හඬකවන හැමෝටම රඟපාන්න පුළුවන්…
රාවණා ටෙලි නාට්‍යයේ ජනප්‍රිය වූ චරිත අතර ධරණිට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. ප්‍රේම දඩයමේ ශිවන්‍යාගේ චරිතයට හඬ කවමින් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු පූර්ණිමා විදේශිකා තමයි රාවණා ටෙලිනාට්‍යයේ ධරණිගේ චරිතයට පණ පොවන්නේ. මේ පූර්ණිමා අපි එක්ක කළ කතාබහ.
රාවණා ඉවර වෙලා ටික කාලයක් ගත වුණත්, තවමත් ධරණිට ලැබෙන ප්‍රතිචාර නම් අඩුවක් නැතුව ඇති නේද?
ඇත්තටම ඔව්. තවමත් ධරණිට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩිහිටි, තරුණ පරම්පරාවෙන් විතරක් නෙවෙයි අපේ බාල පරම්පරාවෙනුත් ධරණිට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. බැට් මෑන්, සුපර් මෑන් වීරයෝ කරගෙන හිටිය අපේ ළමා පරම්පරාවට අලුත් වීරයෝ ටිකක් හඳුන්වලා දෙන්න රාවණා ටෙලි නාට්‍යයට පුළුවන් වුණා කියලයි මම හිතන්නේ. වෙනත් ටෙලි නාට්‍යවල වගේ නෙවෙයි ඇත්තම කිව්වොත් ධරණිට බැනපු කවුරුවත් මට තවම හම්බ වෙලා නැහැ.
හඬ කැවීම් ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට ආව පූර්ණිමා රංගන ශිල්පිනියක් බවට පත් වෙන්නේ රාවණා හරහා. කොහොමද ඒ වෙනස ඔබ දකින්නේ?
රඟපාන හැම දෙනාටම හඬ කැවීම් කරන්න බැරි වුණාට, හඬ කැවීම් කරන හැම දෙනාටම රඟපාන්න පුළුවන් කියලයි මම හිතන්නේ. රාවණා ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් සඳහා වෙනම හඬ කැවීම් සිදු කළා. නමුත් මගේ චරිතය සඳහා මමමයි හඬ කැවීම සිද්ධ කළෙත්. මගේ පළමු රංගනය වුණත් ඒකට උපරිම සාධාරණය කරන්න මට පුළුවන් වුණේ හඬ කැවීමෙන් ලැබුණු පළපුරුද්ද නිසා කියල මට හිතෙනවා.
ඔබ හඬ කැවීම් ශිල්පිනියක් විදියට වැඩ කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් වෙනවා. ඇයි රංගනයට පිවිසෙන්න මේතරම් ප්‍රමාද වුණේ?
මීට කලින් මට ආරාධනා ලැබිලා තිබුණත් ඒ චරිතවලට මම ඒ තරම් කැමැති වුණේ නැහැ. සටන් ජවනිකා පිරුණු ධරණි වගේ චරිතයකට තමයි මම කොහොමත් ආශාවෙන් හිටියේ. මොකද මම පාසල් යන කාලයේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා දක්වා ගිය කෙනෙක්. ධරණි ලැබෙනකම් ඒ වගේ චරිතයක් නොලැබුණු හින්දා තමයි රංගනයට එන එක ප්‍රමාද වුණේ. රංගනයට එකතු නොවුණත් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියට මම දිගටම රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඉදිරියට ආවා.
අපි ප්‍රේම දඩයම ගැන කතා කරමු. මං හිතන්නේ පූර්ණිමාව රටම හඳුනා ගත්තේ එතැනින්?
ඇත්තටම ඔව්. මෑත කාලයේ විකාශනය වූ ටෙලි නාට්‍ය අතරින් පිස්සුවක් බවට පත් වුණු නිර්මාණයක් තමයි ප්‍රේම දඩයම. එහි ශිවන්‍යාට හඬ කැවීම් කරන්න ලැබුණු එක මගේ ජීවිතයේ සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ළමා කාලයේ ඉඳන්ම රූපවාහිනී වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා හිටියත් වැඩිහිටියෙක් විදියට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ ප්‍රේම දඩයම හින්දා.
කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
ප්‍රේම දඩයම ටෙලි නාට්‍ය සඳහා යොදා ගත් බොහෝ හඬ කැවීම් ශිල්පීන්ට එහි රංගන ශිල්පීන්ට තරමක් හෝ සමාන පෙනුමක් තමයි තිබුණේ. මගේ පෙනුමත් ශිවන්‍යාගේ පෙනුමට සමාන හින්දා තමයි හඬ කැවීම් පරීක්ෂණ සඳහා ඒ අය මට කතා කරලා තිබුණේ. ඒ වෙද්දී මම හඬ කැවීම් සඳහා සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. කොහොම හරි අන්තිමට ශිවන්‍යාට හඬ කවන්න මාව තේරුණා.
මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?
මගේ උපාධිය අවසන් කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව. මම හදාරන්නේ මනෝවිද්‍යා විෂය. ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවද නැද්ද කියන එක මම තවම තීරණය කරලා නැහැ. හැබැයි කලාව වෘත්තිය විදියට තෝර ගන්නත් මගේ අදහසක් නැහැ. මගේම ව්‍යාපාරයක් කරන්නත් මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම











