිසක් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. මතක හැටියට මම උසස් පෙළ කරනවා. බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පුහුණුවීම් කරන අතර තමයි එයාලා මාව දැකලා තිබුණේ. ලැජ්ජාවක් හිතට දැනුණු නිසයි එදා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ.
සිද්ධාර්ථ ගෞතම නාට්‍යයෙන් පසු දිගින් දිගටම ඔබට ලැබුණේ ඒ වගේම චරිත?
ඔව්. මාව දිගින් දිගටම වගේ රජ කතා චරිත සමග කොටු වුණා.
කුමාරියක් වගේ ලස්සන පෙනුම නිසා එහෙම වුණා වෙන්න බැරිද?
අනේ මන්දා. හිතාගන්න බැහැ ඒ කොටුවීම සිදුවුණේ මොන හේතුවක් නිසාද කියලා. කොහොමත් බොහෝ කලා ශිල්පීන් එවැනි දේට මුහුණ දුන් බව අහලා තියෙනවා.
ඇතැමුන් කියනවලු ඔබ නිළි රැජින මාලිනියගේ පෙනුමට සමානයි කියලා?
ඇයයි මමයි අහසට පොළොව වගේ. ඇයට ළං වෙන්න මට හිතන්නවත් බැහැ. ඒත් ඔබ කිව්වා වගේම සමහර දෙනා මට එහෙම කියනවා ඇහෙනකොට හිතට අහිංසක ආඩම්බරයක් දැනෙනවා. මොකද මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය ඇයයි. ඈ සමග එකම එක දර්ශනයක හෝ පෙනී සිටින්න ඇත්නම් කියලා මට හිතුණු වාර අනන්තයි. එය හීනයක් වෙච්ච එක ලොකු දුකක්.
හෙට දවස ගැන ඔබේ බලාපොරොත්තු?
මම යන්නේ හෙමින් ගමනක්. රංගනය ගැන ඉහළට හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර රජ චරිත රටාවෙන් මිදුණු වෙනස්ම චරිත රංගනයක යෙදෙන මගේ අලුත්ම ටෙලිය එනතුරු මම බලාගෙන ඉන්නවා. රහස් පරීක්ෂකවරියක ලෙස මා එහි නියැළෙන චරිත රංගනයට මම හුඟක් ඇලුම් කරනවා. ප්‍රේක්ෂකයන්ට එය ලොකු වෙනසක් වෙන බව විශ්වාසයි.
මල්මි කෞෂල්‍යා











