පියකරු මුහුණකට කවුරුත් ප්‍රිය කරති. එවැනි අයකු දකින හැම විටෙකම කෙනකු අව්‍යාජයෙන් සිනාසෙයි. එවැන්නකු තමන් පියමංකර යනෙන විට ආපසු හැරී බලන පුරුද්දක්ද අප කා අතරත් පවතී. Sri Lanka Latest News
අපට සමාජයේ සැරිසරන විට එවැනි පියකරු මුහුණු මෙන්ම අප්‍රිය මුහුණුද හමුවෙති. ප්‍රිය මුහුණු හමුවේ සිනා නගන අය, අප්‍රිය මුහුණු හමුවේ සිනා නොනගාම මගහැර යති. මේවා සිදුවන්නේ නිරායාසයෙනි.
එසේම ගැහැනුන්ගේ පියකරු මුහුණට පිරිමි කොයි කවුරුත් ප්‍රිය කරති. එසේම පිරිමින්ගේ පියකරු මුහුණටද ගැහැනු කොයි කවුරුත් ප්‍රිය කරති. පියකරු ගැහැනු මුහුණට, පිරිමි ප්‍රියකරන්නා සේම ගැහැනුද කඩවසම් පිරිමි සිරුරට මෙන්ම ඔවුන්ගේ මුහුණටද බැල්ම හෙළා ඇල්ම දක්වති. එසේම පිරිමින්ගේ මෙන්ම ගැහැනු මුහුණකද ඇස් දෙක වඩාත් වැදගත් වන බව වෛද්‍ය සමීක්ෂණයකට අනුව හෙළිවී තිබේ.
අප කවුරුත් සිතා සිටින්නේ ගැහැනු ඇස්වල ආකර්ෂණයක් ඇති බවය. එහෙත් ඉහත කී සමීක්ෂණයට අනුව පෙනීගොස් ඇත්තේ ගැහැනුන්ගේ ඇස්වලට වඩා ප්‍රබල ආකර්ෂණයක් පිරිමින්ගේ ඇස්වල පවතින බවයි.
‘මා නම් කෙළින්ම බලන්නෙ පිරිමියාගේ ඇස් දෙක දිහාමයි. එහෙම බැලුවාම ඒ පිරිමියා කොහොම කෙනෙක්ද කියල හිතාගත හැකියි’ මේ මතය බොහෝ ගැහැනුන් දරන මතයකි.
ගැහැනු – පිරිමි මුහුණු භේදය පසෙක තබා අප කෙළින්ම මුහුණු ගැන කතාකරමුද? ඔබ හිතන්නේ ඔබේ මුහුණේ වම්පස හා දකුණුපස ඇති ලක්ෂණ සියයට සියයක්ම සමාන බව නොවේද? නැහැ. ඇත්තටම එහෙම නෑ. ඔබ මෙච්චර කාලයක් එහෙම හිතුවා නම් ඔබ ඉඳලා තියෙන්නෙ මුළාවක.
බැලූබැල්මට කෙනකුගේ මුහුණේ වම්පස හා දකුණුපස එක සමාන ලෙස පෙනුණත් එය එසේ නොවේ. කිසියම් අවස්ථාවක ඔබ මුහුණේ එක් පසක කට කොනකින් සිනා සෙන්නේ නම්, එම සිනාව හිමින්ම මුහුණේ අනෙක් පැත්තට මාරුවන බව ඔබ දන්නවාද? නොදන්නවා වුණාට ඇත්ත ඒකය.
මේ කියන දෙය ගැන ඔබට සැකයක් පවතින්නේ නම් කණ්ණාඩියක් ඉදිරි පසට ගියොත්, ඒ බව ඔබට සැක හැරලාම දැනගත හැකියි.
ඔබේ මුහුණේ දෙපැත්ත එකවගේ පෙනුණත්, එය කිසි ලෙසකින් සමමිතික නොවන බව වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙයි.
නිතර ශෝකාකූල හැඟීම් පෙන්වන කැඩපත වන්නේ ඔබේ මුහුණේ වම් පැත්තය. මුහුණේ දකුණු පැත්ත හැම විටෙකම ප්‍රසන්න හැඟීම් ඉස්මතු කරන කැඩපතය. දත්කූරු කමින්, කෝපයෙන් සිටින විට ඔබේ මුහුණේ එම ඉරියව් මතුව එන්නේද මුහුණේ වම් පැත්තෙනි.
වෛද්‍ය මතයට අනුව මෙයට බලපා ඇත්තේ, කෙනකුගේ මුහුණේ වම් පැත්ත පාලනය කරවන මොළයේ දකුණු අර්ධය චිත්තවේග ජනිත කර වීමේදී ප්‍රධාන තැනක් උසුලන බැවිනි. මේ නිසාම කලක් ගතවන විට කෙනකුගේ මුහුණේ වම්පස හම දකුණු පැත්තට වඩා රැළි ගැසෙන්නේද මේ නිසා බව වෛද්‍යවරු පෙන්වා දෙති.
‘මට ඔයා ගැන හොඳ මතකයක් තිබෙනවා… ඒත් මම මේ කල්පනා කරන්නෙ. ඔයා කාගෙ කවුද කියලා….’ ඔබ මෙවැනි කතිකාවත් කොතෙකුත් අසා තිබෙන්නට පුළුවන. කෙනකුට තවත් කෙනකු හඳුනා ගැනීමට මොළයේ හිපොකැම්පස් පෙදෙසේ සිදුවන ක්‍රියා දාමයන් පිහිටට එයි. කෙනකු වයසට යන විට තවත් කෙනකු හඳුනා ගැනීමට නොහැකිව ඉහත කී වදන් පිටවනුයේ, එම තැනැත්තාගේ ඒ වනවිට කෙනකු හඳුනා ගැනීමට මහෝපකාරී වන හිපොකැම්පස් පෙදෙසේ ස්නායු දුර්වල තත්ත්වයට පත්වන නිසාවෙනි.
උපත ලබන කුඩා දරුවකුට රුවක් මතකයට නගා ගැනීමට මාස හතක්වත් ගතවිය යුතුය. බිලිඳෙකු මුල් අවධියේ තම මව හඳුනා ගන්නේ කටහඬින් සහ ඇගේ සුවඳින් බවද වෛද්‍ය මතය වේ. බිලිඳකුට ගැහැනු හා පිරිමි රූප වෙන් වෙන්ව හඳුනා ගැනීමටද මාස පහේ සිට මාස හය දක්වා කාලයක් ගතවිය යුතුය. ඒ හැර කෙනකුට තවත් කෙනකු නිවැරදිව හඳුනා ගැනීමට මනා හැකියාවක් ඇතිවිය යුතුය. එසේ වනුයේ කෙනකුගේ දකුණු කනට මඳක් පිටුපසට වන්නට පිහිටන මස්තිෂ්ක බාහිකය හරිහැටි වැඩුණු පසුව බවද වෛද්‍යවරු පෙන්වා දෙති.
ඇමෙරිකානු මනෝ විද්‍යාඥයකු වන ආචාර්ය අර්මින් හෝප්මාන් පවසනුයේ සෑම මිනිසකුම සැබෑ මුහුණ සහ සැබෑ හැඟීම් වසාගත් වෙස් මුහුණක් මාරුවෙන් මාරුවට භාවිත කරන බවයි.
ඔබ නිවසින් පිටත් වී අසල්වැසියකු හෝ දන්නා හඳුනන අයකු මුණගැසෙන සෑම අවස්ථාවකම සිනාවක් මුහුණට ආරූඪ කරගැනීමට උත්සාහ කරනවා නොවේද? හිතේ ඇතිවන කෝපය ක්ෂණිකවම සිතේ තද කරගෙන බොරු සිනාවක් පෑමට වුවද, ඔබ එවැනි අවස්ථාවල පසුබට වන්නේ නැතැයි ආචාර්ය හෝප්මාන් පවසයි.
ඔබ දැඩි ලෙස කෝපයට පත්වන අවස්ථාවකදීත්, දැඩි ලෙස ශෝකයට පත්වන අවස්ථාවකදීත්, කෘත්‍රිම මුහුණක් මවාපෑම නම් අපහසුය. ඉමහත් ලෙස ගාම්භීර තේජස් පතුරවා ගෙන සිටින අයකු වුවත්, දැඩිව ශෝකයට පත්වන අවස්ථාවකදී කුඩා දරුවකු මෙන් හඬාවැටෙයි. එසේ වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කළාද?
කෙනකුට සැබෑ හැඟීම් දනවන ස්නායු අන්තයන් මස්තිෂ්ක බාහිකයෙන් පටන් ගන්නා බව අපි දනිමු. එහෙත් ඔබ ව්‍යාජ පෙනුමක් මුහුණට නගාගනු ලබන සෑම අවස්ථාවකම මෙකී ස්නායු ආවේග, ඊට මඳක් පහතින් තිබෙන කොටසකින් පටන් ගන්නා බවද හෙළිවී තිබේ. එසේ ව්‍යාජයන් කිරීමට යනෙන අවස්ථාවලදී කෙනකුගේ බොරු වෙස්මුහුණු ගැලවී යන අවස්ථාද ඇතිවිය හැකිය. මස්තිෂ්ක බාහිකයෙන් පටන් ගැනෙන ස්නායු ජාල පැටලීම නිසා එසේ වියහැකි බවද ආචාර්ය හෝප්මාන් අනාවරණ කරයි. තවද සිනාමුසු මුහුණ, දුක්ඛිත මුහුණ, ගාම්භීර මුහුණ වැනි මුහුණත් තහඩු රාශියක් අප ළඟ තිබෙන බව, ඒවා අවස්ථාවට ගැළපෙන ආකාරයට යොදාගැනීමට මිනිසා පසුබට නොවන බවද හෝප්මාන් කියයි.
මිනිසාගේ වෙස්මුහුණු මවාගැනීමේ දක්ෂතාව පිළිබඳ විවරණයක යෙදෙන ආචාර්ය හෝප්මාන් පෙන්වා දෙනුයේ, එවැනි වෙස්මුහුණුකාරයන් විශාල ලෙස සිටිනුයේ දේශපාලනඥයන් අතර බවය. දේශපාලනයේ අග පැමිණි බොහෝම ජනප්‍රිය පුද්ගලයන් ව්‍යාජ මුහුණු මවාගැනීමේ අතිදක්ෂයන් බවද පෙන්වා දෙයි.
එබඳු දේශපාලනඥයා
● කෙනකු යම් උපකාරයක් හෝ උදව්වක් ඉල්ලූ විටෙක, එයට කිසිදු කැමැත්තක් නොමැති වුවද සතුටු මුහුණක් පෙන්වා අන් අය ඉදිරියේ මනාව හැසිරෙයි.
● ජනතාවගේ ප්‍රශ්න හමුවේ දිවි දෙවැනි කොට කටයුතු කිරීමට තමන් බැඳී සිටින බව සිංහනාද කරමින් කියන්නේ එතැනට ගැළපෙන ලෙස තම මුහුණත් තහඩුව වෙනස් කර ගනිමිනි.
● මුහුණේ ඉරියව් වෙනස් කිරීම ප්‍රමාණවත් නොවන බව පෙනී ගියවිට, තම සිරුරේ බාහිර පෙනුම මෙන්ම ඇඳුම් පැලඳුම්ද වෙනස් කරගනී.
●තමා මෙතෙක් පැලඳි ටයි – කෝට්, ටොප් හැට් ඉවත දමා කදාර් වස්ත්‍ර, රෙද්ද, බැනියම (රටේ ජාතික ඇඳුම) ඇඟලාගත් දේශපාලන නායකයෝ කලකට ඉහතදී අපටද සිටියහ.
දේශපාලනඥයන්ගේ අපූරු සිනා අපට ඡන්ද කාලයේදීත්, දේශපාලන රැස්වීම්වලදීත් මනාව දැකගත හැකිය. ලොකු ලොකු මල් වට්ටි නිතරම අත තබා ගනිමින්, කට පුරා සිනාසෙමින් පූජා භූමි කරා දිවයන දේශපාලන නායකයෝ එදත් අප අතර සිටියහ. අදත් සිටිති.
කෙනකුගේ සිනාවට, හැඩට, රුවට, ඇඳුමට පමණක් මනාපය පිදීමේ පුරුද්ද බැහැර කොට, තම බුද්ධියට තැනදී ක්‍රියා කිරීමේ පිළිවෙතකට ගමන් කිරීමට සිතීම නම් කාලෝචිතය.

නන්දන ඩී. කෙහෙල්ගමුව










