රනිල් හෙලිකොප්ටරයක් එවන්නම් කිව්වත් මහින්ද බෑ කියලා!
සන්ධානය කඩන්න හදන සජබ ඩීල්කාරයෝ!
ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගත්ත විපක්ෂ මන්ත්‍රීවරු කව්ද?
විජයදාස-රනිල් මුහුණට මුහුණ හමුවක්!
චීනය බියගමට
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ තොරතුරක් හෙළිදරව් කරමින් අප කියා සිටියේ චීන රජයේ ඉහළ නිලයක් දරන සුන් හයියෑන් මහත්මිය විශේෂ සංචාරයක් සඳහා 21 වැනි දින ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි යැයි කියාය. අප අනාවරණ කළ පරිදිම ලංකාවට පැමණි චීන අමාත්‍යවරිය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තාය. කෙසේවෙතත් චීන අමාත්‍යවරියගේ මෙම ගමන පසුපස විශේෂ කරුණු කිහිපයක්ම තිබේ. හයියෑන් මහත්මිය ලංකාවට පැමිණියේ නිකන්ම ආවාට ගියාට නොව, ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් කොළඹින් බීජිං නුවරට යැවුණු වාර්තා රැසක් පරිශීලනය කිරීමෙන් අනතුරුවය. මෙම වාර්තාවලින් බීජිං නුවරට දැනුම්දී තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන්ය. දැනට පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ කවුද, එහි අපේක්ෂකයන් ගනු ඇතැයි උපකල්පය කළ හැකි ප්‍රතිශතයන් මොනවාද, ආණ්ඩුවේ ජනප්‍රියත්වය පවතින්නේ කුමන තැනකද ආදී වශයෙන් වාර්තා රැසක් මෙහිදී හයියෑන් මහත්මිය ලංකාවට පැමිණීමට පෙරම ඇගේ අතට පත්ව තිබිණි. එම වාර්තාවල දැක්වුණේ සජබයට සියයට 39කුත්, ජවිපෙට සියයට 20කුත්, පොහොට්ටුවට සියයට 9කුත්, එජාපයට සියයට 5කුත් වශයෙන් ඡන්ද ලැබීමේ ප්‍රවණතාවයක් රට ඇතුළේ ඇතැයි කියාය.Sri Lanka Latest News
කෙසේ වෙතත් හයියෑන්ගේ ලංකා ගමනේදී කිසිවකුත් නොදන්නා අතිශය රහසිගත සිදුවීමක්ද විය. එය සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් වෙනත් රටකට ගිය විට සිදු නොකරන්නකි. මෙහිදී හයියෑන් මෙරට චීන තානාපතිවරයාට දැනුම්දී තිබුණේ තමන් ලංකාවට පැමිණි පසු ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන්ටම ලංකාවේ ඡන්දදායකයන් හමුවිය යුතු බවත්, ඒ සඳහා සුදුසු ඡන්ද කොට්ඨාසයක් තෝරාගෙන රහසිගතව තබාගන්නා ලෙසටත්ය. ඒ අනුව මෙරට චීන තානාපතිවරයා හයියෑන් මහත්මියට යෑම සඳහා තෝරාගෙන තිබුණේ ගම්පහ බියගම ආසනයය. එමෙන්ම හයියෑන් මහත්මිය ලංකාවට පැමිණි වහා ඇගේ ගමනේ පළමු සංචාරය ලෙස ඉතා රහසිගතව සිදුකෙරුණේද මෙම බියගම සංචාරයය. සැලසුම් කළ ආකාරයටම ඇය ජනතාව සමග කතාබස් කරමින් කලින් සකස් කරගත් ප්රශ්නාවලියකට පිළිතුරු ලබාගනිමින් කොළඹින් බීජිං නුවරට ලැබී තිබූ දේශපාලන වාර්තා සත්‍යද යන්න තහවුරු කරගැනීමට කටයුතු කොට තිබිණි. එහිදී අදාළ වාර්තා 100%ක්ම නිවැරැදි බව තහවුරු කරගත් හයියෑන් මහත්මිය තම සංචාරයේ ඉදිරි හමුවීම් පිළිබඳ යම් යම් වෙනස්කම් කිහිපයක්ද ඉන් පසුව සිදුකිරීමට පියවර ගත්තාය.
අනුර හොරෙන්ම චීනයේ
එම ප්‍රතිඵලවලට අනුව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය සමග පවත්වන සාකච්ඡාවේ යම් වෙනසක් කිරීමට ඇය කටයුතු කළාය. සාමාන්‍යයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ හමුවද්දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් පමණක් හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය සම්ප්රදාය වුවද, සජබය සමග සාකච්ඡාවේදී එය වෙනස් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට හයියෑන් මහත්මිය තීරණය කළාය. ඒ අනුව චීන තානාපතිවරයාට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට එම අවස්ථාව සූදානම් කිරීමට පියවර ගෙන තිබිණි.
කාලසටහනට අනුව හයියෑන් මහත්මිය පළමුව මුණගැසුණේ ජවිපෙ නියෝජිත පිරිසය. මෙහිදී කිසිවකුත් නොදත් තවත් තොරතුරක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට අප සූදානම්ය. ඒ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතා රහසිගතව සිදුකළ චීන සංචාරයක් පිළිබඳවය. පසුගිය දෙසැම්බරයේ සිදුකළ මෙම චීන සංචාරය කෙතරම් රහසිගත ආකාරයට අනුරත්, චීනයත් තබාගත්තාද කියනවා නම් ඒ පිළිබඳ කිසිදු වචනයක් කිසිදු අවස්ථාවක දෙපාර්ශ්වයෙන් එළියට ආවේ නැත. අඩුම තරමින් ඒ සම්බන්ධ ඡායාරූපයක් හෝ කිසිදු මාධ්‍යවල පළවූයේ නැත.
මෙම අතිශය රහසිගත චීන සංචාරයේදී අනුර මුණගැසුණේ මේ කියන චීන උප අමාත්‍යවරිය වන සුන් හයියෑන් මහත්මියය. එම නිසා අනුර සහ හයියෑන් අතර කිසියම් දැනහැඳුණුම්කමක්ද තිබිණි. ඒ අනුව පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම හමුවට දෙපාර්ශ්වයේ ඉහළ නියෝජිතයන්ද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
පොහොට්ටුව පිපිලා
ඉන් අනතුරුව හයියෑන් මහත්මිය ඇතුළු කණ්ඩායම මුණගැසුණේ පොහොට්ටුවේ නියෝජිතයන්ය. එම පිරිසට බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ. හමුව ආරම්භයේදීම සුන් හයියෑන් මහත්මිය පොහොට්ටුවේ යළි පිබිදීම පිළිබඳව තරමක් විමතියෙන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඇය එහිදී කියා සිටියේ අරගලයෙන් අනතුරුව බින්දුවටම වැටුණු පොහොට්ටුව ඉතා කෙටි කාලයක් ඇතුළත නැවත ජනතාව අතරට පැමිණ ඇතැයි කියාය. ඊට පිළිතුරු දුන් බැසිල් කියා සිටියේ පක්ෂය සතුව ඇති බිම් මට්ටමේ ජාලය ඒ සඳහා විශාල දායකත්වයක් සැපයූවා යැයි කියාය.
සජිත්ව පුදුම කරයි
කෙසේ වෙතත් තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ හයියෑන් මහත්මිය සහ සජබ නියෝජිතයන් අතරය. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම හමුවේදී දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර පැයක පමණ කාලයක් අදහස් හුවමාරු විය. එම සාකච්ඡාවෙන් පසුව කලින් සැලසුම් කළ පරිදිම වෙනත් කිසිදු සාමාජිකයකු නොමැතිව සජිත් සහ හයියෑන් මහත්මිය අතර පමණක් වූ මුහුණට මුහුණ සාකච්ඡාව ආරම්භ විය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම හයියෑන් මහත්මිය සජිත්ට කියා සිටියේ, ‘ඔබ පුදුම කරවන විශේෂ යමක් මගේ ළඟ තියෙනවා’ යැයි කියාය. සජිත්ද පුදුමයට පත්ව ඒ කුමක්ද කියා විමසද්දී හයියෑන් මහත්මිය තමන් පෞද්ගලිකවම ගොස් බියගම ප්‍රදේශයේ සිදුකළ මත විමසුම පිළිබඳ තොරතුරු සජිත්ට දැනුම් දී සිටියාය. ඉන් අනතුරුව දෙදෙනා අතර ඉදිරි රජයක් යටතේ දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳවද, චීනය ලංකාවට ආධාර කරන ආකාරය පිළිබඳවද, ලංකාවේ චීන විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳවද, දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක ගැටලුව වැනි ඉතා සංවේදී කරුණු රැසක් පිළිබඳවද අදහස් හුවමාරු විය. මෙම සාකච්ඡාවේදී දෙදෙනා අතර මුහුණට මුහුණ හමුවට පැය භාගයක් පමණක් වෙන්කොට තිබුණත් සාකච්ඡාව ඉතා තීරණාත්මක එකක් වූ නිසා විනාඩි 45ක් දක්වා එම සාකච්ඡාව ඇදී ගිය ආකාරයක් දැකගත හැකි විය.
රයිසිගේ ලංකා ගමන
පසුගිය සතියේ මෙරට ප්‍රධානම මාතෘකාවක් බවට පත්වූයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා දිවයිනට පැමිණ උමාඔය ව්‍යාපෘතිය විවෘත කර ලංකාවෙන් පිටවූවාටත් වඩා, ඒ මහතාගේ කොළඹ ගමන හේතුකොට ගෙන ආරක්ෂක හේතු මත පාරවල් වැසීම නිසා දහස් ගණනක ජනතාවකට මහ පාරේ පැය ගණනක් සිරවී සිටින්නට සිදුවීමය. මේ කරුණු මාධ්‍යවලින් දැකගන්නට ලැබුණත් මාධ්‍ය නොදන්නා තවත් විශාල කතාවක්ද ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරය පසුපස තිබිණි. ඇත්තම කියනවා නම් ඉරාන ජනාධිපතිවරයාගේ මේ ලංකා සංචාරයට ආණ්ඩුව මුහුණ දුන්නේ යුද්ධයක් කරනවා හා සමාන පසුබිමක සිටය.
ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරය සඳහා මූලික පදනම වැටුණේ ඉකුත් වසරේ ජනාධිපතිවරයා ගිය ඇමෙරිකානු සංචාරය අතරතුරදීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ගිය ගමනේදී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබිණි. පසුව ඉරානය කළ දැනුම්දීමකින් කියැවුණේ උමාඔය විවෘත කිරීමේ අවස්ථාවට ඉරාන ජනාධිපතිවරයා සහභාගි වීමට සූදානමින් පසුවනවා යැයි කියාය. ඒ වන විට ලෝක දේශපාලන තුළ ඉරානය සම්බන්ධයෙන් වැඩි අවධානයක් නොතිබුණු නිසා කිසිදු ගැටලුවක් මතුව තිබුණේ නැත. නමුත් පසුගිය මාසය වන විට ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට ඉරානයද පැටලී ඇමෙරිකාවද ඊට අත දැමීම නිසා ඉරාන ජනාධිපතිවරයා ලෝකයේම මාතෘකාවක් බවට පත්ව තිබිණි. එවැනි වටපිටාවකදී ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා ගමන අතරතුර ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බරපතළ ගැටලුවක් බව අලුතෙන් කිවයුතු නැත. ඒ අනුව, වඩාත්ම බරපතළ ගැටලුවකට මුහුණ දුන්නේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයය. මේ අවස්ථාවේදී ඉරාන ජනාධිපතිවරයාට ලංකාවේ සංචාරය නොකරන ලෙස කිව නොහැකි නිසා ඉරානය පැත්තෙන්ම සංචාරය අත්හිටුවනු ඇති බවක් ඔවුන් මුලින් සිතා සිටියේය. නමුත් ඉරානය පැත්තෙන් සංචාරය තහවුරු කිරීමත් සමග ඊළඟ ගැටලුව වූයේ ඉරාන ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම ඉරාන ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවකදී ලංකාව ඇතුළත ගුවන් ගමන් සිදු නොකරනු ඇති බවට ඉරානය පැත්තෙන් දැනුම් දීමක් කොට තිබූ නිසා ගොඩබිම් මාර්ගයෙන් ඉරාන ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් රැගෙන යෑම ඉතා භාරදූර කර්තව්‍යයක් වී තිබිණි. ලොකුම ගැටලුව වූයේ කටුනායකින් ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන උමාඔය දක්වා රැගෙන යෑමය. එවිට ගොඩබිම් මාර්ගයෙන් දීර්ඝ ගමනක් යෑමට සිදුවන නිසා ඉරාන ආරක්ෂක බලධාරීන් විමසා සිටියේ උමා ඔයට ආසන්නම ගුවන් තොටුපළ කුමක්දැයි කියාය. මත්තල ගුවන් තොටුපළ කරළියට පැමිණියේ ඉන් අනතුරුවය. ඒ අනුව ඉරාන ආරක්ෂක බලධාරීන් දැනුම් දුන්නේ ඉරාන ජනාධිපතිවරයා මත්තලින් ලංකාවට පැමිණ එතැන් සිට ගොඩබිම් මාර්ගයෙන් උමාඔය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වනු ඇති බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුවට කෙසේ හෝ ඉරාන ජනාධිපතිවරයා කොළඹට ගෙන්වා ගෙන ඔහුත් සමග සාකච්ඡා කොට ලොකු ෂෝ එකක් පෙන්වීමට අවශ්‍යව තිබිණ. ඉරාන ජනාධිපතිවරයා ඊශ්‍රායල් පලස්තීන ප්රශ්නය මුල්කරගෙන පලස්තීනයට සහාය දැක්වීම හේතුවෙන් මෙරට මුස්ලිම් ජනතාවගේද විශාල ප්‍රසාදයකට ලක්ව සිටීම ඊට හේතුවය. ආණ්ඩුව සහ මුස්ලිම් ප්‍රජාව අතර මේ වන විට යම් යම් ගැටලු මතුව තිබීම හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයා සමග කොළඹ හමුවක් සංවිධාන කිරීම හරහා මුස්ලිම් ජනතාවගේ සහයෝගය ආණ්ඩුව වෙත ලබාගැනීමට ආණ්ඩුවේ අපේක්ෂාව විය. මේ හේතුව නිසා මත්තල සිට යළිත් ඉරාන ජනාධිපතිවරයා කොළඹට රැගෙන ඒම සඳහාත්, කොළඹදී ජනාධිපතිවරයා සමග පැවැත්වෙන හමුව අවසන් කොට කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ඉරාන ජනාධිපතිවරයා රැගෙන යෑම සඳහාත් ඉතා දීර්ඝ වේලාවක් අධිවේගී මාර්ගය සහ අවශේෂ මාර්ග වසාදැමීමට මෙරට බලධාරීන්ට සිදුවිය. ඒ හේතුවෙන් සතියේ දවසක් වූ පසුගිය බදාදා දින දීර්ඝ කාලයක් ප්‍රධාන මාර්ගවල එක තැන සිරවී සිටින්නට මගී ජනතාවට සිදුවිය. එමෙන්ම මත්තල තිබූ ඉරාන ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය පසුව කටුනායකට රැගෙන ඒමටත් ඉරාන ආරක්ෂක බලධාරීන්ට සිදුවිය.
ඉරාන ජනාධිපතිවරයා ලංකාවේ සිටියදී තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවිය. ඉන් එකක් වූයේ ඉරානයත් සමග වෙළෙඳ ගිවිසුම්වලට අස්සන් තබන රටවලට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බවට ඇමෙරිකාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමය. මීට අමතරව ඇමෙරිකාව ප්‍රධාන වගකීමක් දරන ආසියා පැසිෆික් කමාන්ඩ් එක හදිසි යුද අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේ සිදුකිරීමට අවශ්‍ය බව දැනුම් දී සිටියේය. ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ලංකාවේ සිටියදීම ඇමෙරිකානු භටයන්ට ත්‍රිකුණාමලයේ යුද අභ්‍යාසයක් සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීමට ආණ්ඩුවට සිදුවිය.
මහින්දගේ නම නෑ
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් යමක් සඳහන් කළ යුතුව තිබේ. මෙම ඉරාන උමාඔය ව්‍යාපෘතිය සඳහා යෝජනාව ඉදිරිපත් කළේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එවක හිටපු ඉරාන ජනාධිපති අහමඩි නෙජාඩ්ගෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාගැනීමට පවා මහින්ද කටයුතු කොට තිබිණි. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ උමාඔය විවෘත කිරීමේ උත්සවයට සකස් කරනු ලැබ තිබූ ආරාධනා පත්‍රයේ මහින්දගේ නම හෝ ඡායාරූපය හෝ පළව නොතිබීමය. ඒ වෙනුවට එහි ඉරාන ජනාධිපති රයිසිගේත්, රනිල්ගේත්, දිනේෂ්ගේත්, පවිත‍්‍රාගේත්, කංචන විජේසේකරගේත්, ශෂීන්ද්‍ර රාජපක්ෂගේත් නම් සහ ඡායාරූප පමණක් ඇතුළත් කොට තිබිණි. මේ බව අප එම ආරාධනා පත්‍රය දුටු වහා www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට කටයුතු කළෙමු. ඒ සමගම එම පුවත පත්තු වී ගිය ආකාරයක් දැකගත හැකි වූ අතර, ජනාධිපතිවරයාද වහාම මහින්දට කතාකොට උමාඔය විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන ලෙසත්, අවශ්‍ය නම් තමන් ඒ සඳහා හෙලිකොප්ටර යානයක් ලබාදීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියේය. නමුත් මහින්ද ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, උමාඔය විවෘත කිරීමේ උත්සවයට පවා සහභාගී නොවී සිටීම විශේෂ සිදුවීමත් විය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා දින කොළඹ පැවැති දැවැන්ත ඉන්දීය ආයෝජනයක් වූ ITC RATNADIPA හෝටලය විවෘත කිරීම සඳහා යම් වාසිසහගත තත්ත්වයක් ගෙන දුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ, එම උත්සවයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමට වගකිවයුත්තන් කටයුතු කර තිබීම හරහාය. ITC RATNADIPA හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කළේ ගෝඨාභයගේ පාලන සමයේදීය. ඒ සඳහා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩකොටසක් කර තිබිණි. ඒ අනුව ගෝඨාභය මෙම උත්සවයට සහභාගි වී සිටි අතර, ජනාධිපතිවරයා සිය කතාවේදී බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ ස්තුතියක් සිදුකිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
විපක්ෂයේ ඩීල්කාරයෝ
මේ වනවිට ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් රට ඇතුළේ ඉහළ නගිමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. එසේ රට ඇතුළේ දේශපාලනය උණුසුම් වෙද්දී නැවත වතාවක් ඩීල් දේශපාලනයද ඊට සමගාමීව හිස ඔසවමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. විවිධ මන්ත්‍රීවරු විවිධ පක්ෂ සමග, විවිධ දේශපාලන නායකයන් සමග තිරය පිටුපස කරන සාකච්ඡා මේ දිනවල සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගයේද මේ ආකාරයට ඩීල් දමන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නැත්තේ නොවේ. අපි පසුගිය කාලය පුරාම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සමගි ජන බලවේගය ඇතුළේ සිටින ඔස්තාර්ලා යැයි කියන පිරිස්, ජ්‍යෙෂ්ඨයන් යැයි කියන පිරිස් ආණ්ඩුව සමග දැමූ ඩීල් පිළිබඳ වාර්තා කර සිටියෙමු. විවිධ කරුණු මුල්කරගෙන මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග ඩීල් දමන්නට පෙළඹී ඇති බවද අපි එහිදී හෙළිකර සිටියෙමු. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග ඩීල් දමා තිබුණේ සිය දූදරුවන් විදෙස් රටවල තානාපති කාර්යාලවලට රිංගවා ගැනීම සඳහාත්, තවත් මන්ත්‍රීවරුන් සිය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයන්ට බාර් ලයිසන් ලබාගැනීම සඳහා ආණ්ඩුව සමග ඩීල් දමා තිබුණු බවක් අප අනාවරණ කර සිටියෙමු. තවත් සමහරු කමිටුවල තාන්න මාන්න ලබාගැනීම සඳාහාත්, ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද ලබාගැනීම සඳහාත් ආණ්ඩුව සමග ඩීල්වල නිරත වී තිබිණි. තවත් සමහරු විපක්ෂය ඇතුළේ ගොඩනැගෙමින් පවතින දැවැන්ත සන්ධානය කඩාබිඳ දැමීම සඳහා ආණ්ඩුව සමග ඩීල් දමා තිබූ ආකාරයක්ද අපි සඳහන් කර සිටියෙමු. මේ ඩීල්කාර ඇතැම් දේශපාලනඥයන් ඡන්ද කාලවලදී කෝටි ප්‍රකෝටි ගණනින් විකිණෙන පුද්ගලයන් බවට පත්වන්නන් බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.
අප එම හෙළිදරව්ව සිදුකළේ අපට කාගෙන්වත් කිසියම් හෝ ලාභ ප්‍රයෝජනයක් ගැනීමට හෝ පක්ෂ ඇතුළේ අභ්‍යන්තර අර්බුදයක් ඇතිකිරීමේ අරමුණෙන් හෝ වෙනත් හේතුවක් නිසා හෝ නොව මේ රටේ අහිංසක ජනතාවගේ ඡන්ද අයිතියට මේ සියලු දෙනා ගරු කළ යුතු නිසාය. ජනතාව මේ දේශපාලනඥයන්ට ඡන්දය ලබාදී විපක්ෂයේ තැබුවේ විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට මිස ආණ්ඩුව සමග ඩීල් දැමීමට නොවේ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට මිස ආණ්ඩුවේ වරප්‍රසාද ලබාගැනීමට නොවේ. ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගන්නට නොවේ.
තරහ වුණත් කමක් නෑ
අප වරින් වර විපක්ෂයේ මෙම ඩීල් දේශපාලනය පිළිබඳ තොරතුරු හෙළිකිරීමෙන් පසු සජබෙ ඔස්තාර් කෙනකුද, වයඹ සහ දකුණ නියෝජනය කරන දේශපාලනඥයන් කිහිප දෙනකුද අපත් සමග හිත් අමනාපයෙන් සිටින බව අපට ආරංචිය. නමුත් අපට ඊට කිරීමට කිසිවක් නැත. අප රටට කියන්නේ මේ දේශපාලනයේ තියෙන තිත්ත ඇත්තය. මීට වසර දෙකකට ඉහතදී ජනතාව ලක්ෂ ගණනක් පාරට බැස එපා කියා පන්නා දැමූයේ මේ දූෂිත ඩීල් දේශපාලනයය. ඒ අනුව අප ඉදිරි තීරණාත්මක මැතිවරණයක් ආසන්නයේදී මේ ඩීල් දේශපාලනයේ සිටින පුද්ගලයන් කිහිප දෙනා ගැන නම් ගම් සහිතව රටට හෙළිදරව් කිරීමට සූදානම්ය. පවුල්වල අයට ආණ්ඩුවේ තනතුරු ගත් දේශපාලනඥයන්ගේ නම් හෙළිකිරීමට අප සූදානම්ය. හිතවතුන්ට බාර් ලයිසන් අරන් දුන් දේශපාලනඥයන් හෙළිකිරීමට අප සූදානම්ය. ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට විපක්ෂයේ සන්ධානය කැඩීම සඳහා යටිකූට්ටු වැඩ කළ දේශපාලනඥයන්ගේ නම් හෙළිකිරීමට අප සූදානම්ය.
ජී.එල්.ටත් ගැහුවා
සජබය ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා වැනි ආණ්ඩුවත් සමග සිටි ප්‍රබලයන් විපක්ෂයට ගෙන ඔවුන් සමග සන්ධානගත වීමට සූදානම් වෙද්දී මේ කියන ඩීල්කාර කණ්ඩායම් ජී.එල්.ලාටත් ගොඩහේවාලාටත් රාජපක්ෂවරුන් සමග සිටියා යැයි කියමින් පහර ගැසූහ. ජනාධිපතිවරයා කුරුණෑගලදී ජී.එල්.ට සට්ටැඹිරාළ කියමින් පහර ගසද්දී විපක්ෂයේ මේ ඩීල් කණ්ඩායමද ජී.එල්.ට පහර ගැසීමට කටයුතු කළහ. ජී.එල්. සහ ගොඩහේවා අධෛර්යමත් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළහ. මේ බව අප පසුගිය කාලයේදී ඊට අදාළ සිදුවීම්ද වාර්තා කරමින් ජනතාවට කියා සිටියේ ජනතාවට වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් මේ ඩීල්කාර දේශපාලනය පිළිබඳ රටට තොරතුරු අනාවරණ කොට එම ඩීල් දේශපාලනයට අවසන් තිත තැබිය යුතු නිසාය. ඒ අනුව මෙම ඩීල් දේශපාලනඥයන්ගෙන් යම් යම් පුද්ගලයන් අද ඊයේ පමණක් නොව අතීතයේ සිටම බියර් කොම්පැනි සමග, සිගරට් කොම්පැනි සමග දැමූ ඩීල්ද මේ වන විට අප වෙත ලැබී අවසානය. ඉතා තීරණාත්මක අවස්ථාවකදී ඒ සියල්ල නම්ගම් සහිතව ජනතාව හමුවේ තැබීමට අප සූදානම්ය.
මෙන්න අලුත්ම ඩීල් එක
එමෙන්ම මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පසුගියදා සිදුවූ තවත් අලුත්ම ඩීල් එකක් පිළිබඳ තොරතුරු රටට හෙළිකිරීමට සූදානම්ය. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් මූලිකත්වය ගෙන තිබුණේ ඩීල් දේශපාලනයේ විශාලම භූමිකාවක් නියෝජනය කරන කන්ද උඩරට සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි. කලක් මේ ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ දේශපාලනයේ සිට මේ වන විට දේශපාලනයට සමුදී තිරය පිටුපස සිට දේශපාලන ඩීල් දමමින් සිටින්නකු ලෙස ප්රකටය. පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම මේ දේශපාලකයා ඉතා රහසිගතව සජබ මන්ත්‍රීවරුන් සමග කතා කරමින් ඔවුන් ආණ්ඩුවට එක්කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියේය. එක් අවස්ථාවකදී මේ ඩීල් ව්‍යාපාරිකයා ප්‍රකාශ කොට තිබුණේ ඉකුත් අයවැයේදී සජබ මන්ත්‍රීවරුන් 40ක් පමණ ආණ්ඩුවට එක්වනවා යැයි කියාය. නමුත් ඔහුගේ එම මෙහෙයුම අසාර්ථක විය.
මීට සති කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකොට ඇති දැවැන්ත ගොඩනැගිල්ක පිහිටි නිවාස සංකීර්ණයක විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මේ ඩීල් ව්‍යාපාරිකයා කටයුතු කොට තිබිණි. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් 4 දෙනකුට පමණ ඊට ආරාධනා කර තිබූ අතර, අප කිසිසේත්ම නොසිතන නීති ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින පුද්ගලයකුටද එම සාකච්ඡාවට එන ලෙස මෙම ව්‍යාපාරිකයා ආරාධනා කර තිබිණි. මෙපමණ කල් නීති ක්ෂේත්රයේ ප්‍රවීණයකු ලෙස සැලකෙන එවැනි පුද්ගලයකුද ඊට සහභාගි වී සිටීමෙන් බොහෝ දෙනා පුදුමයට පත්ව තිබූ අතර, ඒ පිළිබඳ සොයා බැලීමේදී මීට පෙර අවස්ථාවකදීද මෙම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයා රනිල් හා සජිත් අතර එකඟතාවක් ඇතිකිරීමේ මෙහෙයුමක සිට ඇති බවට තොරතුරු ‘රාජ්‍ය රහස්‘ තීරයට අනාවරණ විය.
රනිල්ට අගමැතිකම
රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම සාකච්ඡාව ඩීල් ව්‍යාපාරිකයාගේ අවසන් ඩීල් එක ලෙස සැලකිය හැකි ලකුණු පහළ කොට තිබිණේ එහිදී ඉදිරිපත් වූ විශේෂ යෝජනාවක් හේතුවෙනි. මෙහිදී මෙම ව්‍යාරිකයා සාකච්ඡාව ආරම්භ කොට තිබුණේම ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි ස්ථාවරයේ සිටය. මීට පෙරද අප මෙම තීරය ඔස්සේ පෙන්වා දී තිබුණේ ප්‍රධාන පෙළේ ජනමත සමීක්ෂණවලින් සහ ඔත්තු සේවාවලින් කර තිබූ වාර්තා කිරීම්වලින් සජිත් ඉදිරියෙන් සිටින බවකි. ඒ අනුව සජිත් ජනාධිපති වීමෙන් පසු රනිල් අගමැති කිරීම සඳහා මේ ඩීල් ව්‍යාපාරිකයා මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී සජබ ජ්‍යෙෂ්ඨයන්ට අලුත් යෝජනාවක් කර තිබිණි. එසේ නොවුණහොත් ජවිපෙ ජයග්‍රහණය කරනු ඇති බවද, ඒ බව සජබයට ඒත්තුගැන්විය යුතු බවද මෙම ව්‍යාපාරිකයා සජබ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී තිබිණි.
මේ සාකච්ඡාවට සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ නම් ගම් සියල්ල අප සතුව ඇති අතර, ඉදිරි තීරණාත්මක මැතිවරණයක් අවස්ථාවේදී ඔවුන් පිළිබඳ තොරතුරු සියල්ල රටට හෙළිකිරීමට අප සූදානම් බවද මෙහිදී සඳහන් කළ යුතුය. මීට අමතරව තවත් කරුණු ගණනාවක්ම මෙම සාකච්ඡාවෙදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්විය. කෙසේවෙතත් අවසානයේදී මෙම යෝජනාව සජිත්ට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ව්‍යාපාරිකයා විමසූ විට සජබ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම කියා සිටියේ තමන්ට එය කළ නොහැකි යැයි කියාය. ඒ නිසා අවසානයේදී එම යෝජනාව සජිත්ට ඉදිරිපත් කිරීමට භාරදුන්නේ එහි සිටි නීති ක්ෂේත්රයේ ප්‍රවීණයාටය. එසේ මෙහෙයුම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයාට භාරදුන් ඩීල් ව්‍යාපාරිකයා කියා සිටියේ වහාම මෙහෙයුම ආරම්භ කරන ලෙසටත්, තමන් අලුත් අවුරුදු නිවාඩුවට සිංගප්පූරු සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවත්ය.
‘දැන් රනිල්ට දිනන්න තියෙන චාන්ස් එක අඩුයි. එයාට පොහොට්ටුව එක්ක ඉල්ලලා දිනන්නත් බෑ. තනිවම ඉල්ලලා දිනන්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි සජබෙ ඇතුළට රනිල්ව දාන එක. සජිත් ජනාධිපති වුණාම රනිල් අගමැති කරන යෝජනාව ඕගොල්ලෝ සජිත්ට කියන්න.’ යනුවෙන් මෙම ව්‍යාපාරිකයා අවසානයේදී සඳහන් කොට තිබිණි. ඒ අනුව මෙහෙයුම භාරගත් නීති ක්ෂේත්රයේ ප්‍රවීණයා පසුගිය දිනෙක සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදී වැඩිදුර තොරතුරු නොපවසා විශේෂ කාරණාවකට මුණගැසීමට අවශ්‍ය බව දැනුම් දීමට පියවර ගෙන තිබිණි. නමුත් වටින් ගොඩින් එන කාරණය කුමක්ද යන්න තේරුම් ගත් සජිත් වැඩි ගණනකට නොගෙන ඔහුට දැනුම් දී තිබුණේ ‘හා බලමු’ යැයි කියාය. නමුත් සජිත් ඔහුට හමුවීම සඳහා වේලාවක් ලබාදීමට කටයුතු කොට තිබුණේ නැත. එසේ වුවත් සජිත් ඊට පිළිතුරක් හම්බන්තොට පැවැති ‘සක්වළ’ වැඩසටහනක් අතරතුරදී ප්‍රසිද්ධියේම ලබාදීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ තමන් කිසිදු ලෙසකින්වත් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවත්, රාජපක්ෂවරුන් ආරක්ෂා කරන කිසිවකුත් සමග ඩීල් දැමීමට තමන් කටයුතු නොකරන බවත්, ඒ සඳහා යෝජනා හෝ තමන් වෙත රැගෙන නොඑන ලෙසත්ය.
රංජිත්ගෙන් ලීක් වෙයි
කෙසේ වෙතත් රනිල්ට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් පැවැති මේ සාකච්ඡාව සම්බන්ධයෙන් කිසිදු කරුණක් පසුගිය සති දෙක ඇතුළත එළියට පැමිණියේ නැත. එය හදිසියේම එළියට ආවේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගි වූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු කියා සිටියේ සජිත්ට ජනාධිපති ධුරය ලබාදී රනිල්ට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් තමන්ට ලැබී ඇතැයි කියාය. ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවද රංජිත් එහිදී කියා සිටියේය. ඒ අනුව අප සිතන්නේ මද්දුමබණ්ඩාර මෙම ප්‍රකාශය කළේ සජිත්ගේ අනුදැනුම මත යැයි කියාය. මන්ද යත් සජිත් හා මද්දුමබණ්ඩාර අතර පවතින්නේ ඉතා දිගුකාලීන මිත්‍රත්වයකි. බොහෝ දෙනා කියන්නේ සජිත්ගේ ආණ්ඩුවක් යටතේ අගමැති ධුරය මද්දුමබණ්ඩාරට හිමිවනු ඇතැයි කියාය. එම නිසා නිසැක වශයෙන්ම මද්දුමබණ්ඩාර ආණ්ඩුව පැත්තෙන් ආ මෙම යෝජනාව පිළිබඳ සජිත් දැනුවත් කිරීමට කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය. ඒ එක්කම ඊට ප්‍රතිචාර වශයෙන් තමන් ආණ්ඩුව සමග හෝ ජනාධිපතිවරයා සමග ඩීල් නොදාන බව සජිත්ද කියන්නට ඇත. තත්ත්වය එසේ වුවද අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ආණ්ඩුව පැත්තෙන් රනිල්ට අගමැති ධුරය ලබාදෙන යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට සැදී පැහැදී සිටින බවකි.
ඊට ඇති ලොකුම බාධාවක් ලෙස ආණ්ඩුව මේ වනවිට හඳුනාගෙන ඇත්තේ ජී.එල්., ඩිලාන්, ගොඩහේවා ප්රමුඛ කොටගෙන සජබය සමග ගොඩනගා ඇති නව සන්ධානයය. එම නිසා ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ මෙම නව සන්ධානය කඩාකප්පල් කිරීම සඳහාය. සජබය ඇතුළේ සිටින ඔස්තාර්ලා එදත් මේ සන්ධානය කඩාකප්පල් කිරීමට උත්සාහ කළා සේම අදත් සිටින්නේ මෙම සන්ධානය කඩාකප්පල් කිරීමේ උත්සාහයකය. නමුත් මේ ඔස්තාර්ලාගේ සහ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලූ විට දෙදෙනා සිටින්නේ අහසට පොළොව මෙන් තැන් දෙකකය. ජී.එල්. යනු විශිෂ්ට දැනුමක් ඇති පිරිසිදු චරිතයක් බව සියල්ලන්ම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඔහුට කවදාවත් වංචා දූෂණ චෝදනා එල්ල වී නැත. නමුත් මේ ඔස්තාර්ලා මේ වන විට ලොකු උත්සාහයක් දරමින් සිටින්නේ ජී.එල්., ඩිලාන්, ගොඩහේවා, වසන්ත යාපා සන්ධානය කඩාබිඳ දමා රනිල්ව කෙසේ හෝ සජබය ඇතුළට ගෙන ඒමටය.
දේශපාලන බෝම්බ 2ක්
මෙවැනි පසුබිමක් යටතේ තවත් දේශපාලන බෝම්බ දෙකක්ම පසුගිය සතියේ පත්තු විය. එන් එක් බෝම්බයක් වූයේ පසුගිය කාලය පුරා ආණ්ඩුව සමග හිතවත්ව කටයුතු කරමින් ඩීල් දැමූ සහ ජනපතිගේ උත්සවවලට පවුල් පිටින් ගිය විපක්ෂ මන්ත්‍රීවරුන් රැසකට ජනාධිපතිවරයා අත දිගහැර මුදල් ලබාදී ඇති බවට වූ චෝදනාවය. එහිදී කියැවුණේ විපක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනකුට කෝටි 32කට අධික මුදලක් විමධ්‍යගත අරමුදලෙන් ජනාධිපතිවරයා ලබාදී ඇති බවය. සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබිය යුතු වුවත් එය ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පළමුව ව්‍යාපෘති වාර්තා භාරදිය යුතු අතර, පසුව ඊට අදාළ මුදල් වෙන්කිරීම සිදුකරනු ලබයි. එහෙත් එම මුදල් ලබාදීම සිදුකරනුයේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහාය. නමුත් පළමු වතාවට විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා ඉතා විශාල මුදලක් වෙන්කිරීමට ජනාධිපතිවරයා මෙවර ඍජුව කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
සල්ලි ගිය විදිහ
ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාට රුපියල් පන් කෝටි දෙලක්ෂයක (රු. 50,200,000) මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කර දී තිබේ.
එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට රුපියල් හාරකෝටි අනූනව ලක්ෂ අසූ හයදහස් දෙසිය පනහක් (රු. 49,986,250) ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට රුපියල් හයකෝටි අනූ ලක්ෂයක (රු. 69,000,000) මුදලක්ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලකට රුපියල් පන්කෝටි දසලක්ෂයක (රු. 51,000,000) මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කරදී ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් අටකෝටි දාසයලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සිය හැත්තෑ හයයි සත අනූ හතරක (රු. 81,677,376.94) මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ට රුපියල් කෝටි දහයක (රු. 100,000,000) මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඍජුවම නිදහස් කර තිබේ.
විපක්ෂය කැළඹෙයි
මේ ආකාරයට ජනාධිපතිවරයා විමධ්‍යගත අරමුදලෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනකුට කෝටි 32ක් වෙන්කර ඇති බවට වූ ලේඛන මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග පොහොට්ටුවත්, සජබයත් බරපතළ කැලඹීමකට ලක්විය. පොහොට්ටුව කැලඹී තිබුණේ ආණ්ඩුව නියෝජනය කරන ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ට හෝ මේ තරම් මුදලක් ජනාධිපතිවරයා විසින් වෙන්කර දී නොතිබුණු නිසාය. සජබය කැලඹී තිබුණේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම සජිත්ටත්, පක්ෂ මහලේකම් මද්දුමබණ්ඩාරටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම නිසාය. එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ මේ මන්ත්‍රීවරුන් විනිවිදභාවය, පිරිසිදුකම ගැන කතා කළද ආණ්ඩුව සමග ඩීල් දමා සිටින බවටය. මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් සිටියද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම නිසා එම මාතෘකාව එදින යටගිය ආකාරයක් දැකගත හැකි විය. නමුත් මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් මද්දුමබණ්ඩාරට පැමිණිලි කර සිටි නිසා මද්දුමබණ්ඩාරද ඒ පිළිබඳව පසුගිය සතියේ මාධ්‍යට ප්‍රකාශයක් කර තිබිණි. මද්දුමබණ්ඩාර පමණක් නොව ඉරාන් වික්‍රමරත්නද මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විමධ්‍යගත අරමුදලෙන් මුදල් වෙන්කිරීම පිළිබඳ තමන්ට එදා සිටම ප්‍රශ්නයක් තිබුණා යැයි කියාය. එය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.
‘විමධ්‍යගත යෝජනා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් මුදල් ලබාගැනීම වැරදි බවත් එම මුදල් ලබාගන්නා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන දේ පක්ෂය තුළ ඉදිරියේදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන බවත් සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ (අප්‍රේල් 25 ) පැවසීය.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ ඒවා ඉදිරිපත් කළ ස.ජ.බ. මන්ත්‍රීවරුන් ගැන සොයාබලන බවත් දැනටම එම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලැබී ඇත්දැයි සොයාබලන බවත් පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර කීය.
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හයදෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්කර දීම සම්බන්ධයෙන් සජබ පක්ෂ මහ ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළකළේය.
ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට අල්ලස් ලෙස මුදල් ලබා දී ඇති බවත් එම ප්‍රතිපාදන තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට ම ලබාගෙන ඇත්දැයි සොයාබලන බවත් මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට විකෘති කළද දේශපාලනයේදී තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාගැනීමට ජනපතිට ඉඩ නොදෙන බවත් හෙතෙම පැවසීය.
මැතිවරණ ආසන්නයේ රජය උත්සහ කරන්නේ නොයෙක් පඬුරු ලබාදී සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබාගැනීමට බවත් එය අසාධාරණ බවත් විමධ්‍යගත ප්‍රතිපාදන ඇත්තේ සෑම මන්ත්‍රීවරයෙකුටම ලබාදීමට මිස තෝරාගත් අයට දීමට නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අනුව, එම මුදල් සජබ මන්ත්‍රීවරුන් පිළිගන්නේ නම් ඒ සම්බන්ධව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ගන්නා පියවර දැනටමත් කල්පනා කරමින් ඇති බවද ඔහු වැඩිදුරටත් කීවේය.
මේ අතර, විමධ්‍යගත මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපෘතිවලට ලබාදෙන ක්‍රමවේදයට තමා එකඟ නොවන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, විමධ්‍යගත අරමුදල් යනු ජනතා මුදල් බැවින් ඒවා භාවිත කොට මන්ත්‍රීවරුන්ගේ විවිධ ව්‍යාපෘතිවලට සිය නම් යොදා ජනතාව අතරට පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.
විශේෂයෙන්ම තමා එදා පටන් විමධ්‍යගත මුදල් මන්ත්‍රීවරුන්ට ලබාදීමේ එම ක්‍රමවේදය අනුමත නොකළ බවත් එම මුදල් ජනාධිපතිවරයා ප්රමුඛ රජය ලබා දෙන්නේ නම් සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතු බවත් ඔහු පවසයි.
විශේෂයෙන්ම මෙම මුදල් භාවිතයේදී නිසි සැලසුමක්, පාරදෘශ්‍යභාවයක් සහිත ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුතු බවද මන්ත්‍රීවරයා කීය.
ජනාධිපතිවරුන් විසින් මීට පෙර අදාළ විමධ්‍යගත මුදල් මන්ත්‍රිවරුන් විශාල ප්‍රමාණයකට ලබාදී තිබුණ ද මෙවර එය තෝරා බේරා සිදුකරන මට්ටමක් පෙන්නුම් කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.’
බාර් ලයිසන් බෝම්බය
මේ අතරවාරයේ දෙවැනි දේශපාලන බෝම්බය පිපිරුණේ පළාත් කිහිපයක විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තැබෑරුම් විවෘත කිරීම සඳහා ව්‍යාපාරිකයන් හට මත්පැන් බලපත්‍ර ලබාදීමට සම්මාදම් වී ඇති බවට පැමිණිලි ලැබීමත් සමගය. ඒ ඒ පළාත්වල ආගමික නායකයන් අදාළ ව්‍යාපාරිකයන් සමග කළ සාකච්ඡාවලදී මත්පැන් බලපත්‍ර ලබාදීමට මැදිහත් වූ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේම නම් එළියට පැමිණ තිබූ අතර, පසුව එම ආගමික නායකයන් අදාළ තොරතුර විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුට ලබාදීමට කටයුතු කොට තිබිණි. ඉදිරියේදී මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් නොගතහොත් ඔවුන්ගේ නම්ගම් සියල්ල රටට හෙළිකරන බවද එම ආගමික නායකයන් විපක්ෂ නායකවරයාට දැනුම්දී තිබිණි. එමෙන්ම ඩලස් අලහප්පෙරුම මහතාද පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙසේ බාර් ලයිසන් ලබා දීමට මැදිහත් වූ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළිදරව් කළ යුතු යැයි කියාය. ඒ අනුව, යම් හෙයකින් කවුරුන් හෝ මෙම මන්ත්‍රීවරුන්ගේ නම් රටට හෙළිකළහොත් පළමුව එය ‘මව්රට’ ඔස්සේ රටට අනාවරණ කිරීමට අපි සූදානම් බව මෙහිදී සඳහන් කරමු. ඒ, මේ ඩීල් දේශපාලනයට තවදුරටත් ඉදිරියට යා නොදී මේ මොහොතේවත් තිත තැබිය යුතු නිසාය.
ලන්ච් ඇමක්
මීට අමතරව පාස්කු ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා මුහුණට මුහුණ මුණගැස්වීමට උත්සාහ දැරූ විපක්ෂයේ තවත් දේශපාලනඥයකු පිළිබඳ ‘රාජ්‍ය රහස්’ වෙත මේ වනවිට තොරතුරු ලැබී තිබේ. මෙම විපක්ෂ දේශපාලනඥයා සුලෙයිමාන් ටෙරස්හි පිහිටි සිය නිවෙසේ දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කොට ඊට රනිල්ටත්, සජිත්ටත් තවත් ඥාතීන් වන සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකුටත් ආරාධනා කර තිබිණි. රනිල් එම ආරාධනාව පිළිගෙන දිවා භෝජන සංග්‍රහයට පැමිණියද සජිත් ඊට සම්බන්ධ වූයේ නැත. ඒ අනුව බොහෝ දෙනා කියා සිටියේ මෙම දිවා භෝජන සංග්රහයද සජිත්ගේ ජනාධිපතිත්වය යටතේ රනිල් අගමැති කරන කුමන්ත්රණයේ තවත් එක් කොටසක් යැයි කියාය.
සජබ 3ක් එජාපයට
මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුව පැත්තෙන් මැයි දිනය ඉලක්ක කොටගෙන විශේෂ ප්රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම ප්රචාරක ව්‍යාපෘතියෙන් ආණ්ඩුව කියන්නට යන්නේ එජාප මැයි රැලියට සජබ ප්‍රබලයන් තිදෙනකු ගොඩවීමට නියමිතව ඇතැයි කියාය. ඒ අනුව, අපද මේ සජබ මන්ත්‍රීවරුන් තිදෙනා කවුරුන්ද යන්න පිළිබඳ සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ මීට කලකට පෙර ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ්, ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ සහ මුජිබර් රහුමාන් ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණි දිනයේ සිටම රනිල් සමග එකට කටයුතු කළ ඒ.එච්.එම්. ෆවුසි යන තිදෙනා මෙසේ එජාප වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවට ප්‍රචාරය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි කියාය.
විජයදාස රනිල් හමුවෙයි
පසුගිය සති කිහිපයේ ආණ්ඩුවේ ආන්දෝලනාත්මකම චරිතය බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය. ඊට හේතුව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වශයෙන් සිටියදීම විජයදාස ශ්‍රීලනිපයේ වැඩබලන සභාපතිවරයා ලෙසට පත්වීමත්, පසුව එම තනතුර අධිකරණය මගින් වාරණයකට ලක්කිරීමත් නිසාය. විජයදාස රාජපක්ෂ මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයෙන් තමන්ට ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් යැයි කියාය.
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් විජයදාසගේ ප්රශ්නය මුල්කරගෙන මතුව ඇත්තේ බරපතළ ගැටලුවකි. ඒ, ශ්‍රීලනිපයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් සිටින චන්ද්‍රිකා පිලේ නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, ශ්රීලනිපය විසින් වැඩබලන සභාපති ලෙස තෝරා පත්කරගනු ලැබූ විජයදාසත් එකම කැබිනට් මණ්ඩලයේ අසුන් ගෙන සිටීම නිසාය. දේශපාලනය දන්නා ගොඩක් අය කියන්නේ මෙහිදී ජනාධිපතිවරයාගේ සහාය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ සහාය නිමල් සිරිපාලගේ පිලට ඇතැයි කියාය.
කෙසේ වෙතත් වැඩබලන සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව විජයදාස ජනාධිපතිවරයාගෙන් හමුවීම සඳහා වේලාවක් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම අනුව විජයදාස හා ජනාධිපතිවරයා අතර මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විජයදාසගේ මුහුණටම කියා සිටියේ, ‘මේක ලොකු ප්‍රශ්නයක්. අන්න දැන් ඔයාව පොහොට්ටුවෙන් අයින් කරන්නයි යන්නේ. එහෙම වුණොත් ඒ අය ඔයාව මන්ත්‍රීකමෙනුත් අයින් කරාවි.’ යැයි කියාය. ඊට සුපුරුදු සිනාවෙන් යුතුව විජයදාස කියා සිටියේ තමන් ඊට මුහුණ දීමට සූදානම් යැයි කියාය. තමන් ශ්‍රීලනිපයෙන් දේශපාලනය ආරම්භ කළ අයකු බවත්, ඒ හේතුව නිසා තමන් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ධුරය භාරගත් බවත් මෙහිදී විජයදාස ජනාධිපතිවරයාට කියා සිටියේය.
අපේක්ෂකයෝ දෙන්නෙක් බෑ
ඉන් අනතුරුව ජනාධිපතිවරයා තවත් ප්‍රශ්නයක්ද විජයදාසට ඉදිරිපත් කළේය.
‘මට කීප දෙනෙක්ම කිව්වා ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් ආණ්ඩුව ඇතුළේ ඉන්න බෑ කියලා. මට නම් ඒකට කමක් නෑ. හැබැයි ඇමැතිවරු කියනවා ඒ අයට ඒක ප්‍රශ්නයක් කියලා.’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී විජයදාස ඊට කිසිදු පිළිතුරක් නොදෙමින් සිනාසුණු ආකාරයක් දැකගන්නට ලැබිණි.
තත්ත්වය එසේ වුවත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඒ වන විටත් ආණ්ඩුවේ ඉහළම තැනකින් විජයදාසව පොහොට්ටුවෙන් ඉවත් කරන ලෙසට පණිවුඩයක් ගොස් තිබූ බවකි. නමුත් පොහොට්ටුව එය මඟහරිමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සඳහා පොහොට්ටුවට හේතු කිහිපයක්ම තිබේ. ඉන් එකක් වී ඇත්තේ විජයදාසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහොත් චන්ද්‍රිකා පිල ශ්‍රීලනිපයේ බලය අල්ලනු ඇති බවට පොහොට්ටුව වෙත තොරතුරු ලැබී තිබීමය. මන්ද විජයදාස නියෝජනය කරන්නේ චන්ද්‍රිකාට එරෙහි පිලය. අනෙක් අතට විජයදාස යනු මහින්දගේ ගමේම උපන් චරිතයකි. එම නිසා විජයදාසට එරෙහිව මහින්දලා තීන්දුවක් ගනු ඇතැයි සිතිය නොහැකිය. ඊට අමතරව විජයදාසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහොත් ජී.එල්. ඇතුළු කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද පොහොට්ටුවට සිදුවේ. නමුත් ඡන්දයක් කට මුල තිබියදී මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන උසාවි ගොස් ඒ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම දක්වා කටයුතු කිරීමට කාලයක් නොමැති වීමද මෙසේ ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග නොගැනීමට හේතුවක් වී ඇත.
ජවිපෙට ටියුෂන්
අලුත් අවුරුද්දට පෙර දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ සජිත්-අනුර විවාදය දැන් ඇත්තේ ඇල්මැරුණු තැනකය. ඇත්තම කියනවා නම් ජවිපෙ මෙම විවාදයෙන් ඇනගත්තා යැයි කිවහොත් එය වඩාත් නිවැරැදිය. දැන් ජවිපෙන් කුමක් කියවුණද සජබ – ජවිපෙ ආර්ථික කමිටු අතර පැවැත්වීමට නියමිතව තිබූ විවාදය සජිත්- අනුර විවාදයක් දක්වා තල්ලු වී ගියේ සුනිල් හඳුන්නෙත්ති කට වරද්දාගැනීම නිසාය. සජබය ජවිපෙ ආර්ථික කමිටුවට විවාදයක් සඳහා ආරාධනා කරද්දී එය අනුර – සජිත් අතර විවාදයක් විය යුතු බවට යෝජනා කළේ සුනිල් හඳුන්නෙත්තිය. ඒ අනුව ඒ මොහොතේම මුලතිව්වල සිට ප්‍රකාශයක් කරමින් සජිත්, අනුර සමග විවාද කිරීමට තමන් සූදානම් බව කියා සිටියේය. නමුත් තවමත් අනුර ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ කොට නැත. ඉන් අනතුරුව ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවට පැමිණ මෙම විවාදය සිදු නොවන තැනට ප්‍රකාශයක් කළේය. හරිනි අමරසූරියද මැද්දට පැන ජනාධිපතිවරයාද ඊට ඈඳාගෙන විවාදය සිදු නොවන තැනට කතා කළාය. ඒ අනුව දැන් විවාදය ඇත්තේ සිදුවෙනවාට වඩා සිදු නොවන තැනකය.
මේ අතරවාරයේ හඳුන්වෙන්ති විසින් කටවරද්දා ගැනීමෙන් පසු අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව ජවිපෙ පක්ෂ මූලස්ථානයේ සියලු නියෝජිතයන්ට වැඩමුළුවක් සංවිධාන කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් පක්ෂයක වැඩමුළු පැවැත්වීම සාමාන්‍ය සංසිද්ධියක් වුවත් මෙම වැඩමුළුව අතිවිශේෂ එකක් වූයේ එහිදී කතාබහට ලක්වූ කරුණු මුල්කරගෙනය. මෙම වැඩමුළුවේදී ජවිපෙ සහ මාලිමාවේ සියලු දෙනාට දැනුම් දුන් කාරණාව වූයේ දේශපාලන වේදිකාවේදී කතාකළ යුතු මාතෘකා සහ කතා නොකළ යුතු මාතෘකා මොනවාදැයි කියාය. එහිදී සියලු දෙනා එක මතයක සිට කතා කළ යුතු බවත්, ඒ ඒ මාතෘකාවලදී කතා කළ යුතු කරුණු පිළිබඳවත් මෙහිදී දීර්ඝව පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම කතා නොකළ යුතු කරුණු මඟහරින්නේ කෙසේද, ප්‍රසිද්ධියේ කතා කළ යුතු කරුණු මොනවාද, ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවද මෙහිදී සියලු දෙනාටම දැනුම් දීමට ජවිපෙ කටයුතු කොට තිබිණි. දින ගණනක් පුරා පැවැති මෙම වැඩමුළුවෙන් අනතුරුව අපට ඉදිරියේදී ජවිපෙ සාමාජිකයන් සියලු දෙනා එක හඬින් කතා කරන ආකාරය පිළිබඳ දැකගැනීමට හැකි වනු ඇත.
නලින්ද ඇවිත් නෑ
මේ අතර සිංහල අලුත් අවුරුදු දිනවලදී සජිත්-අනුර විවාදය සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයෙන් පත් කළ සම්බන්ධීකාරකයන් වූ නලින්ද ජයතිස්ස හා නලින් බණ්ඩාර අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. මෙහිදී නලින් බණ්ඩාර නලින්දට කියා තිබුණේ තමන්ට අලුත් අවුරුද්දට බිරිය සහ දරුවන් සමග රත්නපුරේ යෑමට ඇති බැවින් ඉන් අනතුරුව සාකච්ඡා සඳහා දින වෙන්කර ගන්නා ලෙසය. නමුත් එය තමන්ගේ වාසියට ගෙන නලින්ද ජයතිස්ස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සජබය විවාදයෙන් පැනයෑමට උත්සාහ කරන බවත්, විවාදය සඳහා දින නියම කරගැනීමට කටයුතු නොකරන බවත්ය. ඉන් අනතුරුව තවත් නිවේදනයක් නිකුත් කරමින් නලින්ද ජයතිස්ස මැයි මාසයේ දින 4ක් නම්කොට ඒ දින 4න් එකක විවාද කිරීමට අනුර සූදානම් කියා පවසා සිටියේය. එම ලිපිය මාධ්‍යයට නිකුත් වෙද්දී සජිත් සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‘සක්වළ’ වැඩසටහන හා එක්වෙමින්ය. වහාම ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් කියා සිටියේ තමන් අනුර සමග විවාද කිරීමට සූදානම් බවකි. එපමණක් නොව එම විවාදයට අමතරව සජබ ආර්ථික කමිටුව හා මාලිමාවේ ආර්ථික කවුන්සිලය අතර විවාදය පැවැත්විය යුතු බවද සජිත් සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් සජිත් මෙම ප්‍රකාශය සිදුකොට පැය කිහිපයක් ඉක්ම යෑමට මත්තෙන් සජිත්ගේ ලිපි ශීර්ෂය සහිත නිවේදනයක සජිත්ගේ අස්සනද සහිතව අමුතුම ආකාරයේ ව්‍යාජ නිවේදනයක් සමාජ මාධ්‍යයට කිසියම් පාර්ශ්වයක් විසින් නිකුත් කර තිබිණි. එම නිවේදනයේ සඳහන් වී තිබුණේ මාලිමාව නම්කොට ඇති දින හතරේ විවාද කිරීමට සජිත්ට නොහැකි බවත්, ජුනි 31 වැනි දින විවාදය පැවැත්වීමට සජිත් සූදානම් බවත්ය. නමුත් ජුනි 31 කියා දිනයක් කැලැන්ඩරයේ නොමැති නිසා යම් පාර්ශ්වයක් විසින් සජිත්ව හිතාමතාම අපහසුතාවට පත්කිරීම සඳහා මෙම ව්‍යාජ නිවේදනය මාධ්‍ය්‍යට නිකුත් කර ඇති බව සියලු දෙනාටම වටහාගන්නට වැඩි වේලාවක් ගියේ නැත. සජබයෙන් වහාම නිවේදනයක් නිකුත් කරමින් මෙම නිවේදනය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, කිසියම් පාර්ශ්වයක් විසින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවත් නිවේදනය කර සිටියේ ඒ අනුවය.
ඉන් අනතුරුව නලින් බණ්ඩාර, නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබුණේ ඒකපාර්ශ්විකව මාධ්‍යයට ලිපි නිකුත් නොකොට මෙම පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට පැමිණ විවාද දෙක සඳහාම දිනයක් නියම කරගැනීමට කටයුතු කරමු යැයි කියාය. නමුත් නලින්ද ජයතිස්ස ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබූ අතර, පාර්ලිමේන්තුවට පැමිණීමටද කටයුතු කර නොතිබිණි. ඒ අනුව දැකගන්නට ඇත්තේ ජවිපෙ විවාදය මගහැරීමට කටයුතු කරන ආකාරයකි. එමෙන්ම මේ වන විට ජවිපෙ සහායට පැමිණ ඇත්තේද වෙන කවුරුවත් නොව ජනාධිපතිවරයාගේ උපදේශක වශයෙන් කටයුතු කරන ආශු මාරසිංහ මහතාය. ආශුද පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී කියා සිටියේ විවාදය සම්බන්ධයෙන් ටිල්වින් මාධ්‍යයට කියපු දේමය.