රුවන් බණ්ඩාර කියන චරිතය ආකාර කිහිපයකට ඔබේ මතකයට එන්න පුළුවන්. ඒ බිග් බ්‍රදර්ස් කණ්ඩායමේ නායකයා විදියට. නැත්නම් සන්ෆ්ලවර් නියාමක ගායන ශිල්පියා විදියට. නැත්නම් ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියා විදියට. මේ කිහිප විදියටම රුවන් අපේ රටේ සංගීතයට ආදරය කරන ජනතාවගේ හදවත දිනා ගත්තා. ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම හරහා සංගීත දිවිය ආරම්භ කරපු රුවන් ඊට පස්සේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම එක්ක අතිශයින් ජනප්‍රිය වුණා. ඒත් එක පාරටම සන්ෆ්ලවර් කණ්ඩායමෙන් රුවන් ඉවත් වුණා. ඇත්තම කිව්වොත් සන්ෆ්ලවර් කණ්ඩායමෙන් රුවන්ව ඉවත් කළා. ඒ සිදුවීමෙන් වසර කිහිපයකට පස්සේ ඒ ගැන රුවන් ප්‍රසිද්ධියේ අදහස් දක්වලා තිබුණා. ඒ තරුණයා ඔන්ලියන් යූටියුබ් නාළිකාවත් එක්ක.
ඔබව ප්‍රසංග වේදිකාවේ බිග් බ්‍රදර් කියලා තමයි හඳුන්වන්නේ මොකක්ද ඒකට හේතුව?
ඒක වුණේ බිග් බ්‍රදර්ස් සංගීත කණ්ඩායම හින්දා. ඒකේ ප්‍රධානියා මමනේ. ඒ හින්දා ඒ නමින් මාව අමතන්න ගොඩක් අය පුරුදු වුණා.
බිග් බ්‍රදර්ස් කණ්ඩායමත් අපේ රටේ ප්‍රසංග වේදිකාවේ ලොකු පෙරළියක් කළා. ඒත් කෝ දැන් බිග් බ්‍රදර්ස්?
ඒක දිග කතාවක්. ඒකේ ආරම්භයම අමිහිරි සිද්ධියක්. කවුරුත් දන්නව සන්ෆ්ලවර් කණ්ඩායමෙන් අපිව ඉවත් කළ බව. ඇත්තටම මාව තමයි මුලින්ම ඉවත් කළේ. ඊට පස්සේ අනිත් අයව. ඒකට මම සන්ෆ්ලවර් නීල් අයියට දොසක් කියන්නේ නැහැ. කණ්ඩායමේ නායකයා විදියට ඒක එයාගේ අයිතිය. ඒත් එක පාරටම මගේ ජොබ් එක නැති වුණා. හැබැයි ඒ වෙද්දී සන්ෆ්ලවර් හරහා මගේ ජීවිතයට සෑහෙන දෙයක් ලබා ගෙන තිබුණා. මගේ කියලා සින්දු පහළොවක් විතර අතිශය ජනප්‍රිය වෙලා තිබුණා. ඒක කෝටි ගානකට වැඩිය වටින දේපොළක්. කණ්ඩායමෙන් අයින් කළාට පස්සෙත් මට ගායකයෙක් විදියට ප්‍රසංග ඕනෑ තරම් තිබුණා. ඇත්තටම මට හිතුණේ ඒක මගේ වාසනාවක් කියලා. ඒත් සන්ෆ්ලවර් කණ්ඩායමෙන් අනිත් අයවත් ටිකෙන් ටික අයින් කරද්දි නැවත සංගීත කණ්ඩායමක් පටන් ගන්න යෝජනාව ආවා. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. බෑන්ඞ් එකක් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මම කිව්වේ බෑන්ඞ් බැහැ කියලා. නමුත් වැඩි දෙනාගේ ඉල්ලීමට ඒ වැඬේ පටන් ගන්න වුණා. ඒත් මම කිව්වා වගේම ආව කට්ටිය ආපහු ගියා. බෑන්ඞ් බෑ කියලා මම කිව්ව එක හරි ගියා.
ඔබව සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතු වුණේ මොකක්ද?
සමහරවිට මගෙ තිබුණු කලහකාරී ගතිය වගේ එක වෙන්න ඇති. මම කියන්න තියෙන දේ මූණටම කිව්වා. ඒ හරහා විවිධ මත ගැටුම්, කතා බහ ඇති වුණා. ඒ වෙලාවලදී මම තරමක් වැඩිපුර ගියාදෝ කියලත් මට හිතෙනවා.
සන්ෆ්ලවර් කණ්ඩායම කැඩිලා යන්න බලපෑවේ ඔබේ ඉවත් කිරීමද?
මෙහෙම දෙයක් වුණා. ඒ මාව අයින් කරනවා කියලා දැන්නුව දවස. එදා ප්‍රසංගයක් ඉවර වෙලා වෑන් එකට නැඟලා තමයි නීල් අයියා ඒක කිව්වේ. රුවන්ව අද ඉඳන් අයින් කරනවා කිව්වම මාත් හිතුවේ ඒක විහිළුවක් කියලා. අනෙත් අයත් එහෙමයි හිතුවේ. නීල් අයියේ විහිළුවටද කිව්වේ කියලා මාත් ඇහුවා. ඒත් ඒක විහිළුවක් නෙවෙයි. එයා ඒ තීරණය අරගෙන තිබුණා. හැබැයි ඒ වෙලාවේ මං වෙනුවෙන් රොෂාන් පෙරේරා අයියයි, ඇන්ටන් පෙරේරා අයියයි කතා කළා. ඒ දෙන්නා විතරයි ඒ වෙලාවේ මං වෙනුවෙන් කතා කළේ.
ඒකට හේතුව මොකක් කියලාද ඔබට කිව්වේ?
ඔව්. ඒ තීරණයට හේතුව මොකක්ද කියලා මාත් නීල් අයියගෙන් ඇහුවා. එයා ඒකට කිව්වේ එකම හේතුවයි. රුවන් ඔයා දැන් ස්මාර්ට්. ඔයා දැන් බෑන්ඞ් එකක ඉන්න ඕනෑ මට්ටමට එහා ගිහින් ඉන්නවා. සන්ෆ්ලවර් කණ්ඩායම සතුව සින්දු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් මිනිස්සු දැන් එන්නේ ඒවා අහන්න නෙවෙයි. ඔයාගේ ඒවා අහන්න. එහෙමයි නීල් අයියා කිව්වේ. ඒ කතාවේ සාධාරණයකුත් තියෙනවා. ඒත් ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒක සෑහෙන අසාධාරණ තීන්දුවක්. රොෂාන් අයියා ඒකට කෙළින්ම විරුද්ධ වුණා. කවුරු හරි කමක් නැහැ එයාගේ සින්දු ජනප්‍රිය වෙනවානම් අපිටනේ හොඳ කියලා එයා කිව්වා. මාව අයින් කරන වෙලාවේ කතා කළේ ඒ දෙන්නා විතරයි. ඒ දෙන්නව සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතුව ඒක නම් මං ඒ ගැන කනගාටු වෙනවා.
ඇන්ටන්, රොෂාන් සහ ඔබ එකට එකතු වෙලා සංගීත කණ්ඩායමක් පිහිටුවා නොගත්තේ ඇයි?
අපි කට්ටියගෙන් අන්තිමටම තමයි රොෂාන් අයියව අයින් කළේ. සංචාරයක් යන්න ගිහින් එයාර්පෝට් එකේදි තමයි අයින් කරපු බව එයාට කියලා තිබුණේ. අලුත් කණ්ඩායමක් හදන්න ඇන්ටන් අයියයි, රොෂාන් අයියයි මාව හොයාගෙන ආවා. ඒ වෙද්දී අපි බිග් බ්‍රදර්ස් හදන්න හැම දේම කරලා ඉවරයි.
ඊට පස්සේ බිග් බ්‍රදර්ස් කැඩෙන්නේ කොහොමද?
මෙහෙමයි. බෑන්ඞ් බෑ කියන එක මම මුල ඉඳන්ම දැන ගෙන හිටියා. මට ගොඩාක් පෞද්ගලික දේවල් කියන්න බැහැ. ඒත් මම ඔය මාලන්, මංජු, රන්ශ්‍රී ගැන ෆ්ලෑෂ්බෑක් කාලේ ඉඳන්ම දන්නවා. ඔය කට්ටියට එකතු වෙලා වැඩක් කරන්න අමාරුයි.
ලංකාවේ ගොඩක් සංගීත කණ්ඩායම්වල හිටපු ප්‍රබලයෝ ඉවත් වෙලා ගියාට කණ්ඩායම් නැවතුණේ නැහැ. සන්ෆ්ලවර්, ෆ්ලෑෂ්බෑක් වගේ හැමෝටම එහෙම වුණා. ඒත් ඒවා තාම තියෙනවා.
එහෙනම් බිග් බ්‍රදර්ස් විතරක් ඇයි නැවතුණේ?
බිග් බ්‍රදර්ස් නැවතිලා නැහැ. හැබැයි ඒක දැන් වෙනම කළමනාකාරිත්වයක් යටතේ යන්නේ. නායකයා තවමත් මම. නමුත් කළමනාකාරිත්වය වෙනස්.
අවසන් වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්? සන්ෆ්ලවර් කණ්ඩායමෙන් එළියට ගිය පිරිස, ඒ කියන්නේ ඔබ, රොෂාන්, ඇන්ටන්, මංජු, මාලන් නැවත එකතු වෙලා කණ්ඩායමක් හැදුවොත් ඒක මොන වගේ වෙයිද?
එහෙම එකක් හැදුවොත් නම් හැදුවම තමයි.
චන්දන පොන්නම්පෙරුම











