⬤ මම දෙයියන් බුදුන් විශ්වාස කරනවා…
⬤ විවාහය කවදා හරි උපමා වෙන්නේ දේපළ ලබාගන්න විතරයි…
‘හුස්ම වැටෙන මල්’ තුළින් ඇයටද පසුගියදා පැවැති 25 වැනි ‘සුමති’ සම්මාන රාත්‍රියේදී නැවැත වරක් සම්මානයක් හිමිකර ගැනීමට වාසනාව හිමිවිය. ඒ පුංචි සතුට උතුරා යන මොහොතක ඒ සතුට ගැන කතාබහ කිරීමට වොල්ගා කල්පනී සමඟ එකතු වුණා.
🔴 වොල්ගා ලැබුණු සම්මාන ගැන කතා කළොත්?
සතුටුයි… ගොඩාක්… හිතුවේ නැහැ මට සම්මානයක් ලැබෙයි කියලා. මෙයට පෙරත් මම සම්මාන දෙකක් ගත්තා. මේ මම ගත්ත තුන් වැනි සම්මානය. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කළ ‘හුස්ම වැටෙන මල්’ ටෙලිනාට්‍යයේ ‘හංසනි’ චරිතය වෙනුවෙන් තමයි මට මේ සම්මානය ලැබුණේ. මෙතෙක් ආපු ගමනට මම ගැන විශ්වාසයක් තබමින් මාව නිර්මාණවලට ගත්ත සියලුම දෙනාටත්, මම සමඟ වැඩ කළ සියලුම ශිල්පීන්ටත් මම ස්තුතිය පුදකරනවා.
🔴 සම්මානයේ සතුට බුක්ති විඳිමින් තවත් පැත්තකින් ජනප්‍රිය ගායකයකු සමග පෙම්බඳිනවා නේද?
‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ තමයි එහෙම ආදර කතාවක් යන්නේ. මම ඒ නාට්‍යයේ ‘නෙත්මි’ චරිතය තමයි නිරූපණය කරන්නේ. ‘විෂල්’ට තමයි මම ආදරය කරන්නේ. තවම කියන්න බැහැ විෂල්ගේ ආදරය මට ලැබෙයිද කියලා.
🔴 ඔබගේ ජීවිතයට ආපු බාධක එක්ක ඔබ ශක්තිමත්ව මුහුණ දුන්නා?
ජීවිතවලට එන ප්‍රශ්න මට විතරක් නෙවේ එය කාටත් පොදු දෙයක්. මගේ ප්‍රශ්නවලදී මම වැටුණේ නැහැ. මගේ හිත හයියයි. මම දෙවියන්, බුදුන් විශ්වාස කරනවා වගේම, මම ගැන මට විශ්වාසයි. මම ටිකක් හිතුවක්කාරයි. හැබැයි මට වැරැදුණේ නැහැ. මගේ ජීවිතේ හැමදෙයක්ම වුණේ මට යහපත් විදියට.
🔴 ඔබ නැවැත විවාහ වෙන්නෑ කියලා කියනවා ඇත්තද?
ඔව්… විවාහ වීමට අදහසක් නැහැ. ආදරය රඳා පවතින්නේ විශ්වාසය තුළයි. මම කැමැති නැහැ මගේ ආදරය මුදලටවත්, කඩදාසි කොළයකටවත් ආපසු යට වෙනවට.
🔴 ඔබ එහෙම තීරණයක් ගත්තේ එක සිතින්මද?
අනිවාර්යෙන්ම… ලියවිල්ලකට යටවෙලා පවුල් ජීවිත රඳා පවතින්නේ කීයෙන් කී දෙනා ළඟද. එහෙමත් කෙනෙක් තුළ තමයි අපි සැබෑ ආදරයක් දකින්නේ. ඔය විවාහය කියනදේ කවදා හරි උපමා කරන්නේ දේපොළ ගන්න විතරයි. කොළයකට සීමා නොකර ආදරය කරන්න බැරිද. විවාහය කියන්නේ තනිකර බොරුවක් කියලයි මම කියන්නේ.
🔴 චිත්‍රපටවලට දායක වීමේ අඩුවක් දකිනවා?
චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා මම. ඉදිරියේදී ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක සමග චිත්‍රපටයක වැඩ කිරීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
🔴 ගීත රූප රචනාවල ඔබ නැතුවම බැරි රංගන ශිල්පිනියක් බවට පත්වෙලා හිටියා. ඔබ ඇයි දැන් එවැනි නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්නේ?
මම සම්බන්ධ වුණේ මගේ හිතවත් අයගේ නිර්මාණවල විතරයි. මම කැමැති නැහැ එහෙම නිතර දෙවේලේ නිර්මාණවලට පෙනී ඉඳලා මගේ ප්‍රතිරූපයට හානියක් කරගන්න. ඒ නිසා තමයි මම රූප රචනා සඳහා සම්බන්ධ නොවන්නේ.
🔴 එදත්, අදත් ඔබේ තනියට හිටිය ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට යමක් කීමට දෙයක් ඇති නේද?
ඇත්තටම මගේ ඒ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මම හැමදාමත් ආදරය කරනවා. මොකද ඔවුන් නැතිනම් අපිට මේ ගමන යන්න බැහැ. මගේ ජීවිතය මොන ප්‍රශ්න ආවත් ඔවුන් මාව අත්හැරියේ නැහැ. එය මට සතුටක්. ඉදිරියටත් මම සමග ඉන්න. ඔබගේ ආදර ගෞරවය මට ශක්තියක්.
වසන්ත විතාරණගේ