එජාප ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් සජබෙට පණිවුඩයක්!
මැයි කොළඹ කැරැල්ලක්!
බැසිල් මහඡන්දෙට වැඩ!
මත විමසුමෙන් පක්ෂ ඇවිස්සෙයි!
පසුගිය සතියේ අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෙරට කීර්තිමත් ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කළ මත විමසුමක ප්‍රතිඵලය රටට හෙළිකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප සඳහන් කර සිටියේ මෙම මත විමසුමේ ප්‍රතිඵලය මේ වන විට ආණ්ඩුවේ ඉහළ තැන්වල සිට විපක්ෂයේ ප්‍රධානීන්ගේ අතටත්, සියලු තානාපති අංශවල නියෝජිතයන්ගේ අතටත් ගොස් ඇති බවකි. කෙසේවෙතත් අප මෙම මත විමසුමේ ප්‍රතිඵලය රටට හෙළිකිරීමත් සමග ඇතැම් පාර්ශ්ව අපට චෝදනා කර සිටියේ අප සජබයට සහ ජාතික ජන බලවේගයට කඩේ යමින් ඔවුන්ට වාසිසහගත ආකාරයට මෙම ප්‍රතිපල පළ කර ඇතැයි කියාය. නමුත් වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප කළේ කාටවත් කඩේ යාමක් නොව මෙරට දේශපාලන ක්ෂේත්රයේ අය පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා බලා සිටි සියල්ලන්ම පිළිගන්නා ආයතනයක් මගින් කළ මත විමසුමක ප්‍රතිඵල අප පුවත්පත ඔස්සේ රටට අනාවරණ කිරීම පමණි.Sri Lanka Latest News
එහිදී අප අදාළ ආයතනය මගින් සිදුකළ මත විමසුමේ සම්පූර්ණ ප්‍රතිඵලය පුවත්පතේ පළකිරීමට කටයුතු නොකිරීම පසුපසද සදාචාරාත්මක හේතුවක් තිබේ. සාමාන්‍යයෙන් මත විමසුමක් සිදුකිරීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රීති පද්ධතියක් තිබේ. එම මත විමසුම් ආවාට ගියාට, එක එක්කෙනාගේ කොන්ත්‍රාත් මත, යම් යම් හිතලු මත සිදුකිරීමට නොහැක. ඒවා සිදුකළ යුත්තේ සියලු දෙනාම පිළිගන්නා ආකාරයට, රටේ සමස්තය ආවරණ වන පරිදි තෝරාගත් නියැදි සහ පිළිගත් ප්‍රශ්නාවලියක් මත පිහිටාය. එසේ නොවුණහොත් ඒ මතවිමසුම්වලටද වන්නේ ආචාර්ය රවි රන්නන් එලිය වැනි පුද්ගලයන් විසින් මීට පෙර රටට ඉදිරිපත් කළ ආතක් පාතක් නැති අහසින් වැටුණු මත විමසුම්වලට අත්වූ ඛේදජනක ඉරණමට මුහුණදීමටය.
වැඩේ කළේ මෙහෙමයි!
මෙම මත විමසුම දින 40ක් තිස්සේ ලංකාවේ උතුරු නැගෙනහිර හැරුණු විට අනෙකුත් සියලු පළාත් ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් 5000කට අධික නියැදියක් හරහා සිදුකළ මත විමසුමකි. එහිදී සියලුම අපේක්ෂකයන් ආවරණය වන පරිදි සකස් කරනු ලැබූ ප්‍රශ්නාවලියක් භාවිත කොට තිබිණි. එමෙන්ම මෙවැනි මත විමසුමක් ආවාට ගියාට කරන්නක් නොව, යම් පුද්ගලයකු විසින් හෝ යම් ආයතනයක් මගින් හෝ යම් දේශපාලන පක්ෂයක් මගින් හෝ මේ සඳහා ඉල්ලීමක් කළ යුතුය. ඒ සඳහා වැයවන සම්පූර්ණ පිරිවැයම දැරිය යුතුය. ඒ අනුව අපට මේ මොහොතේ වුවද අදාළ සමීක්ෂණය කිරීම සඳහා භාරදුන් පාර්ශවයන් කවුද, මත විමසුම කළ එම කීර්තිමත් ආයතනය කුමක්ද යන්න ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට හැකියාව තිබුණද මෙය වෙනත් පාර්ශ්වයකගේ ඉල්ලීමක් මත සිදුකළ මත විමසුමක් වීම හේතුවෙන් සදාචාරාත්මක හේතු මත අදාළ පාර්ශ්වයේ අවසරය නොමැතිව එම සම්පූර්ණ ප්‍රතිඵලය සහ සමීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශ කිරීමට අපට හැකියාවක් නැත. නමුත් එහි ප්‍රතිඵල දළ වශයෙන් අප පසුගිය සතියේ රටට අනාවරණ කළේ එම මත විමසුමේ ප්‍රතිඵලය ඒ වන විට නොනිල වශයෙන් මෙරට දේශපාලන අංශ වෙත සහ තානාපති අංශ වෙත ලැබී තිබීම නිසාය.
90%ක්ම නිවැරදියි!
ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය මගින් මෙම ආයතනය පිළිබඳ මෙන්ම මෙම මත විමසුමේ තිබූ තවත් තොරතුරු රැසක් රටට හෙළිකිරීම සූදානම්ය. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙරට දැවැන්ත පෞද්ගලික සමාගම් පමණක් නොව බහුජාතික සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන එළිදැක්වීමේදී ඒවාට අදාළ මත විමසුම් සිදුකරනු ලබන්නේ මෙම ආයතනය හරහාය. මීට අමතරව මෙම සමාගම මගින් යම් යම් පාර්ශ්වවල අවශ්‍යතාවන්ට අනුව රටේ පවතින දේශපාලනය පිළිබඳවද මත විමසුම් සිදුකරනු ලබයි. ක්ෂේත්රයේ පිළිගත් මතය වී ඇත්තේ මෙම ආයතනය මගින් සිය දීප ව්‍යාප්ත ජාලය හරහා සිදුකරනු ලබන මෙම මත විමසුම්වල ප්‍රතිඵලය 90%ක්ම පාහේ නිවැරැදි බවකි. එය මෙරට දේශපාලන ක්ෂේත්රයේ නියැලෙන්නන් පමණක් නොව තානාපති ක්ෂේත්රයේද පිළිගත් මතයකි. අපද පසුගිය සතියේ මෙම ආයතනය මගින් සිදුකළ මත විමසුමේ ප්‍රතිඵලය කිසිදු පැකිලීමකින් තොරව අප පුවත්පත ඔස්සේ රටට අනාවරණය කළේ ඒ කියන විශ්වසනීයත්වය මුල්කරගෙනය.
අනෙක් අතට ඇතැම් පුද්ගලයන් මගින් යම් යම් දේශපාලන කොන්ත්‍රාත් සිදුකිරීම සඳහා පළකරන ව්‍යාජ මත විමසුම්වලට මාධ්‍ය මගින් විවිධ චෝදනා එල්ල වුවද අප පළකළ මෙම ආයතනය මගින් කළ මත විමසුමට එවැනි කිසිදු චෝදනාවක් හෝ කිසිදු විරෝධයක් එල්ල වූයේ නැත. කිසියම් හෝ විරෝධයක් එල්ල වූවා නම් ඒ එල්ල වූයේ ආචාර්ය රන්නන් එලිය වැනි වැලේ වැල් නැති, කිසිවකුත් නොදන්නා පුද්ගලයන් විසින් එක් එක් පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් මත සිදුකළ බොරු මත විමසුම්වලින් චූන් වී ව්‍යාජ ප්‍රතිරූපයක් මවාගෙන සිටි සුළු පිරිසක් පමණි.
ලොකු අයත් දන්නවා!
අප මෙම මත විමසුමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ වහා ජනාධිපතිවරයාට හිතවත් අය පමණක් නොව සමගි ජන බලවේගයට, පොහොට්ටුවට, ජවිපෙට සම්බන්ධ ඉහළ පෙළ ප්‍රධානීන් පවා අප වෙත කතාකොට මෙම මත විමසුමේ තොරතුරු විමසා සිටිමට පියවර ගත්හ. එහිදී ඒ සියලු දෙනාටම මත විමසුමේ තොරතුරු සඳහන් කිරීමෙන් පසු ඔවුන්ද ඒ පිළිබඳ දැනුවත්ව සිටි බවත්, එම ප්‍රතිඵල සමග ඔවුන්ද එකඟ වන බවත් ප්‍රකාශ කරනු දැකගත හැකි විය. අප එහිදී කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය 39%ක ඡන්ද ප්‍රතිශතයකුත්, ජාතික ජන බලවේගය 20%ක ඡන්ද ප්‍රතිශතයකුත්, පොහොට්ටුවට 9%ක ඡන්ද ප්‍රතිශතයකුත්, එක්සත් ජාතික පක්ෂය 5%ක ඡන්ද ප්‍රතිශතයකුත්, ශ්‍රීලනිපයට 2%ක ඡන්ද ප5තිශතයකුත් හිමිවන බවට අදාළ මත විමසුමේ තොරතුරු වාර්තා කොට තිබූ බවකි. එමෙන්ම තවත් 24%ක ප්‍රතිශතයක් තවමත් ඡන්දය පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද අපි එහිදී වාර්තා කළෙමු. එමෙන්ම අපේක්ෂකයන් දෙදෙනකු හට 0.5% බැගින් වූ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බව අනාවරණ කොට තිබුණද අප එය පළ නොකළේ දැනටමත් ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයන් නිකුත් කොට තිබීම නිසාත්, ඒ හරහා ඔවුන්ට යම් අසාධාරණයක් සිදුවීමේ ඉඩකඩක් පැවැතීම නිසාත්ය.
සජිත්ගේ ධන ලකුණු!
මීට අමතරව මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙම මත විමසුමේ තවත් තොරතුරු රටට හෙළිකිරීමට අප සූදානම්ය. එක් එක් පක්ෂවල අපේක්ෂකයන් ගනු ලබන ප්‍රතිශතවලට අමතරව ඒ ඒ අපේක්ෂකයන් සතු ධනාත්මක කරුණු සහ ඍණාත්මක කරුණු පිළිබඳවද මෙම මත විමසුම මගින් තොරතුරු ඉදිරිපත් කොට තිබිණි. ඒ අනුව මත විමසුමේ ඉදිරියෙන්ම සිටින විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් වාර්තා කොට තිබූ ධනාත්මක කරුණු වන්නේ කාන්තාවන් අතර සජිත් ඉහළම ආකර්ෂණයක් දිනාගෙන සිටිනවා යැයි කියාය. එමෙන්ම කාන්තාවන්ට සජිත් සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් ඇති බවක්ද මෙම මත විමසුම මගින් අනාවරණ කොට ඇත. දෙවැනි කරුණ වන්නේ වංචා දූෂණවලින් තොර පිරිසුදු නායකයෙක් ලෙස සජිත්ට ජනතාවගේ පිළිගැනීමක් ඇති බව අනාවරණ කොට තිබීමය. තුන්වැනි කරුණ වන්නේ දුප්පත් ජනතාව සවිබල ගැන්වීම සඳහා සජිත් පෙනී සිටින බව ජනතාව අතර තහවුරු වී ඇති බවය. හතරවැනි කරුණ වන්නේ විපක්ෂයේ සිටියදී පවා ජනතාව වෙනුවෙන් වැඩකරන, ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ නායකයකු ලෙස ජනතාව සජිත් හඳුනාගෙන ඇති බවය.
ඍණ ඒවා මෙන්න!
මීට අමතරව සජිත් සම්බන්ධයෙන් වූ ඍණාත්මක තොරතුරුද මෙම මත විමසුමේ ඇතුළත්ය. ඉන් ප්‍රධාන එකක් වී ඇත්තේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේ යම් අඩුවක් සජිත් පෙන්නුම් කරන බවය. එමෙන්ම සුබසාධන කටයුතු සිදුකිරීමේදී සිය මන්ත්‍රී කණ්ඩායම නොමැතිව තනිවම සම්බන්ධ වන බවත්, පුරුෂ පක්ෂයේ ඡන්ද ආකර්ෂණය වීම පහළ මට්ටමක පවතින බවත් සජිත් සම්බන්ධයෙන් වන ඍණාත්මක කරුණු ලෙස ඇතුළත් කොට තිබේ.
අනුරගේ ප්ලස්!
ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන්ද මෙම මත විමසුමේ පරිච්ඡේදයක් ඇතුළත්ය. එහි අනුරට වාසිසහගත ධනාත්මක කරුණු ලෙස පෙන්වා දී ඇත්තේ හොඳ පක්ෂ නායකයකු ලෙස ඔහු හඳුන්වා දී තිබීමත්, චතුර කථිකත්වය, විශ්වසනීය සහ තාර්කිකව අදහස් ඉදිරිපත් කරනු ලැබීමත්ය. එමෙන්ම ජනතාවගේ ආකර්ෂණය අනුරට ඇති බවත්, විශේෂයෙන්ම පුරුෂ පාර්ශ්වය අතර වැඩි ජනප්‍රියත්වයක් අනුර හිමිකරගෙන ඇති බවත් මෙම මත විමසුම මගින් අනුරගේ ධනාත්මක කරුණු ලෙස පෙන්වා දී ඇත.
අනුරගේ මයිනස්!
අනුර සම්බන්ධයෙන් ඍණාත්මක කරුණු ලෙස පෙන්වා දී ඇත්තේ ඔහු සහ ජාතික ජන බලවේගය අතර පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති බව පෙනෙන්නට තිබීමය. දෙවැනි කරුණ ලෙස ආණ්ඩුවක් ගතහොත් එය කරගෙන යෑම පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව පෙන්වා දී ඇත. තුන්වැනි කරුණ ලෙස පෙන්වා දී ඇත්තේ කාන්තාවන් අනුරට ආකර්ෂණය නොවීමය. හතරවැනි කාරණය ලෙස අනුර කියන ඒවා කළ හැකිද යන කාරණය පෙන්වා දී ඇත.
රනිල් ගැන කියපු දේ!
ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වන රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවද එහි වෙනම කොටසක් ඇතුළත්ය. එම කොටසට අනුව රනිල් ගැන ඇත්තේම ඍණාත්මක කරුණුය. ධනාත්මක එකම කරුණ ලෙස දක්වා තිබුණේ අභියෝග භාරගැනීමේ හැකියාව පමණි.
පොහොට්ටුවට කියපු කතාව!
පොහොට්ටුව සම්බන්ධයෙන්ද වැඩි හරියක් තිබුණේ ඍණාත්මක කරුණුය. ඔවුන් සම්බන්ධයෙන් දක්වා තිබූ ලොකුම ඍණාත්මක කරුණු දෙක වූයේ ජනතා විශ්වාසය බිඳවැටී තිබීම සහ ස්ථිර අපේක්ෂකයකු නොමැති නිසා ඔවුන් පිළිබඳ ජනතාව යම් අවිනිශ්චිත තත්ත්වයක සිටීමය.
සාකච්ඡා ඇරඹෙයි!
මේ ආකාරයට පසුගිය සතියේ අප කළ විශේෂ අනාවරණයත් සමග පක්ෂ මට්ටමින් එම තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්විණි. එහිදී පොහොට්ටුව මෙන්ම ජාතික ජන බලවේගයද මෙම සාකච්ඡාවලදී මෙතෙක් තීරණයක් ගෙන නොමැතිව වැට උඩ සිටි 24%ක ඡන්ද ප්‍රතිශතය පිළිබඳව වැඩි බරක් තබමින් කතාබස් කොට ඇති බව ආරංචිය. එහිදී පොහොට්ටුවේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ මෙම තීරණයක් නොමැති 24%ක ප්‍රමාණය තුළ අති බහුතරයක්ම සිටින්නේ පොහොට්ටු ඡන්දදායකයන් බැවින් අවම වශයෙන් ඉන් 15%ත් 20%ත් අතර ප්‍රමාණයක් යළිත් පක්ෂය වෙත ලබාගැනීම සඳහා ඉදිරියේදී වැඩි බරක් තබා කටයුතු කළ යුතු යැයි කියාය. එමෙන්ම ජාතික ජන බලවේගයද මේ වන විට සියලු බර තබා ඇත්තේ මෙම 24%න් වැඩි කොටසක් තම පක්ෂයට ලබාගෙන 30%කට ආසන්න වූ ඡන්ද ප්‍රමාණයක් දක්වා ඉදිරි මැතිවරණයේදී තම ගොඩ වැඩි කරගැනීමටය.
එජාපයත් පිළිගනී!
මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයද පසුගිය සතියේදී මෙම ප්‍රතිඵලවලින් අනතුරුව දීර්ඝ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීය. එහිදී එජාපයේ බොහෝ දෙනකු මෙම මත විමසුමේ ප්‍රතිඵලය නිවැරැදි බවට වූ ස්ථාවරයේ සිට අදහස් දැක්වූ බවක් ආරංචිය. එහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම සිදුවීම වූයේ පසුගිය කාලය පුරාම සජබ ඡන්ද පදනම පහත වැටී ඇති බවටත්, ජවිපෙ සජබයටත් වඩා ඉහළින් සිටින බවටත් අදහස් පළකළ කිහිප දෙනකුම මෙවර එම ස්ථාවරය වෙනස් කරගනිමින් අදහස් දක්වා තිබීමය. පසුගිය කාලයේදී මෙම පිරිස් සජබය පහත වැටී ඇති බව කියද්දී, එය එසේ නොමැති බවත්, සජබය තවමත් ඉහළින් සිටින බවත් ප්‍රකාශ කොට තිබුණේ එජාප ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පමණි. ඔවුන් දෙදෙනාද පසුගියදා පැවැති මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි අතර, එහිදී තමන් දැරූ ස්ථාවරය නිවැරැදි බව මෙම මත විමසුමේ ප්‍රතිඵලවලින් පැහැදිලි වන බව ඔවුන් සඳහන් කොට ඇති බවක්ද ආරංචිය.
ගහපු ගේම පත්තු වෙයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාත්, ඇතැම් එජාප ප්‍රධානීනුත් පසුගිය කාලය පුරා සජබයටත් වඩා ඉහළින් ජවිපෙ සිටින බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියේ සැලසුම්සහගතව හිතාමතාමය. එහි යටි අරමුණ වී තිබුණේ ජවිපෙ මැතිවරණයකදී ජයග්‍රහණය කරන බවට සජබය බියගන්වා ජවිපෙ පරාජය කිරීමට නම් සජබය හා එජාපය එකතු විය යුතු බවට මතයක් සජබය ඇතුළේ නිර්මාණය කිරීමය. මේ සඳහා ජනාධිපතිවරයා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලය පුරා පියවර ගෙන තිබිණි. සජබය ඇතුළේ සිටින තමන්ට හිතවත් ජ්‍යෙෂ්ඨ යැයි සැලකෙන මන්ත්‍රීවරුන් 10 දෙනකු පමණ මෙම මෙහෙයුම සඳහා යොදාගෙන සිටි ජනාධිපතිවරයා ඔවුන්ට මෙම මතය කවා සජබය ඇතුළට එවීමට පියවර ගෙන තිබිණි. මෙම මන්ත්‍රීවරුද රැට රැට හොරෙන් ජනාධිපතිවරයා හමුවී පසුව සජබය ඇතුළේ එම මතය තහවුරු කිරීමට විශාල උත්සාහයක් දැරූහ. ඊට උල්පන්දම් දෙමින් ජාතික තලයේ නායකයන් යැයි කියාගන්නා ස්වාධීන ලේබලය ගසාගෙන සිටින නායකයන්ද පසුගිය කාලයේදී ව්‍යාපාරික ප්‍රජාව මුණගැසී කියා සිටියේ ජවිපෙ බොහෝ ඉදිරියට පැමිණ ඇති බවත්, ඔවුන් යළි බලයට පැමිණියහොත් රට ලේ විලක් වීම නොවැළැක්විය හැකි බවත්ය. එම නිසා මේ ජාතික යැයි කියාගන්න ස්වාධීන මන්ත්‍රීවරයාගේ අරමුණ වී තිබුණේ කෙසේ හෝ සජබ සහාය ජනාධිපතිවරයාගේ එජාපයට ලබාදී එම පක්ෂ දෙක යළි එකතු කිරීමය. මෙම ජාතික යැයි කියාගන්නා ස්වාධීන නායකයන් පිළිබඳවද, සජබය ඇතුළේ සිට කොන්ත්‍රාත් සිදුකළ මන්ත්‍රීවරුන් දහ දෙනාගේ නම්ද ඉදිරි ජාතික මැතිවරණයක් ආසන්නයේ රටට හෙළිදරව් කිරීමට ‘රාජ්‍ය රහස්’ තීරය සූදානම්ය. අප එසේ කරන්නේ වෙන කිසිවක් නිසා නොව ජනතාවගේ ඡන්දයෙන් පැමිණ එම ජනතාවගේ ඡන්දයට පයින් ගසා ආණ්ඩුවේ ප්‍රධානීන් සමග හොර රහසේ ඩීල් දමන මන්ත්‍රීවරුන්ගේ සියලු වතගොත රටම දැනගත යුතු නිසාය. එමෙන්ම මහ මැතිවරණයකදී ඔවුන්ට යළි මනාප දී පාර්ලිමේන්තුවට එවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාව නැවත වතාවක් සිතා බැලිය යුතු නිසාය.
මීට අමතරව ආචාර්ය රන්නන් එලිය නමැත්තා සිදුකළ ව්‍යාජ මත විමසුම් වාර්තාවත් කරළියට පැමිණීයේද ජවිපෙ පෙන්වා සජබය සහ එජාපය එක් කරවීමේ කොන්ත්‍රාත්තුවක් ලෙසටය. මේ බව අපි පසුගිය අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ජවිපෙ ඉහළින් සිටින බව පෙන්වා සජබය බයකිරීමේ සැලසුමක් මේ පසුපස තිබූ බවත්, ආණ්ඩුවේ වුවමනාවට අනුව රන්නන් එලිය නමැත්තා විසින් මෙම මත විමසුම සිදුකොට ඇති බවත්ය. පසුගිය සතියේ අප විසින් අනාවරණ කළ සැබෑ මත විමසුමත් සමග රන්නන් එලිය කළේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව මේ වන ඔප්පු වී අවසානය.
සජබය තීන්දුවක් ගනී!
කෙසේ වෙතත් පසුගිය සතියේ අප කළ මෙම අනාවරණයෙන් පසු සමගි ජන බලවේගය ඇතුළේද සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. මෙහිදී යම් සජබ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ප්‍රතිඵල සමග කැලඹීමකට පත්ව තිබූ අතර, ඔවුන් මෙම සාකච්ඡාවේදී සජබ ප්‍රධානීන්ගෙන් එම මත විමසුමේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ තොරතුරු විමසීමට පියවර ගෙන තිබිණි. එහිදී මත විමසුම සත්‍ය නම් එහි ප්‍රතිඵල නිල වශයෙන් රටට නිකුත් නොකරන්නේ මන්ද යනුවෙන්ද මෙම මන්ත්‍රීවරුන් සජබ ප්‍රධානීන්ගෙන් විමසා තිබිණි. එහිදී සජබ ප්‍රධානීන් පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර මට්ටමේ නීතිරීතිවලට අනුව මතවිමසුම සිදුකිරීමට මූල්‍ය දායකත්වය සැපයූ පාර්ශ්වයන්ගෙන් අනුමැතිය ලැබෙනතුරු එවැනි මත විමසුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට අදාළ මත විමසුම සිදුකළ ආයතනයට නොහැකි යැයි කියාය.
මැයි උස්සයි!
මීට අමතරව මෙම මත විමසුමේ ප්‍රතිඵල අප විසින් නිකුත් කිරීමෙන් පසු ඒ ඒ පක්ෂ මානසිකව කඩාවැටීමකට වඩා මානසික වශයෙන් යම් උත්තේජනයක් ලබා ඇති බවක්ද දැකගන්නට තිබේ. ඒ, දැනට සිටින ප්‍රතිශතයෙන් තවත් ඉහළ යෑමට ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ ඒ ඒ පක්ෂ ඇතුළේ සාකච්ඡා වීම නිසාය. ඒ අනුව, සියලු පක්ෂ සිය ඡන්ද ප්‍රතිශතය ඉහළ දමාගැනීම සඳහා මේ වන විට අවසන් ඉලක්කය වශයෙන් තෝරාගෙන ඇත්තේ එළඹෙන මැයි දින රැස්වීම්ය. විශේෂයෙන්ම සමගි ජන බලවේගය පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූයේ මැයි පෙළපාළිය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. එහිදී සජිත් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් එම සාකච්ඡාවලදී අවධාරණය කොට තිබුණේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට නියමිත අවසන් මැයි රැලිය මෙය බැවින් ඉතිහාසයේ කිසිදු පක්ෂයක් නොකළ ආකාරයට ලක්ෂයකට අධික ජන ගඟක් කොළඹට කැඳවා මැයි රැලිය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විය යුතු යැයි කියාය. මත විමසුමේ ප්‍රතිඵලය හේතුවෙන් මේ වන විට ගම් මට්ටමේ සිටින සජබ පාක්ෂිකයන් විශාල පිබිදීමකට පත්ව සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරුන් එම නිසා මෙවර මැයි රැලියේදී ඉතා පහසුවෙන් දැවැන්ත ජනකායක් කොළඹට ගෙන ඒමට හැකිවනු ඇති බව සජිත් ඇතුළු ප්‍රධානීන්ට පෙන්වා දී තිබිණි.
කෙසේ වෙතත් මැයි දිනය දක්වා දිස්ත්‍රික් මට්ටමෙන් සහ ආසන මට්ටමෙන් දැවැන්ත රැස්වීම් පැවැත්වීමට ගෙන තිබූ තීන්දුවද සජබය විසින් වෙනසකට ලක්කර නොමැත. ඒ අනුව සෙනසුරාදා දිනයේදී ගාල්ලේ තවත් විශාල රැස්වීමක් පැවැත්වීමටද සජබය සියලු කටයුතු සූදානම් කොට අවසානය.
සජබයට අමතරව පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂද මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින්නේ මැයි දිනයේදී යළිත් වතාවක් විශාල ජනාවක් ගෙන්වා දැනට 9%ට වැටී ඇති පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ නංවා ගැනීම සඳහා විශාල ගේමක් ගැසීමටය. ජවිපෙද සිටින්නේ සුපුරුදු පරිදි මැයි දිනයේදී කොළඹට මහා ජනකායක් ගෙන්වා විශාල ෂෝ එකක් දැමීමටය.
අනුර ප්‍රහාරය අරඹයි!
කෙසේ වෙතත් මෙම මත විමසුමේ ප්‍රතිඵලයෙන් ජවිපෙ තරමක් කලබලයට පත්ව සිටින ආකාරයක්ද පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ඒ, අදාළ ප්‍රතිඵල අප විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සති අන්තයේ පැවැති ජවිපෙ රැස්වීමකදී සජබය සහ සජිත් ඉලක්ක කොට ගෙන ජවිපෙ විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගන්නට ලැබීම නිසාය. එහිදී ඍජුවම සජිත් ඉලක්ක කරගනිමින් ‘උස නම් සිකියුරිටි – මිටි නම් කම්කරු’ යනුවෙන් කියමින්ද, සජිත්ගේ ටීෂර්ටය යටින් බඩ ප්‍රදේශයේ දැකගන්නට ලැබුණු සුරයක් පිළිබඳ සඳහන් කරමින් අනුර විසින් සජිත්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
එජාපය සජබය පස්සේ!
මේ ආකාරයට මත විමසුමේ ප්‍රතිඵල හේතුවෙන් එජාපය ඇතුළේ යම් කඩාවැටීමක් දැකගන්නට ලැබෙද්දී නැවත වතාවක් සමගි ජන බලවේගය සමග කිසියම් එකඟතාවක් ඇතිකර ගැනීමේ උත්සාහයක් එජාපය පැත්තෙන් දියත් විය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ එජාපයේ නියෝජ්‍ය නායකයකු වන රුවන් විජේවර්ධනය. ඒ අනුව රුවන් පසුගිය සතියේ සජබ ජ්‍යෙෂ්ඨයකුගෙන් හමුවීම සඳහා දිගින් දිගටම වේලාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ජ්‍යෙෂ්ඨයා අදාළ පණිවුඩය සජිත්ට දැනුම් දීමෙන් පසු සජිත් කියා සිටියේ පෞද්ගලික මට්ටමෙන් මුණගැසුණාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, දේශපාලනය සම්බන්ධයෙන් කතා කිරීමට සූදානම් වන්නේ නම් ප්‍රවේශමෙන් කතාබහ කරන ලෙසත්ය. සජිත්ගෙන් ලැබුණු එම උපදෙසට අනුව පසුව රුවන් සහ මෙම සජබ ජ්‍යෙෂ්ඨයා අතර හමුවක් පසුගිය සතියේදී පෞද්ගලික මට්ටමින් කොළඹදී පැවැත්විණී.
මෙම සාකච්ඡාවේදී පළමුව රුවන් සමගි ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින බවට පිළිගෙන අදහස් දක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව, එජාපයත් සජබයත් එක්වී මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයට තරග කළ යුතු බවට යෝජනාවක්ද රුවන් සජබ ජ්‍යෙෂ්ඨයාට ඉදිරිපත් කළේය. නමුත් මෙහිදී මෙම සජබ ජ්‍යෙෂ්ඨයා රුවන්ට ඉතා පැහැදිලි පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේය. ඒ, මේ වන විට ඒ සඳහා ඇති සියලු ඉඩකඩ ඇහිරී ගොස් ඇති බව කියමිනි.
සජබය දොර වහයි!
‘දැන් නම් ඒකට කිසිම ඉඩක් නැහැ. මොකද යූ.ඇන්.පී. එක පොහොට්ටුවත් එක්ක එකතු වෙලා පොහොට්ටුවෙන් ජනාධිපති වෙලා පොහොට්ටුවත් එක්ක ආණ්ඩු කරලා දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ. දැන් යූ.ඇන්.පී. එකටත් පොහොට්ටුවේ හංවඩුව වැදිලා ඉවරයි. ඒ හින්දා අපි යූ.ඇන්.පී. එකට එකතු වෙනවා කියන්නේ යූ.ඇන්.පී.යයි, පොහොට්ටුවයි, සජබයයි තුනම එක ගොඩකට වැටෙන එක. එතකොට සජබයත් ආණ්ඩුවේම කොටසක් වගේ පේනවා. එහෙම වුණොත් ඒකේ වාසිය යන්නේ ජවිපෙට. එහෙම වුණොත් ජවිපෙ අපි ඔක්කොටම ගහලා ඉස්සරහට එනවා. ඒ හින්දා ඒක කරන්න බෑ. ඉස්සරහට එන්නේ මොන ඡන්දෙද, ඒකට අපි ඉල්ලන්නේ වෙනම. යූ.ඇන්.පී. එකත් වෙනම ඉල්ලන්න. ඊට පස්සේ ආණ්ඩුවක් පිහිටුවද්දී අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා…’ යනුවෙන් මෙහිදී සජබ ජ්‍යෙෂ්ඨයා රුවන්ට දැනුම් දී ඇති බව ආරංචිය.
ඒ හරහා අප දිගින් දිගටම මෙම තීරයේ සඳහන් කළ තවත් කරුණක් තහවුරු වී තිබේ. ඒ, මොනයම් හෝ තත්ත්වයක් යටතේ වුවද සජබය කිසිසේත්ම එජාපය සමග එකතු නොවන බවය. එමෙන්ම එජාපයේ යම් යම් පිරිස් ජවිපෙ ඉහළින් සිටින බවට තැන් තැන්වල කියමින් ගියද මේ වන විට ඔවුන්ද තවදුරටත් ජවිපෙ ඉහළින් නොමැති බව පිළිගෙන තිබීමය. එසේත් නොමැති නම් සජබය ඉදිරියෙන් සිටින බවත්, සජබය හා ජවිපෙ අතර අතිවිශාල පරතරයක් ඇති බව තේරුම් ගෙන තිබෙන බවත්ය.
බැසිල්ගේ ගේම!
මේ පසුබිම යටතේ පොහොට්ටුව ඉදිරියේදී කරන්නට යන්නේ කුමක්ද? පොහොට්ටුවේ සැලසුම පිළිබඳවද ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබේ. මෙම මත විමසුමේ ප්‍රතිඵල අප විසින් නිකුත් කිරීමට ප්‍රථම බැසිල් විසින්ද ඇමෙරිකාවේ සිටියදී මත විමසුමක් සිදුකරනු ලැබීය. ඒ මත විමසුමේ ප්‍රතිඵලවලට අනුවද ඉදිරියෙන්ම සිටියේ සමගි ජන බලවේගයය. බැසිල් තමන්ට කතා කළ බොහෝ පිරිස් වෙතද ඒ බව දැනුම් දෙමින් කියා සිටියේ සජබය මේ වන විට මැතිවරණයේ ඉහළින්ම සිටින බවත්, පොහොට්ටුව ඉහළට ගැනීම සඳහා විශාල වැඩකොටසක් සිදුකළ යුතුව ඇති බවත්ය. ඒ අනුව අප විසින් සිදුකළ මත විමසුමේ අනාවරණයෙන් පසු පොහොට්ටුවත්, බැසිලුත් වටහාගෙන ඇති කාරණයක් වන්නේ ජනාධිපතිවරයාටත්, එජාපයටත් මේ වන විට කිසිදු ජන පදනමක් නැතැයි කියාය. ඒ නිසා බැසිල් සූදානම් වන්නේ දැනට 3 වැනි තැන සිටින පොහොට්ටුව කෙසේ හෝ දෙවැනි තැන දක්වා රැගෙන යෑමටය.
ඒ අනුව, බැසිල් පසුගිය සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන තෙදිනම බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට වී අතිශය රහසිගත මෙහෙයුමක් දියත් කළේය. මේ වන විට පොහොට්ටුව දෙකට තුනට කැඩී කොටසක් ජනාධිපතිවරයා ළඟත්, කොටසක් සජිත් ළඟත්, තවත් කොටසක් ස්වාධීනව විපක්ෂයේ අසුන්ගෙන සිටින බවත් බැසිල් නොදන්නවා නොවේ. ඒ අනුව බැසිල්ගේ සැලසුම වී ඇත්තේ මෙවැනි අවාසිසහගත පසුබිමක් යටතේ ජනාධිපතිරණයකට ගියහොත් නියත වශයෙන්ම පරාජයට පත්වීමට සිදුවන නිසා ජනාධිපතිවරණයට පෙර කෙසේ හෝ මහ ඡන්දයකට ගොස් පක්ෂයේත්, රාජපක්ෂවරුන්ගේත් නම්බුව බේරාගත හැකි ජයග්‍රහණයක් ලබාගැනීමටය. ඒ අනුව කෙසේ හෝ ආණ්ඩුව මහ ඡන්දයකට තල්ලු කරගැනීම බැසිල්ගේ සැලසුම වී තිබිණි.
විපක්ෂය බෑ කියයි!
එම සැලසුමට අනුව පසුගිය සතියේ බැසිල්ගේ පැත්තෙන් සමගි ජන බලවේගයටත්, දෙමළ ජාතික සන්ධානයටත් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවකට අස්සන් තැබීමට කැමැතිදැයි කියාය. මෙම පණිවුඩය සජිත්ට ලැබුණු වහාම සජිත් කියා සිටියේ කිසිසේත්ම සජබය පොහොට්ටුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් නැතැයි කියාය. සජබය සූදානමින් සිටින්නේ ජනාධිපතිවරණයට මුහුණ දීමට බව තමන්ට පණිවුඩය රැගෙන පැමිණි පොහොට්ටු පාර්ශ්වයට කියා සිටි සජිත්, පොහොට්ටුවට ආණ්ඩුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් පළමුව කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කරන ලෙසද පෙරළා දැනුම් දී සිටියේය. ජවිපෙද මහ මැතිවරණයට යෑමට විශාල අකැමැත්තක් ඇති නිසා ඔවුන්ද පොහොට්ටුවට පෙරළා දැනුම් දී තිබුණේ එවැනි යෝජනාවකට අස්සන් කිරීමට ඔවුන් සූදානම් නැතැයි කියාය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බැසිල්ගේ යෝජනාව යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඔක්කොටම කතා කරයි!
ඒ අනුව, බැසිල් ඊළඟ මෙහෙයුම දියත් කරමින් ජනාධිපතිවරයාට අතිශය ලෙස සමීපව සිටින පොහොට්ටුවේ දෙතුන් දෙනකු හැරුණු විට අනෙක් සියලු මැති ඇමැතිවරුන්ට පෞද්ගලිකවම දුරකතන ඇමතුම් ලබාදීමට පියවර ගත්තේය. එම ඇමතුම් හරහා බැසිල් ඔවුන්ට පෙන්වා දුන්නේ නියත වශයෙන්ම මේ වසර අවසානය වන විට මහ ඡන්දයකට මුහුණ දීමට සිදුවන බවකි.
‘ඔක්තෝබර් වෙද්දී ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඒක කල්දාන්න කිසිම විදියකින් බැහැ. ඒ ජනාධිපතිවරණයෙන් කවුරු ජනාධිපති වුණත් අනිවාර්යයෙන්ම සති දෙක තුනක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එහෙම ඡන්දෙකට ගියොත් පොහොට්ටුවේ ගොඩ දෙනෙක්ට ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නේ නෑ. ඊට වඩා හොඳයි ජනාධිපතිවරණයට කලින් කොහොම හරි අපි මහ ඡන්දෙකට යන එක. එහෙම ගියොත් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටුවේ ගොඩ දෙනකුට ආයෙත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මුලින්ම මහ ඡන්දෙකට යමු. දැන්ම දිස්ත්රික්කෙට ගිහින් සංවිධාන කටයුතු පටන් ගන්න.’ යනුවෙන් කියමින් බැසිල් ඒ සියලු දෙනාටම ව්‍යංගයෙන් කියා සිටියේ ජනාධිපතිවරයාට සහ එජාපයට කිසිදු ජන පදනමක් රට ඇතුළේ නැතැයි කියාය.
මේ ආකාරයට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව කතා කළ බැසිල් සති අන්තයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මුණගැසීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව සඳුදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කලකට පසු පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන් එම රැස්වීමට සහභාගි වී සිටීමය. එහිදීද බැසිල් පිරිසට පෙන්වා දුන්නේ මේ අවස්ථාවේ පක්ෂයට වාසිසහගත වන්නේ මුලින්ම මහ මැතිවරණයකට යෑම යැයි කියාය.
කතානායක ගොඩද?
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පසුගිය සතියේදී පරාජයට පත් කළේ ඡන්ද 117ක් ලබාගනිමිනි. මේ ආකාරයට ඡන්ද 117ක් ගෙන කතානායකවරයා ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව කටයුතු කළද ඒ සම්බන්ධයෙන් පැවැති විවාදයේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් විපක්ෂය පැත්තෙන් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.
සුසිල්ටම කැරකෙයි!
මේ සම්බන්ධයෙන් පළමුව පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය විවාදය සඳහා දින 3ක් ඉල්ලා සිටියද ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ ඊට දින 2ක් පමණක් ලබාදිය හැකි යැයි කියාය. ඒ අනුව අවසානයේදී දින 2ක විවාදයකට එකඟ වීමට විපක්ෂයට සිදුවිය. නමුත් විවාදය ආරම්භ වීමට දිනයක් දෙකක් තබා ආණ්ඩුවට දැකගත හැකි කරුණක් වූයේ මුළු විපක්ෂයම එක මිටට රොක්ව කතානායකවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීන්දු කොට ඇති නමුත් ඒ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු 15 දෙනකු පමණ විදෙස් සංචාරවල නිරත වී ඇති බවකි. ඒ අනුව, විශ්වාසභංග ඡන්ද විමසීමේදී ආණ්ඩුවට හිමිවන්නේ 100කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පමණක් බවත්, එසේ වුවහොත් එය ආණ්ඩුවේ කඩාවැටීමක් බවට රටට පෙනී යාම වැළැක්විය නොහැකි නිසාත් වහාම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග දැනුම් දුන්නේ විදෙස්ගතව සිටින සියලු මැති ඇමැතිවරුන් හැකි ඉක්මනින් යළි මෙරටට කැඳවන ලෙසටය. ඒ අනුව ප්රසන්නද විදෙස්ගත මැති ඇමැතිවරුන් සම්බන්ධ කරගැනීමට විශාල පරිශ්‍රමයක් දැරුවද කිසිදු මැතිඇමැතිවරයෙක් ප්‍රසන්නගේ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ආකාරයක් දක්නට ලැබුණේ නැත. ප්‍රසන්න මේ බව ජනාධිපතිවරයාට දැනුම් දීමත් සමග කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සුසිල්ට දැනුම් දී සිටියේ මෙම ඇමැතිවරුන් ලංකාවට ගෙන්වා ගැනීමට අපහසු නිසා තවත් දිනයක් විශ්වාසභංග විවාදයේදී විපක්ෂයට ලබාදී ඊට අවශ්‍ය කාලය ගන්නැයි කියාය. අවසානයේදී විවාදයට දින 3ක් දිය නොහැකි බවට මුලින්ම විපක්ෂයට කී සුසිල්ටම අවසානයේදී විවාදයට දින 3ක් ලබාදිය හැකි බව සඳහන් කරන්න සිදුවීම විශේෂ සිදුවීමක් විය.
රනිල් වැඩේ බාරගනී!
මේ අතර, විදෙස්ගත මැති ඇමැතිවරුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ රාජකාරිය තමන් වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව ජනාධිපතිවරයා කළේ විදේශ අමාත්‍යාංශය හරහා මැති ඇමැතිවරුන් රැඳී සිටින අදාළ රටවල තානාපති කාර්යාලවලට පණිවුඩ යවා විශ්වාසභංගයේ ඡන්දය පැවැත්වෙන දිනට ප්‍රථම ලංකාවට පැමිණෙන ලෙසට ඔවුන් වෙත පණීවුඩ තැබීමය. මේ ආකාරයට විදේශ අමාත්‍යාංශය ලවා විදෙස්ගතව සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගැනීම සිදුවන්නේ ඉතා කලාතුරකිනි. නමුත් කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවට ඉතා තීරණාත්මක එකක් නිසා ජනාධිපතිවරයා මැදිහත් වී මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර, විශ්වාසභංග විවාද යේ ඡන්දය විමසන දින පෙරවරුව වන විට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 120ක් පමණ සභාගැබේ රැඳී සිටි ආකාරයක් දැකගත හැකි විය.
ලියුම් කරළියට!
කෙසේ වෙතත් මෙම විශ්වාසභංග විවාදයේදී විශේෂ ලිපි 2ක් පළමු වතාවට ජනතාවට දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ පොලිස්පතිවරයා පත්කිරීමේදී තමන්ගේ ඡන්දය භාවිත කළා සේ දැනුම් දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියය. අනෙක් ලිපිය වූයේ කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ සිදුවූ සියලු සිදුවීම් ඇතුළත් කරමින් ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා විසින් තබා තිබූ ‘මිනිට්ස්’ ඇතුළත් සටහනය. එහි පැහැදිලිවම පොලිස්පතිවරයා තේරීමේදී ඊට පක්ෂව ඡන්ද 4ක් ලැබී තිබුණු බවත්, විරුද්ධව ඡන්ද 2ක් ලැබී තිබුණු බවත්, තවත් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් සටහන්ව තිබීම විශේෂ සිදුවීමක් විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර ආණ්ඩුව සමග පැවැති සාකච්ඡාවෙන් පසු ඔවුන් මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය නිදහස් කිරීමට අදාළ කාර්යමණ්ඩල එකඟතාවට පැමිණිය හැකි බව සඳහන් කර තිබිණ. කෙසේ වෙතත් මෙම සංචාරයේදී වෙනදා මෙන්ම විපක්ෂයේ කණ්ඩායම් සමගද සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පියවර ගත්හ.
ජවිපෙ මේ පාර ෂැංග්‍රිලාවේ!
පසුගිය වතාවේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණෙද්දී ජවිපෙ සිටියේ රට ඇතුළේ විශාල ජනප්‍රියත්වයක් ලබාගෙනය. මේ නිසාම මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජවිපෙ නියෝජිතයන් හමුවීම සඳහා පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලය වෙතටම යෑමට පියවර ගත්හ. නමුත් මෙවර සංචාරයේදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එසේ කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ තමන් රැඳී සිටි ෂැංග්‍රිලා හෝටලය වෙත පැමිණෙන ලෙස ජවිපෙ නියෝජිතයන්ට ආරාධනා කිරීමය. ඒ අනුව මෙවර ජවිපෙ නියොජිතයන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණැගැසුණේ ෂැංග්‍රිලා හෝටලය වෙත ගොස්ය. අප පෙර අනාවරණය කළ ජාත්‍යන්තර මට්ටමේ මත විමසුම් ආයතනය මගින් සිදුකළ මත විමසුමට අනුව ජවිපෙට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය පිළිබඳ දැනුවත්ව ඔවුන් මෙසේ කළාද යන්න කියන්න දන්නේ නැත.
සජබය හමුවෙන්නම යයි!
කෙසේ වෙතත් මූල්‍ය අරමුදල මෙවර වැඩි අවධානයක් යොමුකර තිබුණේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීමටය. ඒ අනුව ඔවුන් සජබ ප්‍රධානීන්ට අඟහරුවාදා දිනයේදී හමුවීම සඳහා වේලාව වෙන්කර ඒ පිළිබඳ දැනුම් දීමේදී සජිත් ඔවුන්ට දැනුම් දී තිබුණේ එදින පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවේ විවාදය ආරම්භ කරන බැවින් තමන් ඇතුළු සජබ ප්‍රධානීන් සියල්ලන්ම පාර්ලිමේන්තුවේ සිටින බවත්, එම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී සිදුකළ හැකි බවත්ය. ඒ අනුව මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කළේ සජබ ප්‍රධානීන් හමුවීම සඳහා පාර්ලිමේන්තුවට යෑමටය.
කවුරුත් නොකරන වැඩක් කරයි!
කෙසේ වෙතත් මෙම හමුවේදී කිසිදු නායකයකු නොකරන වැඩක් සජිත් සිදුකළේය. ඒ, සජබය සමග පැවැති සාකච්ඡාව අතරතුරදී තවත් විශේෂ පිරිසකට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීමය. ඒ විශේෂ පිරිස නම් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය. පසුගිය කාලය පුරාම එම ව්‍යවසායකයන් ප්‍රබල චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කොට ඇති ඇතැම් කොන්දේසි හේතුකොටගෙන මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බරපතළ අවදානමකට ලක්ව ඇති බවත්, ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඉතා විශාල ව්‍යාපාර ප්‍රමාණයක් වැසීගොස් ඇති බවත්, ලක්ෂ ගණනකට රැකියා අහිමි වී ඇති බවත්ය. විපක්ෂ නායකවරයාද අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් අදහස් දක්වා තිබීම නිසා එම ව්‍යවසායකයන් සජිත් හමුවී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ඔහුගෙන්ද ඉල්ලීමක් කොට තිබිණි. ඒ අනුව සජිත් එම ඉල්ලීම මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ද ඊට එකඟතාව පළකළ ආකාරයක් දැකගත හැකි විය. සාමාන්‍යයෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඉහළ ආයතනයක් විසින් කිසිදු අවස්ථාවක සිදු නොකරන ක්‍රියාවකි. නමුත් සජිත්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් එම ව්‍යවසායකයන්ටද සාකච්ඡාවට වාඩිවීමට අවස්ථාව සලසා දුන් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය.
ආර්ථික ප්‍රතිපත්තිය මෙන්න!
කෙසේ වෙතත් සජබය හා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවේදී ඉරාන් වික්‍රමරත්න ජාතික මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ විස්තරයක් පිරිස හමුවේ ඉදිරිපත් කළේය. සජිත්ද, හර්ෂද, කබීර්ද මෙහිදී ඉදිරි සජබ රජයක් යටතේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පැහැදිලි විස්තරයක් ඔවුන්ට ඉදිරිපත් කළහ. එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විමසා සිටියේ ආණ්ඩුවද යම් තරමකින් ආර්ථිකය ගොඩගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දක්වන අදහස කුමක්ද යන්නත්ය. මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට සජබය විරුද්ධ නොමැති බව කියා සිටි සජිත් ඇතුළු පිරිස මෙම වැඩපිළිවෙළේ යම් යම් තැන් වෙනස් විය යුතු බවද පිරිසට පෙන්වා දුන්හ.
සූජීව සාම්පල් ඉල්ලයි!
එහිදී සාකච්ඡාවට එක්ව සිටි සුජීව සේනසිංහද මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගෙන් විශේෂ ප්‍රශ්නයක් විමසීය. ඒ, මෑත කාලයේදී මූල්‍ය අරමුදලේ වැඩසටහනට එක්ව ගොඩ ගිය රටවල් මොනවාදැයි කියාය. එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කියා සිටියේ උතුරු අයර්ලන්තය ඊට හොඳම නිදසුනක් යැයි කියාය. ඒ අනුව සුජීව උතුරු අයර්ලන්තය තුළ ක්‍රියාත්මක මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩපිළිවෙළේ තොරතුරු ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය. එම ඉල්ලීම සතුටින් භාරගත් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සුජීවට කියා සිටියේ එම තොරතුරු වහාම සජබය වෙත ලබාදීමට කටයුතු කරන බවකි.