1971 සිංහල සිනමාවට අමතක නොවන වසරක්. මේ වසරේ තමයි සිංහල සිනමාවේ අලුත් පෙම් යුවළක ආරම්භය මතු වන්නේ. එම වසරේ තිරයට එන නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයෙන් තමයි මෙයට පදනම වැටෙන්නේ. මේ තමයි විජය – මාලිනි යුවළ. විජය කුමාරණතුංග, මාලිනි ෆොන්සේකා පෙම්වතුන් ලෙස රඟපාන චිත්‍රපට අතරින් මුලින්ම තිරයට එන චිත්‍රපටය තමයි මේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ එවකට මෙරට සිනමාවේ අංක එකේ නළුවා ලෙස හැඳින්වුණු ගාමිණි ෆොන්සේකා රඟපෑවත් ප්‍රධාන පෙම් යුවළ වන්නේ විජය හා මාලිනියි. එදා ඒ විදියට විජය – මාලිනි යුගය ආරම්භ වුණත්, ඒ වගේම මේ දෙදෙනා කෙතරම් ආකර්ෂණීය පෙම් යුවළක් වුණත් ඇත්තෙන්ම විජය – මාලිනි යුගය අභිභවන්නට සමත් වනවා 1972 වසරේ ආරම්භ වන ගාමිණී – මාලිනි යුගය. මීට පෙර එනම් හැටේ දශකයේ ගාමිණි – ජීවරානි, ගාමිණී – සන්ධ්‍යා, ගාමිණී – අනුලා, ගාමිණී – විජිත මල්ලිකා වශයෙන් යුග තිබුණත් ගාමිණී ආරම්භ කරනවා 1972 වසරේ මාලිනී සමඟින් අලුත් යුගයක්. 1972 මුලින්ම නිධානය ඉන්පසු සහනය වගේම විනෝදාත්මක සිනමාවේ මේ දෙදෙනා මුලින්ම පෙනී සිටින එදත් සූරයා අදත් සූරයා, ඒ වගේම වසර අවසන තිරයට එන ආදරේ හිතෙනවා දැක්කම වැනි චිත්‍රපටවල ප්‍රධාන නළු නිළි දෙපළ වන්නේ මේ දෙදෙනායි. ආදරේ හිතෙනවා දැක්කම චිත්‍රපටයේ විජය රඟපෑවත් මාලිනී ඔහුගේ පෙම්වතිය නෙවෙයි. ඇය එහි ගාමිණීගේ පෙම්වතියයි. මෙසේ ගාමිණි – මාලිනි චිත්‍රපට හතරක් 1972 තිරගත වන විට එම වසරේ තිරයට එන්නේ විජය – මාලිනි යුගයට අයත් එක චිත්‍රපටයක් පමණයි. ඒ තමයි තිමති වීරරත්නගේ මේ දෙඇස කුමටද චිත්‍රපටය. නමුත් අප අමතක නොකළ යුතුයි මෙහිදීත් විජයගේ ප්‍රධාන පෙම්වතිය සුමනා අමරසිංහ මිසක් මාලිනී නොවන බව.
ගාමිණී – මාලිනි යුගයේ අමරණීයම නැත්නම් උච්චතම අවස්ථාව සටහන් වන්නේ 1973 වසරේ යැයි පවසතොත් එය ඉතාමත් නිවැරැදියි. එම වසරේ මේ දෙදෙනා පෙම්වතුන් ලෙස රඟන චිත්‍රපට හතරක් තිරයට එනවා. ඒ තමයි සදහටම ඔබ මගේ, හොඳම වෙලාව, හොඳයි නරකයි, හොඳට හොඳයි යන චිත්‍රපට හතර. ඒ වගේම තමයි විජය – මාලිනි යුගයේ තවත් අමරණීය සිහිවටනයක් වන තුෂාරා චිත්‍රපටය තිරගත වන්නේත් එම වසරේයි. කොහොම නමුත් තවත් විජය – මාලිනි චිත්‍රපට දෙකක් එම වසරේ තිරයට එනවා. ඒ දහකින් එකෙක් හා හත්දින්නත් තරු යන චිත්‍රපටයි. නමුත් හත්දින්නත් තරු චිත්‍රපටයේ එක අවස්ථාවක විජය – මාලිනි පෙම්වතුන් වුවත් කතා නායකයන් වන්නේ විජය හා දේවිකා කරුණාරත්නයි.
විජය – මාලිනි යුගයේ තවත් අමතක නොවන චිත්‍රපටයක් තමයි 1974 තිරගත වන සුසී චිත්‍රපටය. නමුත් එම වසරේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස පෙනී සිටින එකම චිත්‍රපටය මෙය පමණයි. මේ අනුව එම වසරේත් ගාමිණි – මාලිනි යුගය ඉදිරියෙන්. මෙම දෙදෙනා ප්‍රධාන චරිතවලට පණපොවන වසර මුල තිරගත වන කස්තුරි සුවඳ වගේම වසර අවසන තිරයට එන සැණකෙළිය චිත්‍රපටයත් මෙය සහතික කරනවා.
තත්ත්වය මෙසේ වුවත් අපට දැක ගැනීමට ලැබෙන දෙයක් තමයි 1974 වසර අවසාන භාගය වන විට ක්‍රමයෙන් ගාමිණී – මාලිනි වෙනුවට විජය – මාලිනි යොදාගෙන චිත්‍රපට රැසක් නිෂ්පාදනය වන ආකාරය. එසේ වුණත් 1975 වසරේත් ආවා සොයා ආදරේ හා සූරයා සූරයාමයි යන ගාමිණි – මාලිනි චිත්‍රපට දෙක තිරගත වනවා. එම වසරේත් විජය – මාලිනි යුවළ පෙම්වතුන් ලෙස රඟපෑ චිත්‍රපට තිරගත වන්නේ එකක් පමණයි. ඒ තමයි සංගීතා චිත්‍රපටය.
ගාමිණී – මාලිනි යුගය අභිභවා විජය – මාලිනි යුගය පෙරට එන්නේ 1978 වසරේයි. ගාමිණී – මාලිනී යුගයේ අවසානය සටහන් වනවා යැයි කිව්වොත් වැරැදි නැහැ. ඉන්පසු දෙදෙනා පෙනී සිටි 1977 වසරේ දෙවියනි ඔබ කොහිද, පසු කලෙක අන්තිම රැය වැනි චිත්‍රපට තිරයට පැමිණියත් ගාමිණී – මාලිනි යුගය අවසන් වන්නේ 1976 තිරයට පැමිණි කවුද රජා චිත්‍රපටයෙන්. මෙම වසරේම ඊට පෙර තිරගත වන මෙම දෙදෙනා ප්‍රධාන චරිත රඟපාන නයනා චිත්‍රපටය ඊට සාපේක්‍ෂව ප්‍රදීපේ මා වේවා, ගංගා, වාසනා, දියමන්ති, උන්නත් දාහයි මලත් දාහයි, ආදරෙයි මං ආදරෙයි යන විජය – මාලිනි චිත්‍රපට 1976 වසරේ තිරයට එන්නේ සිංහල සිනමාවේ විජය – මාලිනි යුගයට නව ජීවයක් එක්කරමින්ය.
අනිල් වීරසිංහ











