මේ පින්තූරය ගත්තේ මුහුණු පොතෙන්. ඒක හොරකමක් නෙවෙයි. උපුටාගැනීමක්. ඒ උපුටාගැනීම කළේ මේ පින්තූරය ගැන අපූරු කතාවක් ලියන්න පුළුවන් නිසයි. ඒ වගේම ඒ අපූරු කතාවට ලියන්න සුවිශේෂ සිදුවීම් කිහිපයක්ම තියෙනවා. Sri Lanka Latest News
ඒක මේ විදියට පටන් ගන්නම්. මේ පින්තූරය ගත්තේ ක්‍රිස්තු චරිතය ෂූටිං කරන අතරවාරෙදියි. ‘ක්‍රිස්තු චරිතය’ 1990 තිරගත වුණාට මේ පින්තූරේ ගත්තේ 1988 අවුරුද්දටත් කලිනුයි. ඒ කියන්නේ මේ පින්තූරේ අවුරුදු 36ක් පරණයි.
ඕනෑවට වඩා හිතන්නේ නැතුව අහම්බෙන් වාගේ කැමරා කාචයේ සටහන් වුණු මේ ෆොටෝ එකේ කවුද ඉන්නේ කියලා අඳුනගන්න පුළුවන්ද?
ඇයි බැරි? නාසරතයේ ජේසුතුමා විදියට සැරසිලා ඉන්නේ ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග. කාටද ඒක හොයන්න බැරි? අනිත් අයවත් හොයමුද බලන්න. හිතන තරම් ලේසි නැද්ද? දන්න අයත් නැතුව නෙවෙයි. හැබැයි නොදන්න අයත් ඉන්නවා. ඒ නොදන්න අයවයි මේ දැනුවත් කරන්නේ. විජයත් එක්ක ෆොටෝ එකේ ඉන්නේ ඔසී අබේගුණසේකර, මහින්ද විතානගේ, දේව බණ්ඩාර සේනාරත්න යන පිරිසයි. මේ හැමෝම ක්‍රිස්තු චරිතය ෆිල්ම් එකේ ජේසුතුමන්ගේ ගෝලබාලයන්ට රඟපෑවා.
යමක් කතාකරන්න පුළුවන් රසවත් ඉතිහාසයක් තියෙන මේ ෆොටෝ එක ගැන කියන්න දුක්බර කතාත් තියෙනවා. ඒ එකක් තමයි ‘ක්‍රිස්තු චරිතය’ තිරගත වෙනකොට විජය කුමාරතුංග ජීවතුන් අතර නොහිටපු එක. ප්‍රවීණ සිනමා නිර්මාණකරු සුනිල් ආරියරත්නයි, නිෂ්පාදක ඇලරික් ලයනලුයි විජයට ජේසුතුමන්ගේ චරිතයට තෝරගත්තම කවුදෝ විජයට කිව්වලු ජේසුට රඟපාන හුඟක් අය අකල් මරණවලට ගොදුරු වෙනවා කියලා. ඒ වෙලාවේ විජය කොක්හඬලා ලස්සනට හිනාවෙලා, ‘ඇයි මචෝ ජේසුස්වහන්සේට රඟපාලා අකාලේ මැරුණත් මොකෝ…’ කියලා කිව්වලු. මතක හැටියට ඔය කතාව ඇලරික් ලයනල් කියලා තිබුණේ ඒ කාලේ ජනප්‍රියම සිනමා පත්තරයක් වෙච්ච ‘සරසි’ එකටයි. කොහොමින් හරි මොකක් හෝ අහේතුවකට සිංහල සිනමාවට හිටපු කඩවසම්ම නළුවා නාඳුනන වෙඩික්කරුවකුගේ ගොදුරක් වෙලා අකාලයේ මැරිලා ගියා.
ඒ විතරක් නෙවෙයි. මේ ෆොටෝ එකේ විජේ එක්ක ඉන්න අනෙක් තුන්දෙනත් ඒ වගේම අකාලයේ මැරිලා ගියේ ත්‍රස්තවාදී ප්‍රහාරවලිනුයි. නැවතිල්ලේ හිතලා බලපුවාම මේ ෆොටෝ එකට යටින් තියෙන කතන්දරෙත් හරි ගුප්තයි නේද?
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











