ශ්‍රී ලංකාවෙන් ලෝකයට බිහි කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිපදවන 800 චිත්‍රපටය ගැන අපි පසුගිය සතියේදී තොරතුරු කතා කළා. වසර කිහිපයක් පුරාවට දිනෙන් දින කල් ගිය චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වී ඇති බවට වූ සතුටුදායක පුවත ගැන තමයි අපි ඒ හරහා කතා කළේ. ඒත් සතියක් ඇතුළත 800 චිත්‍රපටය පිළිබඳ වූ සියළුම සතුටුදායක පුවත් කණපිට පෙරළිලා. අද ඒ ගැන කතා කරන්න තියෙන්නේ අසතුටුදායක දේ විතරයි.
එම්. එස්. ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබූ මුරලිගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පෙවීමට නියමිතව තිබුණේ දක්ෂ ඉන්දීය නළුවකු වන විජය සේදුපති. කොහොම වුණත් චිත්‍රපටය ගැන කතා බහ ආරම්භ වි ගත වුණු පසුගිය වසර දෙක පුරාවටම විජයට මේ ගැන ලොකු විරෝධයක් දකුණු ඉන්දීය රසිකයන්ගෙන් එල්ල වෙලා තිබුණා. පසුගිය සතියේදී 800 චිත්‍රපටයේ මෝෂන් පෝස්ටරය නිකුත් වීම සහ තමන් එහි මුරලිගේ චරිතය නිරූපණය කරන බව විජය සේදුපති ප්‍රකාශ කිරීමත් සමඟ එම විරෝධය දෙගුණ තෙගුණ වන ආකාරයක් දක්නට ලැබුණා.
තමිල්නාඩු ජනතාවගෙන් එල්ල වූ මේ විරෝධය හමුවේ වහාම විජය සේදුපතිට පණිඩිඩයක් යැවූ මුරලි මේ චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළා. තමිල්නාඩු ජනතාවගෙන් එල්ල වන විරෝධය හමුවේ තමන් මෙම ඉල්ලීම කරන බව සඳහන් කළ මුරලි එම විරෝධතා මත විජය සේදුපති වැනි විශිෂ්ඨ කලාකරුවකුගේ අනාගතය විනාශ වීමට තමන්ට ඉඩ ලබා දිය නොහැකි බවද සඳහන් කර තිබුණා. ටිව්ටර් හරහා යොමු කර තිබූ එම පණිවිඩයට සේදුපති ප්‍රතිචාර දක්වා තිබුණේ ස්තුතියි, ආයුබෝවන් යන ලෙසින්. 800 චිත්‍රපටයෙන් ඉවත් වෙන ලෙස සේදුපතිට බලපෑම් එල්ල කළේ දකුණු ඉන්දීය සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි. ඒ අතර තමිල්නාඩු දේශපාලඥයන් කිහිප දෙනෙක්ද හිටියා. ඒ වගේම එම චිත්‍රපටය සඳහා සම්බන්ධ වුවහොත් සේදුපතිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනාත්මක පණිවිඩ පවා අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුණා. මේ සියළු දේ හමුවේ තමන් ඉදිරියට තැබූ පියවර පිටුපසට ගන්න විජය සේදුපති තීරණය කර ඇති බව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව 800 චිත්‍රපටයේ මුරලිගේ චරිතයට විජය සේදුපති රංගනයෙන් දායක වෙන්නේ නැහැ.
ඉතා විශාල ජනතා ආකර්ශණයක් ඇති දකුණු ඉන්දීය සිනමාව තුළ, ජනතා විරෝධය හමුවේ රැඳී සිටින්න නළුවෙකුට හැකියාවක් නැහැ. විජය සේදුපතිගේ තීරණය හරහා ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. නමුත් ලොවම දිනූ මුරලිදරන්ට එරෙහිව දකුණු ඉන්දීය ජනතාව ගෙන යන විරෝධය කෙතරම් සාධාරණ එකක්දැයි යන්නත් අප ප්‍රශ්න කළ යුතුයි. අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරීම අනුමත කළ පුද්ගලයකුගේ ජීවිත කතාව නිර්මාණය නොකළ යුතු බව තමයි 800 චිත්‍රපටය විරෝධය දක්වන පිරිසගේ අදහස වෙලා තියෙන්නේ. ඒත් තමන් කිසිම දිනෙක් අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරීම අනුමත නොකළ බව මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරලා තිබුණා.
කොහොම වුණත් සේදුපතිගේ ඉවත් වීමත් එක්ක බොහෝ දෙනෙකු දැඩි ආශාවකින් බලා සිටි 800 චිත්‍රපටයේ වැඩ කටයුතු නැවත වරක් අතර මඟ නතර වෙලා තියෙනවා. ඉදිරියේදී චිත්‍රපටයේ වැඩ කටයුතු නැවත වරක් ආරම්භ වේවිද කියන එක ප්‍රශ්ණයක්.
චන්දන පොන්නම්පෙරුම











