ෆ්ලෑෂ්බැක් ස්ටයිල්… ප්‍රාසාංග වේදිකාවේ අපිට නිතර අහන්න ලැබෙන වචනයක්. වචනින් විතරක් නෙවෙයි වැඩවලිනුන් ලංකාවේ ප්‍රාසාංගික වේදිකාව වෙනස්ම ආකාරයකට ගෙනගිය සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බැක්. නව හැඩයක් වගේම තම ජනප්‍රියත්වය එකසේ පවත්වාගෙන යමින් කිසිදු සංගීත කණ්ඩායමකට අභියෝගයක් කළ නොහැකි ලෙස ෆ්ලෑෂ්බැක් අද පත්වී හමාරයි. ෆ්ලෑෂ්බැක්හි නියමු රොෂාන් ප්‍රනාන්දු වර්තමාන ප්‍රාසාංගික ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටලු සහ මේ මොහොතේ සංගීතයේ ගමන්මග ගැන අපට අදහස් දැක්වූයේ මේ අයුරින්.
මේ දවස්වල රූපවාහිනියෙ අලුත් වැඩක් කරගෙන යනව නේද?
මේ වෙලාවෙ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපේ ප්‍රාසාංගික කලාකරුවන් ලොකු ප්‍රශ්නෙකට මුහුණදීල තියෙනවා. රටේ අනෙක් වෘත්තීන් මේ වෙද්දි නිදහසේ වැඩ කරගෙන යද්දි අපේ ක්ෂේත්‍රයෙ වැඩ තාමත් පටන් ගන්න අවස්ථාවක් ලැබිල නෑ. අපි වැඩ කරන්නෙ බොහෝ පිරිසක් එක්රැස් වෙන ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ නිසා තමයි තවමත් මේ ගැටලුවට මුහුණදීල තියෙන්නෙ. මේ තත්ත්වය නිසා ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය විදියට අපි රජයෙන් ඉල්ලීමක් කළා රාජ්‍ය නාළිකා දෙකෙන් අපිට අවස්ථාවක් දෙන්න කියල. ඒ ඉල්ලීමට අනුව රාජ්‍ය නාළිකා දෙකෙන් අපිට චාන්ස් එකක් ලැබුණ ප්‍රාසාංගික වැඩසටහන් දෙකක් කරන්න. මේ දවස්වල කාර්යබහුල ඒ වැඩත් එක්ක තමයි.
ඇයි හදිසියේම සංගමයක් පිහිටුවන්න හිතුවෙ?
ඇත්තටම අපි කරුණු තුනක් මුල්කරගෙන තමයි ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය පිහිටුවන්න හේතුවුණේ. පළමුවැනි එක තමයි ප්‍රාසාංගික කලාව කර්මාන්තයක් විදිහට නීතිගත කරගන්න එක. දෙවැනි එක තමයි කලාකරුවන්ගේ වෘත්තීමය තත්ත්වය පවත්වාගෙන යෑම. අනිත් එක තමයි කලාකරුවන්ගේ මූල්‍යමය තත්ත්වය වැඩිදියුණු කරන්න. ඔය විදියට කලාකරුවන්ගේ ජීවිතය යම් විදියට සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් හදාගන්න තමයි අපි මේකෙන් උත්සාහ කරන්නෙ.
මෑතකදි ඔබ ‘ඩ්‍රයිව් ඉන් කොන්සට්’ එකක් කළා?
කුරුණෑගල, මාවතගම සහ තිස්සමහාරාමයෙ ඩ්‍රයිව් ඉන් කොන්සට් දෙකක් කළා. ඊට අමතරව අගෝස්තු අන්තිම ‘ෆ්ලෑෂ්බැක් ලයිව් ඉන් කොන්ස්ට්’ කියල කටුනායක බී.ඕ.අයි. ග්‍රවුන්ඞ් එකේ තව එකක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නව.
‘ඩ්‍රයිව් ඉන් කොන්සට්’ කියන්නෙ පිටරටින් ලංකාවට ආපු අලුත්ම සංකල්පයක්. ඒක ලංකාවට ගැළපෙනව කියල හිතනවද?
මම හිතන්නෙ මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ඒ සංකල්පය ලංකාවට ගැළපෙනව. නමුත් මේක ගොඩක් දිගට ඇදගෙන යන්න පුළුවන් කන්සෙප්ට් එකක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ ෂෝ එකක් බලන්න එන ක්‍රවුඞ් එකත් එක්ක වාහනවලින් ග්‍රවුන්ඞ් එක පුරවපුහම සීමිත පිරිසකට විතරයි ඒ අත්දැකීම ගන්න පුළුවන් වෙන්නෙ. ඒත් මං හිතන විදිහට මේ වෙලාවෙ අපිට තියෙන හොඳම විකල්පය මේක.
පසුගිය කාලෙ දේශපාලකයන්ට වැඩිම තේමා ගී ප්‍රමාණයක් නිර්මාණය කළේ ඔබද?
ඒක නම් මම හරියට දන්නෙ නෑ. හැබැයි මම මේ මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලනඥයන්ට තේමා ගී හයක් විතර නිර්මාණය කළා.
දේශපාලනඥයන්ට ගීත නිර්මාණය කරද්දි පක්ෂ බේද බලන්නෙ නැද්ද?
නෑ. ඒක මගේ ජොබ් එක. වෘත්තීමය සංගීත ශිල්පියෙක් විදියට ආගමකට, ජාතියකට, සංස්කෘතියකට පහර ගහන්නෙ නැති ඕනෑම නිර්මාණයකට මම දායක වෙනව.
මේ වෙනකොට කලාකාරයො බොහෝදෙනෙක් දේශපාලනය සමඟ ඍජුව සම්බන්ධ වෙලා වැඩ කරනව. ඒ ගැන ඔබ මොන විදියටද දකින්නෙ?
කලාකාරයෙක් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්ට වැඩිය සමාජයේ පිළිගැනීමක් තියෙන කෙනෙක්. ඒ වගේම කලාකාරයෙක්ට සමාජයට පණිවුඩයක් හරි ඉක්මනට ගෙනියන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕනෙ එහෙම දේශපාලනයට එන අය එන්නෙ ඇත්තටම රටට, ජාතියට, මහජනතාවට වැඩක් කරන්නද එහෙමත් නැත්නම් තමන්ගෙ පෞද්ගලික වාසි සඳහාද කියන එක. තමන් විතරක් ගොඩ යන්න කලාකාරයො විතරක් නෙමෙයි මොන ක්ෂේත්‍රයකින් කවුරු ආවත් මේ රටට වැඩක් වෙන්නෙ නෑ.
ඔබත් ‘ආඩම්බරකාරී’ කියල මියුසික් වීඩියෝ එකක් කළා. කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාර?
ඒ මියුසික් වීඩියෝ එක ලක්ෂ 5ක් යූටියුබ් හරහා බලල තිබුණ. අලුත් විදියට යමක් කරන්න තමයි මම ඒකෙන් උත්සාහ කළේ. ඇත්තටම මේ වෙද්දි ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනව.
ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
ඉදිරියෙදි ෆ්ලෑෂ්බැක් බෑන්ඞ් එකේ අලුත් සින්දුවක් කරන්න හිතාගෙන ඉන්නව. ඊට අමතරව මගෙත් අලුත් නිර්මාණ කිහිපයකුත් ඉදිරියෙදි දැකගන්න ලැබෙයි.
ඉන්දික වික්‍රමරත්න











