මා නමසිය හැත්තෑවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ රාජකාරියට ආවේ ඉංගිරිසි ගුරුවරයකු වශයෙන් වසරකට ආසන්න කාලයක් සේවය කිරීමෙනි. ප්‍රධාන කාර්යාලයේම රාජකාරි පැවරුණු බැවින් මගේ තාවකාලික නවාතැන වූයේ පාසලේ එකම පංතියේ සිටම මගේ යහළුවා වූ ගුණසේනගේ නිවසේය. ඔහු විවාහ වී සිටියේද එකටම ඉගෙනගත් සිසුවියක (සීතා) හා බැවින් ඇයද මගේ යෙහෙළියක් වූවාය. (Sri Lanka Latest News)
“මාරෙ අයියෙ ඔයා කොහේවත් නවතින්ඩ බෑ. අපි දෙන්නත් එක්ක එකට නවතින්න ඕනෑ. අපට තනිවටත් එක්ක. අපේ තාත්ත කීවෙ ඔයා කියන කතා අහඅහ අපට හිනාවෙවී මැරෙන්ඩ පුළුවං කියල”
“ඒ වුණාට අම්ම කීවෙ දාහ රුපියලට වියදං කරන බෑනණ්ඩියත් එක්ක එකතු වුණාම කොහෙං නතර වෙයිද දන්නෙ නෑ කියල”
“නෑ නෑ රිමෝට් එක තියෙන්නෙ මං ළඟ”
“ආන්න ඒ බයට තමයි කොච්චර නාහෙං ඇඬුවත් ඔයාගෙ යාළුව තවම එක්ක ආවෙ නැත්තෙ”
“ඉන්ඩ, ඉන්ඩ, මම ස්වර්ණට කියල යවන්නං”
(ඒ කාලයේ ජංගම දුරකතන තබා ස්ථාවර දුරකතන හෝ තිබුණේ ද කලාතුරකිනි) සීතා ජාඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. ඇයගේ පියා (හලාවත) කෝටිපති මත්ස්‍ය ව්‍යාපාරිකයකුය. ඔහුට දරුවන්ට හිටියේත් එකම එක ඒ දුව පමණක් බැවින් බඳින්න ඔන්න මෙන්න කියා සිටිද්දී බෑනටයි දුවටයි දෙදෙනාට ජාඇළ පැත්තෙන් මහ “හෙම්බඩං” (විශාල) ගෙයක් ඇන්න (අරං) දී තිබුණේය. ඔවුන් දෙදෙනාට උයන්න පිහන්න සහ ගේfදාර බලාගැනීමට මධ්‍යම වයස ඉක්මවූ අවිවාහක නැන්දණියක්ද (සීතාගේ පියාගේ ඥාතිවරියක්) පවුලේ බූදලයක් වශයෙන් (පෙර පිනට) ලැබී සිටියාය.
“ගෙදර එළවළු ඉවරයි කියල නැන්ද කීවා. ඔය දෙන්න එනකොට ජාඇළින් ටිකක් ගේනවද? අද හැන්දෑවෙ අම්මයි තාත්තයිත් එනව කීව. මම බයිට් එක හදල තියන්නං.” ඇතැම් දිනෙක ඕ කීවාය.
ඒ අපේ සාමාන්‍ය ජීවිතය වූයේය. ඔය අතරේදී දකුණු පළාතේ තරුණ මහත්තයෙක්ද විභාගය සමත්වී දෙපාර්තමේන්තුවට ආවේය. ඔහු වැටුණේද අපේ ශාඛාවටමය. යහළුවකුගේ කාමරයක වදෙන් පොරෙන් (බිම නිදාගනිමින්) දින දෙකක් තුනක් නවාතැන් ගෙන සිටි බව කන්තෝරුවට පයගැහූ දිනයේ පටන්ම නාහෙන් අඬමින් කී හෙතෙම කොහේ හෝ නවතින්න තැනක් හොයන බව ඒ කතාවෙන් බහෙන් කීවේය.
මාත් ගුණේත් කොතැනත් “නැව ගිලුණත් බෑංචූං එකේ ඉන්න ජාතියේ බඩු වශයෙන් හැසිරුණු නිසා එවැනි ප්‍රශ්න අපට ඉදිරිපත් කරන්න කිසිවෙක් නො ආවේය.
බෝඩිං සොයා දෙන්නන් දෙතුන් දෙනකුම උදව්වට ඉදිරිපත් වූවත් ඒවාට මිනිහගේ කැමැත්තක් තිබුණු පාටක් පේන්න තිබුණේද නැත.
“ඒයි ගුණේ කිරිපණු ගායට අහවල් දිහෑ දුංකොළ නැට්ටක් ගහ ගත්තු එකා වාගෙ අරූගෙ මූණත් තහඩුව හදාන (හදාගෙන) මනෝ ගහල ඉන්නව. කොළඹට අලුතෙන් ආපු එකෙක් නිසා. මොකක් හරි ප්‍රශ්නයක් නං පොඩි සපෝට් එකක් දෙමුද?
“පූස්පාට් එකෙන් හිටියට කට්ටයෙක් වාගේ. කැන්ටිමට යනකොට එක්ක යමු. උඹ word එක දාපං, මම අහං ඉන්නං” ගුණේගෙ චරියාව එහෙමය. පැනලා දෙන්නෙක් නොව රහසේ උදව් කරන්නෙකි. හේතුව පවුලේ සල්ලි බාගෙ තියෙන නිසා වැඩිදෙනා එන්නේ ගරානාවටය.
මෑන් මාතර පැත්තේය. උගන්නමින් සිටි උසස් පාසලක උසස්පෙළ පංතියේ කෙල්ලක් මාට්ටු කරගෙන තිබේ. දෙපැත්තෙන්ම මාර “ගුස්පිය” නිසා හොරෙන්ම විවාහයද ලියාපදිංචි කරගෙනය. මිනිහට කෙල්ල උස්සන්ඩ ඕනෑය. දැන් කල් අරින්ඩත් බැරිය. ඒ පළාතට යන්ඩත් බැරිය. හොයන්නේ අප්‍රසිද්ධ තැනක අඩු කුලියකට ගෙයක්ය. මෑන් මා සමග ඒ කතා වත්ථුව විදාරණය කරද්දී “ගුණේ“ගොනා සහ තණකොළ සේ කිසිවක් නොකියා සිකරට් එකක් ඇද්දේය. මට කිසිවක් කළ නොහැකිය. ගුණේ මා දිහා බැලුවේය. නැගිට්ටේය.
“සීතා, ඔයාලගෙ ඩොටී ඇන්ටිගෙ ගෙදර ඇනෙක්ස් එක හිස් නේද?” වයසක ඩොටී ඇන්ටිත් අංකලුත් තනිපංගලමේ හිටියේ අල්ලපු වත්තේය. (ඔවුන් සීතාගේ බොක්කය). ඇනෙක්ස් එක කුලියට දීම ඔවුන්ගේ ආර්ථිකයට විශාල රුකුලකි. (ආධාරකයකි). එදින රාත්‍රී කෑම මේසයේදී ගුණේ සීතාගෙන් එසේ ඇසුවේය.
“ඔව් අනේ, මට කීප සැරයක්ම කීව කවුරු හරි විශ්වාසවන්ත කෙනෙකු ඉන්නවානං කියන්න කියල. ආර්ථිකෙත් හොඳටම බැහැලලු”
ඉස්කෝලෙ මහත්තයා අපත් සමග ඩොටී ඇන්ටි හමුවූ දෙදිනකට පසුව නිවාඩු ගියේය. පසුවදා ඒ නිවෙසේ පදංචි වූවේය. ඒ මියෙම්වා, රැකෙම්වා යන අධිෂ්ඨානයෙන් ප්ලෑන් එකක් ගසා “අරක” පන්නා ගෙන ඒමත් සමගය. එදා රාත්‍රී මංගල භෝජන මේසය සීතාගෙනි. ඊට ගෙනා විස්කි බෝතලය ගුණේගෙනි. මම එය මනාලයාට දිගු කෙළෙමි.
“මම බොන්නෙ නෑ”
“අද පොඩ්ඩක් ගත්තට කමක් නෑ” ඒ සීතාය.
මනාලයා මනාලිය දෙස බැලුවේය. ඒ හික්මී බැල්මෙනි. “ඕව පුරුදු කරන්න හොඳ නෑ”
දවල්ට කෑම එක ඔතාන එන කිසිම දවසක කැන්ටිමෙන් ප්ලේන්ටියක් හෝ නොගසන මෙතුමා සාක්කුවෙන් ඇද බස්ගාස්තු සත පහ (ඒ කාලයේ හැතැප්මකට බස් ගාස්තුව සත පහකි) දෙන්නේ ද කාසියේ හය පැත්තම තුන්වරක් හොඳට පරීක්ෂා කර බැලීමෙන් බව ශාඛාවේ “එක්ස්පයරි ඩේට්“(කල් ඉකුත් වීමේ කාලය) පනින්න ඕංමේ ගානේ සිටි මෙනෙවියක් කීවාය.
(ඒ අපේ එකෙකු ඇයට ඔහු හා ඉක්මන් කර යාළුවෙන්නට කී විටදීය)
නිවෙසට අවශ්‍ය බඩු එළවළු ආදිය ගන්නට අප ඔහු කැටුව ජාඇළ නගරයේ අස්සක් මුල්ලක් නෑර ගොස් කඩවල් පෙන්නා දුනිමු. එළවුළු මස්මාංශ ආදිය පහසු මිලට සැපයෙන පේමන්ට් බ්‍රදර්ස්ලා සහ සිස්ටර්ලා සිටින තැන්ද පෙන්වා දුනිමු.
මනුස්සයා තමාට අවශ්‍ය පලාමිටියක් වුවත් ගන්නේ සෑමතැනම රවුම් දෙක තුනක් ගොස් දහfදාළොස් පොළකින් විමසා බැලීමෙන් බව අපි ටික දිනකින්ම පසක් කර ගතිමු. ඒ නිසා නෝණ්ඩි වෙන්නට බැරි හෙයින් අප දෙදෙනා මෑන් බඩු ඇරගෙන එනතුරු එක තැනකට වී බලා සිටියෙමු.
විශේෂයෙන් කියන්න ඇති දේ මනුස්සයා සූකරමද්දවයට ඉතා ගිජුය. ඒ බව ඒවා අලෙවි කළ වෙළෙන්දියෝ පවා දවස් දෙක තුන යනවිට හොඳින් දැන සිටියෝය. පළමුවෙන් ඔහු රවුම් දෙක තුනක් ගොස් හොඳ බඩු ඇත්තේ කොතැන දැයි තෝරා බලයි. දෙවනුව මිල ගණන් විමසමින් යයි. තුන් වැනුව තෝරාගත් තැනින් රාත්තල් භාගයක් (ඒකාලයේ තිබුණේ කාල් භාග රාත්තල්ය) ඉල්ලයි. ඊළඟට සූකරමද්දව ගන්න ගොස් පේමන්ට් සිස්ටර්ලා සමග සණ්ඩුව පටන් ගනියි. ඒ කටු කෑලි තෙල් කෑලි දමන බව කියමිනි.
උදේ සිට විට හපේ ගසන බැවින් හැන්දෑවේ ඔය වෙලාව වෙනවිට කට කුණු ලේ පැහැය කරගනිමින් සහ දහඩිය දෙකාංශයෙන් පෙරමින්, හිස මුදුනට වෙන්නට හිරකර බැඳගත් කොණ්ඩයද අවුල්වැ, කර පළල් හැට්ටයක් ඇඳීමෙන් “මිචිලින්” ටයරයකට නොදෙවැනි අන්දමට දෑල (ඉළ) සහ උදරයෙන් පිටතට පනින ආකාරයට නෙරූ මාංශ චක්‍රයක් (රවුමක) ප්‍රදර්ශනය කරමින් සහ අතේ ඇති තියුණු පිහිය ද දෑතේ මැණික්කටු ආසන්නයේ සිටම ලේ තවරාගෙන කෙළොම්බු කොටයක් වැනි ලීකොට කෑල්ලක් උඩ ඉඳගත් සාමාන්‍ය තක්සේරුවට අනුව බර හොණ්ඩර දෙකකට ආසන්න ඇති නැති තරමේ සයිස් එකේ පෙනුමැති බජාර් එක රන් කරන වෙළෙඳ සහෝදරියන්ට මේ මහත්තයා හොඳටම නෝට්ය.
දවසක්දා අප දෙදෙනා බලා සිටියදී ඒ අන්දමට තෝරාගත් මස් කෑල්ලක් නිර්දේශ කළ බජට්කාරයා එය කපනතුරු දෑස් දල්වා බලා සිටියේය. ඇය කීවාක්ම කරන්නට වූවාය.
“ලොකු කට්ටක් නේද?” මහත්තයා ඇස් ලොකු කරගෙන ඇසුවේය. ඇය මුනිවත රැකගෙන කට්ට කැපීම සඳහා තදින් පහරක් ගැසීමට උරහිස් මට්ටමෙනුත් ටිකක් ඉහළට වෙන්නට පිහිය එසෙව්වාය. (මට පසුව කල්පනා වූ ආකාරයට ඇය එසේ කළේ හිතාමතාමය) ඒ හාම කර පළල් හැට්ටෙන් “දබහ්” ගා ඒ පැත්තේ අහවල් එක එළියට පැන්නේය. මහත්තයා හිටගෙනය. ඇය ඉඳගෙනය. ඒ කාරණාව එසේ එළියේ තියෙද්දී ඇය ඉස්සූ අත පහත් කර දෑත දෙස බැලුවාය. පිහියේත් ලේය. එය තිබුණු දකුණු අතේත් ලේය. ඕ වමත දෙස බැලුවාය. ඒ අතේත් ලේය. අහල පහළ වූවෝ මේ පුදුමය දිහා තුෂ්ණිම්භූතව බලාගෙනය.
කිව්වට වස් නැත. (එළියට පැන්න ඒක රයිට් සහෝදරයන් පළමු ගුවන් යානය නිර්මාණය කිරීමට පෙර අත්හදා බැලීමේදී ගුවන්ගත කළ බැලුමට ටිකක් කුඩා තරමේය). අනතුරුව ඇය ඔහු දිහා බැලුවාය.
ඔහුගේ දතකට පූට්ටුව තිබුණේය. නාඩි වැටෙන ශබ්දය අපටත් ඇහුණේය.
“මහත්තය දානවකො ඕයි ඕං ඕක ඇතුළට” ඇය ඔහු දෙස බලා කාරුණිකව ඉල්ලා සිටියාය.
එවේලේ අපට ඇතිවූ හිනාවට අපේ ඉළ ඇට නොකැඩුණේ පූරුවේ පිනකට නිසා විය යුතුය.
“දුව කීව ඔය දෙන්නා යාළුවෙකුට මඟුලක් කරල දුන්න කියල. මනාල මහත්තයටත් පොඩ්ඩක් එන්ඩ කියමුකො” එදා හැන්දැැවේ පැමිණ සිටි සීතාගේ තාත්තා (ඔහුගේ නම ජුවන්ය. එහෙත් භාවිතය ජෝන් ලෙසිනි) කෑමට පෙර මේසයේදී අප දෙස බලා කීවේය.
“වැඩක් නෑ තාත්තෙ එයා නොබොන කෙනෙක්. නෝනා කැමැතිත් නෑ” සීතා උත්තර බැන්දාය.
අප දෙදෙනාගේ අලුත් වූ හිනාව විනාඩි කීපයක්ම පැවැත්තේය.
“මේ දෙන්න හිනාවෙන්නෙ මොකද?” ජෝන් අංකල් ඇසුවේය.
“අද පොළේදි (ජාඇළ) බඩු හෙට්ටු කරන ලෝබයකුට වෙච්චි ඇබැද්දියක් මතක් වෙච්චි නිසා” අපි බොරුවක් කීවෙමු.
“එහෙම කුණු ලෝබ ගෑනුත් මිනිස්සුත් දෙගොල්ලොම ඉන්නව තුට්ටු දෙකට බඩු ගන්ඩ හදන. මටත් පේන්න බෑ. මම කවදත් කීවෙ කන්නෙ බොන්නෙ නැති මිනිහෙකුට දරුවෙක් දෙන්ඩ එපා කියල. ඒ වාගෙ කුණෙකුට දුන්නොත් දරුවො දුක් විඳිනව. ඇයි මසුරුකං කරන උන් හරියට කනවයැ” ඔහු සිනාවෙමින් කීවේය.
“සමහරු නොකා නොබී ලෝබකමට තණ්හාවෙන් සල්ලි පොදි ගහනව යනකොට ගෙනියන්නද?කොහෙද?”ඒ සීතාගේ මවය.
“සමහරු මැරෙන්ඩ ඉස්සර මැරිමැරී ඉන්නව. අපි මැරෙනව අපි මැරෙනව කිය කියා. මරණානුස්සති භාවනාව කරකර ඊළඟ ආත්මෙ දිව්‍යලෝකෙ ඉපදෙන්න.
ඒ වුණාට කාටවත් සත පහක් දෙන්නෑ පට්ට කුණෝ ”
“අම්මේ ඔව්,ඒ වාගෙ අය අපේ කංතෝරුවෙත් ඉන්නව අනුන්ට බණ කිය කියා” සීතා කීවාය.
“දැන්ම තියා, තව්තිසාවෙ, නඳුන්වනේ ළඟ පර්චස් දහය පහළොව වෙන්කර ගන්න කල්පනාව” ඒ සීතාගේ තාත්තාය.
ඔහු උපතින් ක්‍රිස්තු භක්තිකයකු වුවත් බෞද්ධයකුටත් වඩා බුද්ධාගම දන්නේය. ඒ නිසා ඔහුට කොයි ආගමත් එකය. ගමේ දුප්පත් කෙනකු මියගිය විට මළගමේ සම්පූර්ණ කටයුතු ඔහුගෙනි. කියන්න වුවමනාවක් නැත. ගෙදරට ආ කෙනකු හිස් අතින් ඇරියේද නැත.
සීතාගේ මව උපතින් බුද්ධාගමේය. ඇය පන්සල් යන්නීය. ඈ සමග ඇගේ සැමියාත් පන්සල් යයි. සීතාගේ මවත් ඔහු හා නොවැරදීම පල්ලියට යයි. (ඇය ගුරුවරියකි. බැන්දට පසු ගෙදර නැවතුණාය.
“ආගම දහම කරේ තියාගෙන ඉන්න අයගෙ තමයි තණ්නාසෙ වැඩි. මැරුණහම ඉපදෙන්නෙ දේපොළවලටම ආශාවෙ පෙරේතයො බල්ලො බළල්ලු වෙලා” සීතාගේ තාත්තා අප දෙස බලාගෙන කීවේය.
“පරම්පරාවෙන් අසූ කෙළක් (කෝටියක්) ධනය තිබුණු තෝදෙයිය කියල (නමින්) සිටුවරයෙක් බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලෙ හිටිය.” අපි සියල්ලෝම සීතාගේ මව දිහා බැලුවෙමු. ඇය කතාවක් කියන්න ගත්තාය.
“කාලෙකින් දරුවන්ගෙ ගෙදරට මව්පියො ගියොත් හරි, මහ ගෙදරට (මාපියන්ගෙ ගෙදරට) දරුවන් ආවොත් හරි ඒ ගෙදර එදාට අහල පහළ අයටත් එක්ක මඟුල් ගෙයක් වෙන්න ඕනෑ. ඒකටයි, හම්බ කරන්නෙ. ඒක තමයි සංතෝසෙ කියන්නෙ. ජීවත් වෙනව කියන්නෙ. පෙරේතකමිං පොදිගහන එක නෙමෙයි. බුදුහාමුදුරුවො නොකා නොබී මරණය ගැන හිත හිතා ඉන්න කීවෙ නෑ” ඔය සීතාගේ තාත්තගේ “ජීවන” දර්ශනය වෛරසයක් වූයේය. එය පවුලේ කාටත් උග්‍ර අන්දමට බෝවී තිබුණේය.
“ඉතින්, ඔය සිටුවරයගෙ ගෙදර හිටිය සද්දන්ත බල්ලෙක්. ඌ ගෙදරට කාටවත් එන්න දුන්නෙත් නෑ. ආපු කනෙකුට බඩුවක් අල්ලන්න තියා ඉඳගන්නවත් දෙන්නෑ. බුරාන හපාකන්ඩම පනිනවා. මේක ගෙදර අයට මහ හිරිහැරයක්. ඒත් කරන්ඩ දෙයක් නෑ ඉවසාගෙන හිටියා. දවසක් බුදුන් වහන්සෙ ඒ ගෙදරට වැඩියට පස්සෙත් මේ බල්ලගෙ කරදරේ ඇති වුණා. ඊට පස්සෙ ගෙදර අයිති තෝදෙයිය සිටුවරයා මේ සතාගෙන් සිද්ධවෙන හිරිහැරය ගැන බුදුන් වහන්සේට කීවා. උන්වහන්සේ ඒ සතා දමනය කරන මංතරයක් කියල දුන්නා. මොකක්ද දන්නවද මංතරේ?”.
“නෑ” ගෙදර ඉහුම් පිහුම්කරන නැන්දණිය කීවාය. ඒ බව අනුමත කරමින් සීතාගේ මවට අනුබලදෙන නියායෙන් අපි හිස් වැනුවෙමු.
“තෝදෙයිය නම් බ්‍රාහ්මණය හිටු කුක්ක හිටු කියන එක තමයි ඒ මන්තරේ”
“ඒක අහපු ගමන්ම අර සුනකයා මුල්ලකට වෙලා කවදාවත් නැතිවිදිහට කකුල් හතර අකුළාගෙන වකුටුවෙලා දුකෙන් වාගෙ හිටියා. තමන්ගෙම නම කියාපු එක ගැන මවිත වුණු තෝදෙයිය සිටුවරයා ඒ ගැන විමසූ විට බුදුහාමුදුරුවො මෙහෙම කීවා.”
“මේ සතා වෙලා ඉපදිලා ඉන්නෙ මීට ටික කලකට පෙර මියගිය ඔබේ පියතුමා වූ තෝදෙයිය නම් මහ සිටුවරයා. මේ ධනස්කන්දෙට තිබුණු ආශාව උපාදානය (වස්තු තණ්හාව) කරගෙන තමයි එයා මියගියේ. ඒ මැරෙන මොහොතේ හිතේ ඇතිවුණ හිතිවිල්ලට (අවසාන චුති චිත්තය) අනුව වස්තුව රකින සුනඛයා වෙලා ඉපදිලා ඉන්නෙ කියල තේරුම් කළා” කී ඇය ඒක තමයි අද හුඟාක් දෙනකුට වෙලා තියෙන්නෙ. කිසි දෙයක් හිතෙන් අත් ඇරලදා ගන්න බෑ. අතහරින්නත් බෑ තණ්හාවෙන් බරිතවෙලා “ සබ්බං පහාය ගමනීයං” (සියල් හැරදමා යා යුතුයි) ඒත් ඒක කරන්නෙ නෑ. කරන්නත් බෑ” ඉස්කා්ල හාමිනේ සුසුමක් හෙළා දරුවන් සියල්ලන් දෙස බලා කීවාය.
“අපට නං ඒක ඒ තරං අමාරු නෑ. දැන් බලමු අපේ දේශපාලකයො කියලා වැඩක් නෑ, මළ පෙරේතයෝ වාගෙ. පොදි ගහනව හත්මුතු පරම්පරාවට නෙමෙයි ලෝක විනාශය දක්වාම ඇතිවෙන්න හම්බ කරගෙන ඉන්නැද්දිත්. පැන්සොං ගියත් ආයෙ ඇවිත් එල්ලිලා ඉන්නව. නැගිටින්නවත් බෑ. දහfදාළොස් දෙනෙක් දෙපැතෙන් වත්තං කරන්න ඕනෑ නැගිටින්න. සෑහෙන මීහරකෙක් විතර ඇතිනෙ සයිස් එකත්. දරුවො ඉස්සරහ කියන්ඩ හොඳ වචනයක් නෙමෙයි. ඒත් කියන්ඩ තියෙන්නෙ “නොදකිං” කියල තමයි” සීතාගෙ තාත්තා කියාගෙන ගියේය.
හැළියෙ තියෙන දේ තමයි හැන්දට එන්නෙ (හැළියකට හැන්ද දමාගත් කල හැන්දට එන්නේ හැලියේ ඇති දේ) කියන ගැමි උපහැරණයක් තිබේ. එහි අදහස හිතේ ඇතිදේ වචනයෙන් පිටතට පැමිණේ යන්නය. සීතාගේ පියා ද ඒ ජාතියේ කෙනෙකි.
මූඩිය පෑගුණු විට (පොඩි අඩියක් ගැසූවිට) හෙතෙම කියන්නේ ඔය වගේ දේවල්ය. පදම වැඩිවූ විට කාලකණ්ණින් රට කන බව කියයි. රටේ මිනිස්සුන්ඩ, දරුවන්ඩ කන්ඩ නැති එක ගැන බැණවදියි. පරම්පරාව රකින්න කරන නොපනත්කම් ගැන අහස් යාත්‍රාවලින් පිට රටට සල්ලි ඇද්ද හැටි ගැන කෝපයෙන් කතාකරයි.
මේවා නවත්වන්නෙ නැතිව සජිත්ලා, අනුරලා බයිලා ගහන බව කියයි. තමා මාළු ව්‍යාපාරය කරන්නේ පූරුවේ අකුසලයක් නිසා බව කියමින් ඊළඟට අඬන්න පටන්ගනියි.
එසේ අඬා හෙම්බත් වූවිට පුටුවේම ඉඳගෙන ඉකිගැසීමට පටන්ගනියි. එසේ ඉකිබිඳින්නත් නොහැකි වූ තැන හෙතෙම හූල්ලන්නට (සුසුම් හෙළන්නට) පටන් ගනියි. ඒ ඔහු ඇඳට ගෙන යායුතු මොහොත බව සීතාත් ඉස්කෝලෙ හාමිනේත් අත්දැකීමෙන් අවබෝධ කරගෙන ඇත්තාහ.
ඊට පෙර ඔහු වැළැක්වීමට කිසිම රුසියෙකුට (ඍෂිවරයකු) බැරිය. එසේ කිරීමට ගියහොත් තුන් වැනි ලෝක යුද්ධය එතැනය. හූල්ලන්නට පටන්ගත් විට “යමු අනේ දැන් ඇති අපටත් මහන්සියි” යන ලෙස ඉස්කෝලෙ හාමිනේගේ හෝ “තාත්තෙ දැන් නිදාගන්ඩ යමු නේද? අපටත් නිදිමතයි” යන සීතාගේ වාක්‍ය හෝ ඇසුණු කල හෙතෙම කුඩා දරුවකු සේ කීකරු වෙයි. එහෙත් ඒ කිසිවක් ඔහුට පසුදා උදේට මතක නැත. අද ඔහු බෝතලයේ මුඩිය ඇරියා (ගැලෙව්වා) පමණි.
“මංත්‍රීවරු ගැන එපා. අපේ ජනාධිපතිවරු කියල අට දෙනෙක් හිටියා” කී හෙතෙම ජේ.ආර්. ලොක්කා, ප්‍රේමදාස මහත්තය, ඊට පස්සෙ ඩී.බී. විජේතුංග සුදුසීයා, චන්දිරිකා, මහින්ද ලොක්කා, මෛත්‍රී ග්‍රාමසේවක උන්නැහේ, (දිමි) ගෝඨා, දැන් අපේ රනිල්තුමා. වමතේ ඇඟිලි දිග හැර දකුණතේ දබරැඟිල්ලෙන් ඇන ඇන ගැන්නේය.
ජේ.ආර්. තමන්නෙ ආණ්ඩුව කාලෙ බලු වැඩ කෙරුව තමයි. බාල වයස්කාර දරුවකුට කරදර කෙරුව කියල අවුරුදු fදාළහකටද දාසයකටද හිරේට ගිය ගෝනවල සුනිල්ට සමාව දීලා එළියට අරගෙන මහාචාර්ය එදිරිසිංහ මැතිතුමා වාගෙ අයට ගස්සෝල පාරදිගේ ඇදගෙන ගියා.
කළු ලකීල සමරකෝන් වාගෙ නඩුකාරතුමන්ලගෙ ගෙවල් ඉස්සරහ හූ කියෙව්ව. ගැටඹෙ පන්සල වටේට කටු කම්බි වැටවල් ගහල මාදුළුවාවෙ හාමුදුරුවන්ඩ හිරිහැර කළා තමයි, ඒව කැත වැඩ. ඒත් මිනිහ පැන්සොං ගියාට පස්සෙ ආයෙ බලේට එන්න කුමංත්‍රණ කෙරුවෙ නෑ. මට රකින්න කුමාරයොත් පරපුරකුත් නෑ කීව. තමන්නෙ පාඩුවෙ ඉඳල මැරුණ.
ප්‍රේමදාස මහත්තයත් හොඳ මිනිහෙක් කියල මං කියන්නෙ නෑ. එයාටත් භාරගන්න උණේ දෙකොන පත්තුවෙන විලක්කුවක්. උතුරේ කොටි. මෙහෙ විමුක්තිකාර සහෝදරයො. විමුක්තිකාරයො එක්ක ඔට්ටු අල්ලල උන් මට්ටු කෙරුව. එහෙම මට්ටු නොකෙරුවා නං මිනිහෙකුට පාරෙ බැහැල යන්න පුළුවං වෙනවද? කුලී වැඩ කරන මිනිහෙකුට පනං හතරක් හොයාගන්න පුළුවං වුණාද? නැද්ද මං අහන්නෙ. කහ බළල්ලු බෝකෙරුව, ඒ කාලෙ ප්‍රා කියලත් කට්ටියක් හිටියලු. මං ඒක වැරදියි කියන්නෙත් නෑ. හරි කියන්නෙත් නෑ. එකක් කියනව එල්.ටී.ටී.ඊ කාරයොයි මුනුයි තමයි මේ රටේ මහජන දේපොළ විනාශ කෙරුවෙ. රට මේ තත්තෙට දැම්මෙ.
අපේ ලොකු අම්මගෙ දුවක් හිටියා. කසාද බැඳල දරු දෙන්නෙකුත් හිටියට යූ.ඇන්.පී. ශාඛා සමිතියෙ සභාපති. තුවක්කුකාරයො මහ රෑ ඇවිල්ල දරු දෙන්න විලාප තියැද්දී ඇදගෙන ගිහිං බස් හෝල්ට් එකේ බැඳල වෙඩි තියල මැරුව. ඒ එක සිද්ධියක්. තවත් ඕනෑ තරං. දැං අනුර වැඳ වැඳ සමාව ඉල්ලුවට ඒ දුවට පණ එනවද? මොනවටද මං කියන්නෙ. ඕවට දෙන්ඩ හොඳ උත්තර නං කටට එනව.
“ඉතිං ඔයාට පුළුවංද ඔකුන්ඩ චංදයක් දෙන්න”
මම දෙපසට හිස වැනුවෙමි.
ඩී.බී. විජේතුංග ලොක්ක හිටියෙ පතෝල වාගෙ ඉඳල ගියා ගියාමයි. ආයෙ ඉන්නවද මැරුණද කියල හාවක් හූවක්වත් (ආරංචියක්) තිබුණෙ නෑ. මං මේ කියන්නෙ ඒ කාලෙ බලේ ඉන්නැද්දි කියපු කරපුව නෙමෙයි. රට කාලා කාලා මහජනයා විසින් පන්නල දැම්මට පස්සෙ ආයෙත් උප්පර වැට්ටි දම දමා එන්ඩ හදන එක ගැන. ඒත් එක්කම ආවෙ චන්දිරිකා නෝනා. මැතිවරණ ඉතිහාසෙ ඉතාම නින්දිත චන්දෙ පැවැත්වුණේ එයාගෙ කාලෙ වයඹට. කියන්ඩ විලිලැජ්ජයි. ඒ මැතිවරණෙදි කාන්තාවක් නිරුවත් කරල මහ පාරෙ ඇවිද්දෙව්ව. වැඩි විස්තර අයිවන්ගෙ චෞර රැජිණ පොතේ තියෙනව. තවමත් බලේට එන්ඩ අල්ලන අඩව් කියල වැඩක් නෑ.
නර්ථන ශිල්පිනියන් උඩරට නැටුම් නටන්නෙ (අඩව් අල්ලන්නෙ) සේලෙ ඇඳල. කාන්තාවක් නිරුවත් කරවපු, කඩුලු හතම පැන්න මේ අම්මණ්ඩි ආයෙත් ඇවිල්ල සේලෙ නැතුවම අඩව් අල්ලන්ඩ බැරිකමක් නෑ.
මහින්ද ලොක්කා 2015 දී පන්නල දාපු වෙලාවෙ මිනිහට පිස්සු වැටුණ. මැදමුලනට ගිහිල්ල වවුලෙක් වාගෙ ජනෙල් පලුවෙ එල්ලිලා මොරදීපු හැටි චික් විතරක්. බලේට තියෙන පෙරේතකම්, කෑදරකම. මේ එක්කෙනෙකුටවත් විලිලැජ්ජාව කියල දෙයක් නෑ. රෙදි අඳින්නෙ ලෝ සිරිතට. අනුන් අඳින හිංද. එහෙම කියන්නෙ ඇයි දන්නවද? මහින්ද ලොක්ක ආවනං මං අඩි හයක් යට කියල යූ.ඇන්.පී.කාරයන්ගෙ ඡංදෙන් ජනාධිපති වෙච්චි ග්‍රාමසේවක මහත්තය. ඒ මනුස්සයට ආයෙත් බලේ දෙන්න ගහපු ගේම. මම රනිල් හරි මිනිහෙක් හොඳ මිනිහෙක් කියන්නෙ නෑ. ඒත් එතෙන්දි මිනිහ හරි. ඕක තමයි කන්ඩ හිතිච්චාම කබරයා තලගොයා වෙනවා කියල.
“දරුවනේ, ඔය දෙන්න ගන්නෙ නැද්ද? මට තනියම බෝතලේ ගන්න බෑ” කී ඔහු ටිකක් වක්කරගෙන බෝතලය දිගු කෙළේය.
ජෝන් අංකල් කියන අන්දමට ඔහු ප්රජාතන්ත්රවාදී මිනිහෙකි. පවුලේ සියලු සාමාජිකත්වයටද ඒ නිදහස තිබේ. ඒ ප්රජාතන්ත්රවාදය දෙආකාරය. බීපු වෙලාවට සහ නොබිවු වෙලාවට වශයෙන් ප්‍රභේද දෙකකි. ඔහු නොබී සිටින වෙලාවට කවුරුන් සමග හෝ පවත්වන සාකච්ඡාවකදී විරුද්ධ පාක්ෂිකයාට ඕනෑම තර්කයක් ඉදිරිපත් කළ හැකිය. ඒ සියල්ලටම සංසුන්ව සවන්දෙන ඔහු ඒවාට නොපැකිලවම පිළිතුරු දෙන්නේය.
එහෙත් බීපුවෙලාවට විරුද්ධවාදියාට ඇත්තේ ඔහු කියන දේ අසා සිටීමේ ප්රජාතන්ත්රවාදය පමණි. ඒ අවස්ථාවක ප්රතිවාදයාට වචනයක් කතා කරනවා තබා කට අරින්නටද බැරිය. අප පමණක් නොව අසල්වැසියෝ පවා ඔහුගේ ප්රජාතන්ත්රවාදය ගැන හොඳින් අවබෝධ කරගෙන උන්හ.
ඒ කාලෙ රනිල්ට මහින්ද ලොක්කා හොරා, හොරා කියල පාර්ලිමේන්තුවෙදි කෑගැහුවා. මහින්ද හොරා හොරා කියල රනිල කෑගැහුවා. අරගලේ කොල්ලො ටික රටේ වෙනසක් කෙරුවට පස්සෙ රාජ පස්ස පවුල නන්නත්තාර වුණා.
කල්ප තුනක් ඉස්සරහට පස්සට පේන මහින්ද ලොක්ක ඒක දැනගත්ත. මහින්ද ලොක්කා දෙසැරයක් ජනාධිපතිකමේ හිටිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආයෙ එන්න බැරි බවත් දන්නවා. පැනල ගිය ගෝඨාට ආයෙ එන්නත් බෑ. මොකක් හරි මඟුලක් වුනොත් පැනලා යන්ඩ තැනක් තියෙන්න ඕනෑ නිසා බැසිල්තුමා ඇමෙරිකාවෙ පුරවැසිකම අත්අරින්නෙත් නෑ. ඒ නිසා මෑන්ට ජනාධිපතිකමට ඉදිරිපත්වෙන්නත් බෑ. නාමල්ට තාම කාලෙ මදි. ඒ නිසා කොහොමද පුත්තදාරස්ස සංඝ හෝ කියන බුද්ධ චවනය ආරක්ෂා කරගන්නෙ? එතෙක් පවුලේ බූදලය රැකගන්න විශ්වාසවන්ත බහිරවයෙකුට (බූදල් රකින මළ යක්ෂයා – පෙරේතයා – බහිරවයාය) පැවරිය යුතුය. මේ බහිරවයා තුන් ලෝකයේ කොතැනක ඇත්දැයි මහින්ද උන්නැහේ අහස පොළොව ගැටගහමින් දිවා රෑ කල්පනා කෙරුව.
හත් දෙයියනේ ආයෙ කොහෙන්වත් හොයන්න ඕනැයැ. දෙයියො කකුල් දෙක ළඟටම ගෙනැත් දීල තියෙන්නෙ මරු බඩුව. කතපුඤ්ඤතාව (පෙර කළ පිං) කියන්නෙ ඕකටයි. තමන්නෙ වැඩේට ලෝකෙ ඉන්න ඉතාම සුදුස්සා. පරම්පරාවට දෙයි කියල බයවෙන්ඩ කාරණේකුත් නෑ. නන්නත්තාර වෙලා හිටිය අපේ ලොක්කට ඨානාන්තරේ ලැබුණෙ ඒ නිසයි.
කල්ප තුනක් ඉස්සරහට පස්සට පේන ඉසිවරයට ළඟ තියෙන ගොම තැම්බ පෑගෙනව වාගෙ තමන්ටත් වැරදුණාද කියල දැන් මහින්ද ලොක්කගෙ පපුව ගැහෙනව. ඇයි ? දැන් ලොක්ක රංගේලා, වජිරලා, ප්‍රසන්නලා, ඉස්සරහට දාගෙන තවත් රවුමක් පුටුවෙ ඉන්න වැඩ කරන නිසා. ඒත් රනිල් ආපුගමන් ජපානෙන් ඩොලර් බිලියන හතරක් ලැබෙනව කීවා. වෙනත් රටවලින් ලැබෙනව කීවා. ඒව නෑ. දැන් 2048 වෙනකං මැරෙන්නෙ නැතුව ඉන්න කියල හාල් කිලෝ කීයක්ද දෙනව. ඒ අතරෙ ෂගඵගත් දෙනවලු.
ජෝන් අන්කල් අඬන්න පටන් ගත්තේය. ගුණේ බෝතලේ උස්සා බැලුවේය. අඩියේ ටිකක් තිබිණි. ඔහු එය වීදුරු දෙකට වක්කර
“ඒයි අපේ බ්‍රාහ්මණ කුක්ක දමනය කරන්ඩ අර මංතරෙන් බැරිද?” මා දෙස බලා මිමුණුවේය.
“මංතර අහන්නෙ රජකුලේ නාගයින්ඩ මිසක් ගැරඬින්ඩ නෙමේ” මම කීවෙමි.
තවත් විනාඩි හත අටක් එසේම ගෙවී ගියේය.
“දැං යං අනේ අපටත් බඩගිනියි” ඉස්කෝල හාමිනේ නැගිට්ටාය. සීතාගේත් උදව්වෙන් ජෝන් අංකල් නිදාගන්න යැව්වේය.
“මාරෙ අයියෙ මොකටද ඔය දෙන්න හිනාවුණේ” තාත්තා ඇඳට දමා ආ සීතා ඇසුවාය.
“මං දන්නෙ නෑ ඔයාම මහත්තයගෙන් අහගන්ඩ” අනතුරුව අපි නිදාගන්ඩ ගියෙමු. ටික වෙලාවකින් ඇසුණු සීතාගේ හිනාව පාන්දර දෙක පමණ වනතුරුත් වරින් වර ඇසුණේය.
“මොකද යකෝ මටවත් නිදාගන්න දෙන්නැද්ද?” මම බෙරිහං තැලුවෙමි.
“මාරෙ අයියෙ මෙයා මාව හිනස්සෝනව.” ඇය හිනාව නිසා අමාරුවෙන් කියාගත්තාය.
“අර බුද්ධ මංතරේ කියහං තෝදෙයියනං බ්‍රාහ්මණ කෑල්ල නැතුව හිටු කුක්ක හිටු කියල” සීතාගේ හිනාව ඩබල් වූවේය.
චන්ද්‍රසේන මාරසිංහ