ආණ්ඩුව චීන පර්යේෂණ නැව තහනම් කරන්න කලින් චීන තානාපති කාර්යාලය බොහොම කාර්යබහුල විය. එහෙත් ආණ්ඩුව තහනම පැනවීමෙන් පසු චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩ අප්ඩේට් වෙන්නේත් නැත. චීනයේ මෙම නිහඬතාවට හේතුව චීන පර්යේෂණ නැව තහනම් කරන්න ආණ්ඩුව ගත් තීරණය දරාගත නොහැකි නිසාද කියන්න දන්නේ නැත. ඒ කෙසේ හෝ එම චීන නැව් තහනමට පසු චීනය ප්ලේ කරන්නේ නියුට්‍රල් රෝල් එකකි. චීනය මෙම නියුට්‍රල් රෝල් එක බිඳදමමින් අගමැති දිනේෂ් ගුණවර්ධනට චීනයේ සංචාරයකට එන ලෙස ආරාධනා කොට ඇත. මේ සතියේ අගමැති දිනේෂ් ගුණවර්ධන චීනයට යෑමට නියමිතය. දිනේෂ්ගේ මේ චීන සංචාරයත්, එහිදී අස්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුමුත් අබිරහසකි.Sri Lanka Latest News
චීනය ගුණවර්ධනලාගේ ගුණ වයන්න පටන්ගත්තේ දිනේෂ් ගුණවර්ධන අගමැති වූවාට පසුවය. චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ 73 වැනි සංවත්සරයේදී චීන තානාපති කීවේ ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමයට පදනම දැම්මේ දිනේෂ්ගේ පියා වන පිලිප් ගුණවර්ධන සහ මව වන කුසුමා ගුණවර්ධන බවය. ඔහු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය කරන්න දිනේෂ් වගේ පුතෙක් බිහි කළාට කුසුමා ගුණවර්ධනට ස්තුති කළේය.
දිනේෂ් චීනයට යන්නේ ජනාධිපති රනිල්ගේ උපදෙස් මතය. රනිල් පසුගිය වසර අග චීන පර්යේෂණ නැව්වලට වසරක තහනමක් පැනවීය. රනිල් ඒ තීරණය ගත්තේ ඇමෙරිකාවේ සහ ඉන්දීය බලපෑම මතය. චීන පර්යේෂණ නැව්වලට ලංකාවට එන්න ඉඩ දුන්නේ මහින්ද රාජපක්ෂය. ඒ 2014 චීන ජනාධිපති සමග අස්සන් කළ අවබෝධතා ගිවිසුමකින්ය. මහින්ද මෙවැනි ගිවිසුම් අස්සන් කළේ ජනතාව හෝ විපක්ෂය දැනුවත් කොට නොවේ. අඩුම තරමේ පාර්ලිමේන්තුවවත් දැනුවත් කොට නොවේ. 2015 මහින්ද පරාජය වී ගෙදර ගියාට පසු මේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න සිදුවූයේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවටය. මෙවැනි ගිවිසුම් අස්සන් කොට ඒවා නතර කළාම රටවල් තරහ වීම පුදුමයක් නොවේ. වරද තියෙන්නේ ලංකාවේ රාජ්‍ය නායකයන් ඊළඟට බලයට එන පක්ෂ දැනුවත් නොකොට හිතුමතේ මෙවැනි ගිවිසුම් ගැසීමය.
රනිල්ට සහ දිනේෂ්ට තව ඉතිරිව තියෙන්නේ මාස කිහිපයක් පමණි. මේ මාස කිහිපයට අනෙක් රටවල් සමග ගිවිසුම් අස්සන් කොට රනිල් සහ දිනේෂ් ගෙදර යනු ඇත. එයින් පීඩාවට පත්වන්නේ ඊළඟට බලයට එන ජනාධිපතිවරු සහ ආණ්ඩුය. අවසානයේ ඒ ගිවිසුම් රටවල් දෙකක් අතර ප්‍රශ්න බවට පත්වේ.
රනිල් ජනාධිපති වූ විගස චීන නැව්වලට එන්න ඉඩ දුන්නේය. පසුව තහනම් කළේය. දැන් දිනේෂ් චීනයට යවන්න පෙර පර්යේෂණ නොකරනවා නම් චීන නැව්වලට එන්න අවසර දෙන බව කියයි. පර්යේෂණ නැව්වලට ඒම තහනම් කොට ජර්මානු නැවක් ලංකාවට ආවේය. චීනය එයට විරෝධය පළ කළේය. දැන් චීන නැව්වලට යළිත් පර්යේෂණ නොකරන කොන්දේසිය දමා එන්න අවසර දී තිබේ.
මේවා ලෝක විහිළුය. රනිල්ට ජනාධිපතිවරණයට පෙර අයි.එම්.එෆ්. ගිවිසුම තියාගන්න, ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයේ සහාය අවශ්‍යව තිබේ. ඒ සඳහා චීනය කොන්දේසි දමනු ඇත. දිනේෂ් දුවන්නේ ඒ කොන්දේසි ඉටුකරන ගිවිසුම් අස්සන් කරන්නටය. මේ ගිවිසුම් දැක ඉන්දියාව සහ ඇමෙරිකාව කිපෙයි. රටවල් සමග ඕනෙ ඕනෙ ගිවිසුම් ගහන්න මේක කාගෙවත් බූදලයක් නොවේ.
මේ ජනාධිපතිවරු බලයට එන්න කලින් එකක් කියයි. බලයට ආවාම තව එකක් කියයි. වැඩේ වැරැදුණාම විදේශ බලවේග කුමන්ත්‍රණ කළාය කියයි. හොඳම නිදසුන ගෝඨාභයය.
‘චයිනා සවුත් මෝනින් පෝස්ට්’ සඳහන් කළේ චීන ආයෝජන නිසා තමාව බලයෙන් පහකරන්න විදේශ බලවේග කුමන්ත්‍රණය කළා කියා ගෝඨාභය කියා ඇති බවය.
ගෝඨා ජනාධිපති අපේක්ෂකත්වයට නම්කිරීමට පෙර පෙනී සිටියේ චීන හිතවාදියකු ලෙසය. 2015 මහින්දව පරාජය කළේ ඉන්දීය ඔත්තු සේවා යැයි විදේශ මාධ්‍යයන්ට කීවේ ගෝඨාභයය. පසුව ඔහු දෙවරක් පමණ චීනයේ සංචාරය කළේය. වරක් ඔහු චීනයට ගියේ පාඨමාලාවක් හදාරන්නටය. ජනාධිපති වීමෙන් පසු ගෝඨාභය වෙනස් විය. චීනයේ සංචාරය කරන ලෙස චීනයෙන් ලද ආරාධනාව ඔහු පිළිගත්තේ නැත. ජනාධිපති වීමෙන් පසු ඔහු ඉන්දියාවට සමීප විය. ඔහුගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න චීනයෙන් එවපු පොහොර නැව භාවිතයට නුසුදුසු යැයි කියා ප්‍රතික්ෂේප කළේ ගෝඨාභයගේ ආණ්ඩුවය. උතුරේ දූපත්වල විදුලි බල ව්‍යාපෘති සඳහා චීනය ඉදිරිපත් කළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප කළේත් ගෝඨාභයගේ ආණ්ඩුවය. ගෝඨාගේ ආණ්ඩුව හිටියේ චීනය සමග හොඳ සබඳතාවක නොවේ. එසේ නම් ගෝඨා එළවන්න චීන විරෝධී බලවේග කුමන්ත්‍රණය කළාය කියන කතාව පිළිගත නොහැකිය. විය යුතුව තිබුණේ චීනය ගෝඨාව එළවන්න කුමන්ත්‍රණය කළ යුතු වීමය. මන්ද ගෝඨාභය දිගින් දිගටම චීනය කොන් කරන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
නමුත් ඔහු සිය පොතෙන් කියන්නේ චීන පොහොර නැව ඒම ඔහුගේ නිලධාරීන් කඩාකප්පල් කළ බවත්, පොහොර නැව ආවා නම් කෘෂිකාර්මික අර්බුදයක් නොවන බවත්, එසේ වූවා නම් ඔහුගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බවත්ය.
ගෝඨා සිය පොතෙන් චීනයට බූස්ට් එකක් දෙන්න උත්සාහ කළත් ඔහුගේ පොතෙහි චීන ආයෝජන නිසා විදේශ බලවේග ඔහුව පැන්නුවා කියන තර්කය ඔප්පු කරන්න කිසිදු සාක්ෂියක් නැත. මේ දිනවල ඔහුගේ වියත් මගෙහි පිරිසක් ඉන්දීය විරෝධී කැම්පේන් එකක් පටන්ගෙන තිබේ. එහි පෙරමුණ ගෙන සිටින්නේ ඔහු පත්කරපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ය. ජනාධිපති රනිල් ඇයව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන්න යද්දී ඇය ගෝඨාභයගේ මැදිහත්වීම බලාපොරොත්තු වුණත් ගෝඨාභය ඇයට ඉවත් වෙන්න කීවේය.
ගෝඨාභය කොහොමත් දේශපාලන පරාජයන්හි වගකීම විදේශ බලවේගවල කර මත පටවන්න දක්ෂය. තමාව ඉවත් කිරීමේ කුමන්ත්‍රණය චීන විරෝධී විදේශ බලවේග මත පටවා යළි චීනයට ළං වෙන්න ඔහු උත්සාහ ගන්නවාද දන්නේ නැත. 2015 වුණේත් එයමය. මහින්දගේ පරාජයට ඉන්දියාව ඇමෙරිකාව වගකිව යුතු යැයි කියා ඔහු චීනයට සමීප විය. ජනාධිපති වී ඔහු චීනයට කොකා පෙන්වීය. චීනය යළි ඔහුව විශ්වාස කරනු ඇතැයි සිතිය නොහැකිය.