මගේ කොල්ල නළුවෙක්…
‘සිරස ෆිල්ම් ස්ටාර්’ තරග තුළින් රංගන වරමක් තුරුළු කරමින් ඒ වරම තුළින් තවත් ආදර කතාවක පෙම්සුව විඳිමින් කලා ක්ෂේත්රයට ආලෝකයක් එකතු කරමින් සුන්දර ගමනක යන සොඳුරු තාරකාවියක් ගැන අප කතා කරන්න හිතුවා. ඇය ආලෝකා ධනංජනී. මේ දවස්වල ඇයව ටෙලිනාට්‍ය රැසකම අපි දකිනවා. ඒ අතර ඇයත් නළුවෙක්ට පෙම් බඳින කතාවත් එක්ක ඒ සඟවන නළුවා ගැන හොයා බලන්න අපි හිතුවේ මේ විදියට.
කලා ක්ෂේත්රයටම ඔබ දැන් ආලෝකයක් වෙලා නේද?
අනේ මන්දා ඉතින්.
ආලෝකා කොරෝනා වසංගතයත් එක්ක බෝඩිමට කොටුවෙලා වගේ?
ඔව්. ගෙදර යාගන්න බැරි වුණා ටෙලිනාට්‍යවල රූගත කිරීම් සිදුවුණු නිසා. දැන් ඉතින් බෝඩිමට වෙලා ආරක්ෂාකාරීව ඉන්නවා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්.
මේ දවස්වල ඔබව ටෙලිනාට්‍ය කිහිපයක අපි දකිනවා?
හදවතේ කතාව, අහස් මාලිගා, ගරුඬ මුහුර්තය ටෙලිනාට්‍යවල එකිනෙකට වෙනස් චරිත රඟපානවා.
ඔය අතර පවුලේ බඩපිස්සිවෙලා හුරතලේට හැදිලා දැන් පවුල් බර අගහිඟකම් මැද පීඩා විඳින වෙනස්ම රංගනයක් අපි දකිනවා?
‘ගරුඬ මුහුර්තය’ ටෙලිනාට්‍ය පිටපතට මම ගොඩාක් ආශා කළා එය වෙනස්ම කතාවක් නිසා. බිළිඳිට හැමෝගේම ආදරය, කරුණාව ලැබුණා. දැන් ඉතින් අගහිඟකම් මැද පීඩා විඳිමින් බිළිඳිගේ ජීවිතය ගලාගෙන යනවා. ඉදිරියට බලමු ඉතින්. ඇයගේ ජීවිතය මොන විදියට වෙනස් වෙයිද කියලා.
ආලෝකා නළුවෙක්ට පෙම් බඳින කතාවක් පැතිරෙනවා. ඇත්තද මේ කතාව?
ඇත්ත තමයි මේ කතාව. හැබැයි අපිව මේ ක්ෂේත්රයෙන් දැන හඳුන ගන්න කලින් අපි පෙම්වතුන් වෙලා හිටියේ. ඔහුත් දැන් ටෙලිනාට්‍යවල රඟපානවා.
දෙන්නාගේ හමුවීම ගැන කතා කළොත්?
ඒ ගැන වැඩිදුර කතා කරන්න මම කැමැති නැහැ. ‘සිරස ෆිල්ම් සිටාර්’ හරහා තමයි අපේ හමුවීම.
තවම දෙන්නාට එකම නිර්මාණයක පෙම් ජවනිකාලැබුණේ නැතිද?
තවම නැහැ. මමත් ආශාවෙන් ඉන්නවා. අපි දෙන්නාට එකම නිර්මාණයක රඟපාන්න ලැබෙනකම්. එතකම් අපි දෙන්නා මෙහෙම හෙමීට වැඩ කරගෙන යනවා.
කලා ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් තෝරාගන්න හිතුවේ ඇයි?
මට ක්ෂේත්රය අදාළ නැහැ. ගතිගුණ වැදගත්කම මගේ හිතට දැනුණා ඔහු හොඳ අවංක කෙනෙක් කියලා. ඉතින් අපි දෙන්නාට දෙන්නා ආදරය කරනවා.
පසුගිය දවස්වල ගැහැනු එක්ක එකතුවෙලා ගින්නක් අවුලන්නද දැඟලුවේ?
අයියෝ මම එහෙම අනුන්ගේ දේවල් හොයන කෙනෙක් නෙවේ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කරන ‘ගැහුනු’ සිනමා නිර්මාණයේ වැඩකටයුතු කළා. ගැහැනු සම්බන්ධව මූලික කරගෙන තමයි කතාව කියැවෙන්නේ.
සනත් ගුණතිලක සමඟ එකට රඟපෑමට අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඔහු සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඔහුගේ සිනමා නිර්මාණයක මට රඟපාන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. රංගනය ගැන වගේම මේ ක්ෂේත්රය ගැන ගොඩාක් දේවල් ඔහු සමඟ කතාබහ කරන විට අපට දැනගන්න ලැබුණා. ඔහු ගොඩාක් අවවාද, යන්න ඕනෑ ගමන් පිළිවෙත ගැන හොඳ අවබෝධයක් අපට කියලා දුන්නා. ගුරුවරයෙක් වගේ.
ඔබ සිනමාවේ ටෙලිනාට්‍ය තුළ වගේම වේදිකාවෙත් විශිෂ්ට ලෙස රඟපානවා. කොහොමද ඒ දැනුණු වෙනස?
මාධ්‍යයන් තුනක ඉතාමත් කෙටි කාලයක් තුළ මට රඟපාන්න ලැබීම වාසනාවක්. සිනමාව, ටෙලිනාට්‍ය රංගනයට වඩා හාත්පසින්ම වෙනස් රංගනයක්. වේදිකාව තුළ ‘ඒකාධිපතියෙක්’ වේදිකා නාට්‍යයේ මම ආශාවෙන් රඟපානවා. ඒ මගේ පළමු වේදිකා රංගනය. ඉතින් වේදිකාවෙන් ඉගෙනගැනීමට බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙනව නම් වේදිකාව තමයි මුල්ම අඩිතාලම කියලා මට හොඳටම දැනුණා.
වසන්ත විතාරණගේ











