◼️ මේ වෙලාවේ රන්ජන්ගෙන් ගොඩයන්න මම කැමැති නෑ…
◼️ විජය හිරේ ගිය වෙලාවේ සමහරු එහෙම කෙරුවා…
◼️ රන්ජන් හින්දා හතර පාරක් කල් දැම්මා.
රන්ජන් රාමනායක කියන දේශපාලනඥයාට ආදරය කරන්න කලින්ම මේ රටේ මිනිස්සු රන්ජන් කියන නළුවට ආදරය කළා. දේශපාලනික මතවාද මොන විදියේ වුණත් තවමත් රන්ජන් කියන නළුවාට ජනතාව ආදරෙයි. ඒ ආදරේට පක්ෂ පාට භේද නැහැ. රන්ජන්ගේ අලුත් චිත්‍රපටයක් එළියට එනකම් ඒ හැමදෙනාම මඟ බලා ගෙන ඉන්නේ ඒ හින්දාමයි. “ගේම්”. ඒ තමයි ඉදිරියේදී තිරගත වීමට නියමිත රන්ජන් රාමනායක රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මේ වන විට වැඩ අවසන් වෙලා තියෙන එකම චිත්‍රපටයත් ගේම් විතරයි. ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ගේම් චිත්‍රපටයට මොන වගේ ඉරණමක් අත් වේවිද? ඒ ගැන දැන ගන්න අපි එහි අධ්‍යක්ෂ සුරංග අල්විස්ට කතා කළා.
🔴 ඇත්තටම ගේම් එකට මොකද වෙන්නේ? බොහෝ දෙනා ඒ ගැන අපෙන් අහනවා?
ලබන අප්‍රේල් 21 වැනිදා ගේම් තිරගත කරන්න තමයි දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ.
🔴 නිශ්චිතවම ගේම් එදාට එළියට ඒවිද?
මෙහෙමයි. දැනට තියෙන සෞඛ්‍ය නීති අනුව චිත්‍රපට ශාලාවකට 25%ක ප්‍රේක්ෂක පිරිසක් විතරයි ඇතුල් කරන්න පුළුවන්. ඒත් ඒ ප්‍රමාණය 50% දක්වා වැඩි කර දෙන්න කියලා අපි අදාළ අංශවලින් ඉල්ලීම් කරලා තියෙන්නේ. ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබේවි කියලා අපි හිතනවා. හැබැයි ගේම් එළියට එන්නේ එහෙම වුණොත් විතරයි. 25%ක් විතරක් ඇතුල් කරන තත්ත්වයක චිත්‍රපටය එළියට දාන්න අපි සූදානම් නැහැ.
🔴 හැබැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පසුගිය දවස්වල ඇති වුණු තත්ත්වයත් එක්ක ගේම් එළියට දාන්න හොඳම වෙලාව මේකයි කියලයි බොහෝ අය කියන්නේ?
විජය කුමාරණතුංගයන් සිරගත වුණු අවස්ථාවෙත් ඔහොම දෙයක් වුණා. ඒ වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන ගත්ත අධ්‍යක්ෂවරුත් හිටියා. ඒත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම කැමැති නැහැ. මේ වෙලාවේ රන්ජන් අයිය ගැන ජනතාවට ඇති වෙලා තියෙන ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගන්න මම කැමැති නැහැ. මගේ පළමු චිත්‍රපටයෙත් රඟපෑවේ රන්ජන් අයියා. මගේ අන්තිම චිත්‍රපටය ගේම් වුණොත් ඒකෙත් රඟපාන්නේ රන්ජන් අයියා. ඒ හින්දා හැමෝම කියන විදියට උණු උණුවේම මේ වෙලාවේ මේක එළියට දැම්මොත් ඒක අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් කියලයි මට හිතෙන්නේ. එහෙම කරන්න මම කැමැති නැහැ. කොටින්ම රන්ජන් අයියා සිරගත වුණු එක චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා යොදා ගන්න මට ඕනෑ නැහැ.
🔴 චිත්‍රපටයේ ප්‍රධාන නළුවා නොමැති වීම අධ්‍යක්ෂවරයා විදියට ඔබට බලපාන්නේ මොන විදියටද?
ඇත්තටම මගේ හැම චිත්‍රපටයකම සමාරම්භක උළෙල ඉතාම උත්සවාකාරයෙන් කෙරුවා. ඒත් රන්ජන් අයියා නැතිව මොන උත්සවද. ඒ හින්දා වෙනදා තරම් ලොකුවට සමාරම්භක උළෙලක් කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒක ලොකු වෙනසක් වේවි.
🔴 ගේම් චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ කවදද?
ගිය අවුරුද්දේ මැයි මාසේ විතර තමයි වැඩ ඉවර වුණේ.
🔴 රන්ජන් රාමනායක හින්දා චිත්‍රපටයේ රූගත කිරීම් දිනෙන් දින කල් දාන්න වුණා කියලත් දැන ගන්න ලැබුණා?
2019 සැප්තැම්බර් මාසේ තමයි අපි චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ ජනාධිපතිවරණය ආවා. රන්ජන් අයියා කාර්යබහුල වුණා. ඒ හින්දා පොඩ්ඩක් කල් දාන්න වුණා. ඊට පස්සේ රන්ජන් අයියට සාමාන්‍ය පෙළ ලියන්න ආයෙත් කල් දැම්මා. ඊළඟට මහ මැතිවරණයට දින නියම වුණා. ඒ හින්දත් ටික දවසක් චිත්‍රපටයේ වැඩ නතර වුණා. අන්තිමට රන්ජන් අයියා දවස් 41කට බන්ධනාගාර ගත වෙද්දිත් චිත්‍රපටයේ වැඩ ඉවර වෙලා තිබුණේ නැහැ. එයාට ඇප ලැබිලා ආවට පස්සේ තමයි වැඩ ඉවර කළේ.
🔴 කොහොමද චිත්‍රපටයට දැනට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම හොඳ ප්‍රතිචාර දැනටම ලැබෙනවා. ඒ වගේම තව එකක්. චිත්‍රපටය මොකක්ද කියලා දන්නේවත් නැතිව සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කරන පිරිසක් ඉන්නවා. මේක අරකේ කොපියක් මේකේ කොපියක් කියලා ඒ අය නිකම් බොරුවට කෑ ගහනවා. මම නම් ඒවා ගනන් ගන්නේ නැහැ. චිත්‍රපටය එළියට ආවට පස්සේ ඒක බලලා ඒ විවේචන කරනවා නම් හොඳයි කියන එක ඒ අයට කියන්න ඕනෑ. චිත්‍රපටය බලපු කෙනෙක් කරන ඕනෑම විවේචනයක් මම ඉතාම සතුටින් බාර ගන්නවා.