මේක අහසින් පාත්වුණු වාසනාවක්…
‘චාසනාව’ හෝ ‘ලක්’ එක යනු බොහෝ විට අහඹුවකි.
එකී අහඹුව රැකියාව, විවාහය, හදිසි විදේශගත වීම, හැකියාව හෝ ලොතරැයියක් ලෙසින්ද යම් අයකුගේ ජීවිතයට පැමිණිය හැකිය. මේ පවසන්නට යන්නේද එවැනි අහඹු වාසනා මහිමයක් ගැන කතා පුවතකි. වාසනාව පැමිණියේ සහජයෙන්ම ලද හැකියාවන් හරහාය. බොහෝ දෙනකු සිහින මවන ඒ වාසනාව ඔවුනට ලැබුණේ රියැලිටි වැඩසටහන් මාලාවක් ඔස්සේ දක්වන ලද රංගනය හේතුකොට ගෙනය.
නව යොවුන් වියේ පසුවන ඈ ලොස්ලියා මරියංසන්ය. ඔහු දර්ශන් ත්‍යාගරාජාය. දර්ශන් සහ ලොස්ලියා දමිළ සම්භවයක් ලැබුවද, ශ්‍රී ලාංකේය පුරවැසිභාවය හිමි තරුණියක සහ තරුණයකු වූහ.
ඔවුන් ලද වාසනාව සුළුපටුව ගත නොහැකිය. දකුණු ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්නට වරම් ලැබීම බොහෝ විට තමිල්නාඩුවල උපත ලද කෙල්ලන්ට, කොල්ලන්ට නම් ‘ලොකු පරිමාණයේ සිහිනයකි. ඒ සිහිනය ඉටුකර ගැනීමට කූට අව්වේ තමිල්නාඩුවල චිත්‍රාගාර අවට පෝලිම් ගැසී සිටින තරුණ, තරුණියන් අදත් දැකිය හැකිය. කවදාක හෝ සූර්යා වීමට තලපති විජය වීමට දඟලන කොල්ලන් වාගේම කීර්ති සුරේෂ් හෝ සමන්තා ප්‍රභූ වීමට දඟලන රඟපාන පිස්සුව හැදුණු කෙල්ලන්ද තමිල්නාඩු වීදිවල පාට පාට ඇඳුම් ඇඳගෙන කරක්ගසන දසුන් දකින්නට තිබුණේ අද ඊයේ පටන් නොවේය.
දමිළ චිත්‍රපටයක සුළු චරිතයක් හෝ රඟන්නට එච්චරට කට්ට කන තමිල්නාඩු කොල්ලන්, කෙල්ලන් සිටියදී ශ්‍රී ලාංකේය පුරවැසි භාවයක් හිමි ලොස්ලියා සහ දර්ශන්ට එම වාසනාව අදිසි ලෙසින් හිමිවූයේය.
ඒ කියන්නේ එය ලොස්ලියාටයි දර්ශන්ටයි අහසින් පාත්වූ වාසනාවක්ද?
එහෙමත් කියන්නට බැරිය. ලොස්ලියායි දර්ශනුයි ඒ වෙනුවෙන් කළ කැපවීම මහඟුය. දකුණු ඉන්දියානු ජනප්‍රියම රියැලිටි වැඩසටහනක් වූ ‘බිග්බොස්’ හී තුන් වැනි වටයට පැමිණීම සඳහා ඔවුන් ආහාර පාලනය සහ පුහුණු වීම් වෙනුවෙන් දැඩිව වෙහෙසුනත් ‘බිග්බොස්’ තුන් වැනි අදියරට ඔවුන් පැමිණියේද බොහෝ හැලහැප්පීම් මැදය.
ලොස්ලියා සහ දර්ශන්ට ලැබුණු දමිළ චිත්‍රපටය කුමක්ද?
අදහා ගැනීමට මඳක් අසීරු එයය..,
සරලවම කියනවා නම් ජනප්‍රිය තරු යුවළක් දමා නිම කළ යුතු හරි අපූරු චිත්‍රපටයක ප්‍රධාන චරිත මේ කෝඩුකාර කෙල්ලටයි, කොල්ලටයි ලැබීම පුදුමයකි.
ඒ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
2019 අවුරුද්දේ හොඳ ආදායම් සමඟ වාර්තා පිට වාර්තා තබමින් තිරගත වූ ‘ඇන්බ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 (Android Kunjappan 5’25) මලයාලම් චිත්‍රපටය, ප්‍රවීණ දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක රවි කුමාර් විසින් දමිළ බසින් නිර්මාණය කිරීමට අදහස් කර තිබිණි. අධ්‍යක්‍ෂණය සඳහා තෝරා ගෙන තිබුණේ ප්‍රවීණ නිර්මාණකරු රතිශ් බාලක්‍රිෂ්ණන්වය. ‘ගූගල් කුට්ටප්පන්’ (ඨදදටකැ ණමඑඒචච්බ) නමින් දමිළ බසින් රචිත මෙම චිත්‍රපටයෙහි ජනප්‍රිය දමිළ රංගන ශිල්පීන් වන යෝගී බාබු සහ මනෝබාලාද එක්වීමට නියමිතව ඇත.
‘ගූගල් කුට්ටප්පන්’ වැනි දැවැන්ත සොඳුරු නිර්මාණයන් සඳහා නවක යුවළක් එක්කර ගැනීමට රවී කුමාර් සහ රතීෂ් බාලක්‍රිෂ්ණන්ට ඕනෑ වූයේ ඇයි?
රතිෂ්ටත් වඩා රවි කුමාර්ට කෝඩුකාර පෙම් යුවළක් දකුණු ඉන්දියානු සිනමාවට හඳුන්වා දීමේ සිතක් පහළ වී ඇති අතර, නවක තරු පිරිස්වලට අත හිත දීමේ පින්කාර සිතුවිලිද ඒ අදහස තුළ ගැබ්ව තිබිණි. ‘බිග්බොස්’ රියැලිටිය නරඹන විට මේ සිත්කළු පෙනුමැති කොල්ලයි කෙල්ලයි ඔහුගේ සිතට තද ‘කික්’ එකක් වූවාට සැක නැත.
එය අවදානමක් වන්නට ඉඩ නැතිද?
ඒ විදියට හිතුවා නම් ඉන්දියානු සිනමාවට කවදාකවත් නවක තරු පායන්නට ඉඩ නොතිබිණි. ‘කම් ඕර් ගෝ චිකාගෝ’ තියරියට නවක නළු නිළියනට අත හිත දුන් නවක තරු හඳුන්වා දුන් සිනමාවක් වේ නම් ඒ බොලිවුඩය සහ කොලිවුඩයි. එම අවදානම තුළ ඔවුන් ලද ශුද්ධ වූ ලාභයන් එමටය.
ඉතින්..,
ලොස්ලියා සහ දර්ශන් යුවළ එවැනි වාසනාවක් රතීෂ්ට සහ රවී කුමාරගේ දෝතට ගෙන දෙයිද?
එය වෙනම කතාවකි. හොඳම කතාව වන්නේ සුප්‍රසිද්ධ සිනමාකරුවන් දෙදෙනෙකු කලාකාමී ඇයට ශ්‍රී ලාංකේය කොල්ලෙක් සහ කෙල්ලෙක් හසුවීමය. ඇත්තෙන්ම දර්ශන් ත්‍යාගරාජාට සහ ලොස්ලියා මරියසෙන්ට සෑහීමකට පත්වීමට එයට කදිම හේතුවක් නොවන්නේද?
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











