‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා ඔබට සමීප වූ හර්ෂිට ඔබ ආදරය කළා. ඉතින් හර්ෂි පසුගිය දවසක සිනමා තාරකාවියක් වුණේ ඔබ නිසාමයි. නැටුමට, රැඟුමට හපන් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා. කාලෙකට පස්සේ අප සමඟ කතා කළේ මේ විදියට.
හර්ෂි කොහොමද ඉතින්?
අධ්‍යාපන කටයුතු කරන ගමන් නිර්මාණ කටයුතුවලටත් සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.
මේ දවස්වල අපි හර්ෂිව නිර්මාණ කිහිපයකින් දකිනවා. ඒත් මම හිතනවා මේ වෙලාවේ ‘රෝෂිණී’ ගැන කතා කළොත් හොඳයි කියලා?
‘රෝෂීණී’ චරිතය මට ලැබුණේ ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන ‘සකලගුරු’ ටෙලිනාට්‍ය හරහා තමයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තමයි කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පිරිසක් සමඟ එකට වැඩ කරන්න ලැබීම.
‘සිඳු’ නාට්‍ය හරහා තමයි ඔබ ජනප්‍රිය වුණේ. ඉතින් තවත් නිර්මාණවලට සම්බන්ධ වීමට තහංචියක් තිබුණෙ නැද්ද ‘සිඳු’ කණ්ඩායමෙන්?
එහෙම මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මමත් අනෙකුත් ශිල්පීන් වගේම වාසනාවන්තයි. මේ තරම් ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් මට ආදරය කළේ ‘සිඳු’ හරහා තමයි. ‘ගයනි’ කියලා තමයි අදටත් හැමෝම මාව අඳුරන්නේ. ඉතින් මට කවුරුත් කියලා නැහැ වෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න එපා කියලා.
ඔබ පසුගිය කාලේ චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. කොහොමද සිනමාවයි රූපවාහිනියයි අතර වෙනස දැනුණෙ?
හර්ෂ උඩකන්දගේ ‘සේද මාවත’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් මම රඟපානවා. සිනමාව ගැන මට කිසිම අවබෝධයක් නැහැ. චිත්‍රපටයක් ඉතාමත් කෙටි කාලයක් තුළ තමයි රූපගත කිරීම් සිදුකෙරෙන්නේ. ඉතින් ටෙලිනාට්‍යයකට වඩා ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. සිනමා කැමරාවක් ඉදිරියේදී රඟපෑම පහසු කටයුත්තක් නෙමේ. හැබැයි මගේ චරිතය ගොඩනඟා ගැනීමට චිත්‍රපටයේ සියලුම දෙනා උදව් කළා.
පසුගිය දවසක මහා පාන්දර පිටකොටුවේ දිව්වේ ඇයි?
අම්මෝ ඒ දවස නම් අමතක වෙන්නේ නැහැ. ‘සේද මාවත’ චිත්‍රපටයේ රූපගත කිරීමක් තිබුණා පිටකොටුවේ 2 වැනි හරස් වීදියේ. පිටකොටුවේ ගියත් මම ඇවිදින්න කැමැති නැහැ. එදා නම් සෙරෙප්පු දෙකක්වත් නැතිව දර්ශන තලයේ මට දුවන්න සිද්ධවුණා.
ගොඩදෙනෙක් එක රැයින් ජනප්‍රිය වුණාට එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි තරු කියලා. හර්ෂිත් හිතාගෙන ඉන්නේ ඒ විදියටද?
මම සාමාන්‍ය කෙනෙක්. මම ගැටෙන්නේ සාමාන්‍ය මිනිසුත් එක්ක. අපිට පිටපතක් ලැබුණට පස්සේ එය චරිතයක් පමණයි. ඒ චරිතය කැමරාවෙන් පිටතට මම ගෙනියන්නේ නැහැ. එළියට බැස්සට පස්සේ වැඩිහිටියන්ගෙන් ලැබෙන ආශීර්වාදය මට ශක්තියක්. හැබැයි මම නිළියක් කියලා හිතාගෙන එහෙම කටයුතු කරන්නේ නැහැ.
අපි දන්න විදියට හර්ෂිට හොඳට නටන්න පුළුවන්. නිළියක් වුණාට පස්සේ නැටිල්ලට තිත තිබ්බද?
නර්තනය තමයි මගේ ජීවිතය. මගේ නර්තනය හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට මුලින්ම පිවිසුණේ. ‘දෙරණ ඩාන්සින් ස්ටාර්’ කිරුළ පවා මට හිමිවුණා. මම නර්තනයෙන් ඈත්වෙලා නැහැ. සති අන්තයේ මම නර්තනය වෙනුවෙන් තමයි ගොඩක් දුරට කාලය ගෙවන්නේ.
ආදරය කාටත් පොදු දෙයක්. ඉතින් අපිත් කැමැති හර්ෂිගේ ආදර කතාව ගැන දැනගන්න?
එය මගේ පෞද්ගලික ජීවිතයේ කොටසක්. ඉතින් මම කැමැති නැහැ පෞද්ගලික ජීවිතය කලාවත් එක්ක සසඳන්න. ඉතින් ඉදිරියේදීත් ඒ ගැන මම කියන්නම්. දැන්ම ආදර කතාව බෙදාහදාගන්න කැමැති නැහැ.
වසන්ත විතාරණගේ











