ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9.00ට විකාශනය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලෙස සුවහසක් රසික සිත් ඇද බැඳ ගත් ලංසුපතිනියෝ ටෙලිනාට්‍යය කොරෝනා උවදුර මුල්කොට ඇති වූ ඇඳිරි නීතිය හේතුකොට ගෙන අතරමඟ නතර විය. නැවැත ආරම්භය කවදාදැයි අවිනිශ්චිත හෙයින් රාත්‍රි නවයේ හෝරාවට හිස්තැන පුරවන්නට දැනුම් දීමකින් තොරවම හිටි අඩියේ ‘ගිම්හානයේ සඳ’ පායා ආවේ ජනප්‍රිය ටෙලි තරු පිරිසක්ද සමඟය. එහි ප්‍රධාන නළුවා ලෙස ලක්‍ෂ්මන් පුෂ්පකුමාර් තෝරාගෙන තිබුණේ අමිල අබේසේකරමය. ‘ගිම්හානයේ සඳ’ ගැන අමිල සමඟ මඳක් දොඩමලු වන්නට අපට සිත්විය. කිහිප වරක්ම ඔහුගේ දුරකතන අංකයට ඇමතුම් ගත්තද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
‘අමිල අබේසේකර ටිකක් ආඩම්බරයි…’
කිසිවකු දවසක් කීවා මතකය, කෙසේ වුවද අමිලට පණිවුඩයක් තබා ‘හාට්’ වෙනුවෙන් වෙනත් කලාකරුවකු සොයා යන්නට දරන උත්සාහයේදී අමිල පණිවුඩය දැක ‘උය්එි ්චච’ හරහා ඇමැතුමට ප්‍රතිචාර දැක්වීය.
‘මව්රට’ පත්තරයෙන් කතා කරලා තිබුණා.’
‘ඔව් ‘හාට්’ එකට ඔයාගෙන් ඉන්ටර්විව් එකක් ගන්නයි කතා කළේ’
‘මම ලංකාවේ නෙවෙයි ඩුබායිවල ඉන්නේ. ලංකාවට එන්න විදියක් නැතිව ඉන්නේ. මේ කොරෝනා ප්‍රශ්නෙ නිසා. හැබැයි ‘උය්එි ්චච’ එකෙන් අද හවස ඔයාලට ඉන්ටර්වීව් එකනම් දෙන්න බැරිකමක් නැහැ මට. කැමැති නම් ලංකාවේ වෙලාවෙන් හවස පහමාරට හයට වාගේ ගන්න.’
ටිකක් ආඩම්බර යැයි කිසිවකු පැවසූ අමිල අබේසේකර ‘හාට්’ සමඟ එක්වූයේ එලෙසිනි.
කොරෝනා වෛරසය හේතුකොට ගෙන සියලු සැලසුම් දින නියමයක් නොමැතිව කල් දැමූ සුවහසක් ජනතාව අතර බොහෝ කලාකරුවෝද වෙති. ඒ අතර ඇතැම්හු විදේශගතව නැවැත මව්රටට පැමිණීමට නොහැකිව සිටිති. බලනවිට සියල්ල මහා අහම්බයකි. ‘හාට්’ විශේෂංගය සඳහා ආරාධනා කරන්නට අප බලා සිටි අමිල අබේසේකර ඩුබායි සිට ‘උය්එි ්චච’ හරහා කතා බහ කිරීමද ඒ අහම්බයන් අතර තවත් එක් සිදුවීමකි.
ඉතින් අමිල, පළමුවෙන් ඔබ හොඳින්ද කියා අහන්නම්?
ඇත්තෙන්ම මම හොඳින්. මට කිසිම කරදරයක් නැහැ.
ඩුබායිවලට ගියේ ටෙලිනාට්‍යයක රූගත කිරීමක් සඳහාද?
නැහැ. මම ආවේ මගේ වයිෆ්ව බලන්නයි. තේජා නිවාඩුවට ලංකාවට ඇවිදින් ආයෙම ඩුබායිවලට ආවේ මාර්තු මුලයි. කොරෝනාවල ආරම්භයත් එක්කම වාගේ එයා උගුරෙ ආසාදනයකට මුහුණ දුන්නා.
එතැනදී තේජා වගේම මමත් ටිකක් බය වුණා. ඒ තිගැස්ම මත තමයි මට එයා ළඟ ඉන්න ඕනෑය කියන සිතුවිල්ල මත ඩුබායිවලට ආවේ.
ඇත්තටම මේ විදියට මේ වසංගතය දරුණු වෙයි කියලවත් රටවල් ‘ලොක්ඩවුන්’ වෙයි කියලවත් හිතුවේ නැහැ. ඒ වගේම ලංකාවට යන්න බැරිව මේ විදියට වෙනත් රටක සිරගතවීමක් ගැන නම් කොහොමටත් හිතුවේ නැහැ ඇත්තටම.
ඔබ සිටින්නේ යම් මානසික පීඩාවකද අමිල?
අයියෝ නැහැ. ලංකාවට යන්න බැරිව හිරවුණත් මම ඉන්නේ මගේ ආදරණීය බිරිඳ ළඟ.
මට ඇයත්, ඇයට මමත් ඉන්නවා. මොන දේට මුහුණ දෙන්න වුණත් අපි දෙන්න එකම තැනක අපි දෙන්නා වෙනුවෙන් ඉන්නඑක හිතට අස්වැසිල්ලක්.
ගිම්හානේ සඳ ගැන කතාකරමු. එහි රූගත කිරීම් සියල්ල අවසානයිද අමිල?
ඔව්. මම මාර්තුවල ලංකාවෙන් ආවේ එහි සියලුම රූගත කිරීම් නිමවූ පසුවයි.
බාරගත් කලා කටයුතුවල ඔබ නැති නිසා අතරමඟ නතර වූ තැන් තියෙනවද?
අවුරුදු වැඩසටහන් කිහිපයකටම රූපවාහිනී නාළිකා කිහිපයකින්ම ආරාධනා ලැබිලා තිබුණා. මම ඩුබායි එනවිටත් ඔවුනට පොරොන්දු වුණා මාර්තු 20 පමණ ලංකාවට එනවා කියා.
නමුත් සියල්ල නොසිතූ ලෙස වෙනස් වුණා. මොනවා කරන්නද? මෙය ඔබට, මට පමණක් නෙවෙයි මුළු ලෝකයටම සිද්ධ වූ ව්‍යසනයක්. ඒ නිසා ඉවසීම උපේක්‍ෂාව තුළ අප දවස ගෙවිය යුතුයි.
අලුත් ටෙලිනාට්‍ය කිහිපයකට ඔබට ආරාධනා ලැබූ බව ආරංචි වුණා?
ඔව්. මාර්තු 20 ලංකාවට එන්න ලෑස්තිව හිටියේ එහි තිරපිටපත් ලබා ගන්නයි. එහි අධ්‍යක්‍ෂවරුනට පවා මම කියා තිබුණා මම පැමිණෙනවා කියා මාර්තු 20 පමණ එහි වැඩ කටයුතු ආරම්භ කරන්නට.
නමුත් නොසිතූ ලෙස සියලුම සැලසුම් වෙනස් වුණා. ඇත්තටම කලාකටයුතු අතර ඉතාම වැදගත්ය කියන මගේ පෞද්ගලික කටයුත්තකටද මම අතගැසීමට බලාපොරොත්තුව සිටිය බවද මෙතැනදී කිව යුතුමයි.
ඩුබායි රටට වී සිංහල අවුරුදු සිරිත් සැමරුවද ඔබ?
අපොයි ඔව්. ඒක කොහොම අමතක කරන්නද? ඉතාම චාමෙට මමයි, තේජයි අවුරුදු සිරිත් බොහොම හැඟීම්බරව සැමරුවා.
ඒ වගේම අවුරුදු සිරිත් සමරන්න පාට පාට ඇඳුම්වත් බයිලා සාජ්ජවත් ඕනෑ නැහැ මම හිතන්නේ.
කොරෝනා උවදුර වෙනුවෙන් ඔබේ රසිකයනට පණීවුඩයක්?
ඉතාම දයාවෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය සේවාව සහ ආරක්‍ෂක අංශය ගෙනයන මෙහෙවරට සහයෝගය දෙන්න. නීතිගරුක වන්න. ආත්මාර්ථකාමී නොවී හැමෝම ගැන හිතලා තමන් වාගේම අනෙක් අයවත් ආරක්‍ෂා කරන්න. ඩුබායිවල ජනතාව ඇත්තෙන්ම ආරක්‍ෂාව වෙනුවෙන් ගෙන තිබෙන සෑම පියවරකටම හොඳ සහයෝගයක් දෙනවා. ඒ වගේම ඔවුන් හරිම නීතිගරුකයි.
පරෙස්සම් නොවීම තුළ ඇතැම් රටවල් මුහුණ පා ඇති තත්ත්වය ඉතාම ඛේදජනකයි. හිතලා බලන්න තත්පර ගණනකට එක් අයකු මරණයට පත්වීම කෙතරම් අවාසනාවක්ද?
ඒ අවාසනාවට අප ගොදුරු වන්නේ ඇයි. නීතිගරුක වෙමු. හැකි පමණ පරෙස්සම් වෙමු. අප කොරෝනාව ගෙදරට අරන් එනවා මිසක කොරෝනාව අප සොයාගෙන එන්නේ නැහැ. අන්න ඒ නිසා මේ උවදුර රටෙන් ලෝකයෙන් තුරන් කරන්නට එක්සත්ව නැඟී සිටිමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











