ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගයක් දැන් කෝ? ඒ ඇසූ විට කාගෙනුත් අසන්නට ලැබෙන්නේ එතරම් සතුටුදායක වචනයක් නොවේ. නමුත් ‘හන්තානේ කතාවෙන්’ පසු සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබූ බව අපි දනිමු. ඒ ස්වර්ණමය යුගයට එක්වුණ තවත් චිත්‍රපටයක් තමයි ‘නොම්බර 17’ චිත්‍රපටය. එහි නිර්මාතෘ මේ දවස්වල අසනීප තත්ත්වයෙන් සිටියත් සිනමාවේ වීරයා ගැන කතා කිරීමට ඔහු පසුබැස්සේ නැහැ. ප්‍රීතිරාජ් වීරරත්න විජය නිසා ජනප්‍රිය වුණු නොම්බර 17 ගැන අපට පැවැසුවේ මේ විදියට.
ප්‍රීතිරාජ් ‘නොම්බර 17’න් ගොඩගියා නේද?
ආයෙත් මොනව අහනවද? ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගයේ වාර්තා පිට වාර්තා තිබ්බ ස්වර්ණමය සිනමා නිර්මාණයක් තමයි ‘නොම්බර 17’ මගේ කුලුඳුල් චිත්‍රපටය.
‘නොම්බර 17’ට විජය කුමාරතුංග ගැනීමට විශේෂ හේතුව?
1988 වර්ෂයේ තමයි චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගත්තේ. මම තිර රචනය ලියද්දිම මගේ ඔළුවේ මැවුණ එකම චරිතය ඔහු තමයි. මොකද ඒ කාලේ ලංකාවේ සිනමාවේ හිටිය හීරෝ ඔහු තමයි. ඉතින් ඔහුව මගේ පළමු චිත්‍රපටයට සම්බන්ධ කරගන්න මම හිතුවා.
විජය කුමාරතුංග ‘නොම්බර 17’ නරඹලා මොනවගේ අදහසක්ද දැක්වූයේ?
ඔහුගේ ලොකු ආශාවක් තිබුණා චිත්‍රපටය ඉක්මනින් නරඹන්න. ඒත් චිත්‍රපටය තිරගත කරන කාල වකවානුවේ ඔහු අපිට අහිමි වෙලා හිටියේ. එය අපි හැමෝටම තදින්ම බලපෑවා. ඔහුට චිත්‍රපට නරඹන්න නොලැබුණු එක ගැන අපි හැමෝම දුක්වුණා.
එතුමන් නැතිවුණ කාල වකවානුවෙ ඔබ දෙවැනි චිත්‍රපටයටත් ඔහුව තෝරාගෙන හිටියා කියන්නේ ඇත්තද?
ඇත්තටම ඔහු නැතිවුණ පසු දිනයට තමයි මගේ දෙවැනි චිත්‍රපටයේ ගීතමය ජවනිකා රූපගත කිරීම සඳහා දින වෙන්කර තිබුණේ. ඔහු අදටත් හිටිය නම් මගේ හැම චිත්‍රපටයකම ඔහු ප්‍රධාන චරිතය තමයි රඟපාන්නේ.
‘නොම්බර 17’ චිත්‍රපටය තිරගත වන කාලයේ සිනමා ශාලාවල ලොකු කලබැගෑනියක් වුණා නේද?
එය ගැන නම් කිව යුතුමයි. ඔහුගේ චිත්‍රපටයක් එනවා කිව්වොත් ජනතාව උදේ 8 ඉඳලා සිනමා ශාලාවල පෝලිම. ඒ තරමට ඔහුට විශාල ප්‍රේක්ෂක ජනතාවක් හිටියා. ‘ගැමුණු’, ‘මානෙල්’ සිනමා ශාලාවල පිහිඇනුම් පවා සිද්ධවෙලා තිබෙනවා. ඒ තිබුණ කලබලකාරීත්වය සිනමා ශාලාවල දැල් කඩාගෙන චිත්‍රපට රසවිඳින්න තිබුණ ලොකු උණක් තිබුණා ඒ කාලේ. දැන් වගේ සිනමා ශාලාවල හිස් බවක් නැහැ.
එතුමන් අද හිටියා නම් ඔබට මොකද හිතෙන්නේ?
එහෙනම් ඉතින් සුබවාදී තමා ශ්‍රී ලංකාවට. සිනමා කර්මාන්තයේ ස්වර්ණමය යුගය අදටත් තිබෙනවා. අද එවැනි සුවිශේෂී ආකර්ෂණීය නළුවන් නැහැ. හිටියා නම් අදත් සිනමාව ජයගෙන.
අද කාලේ වගේ ඒ කාලෙත් දවසින් දෙකෙන් චිත්‍රපට ගැලවුණාද?
මොන පිස්සුද? ‘නොම්බර 17’ චිත්‍රපට මහරගම ‘නැෂනල්’ සිනමා ශාලාවේ දින 210 තිරගත වුණා. ඒ විතරක් නෙමේ ආරම්භක සිනමා ශාලාවල දින 200 දක්වා තිරගත වුණා. අද චිත්‍රපට හැදුවත් ඒව රසවිඳින්න ජනතාව නැහැ. ඉතින් පාඩු පිට ලංකාවේ සිනමාව දවසින් දෙකෙන් ගැලවෙනවා.
වසන්ත විතාරණගේ











