මට තවම හොඳ චරිතයක් ලැබුණේ නෑනේ…
‘පරමි’ගේ ජීවිතයට මොන සැපසම්පත් තිබුණත් වටිනා සම්පතක් ඔහුගේ ජීවිතයට අහිමි වුණා. අම්මාගේ ආදරය තරම් උතුම් වටිනා සම්පතක් ‘පරමි’ට තවත් නැහැ. ඉතින් කාලයත් එක්ක ‘පරමි’ගේ ජීවිතයට නැවත වරක් ඒ ආදරය ‘පරමි’ට හමුවුණා. මෙලෙස ආදරණීය කතාවක් ‘සිත් අහසේ ආදරෙන්’ ටෙලිනාට්‍ය තුළින් අපිට දැකගන්නට පුළුවන්. රටක්ම ආදරය කරන ‘පරමි’ පුංචි පුතාව අපි කාලෙක ඉඳලා හෙව්වා. ඔහු තමයි තෙනුජ දිනස් වීරසූරිය. මේ පුංචි පුතා ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට කතාබහ කරන්නේ ‘මව්රට’ අපි සමගයි.
පුතා දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද?
ඔව්… ගොඩදෙනෙක් මාව රූපයෙන් දැන හඳුනන්නේ නැති වුණාට මගේ හඬින් මම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. ‘සිත් අහසේ ආදරෙන්’ ටෙලිනාට්‍යයේ ‘පරමි’ චරිතයට තමයි ඔබ හඬ කවන්නේ. දැන හඳුනන අය නම් මට කතා කරන්නේ ‘පරමි’ කියලා තමයි.
එතකොට පුතාගේ නම…?
තෙනුජ දිහස් වීරසූරිය…
අපි කැමැතියි පුතාගේ ගම්පළාත දැනගන්න?
මම වැලිසර ප්‍රදේශයේ මද්දුමගල තමයි ඉන්නේ.
පුතා ඉගෙනගන්න පාසල මතක් කළොත්?
කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, මද්දුමගල. මම දැන් දෙක වසරේ තමයි ඉගෙනුම ලබන්නේ.
ඉතින් රටක් දැන හඳුනන ‘පරමි’ පුතා කලාවට සම්බන්ධ වුණේ කොහොම..?
පුංචි තරුත් එක්ක ‘ආයුබෝවන්’ වැඩසටහනට මම අක්ක සමග ගියා. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති. ඉතින් අක්කා සමග ගියපු ගමනෙදි හොඳටම පැහිලා, සිඳු, කෝපිකඬේ වගේ නිර්මාණවලට සම්බන්ධ වුණා.
‘පරමි’ පුතාට තවම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
ඒ අවස්ථාව ලැබෙනකම් මම ගොඩාක් ආශාවෙන් ඉන්නේ. මම කැමැතියි දිගටම රඟපාලා හොඳම නළුවා සම්මානයක් ගන්න කවදා හරි. ඒත් ඉතින් තවම මට හොඳ චරිතයක් ලැබුණේ නැහැ.
අපි නිතර දෙවේලේ දකින ‘පරමි’ව පුතාට දැනුණේ කොහොමද?
මම හිතුවේ නැහැ මේ වගේ චරිතයකට මට හඬකැවීම් කරන්න ලැබෙයි කියලා. ‘පරමි’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ඒත් ඉතින් මගේ රූපය පේන්නේ නැහැනේ. ‘පරමි’ට දැනුණු ඒ දුක, වේදනාව මට දැනුණා වගේ හිතලා මම ඒ විදියට කතාබහ කළා.
පුතාගේ අලුත් වැඩකටයුතු කොහොමද?
තවම ඉතින් පාසල් පටන්ගත්තේ නැහැ මාමේ. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා සෙල්ලම් කරනවා. ඒ අතර ජාතික රූපවාහිනියේ කාටුන් එකට හඬ කැවීම් සඳහා සම්බන්ධ වෙනවා.
‘පරමි’ පුතාට මේ ගමනට උදවු කළේ කවුද?
මගේ පවුලේ හැමෝම උදවු කරනවා. ආච්චි තමයි මාව නිර්මාණවලට එක්කගෙන යන්නේ. ‘දෙරණ’ නාලිකාවේ ශානි නැන්ද, මදු, දිලුෂි නැන්දලා මට ගොඩාක් උදවු කරනවා. ඒ වගේම ‘හිරු’ රූපවාහිනියේ අනුරුද්දක, සුරංග මාමලා වගේම ප්‍රදීප් මානවඩුගේ මාමත් මතක් කරන්න ඕනෑ. මොකද ප්‍රදීප් මාමා තමයි ‘මව්රට’ පත්තරේට මෙහෙම කතා කරන්න අවස්ථාව සලසලා දුන්නේ. මාව මුලින්ම ‘දෙරණ’ ගුවන්විදුලියට සම්බන්ධ කළ නිශාන්ත දිසානායක මාමාව විශේෂයෙන් මතක් කරනවා. ඔහු නැත්නම් මම අද මෙතන නැහැ.
-වසන්ත විතාරණගේ