‘ජීවිතය ලස්සනයි’ හරහා කලා ක්‍ෂේත්‍රයට පිවිසුණු ඔහු ‘බෙකම්’ගේ චරිතය හරහා ජනප්‍රිය තරු අතරට අර්ථසාද්ගේ නමත් එකතු වුණා. ඉන්පසු වැලනොකැඩී විවිධ චරිත හරහා ඔහු අපගේ නෙත අග රැඳුණා. කාලෙකට පස්සේ ඔහුව අපිට නැවැත දැකගන්නට පුළුවන් ‘පුළිඟු’ හරහා. ඉතින් කාලෙකට පස්සේ අපි ඔහුට කතා කළේ මේ විදියට.
නිතර දෙවේලේ දැකපු ඔබව කාලෙකට පස්සේ නැවැත පුංචි තිරයෙන් අපි දකිනවා. එය ගැන කතා කළොත්?
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ ‘අමිල’ ලෙසට රඟපානවා. කාලෙකට පස්සේ තමයි මම ඉන්න ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනවා. ඒත් කවද විකාශය වෙයිද දන්නේ නැහැ.
ගිවන්ත මේ ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් ගතවෙනවා. එහෙත් ඔබේ හැකියාවට තවමත් සම්මානයක් නැහැ නේද?
සම්මාන ලැබෙන්නෙ නැහැ මෙගා නළුවන්ට. ඉතින් මම ඒ ගැන හිතලා පසුතැවෙන්නෙ නැහැ. මම විවිධ චරිත රඟපාලා තියෙනවා. මට ඒ හැමදේටම වඩා ජනතාවගෙන් ලැබෙන ආදර ගෞරවය වටිනවා. ඔවුන් නිසා මම ජීවත් වෙනවා.
ඔබ නළුවෙක් වෙනවාට වඩා ඔබේ සිහිනය තිබුණේ අධ්‍යක්‍ෂණය පැත්තට යොමු වීමට. ඔබේ ඒ සිහිනය දැන් සැබෑවෙලා නේද?
මගේ කුලුඳුල් නිර්මාණය ‘කාසි’ ටෙලිනාට්‍යය. එහි කොටස් කිහිපයක් රූපගත කිරීම් කර රූපවාහිනී නාළිකාවකට බාර දීලා තියෙන්නේ. නුදුරු දිනයකදී එය විකාශය වෙයි.
‘කාසි’ ටෙලිනාට්‍ය ඔබ නිර්මාණය කර සෑහෙන කාලයක් වෙනවා. ඒත් එය ප්‍රමාද වීමට හේතුව?
කොහොමත් ටෙලිනාට්‍යවල තිබෙන පෝලිමත් එක්ක අපටත් එහෙම ඉන්න සිද්ධ වෙනවා. අනෙක සමහර නිර්මාණකරුවන් දීර්ඝ ටෙලිනාට්‍ය කරනවා. එවිට ඉතින් අපේ නිර්මාණවලට කාල වේලාවක් වෙන්කරවා ගැනීමට අපහසුයි. ඔය වගේ විවිධ ප්‍රශ්න එක්ක තමයි ‘කාසි’ ප්‍රමාද වුණේ.
කලා ක්‍ෂේත්‍රයේ මේ තිබෙන නිර්මාණ මාෆියාවත් එක්ක නිර්මාණයක් කිරීම ගැන ලොකු අවදානම් තත්ත්වයක් නේද?
ඒ ගැන තමයි අපි බයේ ඉන්නේ. අලුත් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් එළිදැක්වීමට ගොඩාක් ප්‍රශ්න බලපානවා. මේ මාෆියාව ගොඩාක්ම බලපාන්නේ සිනමාවට තමයි. නැතිනම් මම ‘කාසි’ වලට කලින් චිත්‍රපටයක් කරන්නේ. ඒත් මම කැමැති නැහැ මේ තිබෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදකවරුන් අසරණ කරන්න. හොඳ රැඟුම් පාලක මණ්ඩලයක් යටතේ නිර්මාණ තෝරා ගැනීමක් කරනවා නම් අලුත් පිරිසට හොඳ නිර්මාණ කරන්න පුළුවන්. එහෙම වාතාවරණයක් නැති එක තමයි ප්‍රශ්නය.
පසුගිය කාලෙ වේදිකාවේ ඔබේ සුවිශේෂී රංගනයක් අපට දැකගැනීමට හැකි වුණා. කොහොමද එහි වැඩකටයුතු?
ඇත්තටම මමත් ගොඩාක් ආශාවෙන් සම්බන්ධ වුණු වේදිකා නාට්‍යයක් තමයි ‘වෙල්ලස්සේ වෙඩි හඬ.’ මම එහි ‘සුමංගල හිමියන්’ගේ චරිතය තමයි රඟපාන්නේ. දර්ශන වාර සෑහෙන ප්‍රමාණයක් අපි කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් දැන් වේදිකා නාට්‍යයක් අරන් යන්න බැහැ රටේ තිබෙන ‘කොරෝනා’ ප්‍රශ්නය නිසා. ඉදිරියේදී ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ නැවැත වේදිකා ගතවෙයි.
මෙගා නළුවෙක් වීම නිසා සිනමාවේ ඉඩකඩ අඩුයි නේද?
ඔව්. එය ගොඩාක් බලපානවා. එහෙමත් කෙනෙක්ට තමයි සිනමාවට දායක වෙන්න ලැබෙන්නේ. ඒක වාසනාවක්. එහෙම වර්ගීකරණයක් නොකර දක්‍ෂතාවට ඉඩක් දෙනවා නම් අපිටත් සිනමාවේ දෙයක් කරන්න පුළුවන්.
කලා ක්‍ෂේත්‍රයේ තිබෙන මේ තරගකාරිත්වයත් එක්ක වෘත්තීය මට්ටමින් රැඳෙන්න අපහසුයි නේද?
කලාව වෘත්තීය මට්ටමින් කරන්න අපහසු බව මටත් දැන් තේරෙනවා. පසුගිය මාස කිහිපයක්ම ගෙදරට වෙලා නිකම්මයි හිටියේ. මේ යන විදියට අපිට අනාගතයක් හිතන්න අපහසුයි. ව්‍යාපාර පැත්තෙන් යමක් කරන්න හිතාගෙන තමයි දැන් කටයුතු කරන්නේ මම.
නවපරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ ඔබ පෙම්වතා විදියට රඟපෑවා. වැඩිපුර ආදරය කළේ ශලනි තාරකාට නේද?
ආදරය විවිධ පැති කෝණවලින් මට ආදරය කරන්න ලැබුණා. ශලනි තාරකා සඳ සඳ වගේ, සඳ පිනි බිඳ, දිය මත ලියමි, අපි අපි වගේ ටෙලිනාට්‍යවල මගේ පෙම්වතිය ලෙසට මම සමඟ රඟපෑවා. ඇයගෙන් ලොකු සහායක් ලැබුණා මට.
වසන්ත විතාරණගේ











