වේදිකාවේ සියලු අත්දැකීම් එකතුකර ගනිමින් පුංචි තිරයේ විවිධ චරිත රඟන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියන්නේ. එදා පුංචි තිරයේ පෙම්වතා වුණු ඔහු එයින් මඳක් නතර වී වර්තමානයේ මුහුකරා ගිය චරිත රැසකට නිර්මාණයෙන් දායක වෙනවා.
මේ දවස්වල නිරෝෂන් ඔබව නිර්මාණ කිහිපයක එක දිගට දකිනවා විවිධ චරිත හරහා. ඒ අතර ‘ගිරිදේවි’ ගැන තමයි බොහෝ දෙනා කතා වෙන්නේ?
මමත් එහෙම හිතුවා. වෙනස්ම කතා තේමාවක් යටතේ ‘ගිරිදේවි’ ගොඩදෙනෙක් වැලඳ ගත්ත නිසා එය ගැන කතාබහා කරන බව. මමත් එහි මන්ත්‍රිවරයෙක්ගේ චරිතය නිරුපණය කරන නිසා දැන් තියෙන පසුබිම් වාතාවරණයත් එක්ක ඒ චරිතය ගැන කතා වෙනවා. එයට අමතරව ‘මහාවිරු පාණ්ඩු’ ටෙලිනාට්‍යයේ වගේම ‘අමාලියා’ නිර්මාණ තුළත් මගේ වෙනස්ම රංගනයක් දැකබලා ගන්නට පුළුවන්.
පුංචි තිරයේ දේශපාලනය ගැන ඔබ කතාබහ කළාට සැබෑ ජීවිතයේ දේශපාලනයට ඒමට අදහසක් තිබුණේ නැද්ද?
මටත් ගොඩදෙනෙක් එයට ආරාධනා කළා. අදහසක් නැතුවා නෙවේ. ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මගෙත් අදහසක් තිබෙනවා.
ඒත් ඔබට හිතෙන්නෙ නැද්ද දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදුවෙයි කියලා?
ඒ බය තමයි මට මුලදී තිබුණේ. ඒත් රටේ දැන් හොඳ ජනාධිපතිවරයෙක් සිටින නිසා මට දැන් ඒ බය නැහැ. බොහෝ දුරට මම ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ වෙයි කලාව කරන අතරතුර.
කාලයක් ඔබ පුංචි තිරයේ පෙම්වතාගේ චරිත හරහා තමයි අපි දුටුවේ. ඒත් ඔබ එයින් බැහැරවෙලා වෙනස් චරිත නිරූපණය කරනවා. පෙම්වතා චරිත නිරූපණයට අදහසක් නැතිද?
මම පෙම්වතාගේ චරිත රඟපාන කාලෙත් විවිධ චරිත කළා. සුනිල් කොස්තා අධ්‍යක්‍ෂණය කරන ඔහුගේ නවතම ටෙලිනාට්‍යයේ මම නැවැත පෙම්වතාගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ.
ඔබ විවිධ චරිත නිරූපණය කළත් ඔබව ඇගයිය යුතු කාලේ ඔබව ඇගැයීමට ලක්කළේ නැහැ නේද?
මම සම්මාන බලාගෙන නෙවෙයි රඟපාන්නේ. සම්මානයක් හිමිවෙනවා නම් සතුටුයි. නමුත් සම්මාන උළෙලවල් ගැන මගේ තියෙන්නේ කලකිරීමක්. මට සම්මාන ලැබිලත් තියෙනවා.
රඟපෑම වගේම ඔබ හොඳ කවියෙක්?
කවි ලියන එක හැමෝටම කරන්න බැහැ. එය මට ලැබුණු වරප්‍රසාදයක්. පොඩි කාලේ ඉඳලා ඒ හැකියාව මට තිබුණා. ඉතින් මම ඒ කාලේ ‘සඳරේණු’ පත්තරේට කවි නිර්මාණය කළා. පසුගිය කාලේ මම කවි පොතක් නිර්මාණය කළා. ‘ඉතුරුණු පිටු’ නමින්. මේ දවස්වල මගේ දෙවැනි කවි පොතට කවි ලියාගෙන යනවා.
වේදිකාවේ ඔබේ සුවිශේෂී රංගනයක් අපි දකිනවා. එය ගැන කතා කළොත්?
‘ඊඩිපස්’ වේදිකා නාට්‍යයේ ඊඩිපස්ගේ චරිතය කරන්නේ මම. එය බැරෑරුම් චරිතයක්. ඒ වෙනුවෙන් මම උපරිම කැපවුණා. එයට අමතරව තාරාවෝ ඉගිලෙති, සුදු වළහෙක්, ඉරෙන් පනී වේදිකා නාට්‍ය සඳහා දායක වෙනවා.
වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙසට කටයුතු කරන නිසා චරිත තෝරා බේරාගෙන වැඩ කරන්න අපහසු ඇති?
ඔව්. එහෙම තෝරා බේරාගෙන වැඩ කරන්න අපහසුයි. නමුත් ලැබෙන නිර්මාණයේ චරිතය හොඳට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. තරමක් දුරට අපි දායක වන නිර්මාණයේ පිටපත් රචක සහ අධ්‍යක්‍ෂ සමඟ කතාබහා වෙලා ඒ චරිතයට වෙනසක් එකතු කරන්න තමයි මම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ.
වසන්ත විතාරණගේ











