‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයේ ‘ප්‍රේම්’ වුණු ඔහු පසුකාලීනව අපේක්ෂා ඉඳුවරී, ධවල කඳුළු, මුතු පලස ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වුණා. ටිරාන් වික්‍රමසූරිය හිටිහැටියේ අතුරුදන් වෙලා හිටියා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ටිරාන් ලංකාවට ඇවිත්. බලන්න ඔබට ඔහුව මතකද කියලා.
කාලෙකට පස්සෙ නේද ටිරාන් ලංකාවට ආවේ? කොහොමද අලුත් තොරතුරු?
ඇත්තටම ලංකාවෙ තරම් සුන්දර රටක් නැති තරම්. මම පසුගිය කාලේ හිටියෙ ඕස්ටේ්‍රලියාවේ. එහිදී තමයි ලංකාවේ සුන්දරත්වය අගය දැනුණෙ. අවුරුදු 3කින් විතර තමයි මම ලංකාවට ආවේ. ඒත් දැන් නම් මට හිතෙනවා ඕස්ටේ්‍රලියාවේ හිටියා නම් හොඳයි කියලා මේ වෙන දේවල් දකිනකොට.
හදිසියේම ලංකාවට ඇවිත් සද්ද නැතුව හැංගිලා ඉන්නේ ඇයි?
මම ඉතින් කොහොමත් සද්දබද්ද දාන කෙනෙක් නෙමෙයි. මේ ගමන ආවේ මගේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන්නයි. ඉතින් දැන් ලංකාවෙන් සමුගන්න කාලයත් හරි. මම මාධ්‍යවලටවත් කතාබහ නොකළේ මෙහෙ නිර්මාණ කරන්න තරම් මට ලොකු කාලයක් නැති නිසයි. මේ ගියාට නැවත එනවා. ආපු සැණින් නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
අපට ආරංචි වුණා ටිරාන් ගින්දර වගේ වැඩක් පටන් ගන්න යනවා කියලා?
මම ලංකාවෙන් ගියේ හොඳම තැනක ඉඳලයි. ඒත් මම ගිය ගමන කිකරුණේ කාලය ගතකළේ නැහැ. මම ටෙලිවිෂන් සිනමාකරණය පිළිබඳ ඕස්ටේ්‍රලියාවේදී හැදෑරීමක් කළා. ඉතින් මගේ ලොකු ආසාවක් තියෙනවා ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. ඕස්ටේ්‍රලියාවේ මාත් සමග පාඨමාලාව හදාරපු විදේශීය ශිල්පීන් පවා කැමැතියි මම එක්ක එකතු වෙලා ලංකාවේ නිර්මාණයක් කරන්න.
අපට ටිරාන්ගේ රංගන කුසලතා අවසානයට දැකගන්න ලැබුණේ ‘කළු හිම’ චිත්‍රපටය හරහායි?
‘කළු හිම’ චිත්‍රපටයේ මම රඟපෑවේ 2015 විතර. 2016 මම ලංකාවෙන් ගියා. ‘කළු හිම’ චිත්‍රපටයේ මගේ රංගනය ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. චිත්‍රපටය මම ඕස්ටේ්‍රලියාවේදී නැරැඹුවා. එහෙදි හිතුණා මගේ චරිතය මීට වඩා කරන්න තිබුණා නම් හොඳයි කියලා. ‘කළු හිම’ වෙනුවෙන් නේපාලයේ අපි ලොකු කැපකිරීමක් කළා. ඒ අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඔබට දැන් හිතෙන්නෙ නැද්ද හතිදාගෙන නැඟපු කන්දෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා?
මෙහෙමයි මම ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. මම ගැන ඒ කාලේ ගොඩදෙනෙක් කතාබහ වුණා. ඒත් යන්න වුණාම යන්න වෙනවා. ඒ නිසා මම විදේශගත වුණා. කලාවෙන් ඈත්වෙලා නැහැ. මම ආපහු එනකොට නවක පිරිසක් බිහිවෙලා. ඒ ගැන මට සතුටුයි. මම හිටිය තැන කාටවත් ගන්න බැහැ. වෙන කෙනෙක් ඉන්න තැන මම ගන්නෙත් නැහැ.
සුප් කඩෙන් බැඳුණු ආදරය ලොකු පෙරළියක් කළා නේද?
මගේ සෙවණැල්ල තමයි මගේ බිරිය. මම ආදරය පටන් ගත්තේ සුප් එකක් බොන ගමන්. එතැනට එයත් ඇවිත් හිටියා. ඒක ඉතින් අපේ සංසාරගත බැඳීමක් තමයි. ඇය නීතිඥවරියක් වුණා කියලා මට නීති දාන්නෙ නෑ. එයා මගේ කලා කටයුතු සඳහා මට වඩා උනන්දුයි.
වසන්ත විතාරණගේ