වෙනස යනු.., කලාකරුවකුට අවැසි සොඳුරු අවියකි. ඒ සොඳුරු අවිය අත දරණ බොහෝ කලාකරුවෝ ‘නොවෙනස්’ භාවයට ඉතා සියුම්ව පහර දෙමින්, සුවහසක් වූ ප්‍රේක්‍ෂක සිත් තුළ කොහේ හෝ කොණක නළියමින් තිබෙන රුචි අරුචිකම් හොඳින් හඳුනා ගනිමින් කදිම නිර්මාණකරණයක නියළෙති. ඇතැම්හු මේ වෙනසට බියවෙති. තවත් ඇතැම්හු නොබියව එම අභියෝගය ජයගනිති. ‘චරිත් අබේසිංහ’ද එවැන්නෙකි. කල් යල් නොබලා චරිත් ‘වෙනස’ට ප්‍රවිෂ්ට විය. ‘ජූලියා’ හී සෙල්ලක්කාර පෙම්වතා ලෙස සිනමාවට සපැමිණි හෙතෙම, ‘මිණිගං දෑල’ හරහා ගලා එමින් ‘සත්‍යා’ සොයා යමින් සිටින මිහිරියාවෙන් පිරී ගමන්මඟ ගැන කතා කරන්නට අප වෙනුවෙන් සිය කාලය වැය කළේ මෙලෙසිනි.
‘සත්‍යා’ සමඟ මේ දිනවල ඔබ අවිවේකී ගමනකට මැදිව සිටිනවා?
ඔව්.., තවමත් එහි රූ ගතකිරීම් අඩක්වත් නිමවී නැහැ. ඒ වෙනුවෙන් මේ දවස්වල කාලය මිඩංගු කරනවා.
ඔබ ඉතා වේගයෙන් වෙනස සොයා ගිය නිර්මාණකරුවෙක්?
නිර්මාණකරුවකු, එසේත් නැතිනම් අධ්‍යක්‍ෂවරයකු සතු වගකීම වන්නේ එය නොවේද? අප එලෙස වෙනස් නොවුණහොත් ප්‍රේක්‍ෂකයන් අපේ නිර්මාණ හැරදමා වෙනත් නිර්මාණ සොයා යනවා. අනෙක ‘වෙනස’ යන අකුරු තුන ගැන කතාබහට සීමාවීමද නිකන් කයිවාරුවක් පමණයි. අප වෙනස් විය යුතුයි. ඒ ප්‍රේක්‍ෂකයා ඉල්ලන වෙනස රූපවාහිනී කතිකාවකට පැමිණ නන් දෙඩවීම තුළින් ‘වෙනස’ සිදුවන්නේ නැහැ. එය අප ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි. ඒ සඳහා වටිනා නිදසුණක් දිය යුතුයි. අන්න එවිටයි නව දැක්මක් තුළ අප ‘වෙනස’ කළාය යන හැඟීම ප්‍රේක්‍ෂකයා තුළ ඇතිවන්නෙ.
‘සත්‍යා’ හැදුවේ එවැනි නිදසුනක් වෙනුවෙන්ද?
සත්‍යා තුළින් අප වෙනසක් කළාය කියන එක අපට පුන පුනා කියන්නට බැහැ. ඒ නිසා ඔබේ ඔය ප්‍රශ්නයට මට ‘ඔව්’ කියන උත්තරය දිය නොහැකියි. වෙනසක් කරන්නට සිතා අප යමක් කළා. එය හරියටම සිදුවුණාද කියන කාරණය තීරණය කරන්නේ ප්‍රේක්‍ෂකයයි. ‘සත්‍යා’ ටෙලිනාට්‍ය පෙන්වීමට පළමුව සිදු කරන හඳුන්වාදෙන විටදීවත් ‘ඔන්න අපි මහා වෙනසක් කළා, දැන් ඉතින් නරඹන්න යැයි’ යන වචන අප පාවිච්චි නොකළේද අපට අපවම පාරට්ටුකර ගැනීමට බැරි නිසයි.
ආරංචියේ හැටියට නම් දැනටමත් ‘සත්‍යා’ වෙතින් දුන් වෙනසට ‘ෂෝසල්’ මීඩියා හරහා ප්‍රතිචාර ලැබෙනවලු?
අන්න ඔබ මට වුවමනා ප්‍රශ්නය ඇහුවා. දැන් මට පුළුවනි එයට ‘ඔව්’ කියා උත්තර දෙන්න. තවමත් විකාශනය වූයේ ‘සත්‍යා’ කොටස් හතරයි. ඒ කුඩා කාල සීමාව ඇතුළත සමාජ ජාලා වෙබ් අඩවි තුළ මෙය වෛරසයක් තරමට පැතිර ගිහින්. ‘සත්‍යා දෙබස්වලින් පවා ඉතා කදිම ‘පෝස්ටු’ පවා නිර්මාණය වී අවසානයි. කියන්න සතුටුයි, තවමත් ‘සත්‍යා’ සමඟ ප්‍රේක්‍ෂකයන් සිටින්නේ සොහොන ඇතුළෙයි. සොහොනෙන් පිටත කතාව දකින්නටත් පළමුව ඔවුන් ඉතා උණුසුම් ආකාරයට මේ ගැන කතා කරන්නට පටන් අරගෙන. ඉදිරියට තවදුරටත් ඔවුන් ‘සත්‍යා’ ගැන බොහෝ දේ කතා කරන කාලයක් එන්නට පුළුවනි.
ප්‍රතිචාරයට වඩා තුඩුදෙන්නේ, ‘සත්‍යා’හී පසුබිම්ව තිබෙන කුතුහලයද?
සත්තකින්ම, ඒ කුතුහලය තමයි ‘සත්‍යා’ වටා අසුන් තබා ඉඳගන්නට ප්‍රේක්‍ෂකයන් පොළඹවන්නේ. ඒත් අනාවැකියක් මෙතැනදී කියන්නට පුළුවනි. ඒ තමයි, ප්‍රේක්‍ෂකයා හිතන දේ නෙවෙයි අනාගතයේදී මෙහි සිදුවන්නේ. ඒ වගේම ඔවුන්ගේ යටි සිත කැමැති වන්නේද ඒ ‘කුතුහලයටම’ තමයි.
‘සත්‍යා’ තිර පිටපතෙහි අදහස නාමල් ජයසිංහට දුන්නේ ඔබද?
නැහැ. එහි මුල් පියවර ඔහුගෙමයි. එයට පසුව යම් අවස්ථාවන් හරහා මම ඔහු සමඟ කතිකා කොට යම් සිදුවීම්වලට මැදිහත් වුණාය කිව්වොත් හරි.
‘සත්‍යා’ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් තැනුණු බවයි ආරංචිය?
නැහැ, එය මනඃකල්පිතයි. හැබැයි ‘සත්‍යා’ කතා තේමාව සහ ඒවටා ගොඩනැඟෙන්නේ සමාජයේ කොතැනක හෝ සිදුවූ ඛේදවාචකයක් තමයි. නිදසුනක් ලෙස ‘ඇඩ්‍රස් නැති මරණ’ සහ ‘අවාසනාවන්ත ලෙස සිදුවූ අතුරුදන්වීම්’ මෙහිදී දක්වන්නට පුළුවන්.
‘ප්‍රමිතිකරණය’ ටෙලි කලාවට එන්න පටන් අරන්, ඔබ එය පිළිගන්නවද චරිත්?
අනිවාර්යයෙන්ම, දැන් ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තුවන වෙනස තුළ එය අත්දකින්නට පුළුවන්. ඒ වගේම මෙම ප්‍රමිතිකරණයෙහි ආරම්භය තුළ වන වගකීම තිබෙන්නේ නිර්මාණකරුවන් අත විතරක්ම නෙවෙයි. රූපවාහිනී චැනලය බාර ප්‍රධානීන්ද මෙයට උරදිය යුතුයි.
ඔබ හිතනවද චරිත් මේ අවරගණයේ මෙගා රැල්ල සමනය වී යැයි කියලා?
අවර ගණයේ මෙගා රැල්ල විතරක් නෙවෙයි, ඉන්දියානු සහ කොරියානු ටෙලි කලාව තුළ අතරමං වී සිටින ප්‍රේක්‍ෂකයාගේ සිතද ඒ මායාවෙන් ඔබ්බට ගෙන යෑමට ගුණාත්මක ටෙලි කලාව සුහද මෙන්ම ආධ්‍යාත්මික ගනුදෙනුවක් වෙනවා කියන එකද නිසැකයි. අවසාන වශයෙන් මෙතැනදී කියනවා නම්, එක් නිර්මාණකරුවකු ගුණාත්මක නිර්මාණයක් කිරීමෙන් පසුව ප්‍රේක්‍ෂකයා ඒ වටා ඉඳගන්නේද, ඒ අනුව තව බොහොමයක් වූ නිර්මාණකරුවන් හොඳ නිර්මාණයන් එළිදැක්වීමට පිඹුරුපත් සකසන වග විශ්වාසයි. අන්න එතැන් සිට ගුණාත්මකව නිර්මාණ බිහිවීමේ කලාව නොනවත්වාම ඇතිවෙයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු