මෙම අපූරු කතාන්දරය අපට ඇසෙන්නේ මහාවංශයේ 35 වැනි පරිච්ඡේදයෙනි. එනම් යසලාලකතිස්ස රජු හෙළදිව පාලනය කළ සමයේදී රජතුමාට සමාන මුහුණුවරක් සහ හැඩරුවක් ඇති රජවාසල දොරටුපාලයකු සිටි බැව් පැවසෙයි. විනෝදයට ප්‍රිය කරන යසලාලකතිස්ස රජු වරක් කල්පනා කළේ රජවාසල පිරිස් රැවැටීමට යමක් කළ යුතු යැයි කියාය. ඒ අනුව ඔහුට අපූරු අදහසක් පහළ වී ඇති අතර, තමන්ගේම හැඩරුව ඇති ‘ශුභ’ නම් දොරටුපාලයාට ඒ බව රහසින් කියා සිටියේය.
‘නුඹේ පෙනුම මගේ වගේමයි කියලා හැමෝම කියනවා. මම දවසක රහසේම නුඹට රාජ ඇඳුම් අන්දලා මේ සිංහාසනයේ වාඩිකරවනවා. මම නුඹේ තනතුරට ගිහිල්ලා දොරටුපාලයා විදියට ඉන්නම්…’ හැබැයි නුඹ මේ ගැන කිසිම කෙනකුට කියන්න එපා…’ යැයි යසලාලකතිස්ස රජු ශුභ නම් දොරටුපාලයාට කියා සිටියේය. ඉමහත් සතුටට පත්වූ ශුභද මේ බව කිසිවකුටත් නොකියා සිටියේය. මෙම අපූරු ක්‍රියාව මගින් තමන්ගේ ඇමැති මණ්ඩලයම රැවැටිය හැකි යැයි රජතුමා කල්පනා කළේය. අවසානයේදී කතිකා කරගත් පරිදි දිනක් එම වෙස්ගැන්වීම සිදුකළේය. නිමේෂයක් ගතවන්නට මත්තෙන් රාජ සභාවේ ඇමැති මණ්ඩලයම මහත් රැවැටීමකට පත්වී ශුභ දොරටුපාලයාට රාජකීය ගෞරවය දක්වන්නට විය. යසලාලකතිස්ස රජු මේ ක්‍රියාව දින කිහිපයක්ම විටින් විට සිදුකරමින් මහත් විනෝදයක් ලැබීය.
කෙසේ හෝ එක් දිනයක මේ විකට ජවනිකාව වෙනත් අතකට පෙරළෙන්නට විය. එනම් දොරටුපාල ලෙස රඟදැක්වූ රජතුමාට ‘ශුභ’ සිංහාසනයේ සිටිනු දැක මහත් සිනහවක් ඇතිවිය. මෙය දුටු ශුභ වෙත අපූරු අදහසක් ආවේය.
‘දොරටුපාලයා මට සිනාවුණා යැයි චෝදනා කරමින් රජතුමා අල්ලා වධකයන්ට භාරදිය යුතුයැ’යි සිතුවේය. එසේ සිතූ ආකාරයෙන්ම ශුභ වහාම නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ තමාට පරිභව ලෙස සිනාසුණු දොරටුපාලයාගේ හිස ගසාදැමිය යුතු බවය. වධකයන් වහා පැමිණ දොරටුපාල වෙසින් සිටි රජතුමා අල්ලා ගත්තේය. එවිට රජතුමා කෑගසා කියා සිටියේ තමන් දොරටුපාල නොව රජතුමන් බවය. සිංහාසනයේ සිටින්නේ දොරටුපාලයා බවත් මරහඬ නඟන්නට විය. එහෙත් වැඩක් වූයේ නැත. රජ වෙසින් සිටි ශුභගේ අණ පිළිපදිමින් යසලාලකතිස්ස රජු අල්ලාගෙන ගොස් හිස ගසා මරාදැම්මේය.
හෙළදිව ඉතිහාසය කියා සිටින මෙම ‘ශුභ සහ යස’ කතාන්දරය යනු විහිළු තහළුවේ උච්චතම වගතුගක් කියා සිටින සත්‍ය කතාන්තරයකි. මෙම ඉපැරැණි වගතුග හාස්‍ය සඳහා ගොතන ලද්දක් නොවන බව හෙළයේ මහා පුරාවිද්‍යා පඬි මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පවසයි. එතුමන්ගේ පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම සිදුවීම සඳහන් ඉපැරැණි ශිලාලිපි දෙකක් අනුරාධපුරයේ ‘කයිනාට්ටම්’ නමැති ප්‍රදේශයේ විහාරයක තිබී සොයාගෙන ඇත. එසේම යසලාලකතිස්ස රජු මරා රජකමට පත්වූ ශුභ විසින් අලුතින් අනුරාධපුරයේදී රාජ පරම්පරාවක් ආරම්භ කළ බවද එම ශිලාලිපිවල සඳහන්ව ඇති බව මහැදුරු පරණවිතානයන් කියා සිටියි.
විහිළුවක් නිසා විකටයා බලවතකු වූ ආකාරය කියාපාන මෙම අපූරු කතාන්දරය අද ඔබට ලියා තැබුවේ ඇයි? එම වගතුග ආදි ලංකාවෙන් අපට අසන්නට ලැබුණත් මෙම අපූරු කතාන්දරය නම් අපට ඇසෙන්නේ මෙරටින් කිලෝමීටර් දහස් ගණනක් දුරු රටකිනි. ඒ, දැනට බොහෝ දෙනකුගේ කතාබහට ලක්වී ඇති රුසියානු – යුක්රේන යුද්ධයේ පසුබිමෙනි. දැනට දින 250 ඉක්මවා තිබෙන රුසියානු – යුක්රේන යුද්ධය යනු ලෝක ඉතිහාසයට එක්ව ඇති ශෝචනීය කතාන්දරයකි. අප ඉහතින් පැවැසූ විකටයන්ගේ වගතුගේදී යුක්රේනයේ වත්මන් ජනාධිපතිවරයාද එම කරළියට පැමිණෙයි. එනම් වත්මන් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) යනු වෘත්තියෙන් විකට නළුවෙකි. ඔහු දැනට වසර 20කට අධික කාලයක් වෘත්තියක් වශයෙන් කළේ විකට ජවනිකා සහිත සජීවී සහ රූපවාහිනී වැඩසටහන්වලට පෙනී සිටීමය. කෙටියෙන් කිවහොත් ඔහු විකටයෙකි. එසේත් නැතිනම් විහිළුකාරයෙකි. ඉංග්‍රීසියෙන් කිවහොත් ‘ජෝකර්’ (Joker) කෙනෙකි. මෙයට වසර තුනහමාරකට ඉහතදී ඔහු යුක්රේනයේ ජනාධිපති ධුරයට පත්වන විට ඔහුට කිසිදු ආකාරයේ දේශපාලනික අත්දැකීමක් නොවීය. එහෙත් ඔහු දේශපාලනික ජවනිකා රඟදැක්වූයේ හාස්‍යමය වැඩසටහන් තුළි පමණි. එහිදී ඔහු බොහෝ විට ජනාධිපතිවරයකුගේ චරිතය තමන්ගේ විකට ජවනිකා මගින් රඟදක්වන්නට විය.
මෙසේ ජනාධිපතිවරයකුගේ චරිතය විකට රංගනයක් හරහා පෙන්වූ වොලඩිමීර් සෙලෙන්ස්කි යුක්රේනයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වන්නේ ලෝක වාර්තාවක් තබමිනි. එනම් 2019 යුක්රේන ජනාධිපතිවරණයට තරග කරන ලෙස ඔහුට බලවත් ඉල්ලීමක් ඇතිවන්නේ තමන්ගේම රසිකයන්ගෙනි. ඉන් පසුව ඔහු රංගන කටයුතු සිදුකළ නිෂ්පාදන සමාගම විසින් සෙලෙන්ස්කිගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂයක් පවා ලියාපදිංචි කළේය. එම පක්ෂය නම්කෙරුණේ Servant of the People හෙවත් ජනතාවගේ සේවකයා යන නමිනි. එය සෙලෙන්ස්කි විසින් තම ප්‍රහසන රංගනය ඉදිරිපත් කරන ලද රූපවාහිනී වැඩසටහනේද නාමය විය. ඉන් පසුව මෙසේ නිල වශයෙන් ලියාපදිංචි වූ දේශපාලන පක්ෂය 2019 ජනාධිපතිවරණය උදෙසා දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරන්නට විය. ජනාධිපති අපේක්ෂකයා වූයේ මෙම වොලඩිමිර් සෙලෙන්ස්කිය. මෙලෙස ප්‍රහසන රූපවාහිනී වැඩසටහනක නම දේශපාලන පක්ෂයට යොදාගෙන එම වැඩසටහනේ ප්‍රධාන ප්‍රහසන ශිල්පියා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන සිදුකෙරෙන ක්‍රියාවලිය බොහෝ පිරිස් විසින් හාස්‍යයට ලක්කරනු ලැබීය. ‘මේ මොන නාඩගමක්දැ’යි බොහෝ පාර්ශ්ව ප්‍රශ්න කර සිටියේය. එහෙත් කෙසේ හෝ තවත් ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ මෙය යුක්රේනයේ සිදුවන්නට යන අමුතුම ආකාරයේ දේශපාලනික පෙරළියක් වනු ඇති බවය. වොලඩිමීර් සෙලෙන්ස්කි යනු වෘත්තියෙන් ප්‍රහසන ශිල්පියකු වුවත් ඔහු තුළ යම් ස්ථිරසාර අනාගත දැක්මක් තිබෙන බව බොහෝ පිරිස් ප්‍රකාශ කර සිටියහ. බොහෝ විදේශ රටවල් පවා මෙම තත්ත්වය හාස්‍යයෙන් සහ උපේක්ෂාවෙන් බලන්නට විය. එහෙත් ඇතැම් විදේශ රටවල නායකයන් කියා සිටියේ මෙය ලෝකය කලඹවන පියවරක් වනු ඇති බවය. කෙසේ හෝ 2019 ජනාධිපතිවරණයට මාස 06කට පෙර ඔහුගේ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කළේය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. ජනාධිපතිවරණය පවත්වා අවසන් වූ අතර ප්‍රතිඵල නිකුත් විය. මහත්පුදුමයකි. මෙම ප්‍රහසන නළුවා වොලඩිමීර් සෙලෙන්ස්කි 73%ක විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළේය. දූෂණ විරෝධී ජනාධිපතිවරයකුගේ චරිතය වසර ගණනාවක් පුරා ඔහු රඟදක්වා තිබුණේ තම ප්‍රහසන රූපවාහිනී වැඩසටහන් තුළිනි. මේ නිසා ඔහු ගැන ජනතාව තුළ වූයේ ධනාත්මක ප්‍රතිරූපයකි. එම ප්‍රතිරූපය සත්‍යයක් බවට පත්කිරීමට ජනතාව තීරණය කර තිබිණි. ඔහු ජනාධිපති පුටුවේ සත්‍ය ලෙස අසුන්ගන්නේ ඒ අනුවය. මෙම අපූරු විකටයාගේ කතාව ලෝක ඉතිහාසයට එක්වන්නේ එලෙසය.
දැන් එසේනම් මෙම සුවිශේෂ මිනිසාගේ අලුත්ම වගතුග කුමක්දැයි බලමු. අද මෙම තරුණ රාජ්‍ය නායකයා මැදිව සිටින්නේ මහා ගිනි ජාලාවකටය. එය නම් අප කවුරුත් දන්නා රුසියානු-යුක්රේන යුද්ධයයි. දැනට මාස 07කට ආසන්න කාලයක් පුරා නොනවත්වා පැවැත්වෙන මෙම මහා යුද්ධයේ ආරම්භකයා සහ චූදිතයා වන්නේ රුසියාවය. අසරණ තත්ත්වයක සිටි යුක්රේනය තුළ ගිනි ජාලා ඇතිකළේ බලසම්පන්න රුසියාව විසිනි. යුක්රේනයේ තිබෙන යම් දේශසීමා අයත් කරගැනීම සඳහා ගිජුවූ රුසියාව මෙම යුද්ධය ආරම්භ කළේය. එම කුරිරු ව්‍යාපාරය පිටුපස ප්‍රධාන මෙහෙයුම්කරුවා වූයේ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ය. ඔහු ලෝක බලවතකු සහ අධිරාජ්‍යවාදී පාලකයකු ලෙස සිටිමින් මෙම ම්ලේච්ඡ යුද්ධය මෙහෙයවමින් සිටී. ලෝක ප්‍රජාව පවසන කිසිදු දෙයක් තඹයකට මායිම් නොකර ඔහු මෙම යුද්ධය මෙහෙයවමින් සිටී. යුක්රේනය සහ එහි පාලකයා වූ වොලඩිමීර් සෙලෙන්ස්කි දණගැස්සවිය යුතු යැයි රුසියානු ජනාධිපති පුටින් වහසිබස් දෙඩුවේය.
ගතවූ කාලයට අදාළව මෙම යුද්ධයේ කතාන්දර බොහෝය. ඒවා සියල්ලක් ලියන්නට මෙහි ඉඩක් නැත. එහෙත් සමස්තයක් ලෙස කියා සිටිය හැක්කේ රුසියාව විසින් යුක්රේනයට සිදුකරනු ලැබූ විනාශයයි. මෙම ශෝචනීය තත්ත්වය යටතේ යුක්රේනයේ සිවිල් වැසියන් පවා දහස් ගණනක් මරණයට පත්විය. ඒ අතර දෙරටෙහි හමුදාවල සාමාජිකයන්ද දහස් ගණනක් මරණයට පත්විය. කෙසේ හෝ බලගතු රුසියානු හමුදාව අබියස යුක්රේන හමුදාව බියපත් වූයේ නැත. ඔවුන් තමන්ට හැකි ශක්තියෙන් සතුරා සමග මුහුණට මුහුණ සටන් කරන්නට ගත්තේය. මේ සියලු ශක්තීන් සහ ධෛර්යය පිටුපස සිටියේ අපූරු මිනිසෙකි. ඔහු වෙනත් කිසිවකු නොව යුක්රේනයේ වත්මන් ජනාධිපති වොලඩිමීර් සෙලෙන්ස්කිය. තවත් ආකාරයකින් කියතොත් අප ඉහතින් කතා කළ විකට රංගන ශිල්පියාය. වරෙක බොහෝ දෙනාගේ සමච්චලයට ලක්වුණු මිනිසාය. ‘ජෝකර්’ කෙනකුට රටක් පාලනය කරන්නට හැකිදැයි ලෝකයේ බෝහෝ පාර්ශ්ව කියා සිටින විටදී ඔහු යුක්රේනය පාලනය කිරීමේ නියමුවා බවට පත්විය. ඉන් පසුව ඔහු කෙටි කාලයක් තුළදී මහා යුද ව්‍යසනයකටද මුහුණ දුන්නේය. එහිදී ඔහු ගැටෙන්නට ගත්තේ ලෝකයේ බලගතුම අධිරාජ්‍යවාදී නායකයකු වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමගය. දින 250ක් ඉක්මවා ඇති රුසියානු-යුක්රේන යුද්ධයේ වත්මන් තත්ත්වය ඉතා සුවිශේෂ එකකි. එනම් ලෝකයේ මහා බලවතකු යැයි අඬබෙර ගසමින් පුරාජේරු කතා කී රුසියාව මේ වන විට යට කී යුද්ධයෙන් විශාල පරාජයක් අත්කරගෙන සිටී. එසේම මහා යුද බලවතකු යැයි කියූ පුටින්ට යන එන මං නැති තත්ත්වයකටද පත්ව සිටී. තමන්ට යුද්ධය යනු ‘කජ්ජක්’ යැයි කියූ පුටින් දැන් මුණිවත රකිමින් සිටී. යුක්රේනයේ සුක්කානම අතට ගත් විහිළුකාරයාට බියෙන් ඔහු දැන් කරන්නේ සැඟවෙන්නට තැනක් සෙවීමය. මේ වන විට මෙම විකටයා වටේ මහා ශක්තියක් ගොඩනැගෙමින් තිබීම ගැන රුසියානු ජනාධිපති පුටින් සිටින්නේ මහා චකිතයකිනි. එම තත්ත්වය දිනෙන් දිනම උද්දීපනය වෙමින්ද ඇත.
දැනට දින 250ක් ඉක්මවා ඇති රුසියානු-යුක්රේන යුද්ධයේදී රුසියාව විසින් තම බලය පූර්ණ වශයෙන් තහවුරු කරගත් එකම ප්‍රදේශය වූයේ යුක්රේන අගනුවරක් වන කර්සන් (Kherson) නගරයයි. අනෙකුත් නගර ගණනාවක් වෙත රුසියානු ආක්‍රමණය එල්ල වුවත් එම ප්‍රහාර මෙල්ල කිරීමට යුක්රේන හමුදාව සහ ජනතාව සමත් වූහ. මෙම යුද්ධයේ තවත් විශේෂත්වයක් වූයේ රුසියානු හමුදාව මැඬීම සඳහා පොදු ජනතාවටද අවි ආයුධ ලබාදීමය. එම සුවිශේෂ තීරණය ගනු ලැබුවේද යුක්රේනයේ ජනාධිපති වොලඩිමීර් සෙලෙන්ස්කි විසින්ය. මෙම වාතාවරණය යටතේ පොදු ජනතාව පවා රුසියානු පාබල හමුදාවට ප්‍රහාර එල්ල කරන්නට වූහ. මේ හෙයින් රුසියානු හමුදාව දැඩි මර්දනයකට යටත් වන්නට විය. කෙසේ හෝ රුසියාව අල්ලාගත් එකම නගරය වන කර්සන්හි සිටි රුසියානු හමුදාවටද පසුගියදා දිගින් දිගටම යුක්රේන හමුදා විසින් ප්‍රහාර එල්ල කරන්නට විය. යුරෝපයේ මිත්‍ර රටවල් රැසක් මෙම යුද්ධයේදී යුක්රේනයට විවිධාකාරයෙන් උදව් කළේය. යුද අවි ආයුධ ලබාදීමටත්, මූල්‍ය පරිවැය ලබාදීමටත් ඔවුන් කටයුතු කළේය. ඒ අනුව යුක්රේන හමුදාව බලගතු වී තිබිණි. කෙසේ හෝ මෙලෙස කර්සන් නගරයට දරුණු ප්‍රහාර එල්ල වීමත් සමග මෙයට දින කිහිපයකට පෙර රුසියාව තීරණය කළේ එම නගරයෙන් තම හමුදා ඉවත් කරගැනීමටය. ඒ අනුව වහවහා රුසියානු හමුදාවෝ පසුබසින්නට වූහ. රුසියාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ හමුදාව මුළුමනින්ම කර්සන් නගරයෙන් ඉවත්ව යන බවයි. ඒ අනුව මෙය යුක්රේනයේ සුවිශාල ජයග්‍රහණයක් බවට පත්වී ඇති අතර පසුගියදා නැවත යුක්රේනයේ ධජය එම නගරය තුළදී ඔසවනු ලැබුවේය. මෙම ජයග්‍රහණය ගැන දැනට බටහිර රටවල් බොහොමයක් යුක්රේනයට සුබ පැතුම් එක්කර ඇත.
මෙම රුසියානු-යුක්රේන කතාන්දරයෙන් ලෝකයට ගත හැකි ආදර්ශයන් බොහෝය. එසේම ශ්‍රී ලංකාවටද එයින් ගත හැකි පාඩම් බොහෝය. ‘ජනතා සේවකයා’ නම්වූ ප්‍රහසන රූපවාහිනී වැඩසටහනේ ජනාධිපතිවරයා ලෙස රඟපෑ වොලඩිමීර් සෙලෙන්ස්කි අද සිටින්නේ කොතැනකද? ඔහු යුක්රේනයේ ජනාධිපතිවරයා වශයෙන් පසුගිය යුද්ධයේදී තමන්ගේ යුද හමුදාව සමග සජීවීව, ශාරීරික වශයෙන් එකට සිටිමින් සටන් කළේය. යුද ප්රහාරයන් සිදුකෙරෙන විටදී ඔහුද හමුදා සෙබළුන් සමග එකට සිටියේය. මෙලෙස යුක්රේනය තුළ අලුත් ප්රවේශයකට පැමිණි සෙලෙන්ස්කි හට මහා බලවතා වූ පුටින් බිය විය. සෙලෙන්ස්කි වසර කිහිපයක් පුරා තමන්ගේ රූපවාහිනී විකට වැඩසටහන හරහා එරට පවතින පාලන ක්‍රමය හාස්‍යයට ලක් කළේය. අවසානයේදී ජනතාව ඔහු විහිළුවට කියූ වදන් සත්‍ය ලෙස පිළිගත්හ. මෙවැනි වටපිටාවක් තුළදී ශ්‍රී ලංකාවෙන්ද පෙනී යන්නේ විවිධ සමාජ මාධ්‍යයන් හරහා ගරහනු ලබන ඇතැම් ප්‍රකට දේශපාලකයන් පවා හෙට දිනයේ යළිත් රටේ මුල් පුටුවලට ඒමට ඇති හැකියාවයි. එම තරුණ දේශපාලකයන්ට මේ වන විට විකට ස්වරූපයක් ආරෝපණය කර සමාජ මාධ්‍ය හරහා මඩ ගැසුවද සෙලෙන්ස්කි මෙන් විකටයන්ද රජ වන බව එම අගතිගාමීන් දන්නේ නැත. ජනසම්මත දේශපාලන ක්‍රමය විකෘති වන විට මෙවැනි හිඩැස් ඇතිවීම සිදුවෙයි. රට ගොඩනගන බව කටපුරා කියන දේශපාලකයෝ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙති. එහෙත් බලය ගැනීමෙන් පසු උන්ගෙන් ජනතාවගේ සැබෑ ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත. ඔවුන් ඉක්මන් ධනය සොයන දූෂිතයන් බවට පත්වන අතර ජනතාවට දුන් පොරොන්දු අමතක කරති. අවසානයේදී ජනතාවට පයින් ගසා කෝටි ගණන් දේපළ කොල්ලකා ගනිති.
මෙයට මාස කිහිපයකට ඉහතදී මෙරටට ජනතා ඡන්දයකින් තොරව නව ජනාධිපතිවරයකු පත්වූ අතර ඔහුගේ පාලනය යටතේ ජනතාව යම් සහනයක් පතන්නට වූහ. එහෙත් මේ වන තෙක්ම එවැනි කිසිදු සහනශීලී වටපිටාවක් ඇති නොවූ බව බොහෝ පාර්ශ්ව නඟන චෝදනාවයි. සහනයක් කෙසේ වෙතත් ජනතාවට සහන ඉල්ලා සාමකාමී අරගලයක් සිදුකළ අරගලකරුවන් සිරගත කළ බවට දෙස් විදෙස් දේශපාලන විචාරකයයෝ චෝදනා කරති. කාලයක් පුරා මෙරට ජනතාව තමන්ගේ නායකයන් ජනතා ඡන්දයෙන් පත්කර ගත්තද මෙවර සිදුවූයේ එම ක්‍රමවේදය කණපිට හැරීමකි. කිසිම ජනතා කතිරයක් නොමැතිව නවතම ජනාධිපතිවරයා එම පුටුවේ වාඩිවෙමින් මේ වන විට ඔහුගේ අසීමිත විධායක බලය භාවිත කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය දැඩි ලෙස චෝදනා නඟයි. යුක්රේනයේ මෙන් විකටයන් ජනතාව අතර නායකයන් බවට පත්වීම පමණක් නොව ජනතාව නායකයන් වශයෙන් ගෞරවයට පාත්‍ර වූ චරිතද පසුව බලය ලැබීමෙන් විකටයන් මෙන් කටයුතු කරයි. පොදු ජනතාව තමන්ගේ නායකයා වශයෙන් ඉල්ලා සිටින්නේ එඩිතර, තීරණ ගත හැකි, යුක්තිගරුක මිනිසුන් නොවේද? එහෙත් එවැනි මිනිසුන් (නායකයන්) අවශ්‍ය නැතැයි පැවසෙන ඉතා ශෝචනීය තත්ත්වයක් දැන් මේ රට තුළ උද්ගතව ඇති බවට ඉහත පාර්ශ්ව දැඩි ලෙස ජුගුප්සාජනකව පරිභවයෙන් කතා කරති. අද මෙරට නායකයන් සැබැවින්ම විහිළුකාරයන් වී හමාරය. කෙසේ හෝ ඉදිරියේදී මෙරට බුද්ධිමත් ජනතාව මෙවැනි නායකයන් අනුමත කරන්නේදැයි කිහිප වර සිතාබැලිය යුතුය. එනම් මේ වන විට මෙරට මාධ්‍ය පවා එම වටපිටාව මත වගකීමකින් කටයුතු කළ යුතු හෝරාව එළැඹී තිබේ. සැබෑ නායකයන් යැයි කියූ දේශපාලනික පවුල් අද ආත්ම තුන හතරකට ධනය රැස්කරගෙන ජනතාවගේ තට්ටමට පයින් ගසා සැඟවී සිටියි. එහෙත් ඔවුහු බළලුන් ලවා කොස් ඇට බෑවීම තවමත් ජයටම සිදුකරති.
ප්‍රියන්ත හෙට්ටිගේ