https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210404M1/#page=1
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර පසුගිය කාලය පුරා සිදුවූ මත ගැටුම් මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයක් කරා පැමිණ ඇති අතර ඇමැතිවරුන්ගෙන් එල්ල වන මෙම බලපෑම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ පාර්ශ්ව සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
මෙහිදී ආණ්ඩුවේ ඇමැතිවරුන් හා ආණ්ඩුවේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ මතගැටුම් දෙකක් පසුගිය සතියේ සිදුවූ අතර, ඉන් පළමුවැන්න වූයේ වෙන්නප්පුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වූ එරික් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුවේ දේශපාලකයන් හය දෙනකු මැදිහත් වී තිබීමය.
දෙවැනි සිදුවීම වූයේ මීගමු කළපුවේ පස් පිරවීමක් මුල්කරගෙන ගම්පහ අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය හා ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් අතර ප්‍රසිද්ධියේ මතගැටුමක් ඇති වීමය.
පළමු සිදුවීමේදී අමාත්‍යවරුන් හය දෙනකුනේ එල්ල වූ බලපෑම් මුල්කරගෙන සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පළමුව පොලිස් මූලස්ථානයටත්, ඉන් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයටත් මාරු කර යැවීමට පියවර ගෙන තිබිණ.
එම සිදුවීමෙන් අනතුරුව සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉදිරි දින කිහිපය ඇතුළත සිවිල් සංවිධාන කිහිපයක්ම ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම පරිසරයට විවිධ පාර්ශ්වයන්නේ එල්ල වන දැඩි බලපෑම් මුල්කරගෙන පරිසරය සුරක්‍ෂිත කිරීම් සඳහා වන සංරක්‍ෂණ, වනජීවී සංරක්‍ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයන් ඒකාබද්ධව වෘත්තීය සමිති එකමුතුවක්ද පිහිටුවා ගෙන ඇත.
‘පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව’ යනුවෙන් එම නව වෘත්තීය සමිතිය නම් කිරීමට පියවර ගෙන ඇත. එම වෘත්තීය සමිතියට ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියද සම්බන්ධව සිටින්නීය.
ඒ අනුව ඉදිරියේදී වනසම්පත රැක ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට මෙම වෘත්තීය සමිතිය තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.