කවුරුත් කිව්වෙ නෑ – ඒත් අපි නිරෝධායනයේ…
හෙලෝ අංජන
ඔව්. කතා කරනවා.
අංජන ඕගොල්ලෝ මේ දවස්වල නිරෝධායනට ලක් කරලා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක් පැතිර යනවා. ඒකේ ඇත්ත නැත්ත දැන ගන්න තමයි කතා කළේ.
ඔව්. ඒක ඇත්ත. හැබැයි කවුරුවත් අපිට නිරෝධායනය වෙන්න කියලා නම් කිව්වේ නැහැ. ඒත් අපි එක්ක එක දර්ශන තලයේ හිටිය නළුවෙකුට කොවිඞ් 19 ආසාදනය වෙලා කියලා දැන ගන්න ලැබුණට පස්සේ ස්වයං නිරෝධායනයට ලක් වෙන්න ඕනෑ කියලා අපි තීරණය කළා. සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරලා මේ වෙද්දී ගෙදරට වෙලා ඉන්නවා.
ඕගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක ගැනත් දැන ගන්න ප්‍රේක්ෂකයෝ කැමැති වේවි.
දැනට නම් අපි කාටවත් එහෙම කිසිම වෙනසක් නැහැ. කොහොමත් දවස් 14ක් ගෙදර ඉඳලා පී. සී. ආර්. පරීක්ෂණයකුත් කරලා එළියට බහින්න තමයි හිතා ගෙන ඉන්නේ.
මේ දවස්වල අතිශය ජනප්‍රිය නළුවෙක් වන අංජන ප්‍රේමරත්නත් එක්ක අපි කළ කතාබහක් තමයි ඉහළින් සටහන් කරලා තියෙන්නේ. අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වෙලා කියලත්, ඒ හින්ද ඔහු සමඟ එකට වැඩ කළ ශිල්පීන් කිහිප දෙනෙක් ස්වයං නිරෝධායනට ලක් වෙලා කියලත් පසුගිය සතියේදි සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක් පැතිර ගියා. මේ කතාවේ ඇත්ත නැත්ත දැන් ගන්න තමයි අපි එහි නම් සඳහන් වෙලා තිබුණු ශිල්පීන්ට කතා කරන්න තීරණය කළේ. ඒ අතරේ අංජනගේ නමත් සඳහන් වෙලා තිබුණු හින්දයි අපි ඔහුටත් කතා කළේ.
සමාජ මාධ්‍යවල තියෙන හැම දෙයක්ම පිළිගන්න බැරි හින්දා අපි මේ ගැන දැන ගන්න තවත් බොහෝ දෙනකුට කතා කළා. ඒ අනුව මේ සිද්ධියේ ඇත්ත නැත්ත දැන ගන්න අපිට පුළුවන් වුණා. අපිට දැනගන්න ලැබුණු විදියට සම්පූර්ණ සිද්ධිය මෙහෙමයි.
නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන අකිල ධනුද්දරට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් එක්ක තමයි මේ ශිල්පීන් හැම දෙනාම ස්වයං නිරෝධායනයට ලක් වෙන්න තීරණය කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ ගැන විස්තර දැන ගන්න අකිලට කතා කරන්න අපි කීප වරක්ම උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඒ වගේම අකිලට වෛරය ආසාදනය වූ ආකාරය ගැනත් තවම හරියටම විස්තර දැන ගන්න නැහැ.
දැන ගන්න ලැබෙන විදියට අංජනට අමතරව අකිල එක්ක මුල් පෙළේ ඇසුරක් පවත්වපු සුරාජ් මාපා, සූර්යා දයාරුවන්, ලක්රුවන්ද සේරම්, සිසිර ටිල්වාන්, රොෂාන් රවීන්ද්‍ර, ජගත් මනුවර්ණ, දීපිකා රාජපක්ෂ සහ අනුරාධ එදිරිසිංහ කියන රංගන ශිල්ප ශිල්පිනියන්ද මේ වෙද්දී ස්වයං නිරෝධායනයට ලක් වෙලා ඉන්නවා.
කොවිඞ් 19 කියන්නේ තරාතිරම බලලා වැලඳෙන වෛරසයක් නෙවෙයි. මීට කලින් හොලිවුඞ් සහ බොලිවුඞ් නළු නිළියන් විශාල පිරිසකටත් කොවිඞ් ආසාදනය වෙලා තිබුණා. ඒ හින්දා අපේ රටේ රංගන ශිල්පියෙකුට කොවිඞ් ආසාදනය වීම සහ තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් වෙලා ඉන්නවා කියන එක පුදුමයට පත් වෙන්න කාරණයකුත් නෙවෙයි.
කොහොම වුණත් ඉක්මනින්ම නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා අපේ සිත් සතුටු කරන්න මේ කලාකරුවන් සියලු දෙනාට ශක්තිය ලැබේවා කියලා අපි හැමෝම ආශීර්වාද කරමු. ඒ විතරක් නෙවෙයි කොවිඞ් අපි අසලම ගැවසෙනවා කියන එකත් නිතරම හිතේ තියාගෙන කටයුතු කරන්නත් අමතක කරන්න එපා.
චන්දන පොන්නම්පෙරුම











