• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කාටත් රහසේ බුදුරැස් විහිදුණු විල්ගම් වෙහෙර

August 15, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කාටත් රහසේ බුදුරැස් විහිදුණු විල්ගම් වෙහෙර
Share on WhatsAppShare on Facebook

ඉතිහාසය යනු වෙනස් කළ නොහැකි දෙයක් වුවද, ඉතිහාසය සම්බන්ධයෙන් අප සිතා සිටි බොහෝ දේ නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වේ. වර්තමානයේ අප බොහෝ දේ දකින්නේ අතීතයේදී විශ්වාස කළ ආකාරයට වඩා වෙනස් ලෙසටය. එසේ නමුත් වසර ගණනාවක් පුරා පැවැති විශ්වාසයක් එක්වරම වෙනස් කිරීමට කිසිවකු සූදානම් නැත. සාමාන්‍ය මිනිස් ස්වභාවය එසේය. මෙතැන් පටන් කතා කරන්නේද එවැනි මාතෘකාවක් සම්බන්ධවය. අපි කවුරුත් හොඳින් දන්නා ඓතිහාසික සෝමාවතී රජ මහා විහාරය බෞද්ධයන්ගේ වන්දනාමානයට ඉහළින්ම පාත්‍ර වූ පූජා භූමියක් බව අමුතුවෙන් පැවසිය යුතු නැත. මෙරට අනෙක් බෞද්ධ සිද්ධස්ථාන අතරින් සෝමාවතී සෑ රදුන් විශේෂ වන්නේ එහි බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කර ඇතැයි යන විශ්වාසය නිසාවෙනි. එබැවින් මහනුවර දළදා වහන්සේ හා සමාන ගෞරවයක් සහ භක්තියක්, සෝමාවතී සෑ රදුන් කෙරෙහිද බෞද්ධයන් තුළ ඇත. ඒ භක්තිය සහ ගෞරවයේ තරම කෙතරම්දැයි කිවහොත් සෝමාවතී දාගැබ බොහෝ දෙනකු හඳුන්වන්නේ බුදු රැස් විහිදෙන සෝමාවතිය ලෙසිනි.

අපි මෙතෙක් දැන සිටි පරිදි බුදු රැස් විහිදෙන ඓතිහාසික සෝමාවතිය පිහිටා ඇත්තේ පොළොන්නරුවට තරමක් ඈතින් පිහිටි සෝමාවතී රක්ෂිතය තුළය. කලක් ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් වන්දනමාන කර ගැනීමට නොහැකි වුවද, වර්තමානය වන විට සෝමාවතී පුදබිම නිරන්තරයෙන් බැතිමතුන්ගෙන් පිරී යන පින්බිමක් බවට පත් වී ඇත. පොළොන්නරු නගරයේ සිට සෝමාවතියට ඇති දුර ආසන්න වශයෙන් කිලෝමීටර 60කට ආසන්නය. මීට වසර කිහිපයකට කලින් පොළොන්නරුවේ සිට සෝමාවතියට වැටී තිබෙන මඟ දුෂ්කර එකක් වුවද, වර්තමානය වන විට එය බොහෝ සෙයින් පිළිසකර කර ඇත.

කෙසේ නමුත් මෙතෙක් කලක් අප එක සිතින් වන්දනාමාන කළ සෝමාවතී රක්ෂිතය තුළ පිහිටි සෝමාවතී දාගැබ, බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර ගොඩනැඟූ සැබෑ සෝමාවතිය නොවන බවට පුවතක් මීට දින කිහිපයකට කලින් මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එම වාර්තා ඔස්සේ වැඩිදුරටත් කියැවුණේ සැබෑ සෝමාවතිය යැයි සැක කෙරෙන දාගැබක් ත්‍රිකුණාමලය ඓතිහාසික සේරුවාවිල මංගල සෑ රදුන් සමීපයෙන් සොයා ගෙන ඇති බවය. ඒ නව සොයා ගැනීම ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක මහතාද සහභාගි විය. එහිදී ත්‍රිකුණාමලය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වංශ කතා අනුව සේරුනුවර අසබඩ පිහිටි ඉපැරැණි විල්ගම් වෙහෙර, සෝමාවතී දේවිය විසින් ඉදි කළ සෝමාවතී දාගැබ යැයි අනුමාන කළ හැකි බවය. “අපේ වංශ කතාවක් වන ධාතු වංශයේ සඳහන් වෙනවා සේරු විල අසබඩ පිහිටි සේරු නුවර කෙළවර ගිරි අබා රජු විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා ස්ථූපයක් කෙරෙව්වා කියලා. සේරු විල කෙළවර සෝම නුවර පිහිටනවා කියලා තමයි ඒකේ කියන්නේ. ඒකේ සේරුවිල කෙළවර කියන වචනයේ තේරුමක් තියෙනවා. මේ සේරු විලේ වතුර ඇතුල් වෙන්නේ දකුණු දිශාවෙන්. වතුර පිටවෙන්නේ උතුරු දිශාවෙන්. එතකොට සේරු විල කෙළවර කියන එකේ අර්ථයක් එන්න නම් උතුරු කෙළවර වෙන්න ඕනෑ. එතකොට සේරු විලේ උතුරු පැත්තේ තියෙන එකම ස්ථූපය තමයි දැනට මේ කැණීම් කරන ස්ථූපය. ඒ වගේම ධාතු වංශයේ තව සඳහනක් තියෙනවා කාවන්තිස්ස රජතුමා සේරු විල මංගල මහා සෑය ඉදි කරලා ස්ථූපය නිම කරලා ධාතු තැන්පත් කරලා සඟ සතු කර පූජා කරන්න මේ සෝම නුවර ඉඳලා පෙරහැරකින් ගියා කියලා. එතුමා සන්ධ්‍යා භාගයේ ඇතුන් පිරිවරා ගෙන සෝම නුවරින් පිටත් වෙලා සේරුවිල ස්ථූපයට කළුවර වැටෙන්න කලින් ගියා කියලත් එහි සඳහන් වෙනවා. ඒ කියන්නේ සෝම නුවර පිහිටන්න ඕනෑ සේරුවිල ස්ථූපයට බොහොම කිට්ටුව. ඒ අනුව ධාතු වංශයේ සඳහන් කරුණු අනුව ප්‍රධාන අවස්ථා දෙකක් මේ ස්ථූපයට ගැළපෙනවා. එම කරුණු අනුව මේ ස්ථානය පැරැණි සෝම නුවර විදියට අපිට අනුමාන කරන්න පුළුවන්. එහෙනම් පැරැණි සෝම නුවර ඉදිකෙරුව දකුණු දළදාව නිදන් කෙරුව ස්ථූපය බොහෝ විට අපි මේ කැණීම් කෙරෙන මේ විල්ගම් වෙහෙර වෙන්න පුළුවන්.” ඒ තන්තිලගේ මහතා දැක්වූ අදහස්ය. එම අවස්ථාවේ අදහස් දැක්වූ ආචාර්ය සෙනරත් දිසානායක මහතාද සඳහන් කළේ මේ ස්ථූපය ක්‍රිස්තු පූර්ව යුගයේදී ඉදි කළ වැදගත් ස්ථූපයක් බවට පුර විද්‍යාත්මක කරුණු ඔස්සේ තහවුරු වී ඇති බවය.

මේ පිළිබඳව රටේ බොහෝ දෙනා විවිධ අදහස් දක්වද්දී අපි විල්ගම් වෙහෙර සොයා යෑමට තීරණය කළේ මේ පිළිබඳ නියම තතු සොයා ගත යුතු වූ නිසාමය. විල්ගම් වෙහෙර දක්වා යෑමට පහසුම මඟ වන්නේ කන්තලේ නගරයෙන් දකුණට හැරී ඓතිහාසික සේරුවාවිල මංගල මහා සෑ රදුන් අබියසින් ලංකා පටුන මාර්ගය ඔස්සේ ගමන් කිරීමය. එසේත් නැතිනම් ත්‍රිකුණාමලය, මුත්තූර් හරහා තොප්පූර් වෙත පැමිණීමෙන්ද විල්ගම් වෙහෙර වෙත ළඟා විය හැක. වර්තමානයේදී මුත්තූර් සිට තොප්පූර් වෙත ගමන් කිරීමේදී ඈත සිටම සේරුවිලට ඉපිටෙන් දිස්වන විල්ගම් වෙහෙර මවන දර්ශනය ඉතා අපූරු එකකි. නමුත් මීට වසර පහකට පෙර එනම් 2015 වසර වන විටත් විල්ගම් වෙහෙර යනු ගරා වැටුණු කිසිවකුගේවත් අවධානයට ලක් නොවුණු දාගැබකි. පුරාවිද්‍යා නිලධාරීන් පැවසූ ආකාරයටම විල්ගම් වෙහෙර ඉදිව ඇත්තේ සේරුවිල කෙළවරේම බව එහි යන ඕනෑම කෙනකුට පැහැදිලිව දැක ගත හැක. වසර කිහිපයක පුරාවිද්‍යා කැණීම්වලින් අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විල්ගම් වෙහෙරේ කොත් පැලඳවීම පසුගිය ජුනි මාසයේදී සිදුවූ නමුත් දාගැබේ සලපතල මළුවේ පුරාවිද්‍යා කැණීම් මේ වන තුරුද අවසන් වී නැත. ඒ කැණීම් ඔස්සේ ලංකාවේ ඉපැරැණිම ඇත් පවුරක් සහ ජත්‍ර හතරක් සොයා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් සමත් වී ඇත. ධාතු වංශයේ සඳහන් කරුණු ඇසුරෙන් පුරාවිද්‍යා නිලධාරීන් සිදු කළ අනෙක් අනාවරණය සම්බන්ධයෙන්ද කිසිදු ගැටලුවක් නැත. විල්ගම් වෙහෙරේ සිට පාගමනින් පැයකට ආසන්න කාලයකින් පහසුවෙන් සේරුවාවිල මංගල මහා සෑය වෙත ළඟා විය හැක. නමුත් අවාසනාවට ඓතිහාසික ස්ථානයක් පැහැදිලිවම හඳුනා ගත හැකි ප්‍රධාන පුරාවිද්‍යා සාක්ෂියක් ලෙස සැලකෙන සෙල්ලිපියක් විල්ගම් වෙහෙර අබියසින් සොයා ගෙන තිබුණද, විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එය කිසිසේත් කියවා ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.

පුරාවිද්‍යා නිලධාරීන් ඓතිහාසික ස්ථාන පිළිබඳ නිගමනයන්ට එළැඹෙන්නේ වංශ කතා තොරතුරු සහ කැණීම් මඟින් හෙළිවන කාල නිර්ණයන් සම්බන්ධ සාක්ෂි මඟිනි. එබැවින් මේ පිළිබඳ වඩාත් තහවුරු කර ගැනීමට නම් අප සෝමාවතිය සම්බන්ධ කතා පුවත සොයා යා යුතුය. ඓතිහාසික මූලාශ්‍රයක් වන ජිනකාලමාලියේ එම කතා පුවත සඳහන්ව ඇත්තේ මෙසේය. සෝමාවතී දේවිය යනු මාගම් රාජධානිය පාලනය කළ කාවන්තිස්ස රජුගේ නැගණියකි. එකල ලක්දිව විවිධ ප්‍රාදේශීය රාජ්‍ය කිහිපයකට බෙදී තිබූ අතර ඉන් එක් රාජ්‍යයක් පාලනය කළ ශිව රජුගේ බෑනා කෙනකු වන අභය කුමරුට මෙම සෝමාදේවිය සරණ පාවා දුන් බව සඳහන්ව ඇත. පසුව ඔවුන් දෙදෙනා පදිංචි වී ඇත්තේ ගිරි නුවරය. එබැවින් අබා රජු හැඳින්වෙන්නේ ගිරි අබා රජු ලෙසටය. කෙසේ නමුත් පසුව දුටුගැමුණු කුමාරයා කෙමෙන් වැඩි වියට පත් වීමේදී මෙම ගිරි නුවරට පැමිණ ඇති අතර එහිදී අබා රජු සමඟ දුටුගැමුණු කුමරු යම් මත ගැටුමක් ඇති කරගෙන ඇත. ඒ හේතුවෙන් අභය කුමරු සෝමාවතී දේවියද රැගෙන සේරු නුවරට පිටමං වී ඇත. එවිට සේරු නුවර පාලනය කළ ශිව රජු මේ දෙදෙනාට සෝම නුවර නමින් සේරු නුවර අසබඩින්ම නුවරක් තනා දී ඇත. තම නමින් චෛත්‍යයක් ඉදි කර දෙන ලෙස සෝමාවතී දේවිය අභය රජුගෙන් ඉල්ලා ඇත්තේ මේ අතරතුරේදීය. ඒ ඉල්ලීමට අනුව සල් ගසින් පිරී ගිය ප්‍රදේශයක් තෝරා ගෙන ඔවුන් මේ චෛත්‍යය ඉදි කළ බව ජිනකාලමාලියේ සඳහන්ව ඇත. එමෙන්ම මේ චෛත්‍යයේ නිධන් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ඉන්දියාවේ සිට අරිට්ඨ නම් තෙරුන් වහන්සේගෙන් ලංකාවේ සිටි මහින්ද නම් තෙරුන් වහන්සේ නම හරහා ලබා ගත් බවද එහි සඳහන්ව ඇත.
රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමඟ වල් වැදුණු අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි නැවත සොයා ගනු ලැබුවේ ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ 19 වැනි ශතවර්ෂයේදීය. අනුරාධපුර සහ පොළොන්නරුව සොයා ගනු ලැබුවද, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට ආසන්න වන විටත් වංශ කතාවල සඳහන් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර ඉදි කළ සෝමාවතිය සොයා ගැනීමට කිසිවකු සමත් වී තොතිබිණි. වසර ගණනාවක් ඒ සඳහා ගත් උත්සාහය මල්ඵල ගැන්වී ඇත්තේ 1947 වසරේදීය. ඒ වැල්ලවත්තේ ශ්‍රී සුමංගල පියරතන හිමිපාණන් ඇතුළු පිරිසක් විසිනි. අලි ඇතුන් ගහන මහා වනාන්තරයක් මැද, වල් බිහි වී ගරා වැටුණු නිදන් හොරුන්ගේ පාරාදීසයක්ව තිබූ සෝමාවතී මහා සෑය සොයා ගැනීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් විය. වනාන්තරය මැද තනිව තිබූ සෝමාවතී සෑය උන්වහන්සේ හඳුනාගෙන ඇත්තේද ඒ හා සම්බන්ධ බුදුරැස් විහිදීමේ අනුහසින් බව ශ්‍රී සුමංගල පියරතන හිමිපාණන් විසින්ම සඳහන් කර ඇත. 50 දශකය වන විට සෝමාවතියට අත්ව තිබූ ඉරණම කුලසේන ෆොන්සේකා මහතාගේ “සෝමපුර වීරයෝ” නැමැති යොවුන් නව කතාව ඔස්සේ මනාවට විස්තර කර ඇත. එතැන් පටන් පුරාවිද්‍යා පරීක්ෂණයන්ට සහ සංරක්ෂණ කටයුතුවලට ලක් වූ සෝමාවතී සෑරදුන්ගේ කොත් පැලඳවීම සිදු කර ඇත්තේ 2002 වසරේදීය. කෙසේ නමුත් 1950 දශකයේ සිටම අදටත් බුදුරැස් විහිදෙන සෝමාවතිය බෞද්ධයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වී ඇත.

මෙහිදී අපි මෙතෙක් කලක් වන්දනාමාන කළ ඓතිහාසික සෝමාවතිය, සැබෑ සෝමාවතිය නොවන බවට සැක කිරීමට තවත් හේතු කිහිපයක් අනාවරණය කර ගත හැක. ඉන් එක් ප්‍රධාන කාරණාවක් වන්නේ සෝමාවතී පූජා භූමියෙන් සොයා ගනු ලැබූ සෙල්ලිපියයි. විල්ගම් වෙහෙරෙන් සොයා ගත් සෙල්ලිපිය කියවා ගත නොහැකි නමුත් සෝමාවතියෙන් හමුවූ සෙල්ලිපිය කියවා ගැනීම පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත.
ඒ අනුව එම සෙල්ලිපිය මහා දාඨික මහා නාග රජුගේ පුත්‍රයකු වන නඛෙල කුමරු විසින් එම සෙල්ලිපිය කරවූ බව එහි පැහැදිලිව සඳහන්ව ඇත. එහි සඳහන්ව ඇත්තේ “පචින නඛ අරම” ලෙස හැඳින්වෙන මෙම පූජා භූමියට පරිත්‍යාග කළ ඉඩකඩම් සහ එම පූජා භූමියට බදු අයවිය යුතු ආකාරය දක්වා ඇති විස්තරයකි. ඒ හරහා හෙළිවන වඩාත්ම වැදගත් කරුණු වන්නේ මෙම පූජා භූමිය හැඳින්වීමට යොදා ගෙන ඇති පචින නඛ අරම හෙවත් ප්‍රාචීන නාග ආරාම යන්නය. මහා දාඨික මහානාග රජු රාජ්‍ය පාලනය සිදු කර ඇත්තේ ක්‍රි. ව. 09 සිට ක්‍රි. ව. 21 දක්වා කාලය තුළය. එබැවින් එහිදී පැහැදිලිව ඔප්පු වන කාරණය වන්නේ ක්‍රි. ව. 01 වැනි සියවස ආරම්භයේදීත් මෙම පූජා භූමිය සෝමාවතිය ලෙසින් හඳුන්වා නොමැති බවය. ඒ හේතුවෙන් අප දන්නා සෝමාවතිය සැබෑ සෝමාවතිය නොවන බවට මතයක් මුලින්ම එල්ල කර ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණන් විසිනි. ඒ මීට බොහෝ කාලයකට පෙරය.
ඊට අමතරව අපි දන්නා සෝමාවතියේ පිහිටීම සම්බන්ධයෙන්ද තවත් ගැටලුවක් ඇත. ගිරි අබා රජු විසින් සෝමා දේවිය වෙනුවෙන් ඉදිකළ දාගැබ පැවතිය යුත්තේ මහවැලි ගඟෙන් දකුණු ඉවුරේය. ඒ ඔහු රුහුණු රටට අයත් වූ රජකු වීම නිසාය. නමුත් වර්තමාන සෝමාවතිය පිහිටා ඇත්තේ මහවැලි ගඟේ වම් ඉවුරේය. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ අතීතයේදී සෝමාවතිය මහවැලි දකුණු ඉවුරේ පැවැති නමුත් පසුව ස්වාභාවික හේතු කාරණා මත මහවැලි ගඟේ ගමන් මාර්ගය වෙනස් වීම එයට හේතු වී ඇති බවය. අතීතයේදී මහවැලි ගඟේ ගමන් මාර්ගය වෙනස් වී ඇති බව භූ විද්‍යාත්මක සාක්ෂි මඟින්ද තහවුරු කර ගෙන ඇත.

සියල්ල විමසා බැලීමේදී පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ සැබෑ සෝමාවතිය කුමක්දැයි යන්න නිශ්චිතවම අනාවරණය කර ගැනීමට තවමත් කිසිවකු අසමත් වී ඇති බවය. විල්ගම් වෙහෙරේ සෙල්ලිපිය කියවා ගැනීමට ඉඩ ලැබුණේ නම් ඇතැම්විට මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නට ඉඩ තිබිණි. නමුත් දැන් ඒ සඳහා අවස්ථාව නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුරා විද්‍යාඥයකු වන මහාචාර්ය රාජ් සෝමදේම මහතාද ඉදිරියේදී විල්ගම් වෙහෙර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. ඒ කොයි හැටි වෙතත් ලොව පුරා සුවහසක් බෞද්ධයන්ට බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව නිධන් කර ගොඩනැඟූ සෝමාවතිය වන්දනා කර සිත සුවපත් කර ගැනීමට මේ කිසිවක් හරහා කිසිදු බාධාවක් එල්ල නොවන බවද, අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු යන්න සිහින දකින නිරෝෂන්

Next Post

BOC 81 වැනි සංවත්සරය සමරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.