හාත්පසින් හමාගෙන එන ගත සිහිල් කරවා සිත සන්සුන් කරවන සුවදායී සිසිල් සුළඟකි. විටින් විට ඒ සුළඟට මුසුවන අරලියා මල් සුවඳ හදවතේ අති බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්නට සමත් වන්නේය. රුවන්මැලි සෑ රදුන් අබිමුව සිටින සෑම කෙනකුගේම සිත් සතන් නිබඳව නිවී සනසන මේ හුරුපුරුදු නිසංසල ස්වභාවය අතරින් හදවතේ ඇතුළාන්තයට කතා කරන ඇසට නොපෙනෙන මහා ශාන්තියක් මහා බලවේගයක් මේ පින් බිමේ නිරන්තරයෙන් සැරිසරනවා යැයි කාටත් දැනෙන්නේය.
ඒ මහා ශක්තිය කුමක්ද යන්න කිසිවකුත් හරි හැටි හඳුනා නොගත්තද සිත නිවා සනසන එම හැඟීමට කවුරුත් සිත් පත්ලෙන්ම කැමැති වූයේ ජීවිතයේ වෙනත් කිසිදු තැනකදී එවන් පහන් හැඟීමක් විඳ නැති නිසාය.
කෙසේ නමුත් එක් පසෙකින් උඩ මළුවේ බෝපත් සිප එන මඳ සුළඟත්, තවත් පසෙකින් වැව් දිය පිස එන සිසිල් සුළඟත් සමගින් මුසුව හදවත සනසාලන මේ මහා විස්මිත හැඟීම රුවන්මැලි මහ සෑ රදුන් අබියසට ගොස් වන්දනාමාන කටයුතුවල නියැළුණු බොහෝ බෞද්ධයන් විඳ ඇති බව නම් රහසක් නොවේ. එහෙත් ඒ බහුතරයක් දෙනා දැන නොසිටි මහා විස්මිත රහසක් මේ රුවන්මැලි සෑ මළුවේ ඇතිවන අතීත ජනප්‍රවාද ඇසුරේ හඳුනාගත හැකිය. ඒ අතරින් බොහොමයක් දුටුගැමුණු මහ රජු දැන සිටි වග හෙළිවන ජනප්‍රවාද රාශියකි. මේ සියලු රහස් අතරින් සුවිශේෂම කාරණයක් වේ. රුවන්මැලි සෑ මළුවත්, එම මළුව පිහිටි අනුරාධපුර භූමියත් විශ්වය සමගින් ගනුදෙනු සිදුවන භූමියක් ලෙස ඉතිහාසගත විවිධ තොරතුරු ඇසුරේ හඳුනාගත හැකි අතර ඇතැම් සුවිශේෂ ජනප්‍රවාද මේ තොරතුරු ගැන සාක්ෂි සාධක සපයන්නේය.
ඔරායන් තාරකා වළල්ලට සමානව පිහිටා ඇති අනුරාධපුරයේ රුවන්මැලි මහ සෑය, ජේතවනාරාමය, මිරිසවැටිය යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් යම් විශ්ව ශක්ති කලාපයක් ගොඩනැගී ඇති බව පැවසෙන අතර මේ මහා චෛත්‍ය ත්‍රිත්වය ඇසුරින් ගොඩනැගෙන ශක්ති ත්‍රිකෝණයත් ඔරායන් තාරකා වළල්ලේ ශක්ති ත්‍රිකෝණයත් සමාන්තරව පිහිටීම මත විශ්වය හා සම්බන්ධ වන විශේෂ සිදුවීම් රාශියක් අනුරාධපුර රුවන්මැලි සෑ මළුව ආශ්රිත එම භූමිය තුළ සිදුවන බවත් පැවසේ.
එසේම රුවන්මැලි සෑය ඉදිකිරීමට මුලපුරන්නට ඒ සඳහා මුල්ගල් තැබීමේ කටයුත්ත සඳහා ඉතා සුවිශේෂ දිනයක් නැකැතක් සාදවා ගැනීමට දුටුගැමුණු මහරජුට අවශ්‍ය වී තිබේ. එසේ විශේෂ දිනයක් පවා සාදවා ගන්නට ගැමුණු රජු ක්‍රියා කළේ විශ්වය තුළ ඇති නොපෙනෙන ශක්තිය ගැන එතුමන් දැන සිටි බැවින් යැයි මතයක්ද වෙයි. එමෙන්ම බුදුරජාණන්වහන්සේද මෙම චෛත්‍යය පිළිබඳ පෙර අනාවැකියක් සේ පවසා තිබෙන අතර මේ සියලු කාරණා ගැන අවධානයෙන් බලද්දී යම් නොපෙනෙන ශක්තියක් ක්‍රියාත්මක වන බව කාටත් හඳුනා ගැනීම අපහසු නොවේ.
කෙසේ නමුත් ගැමුණු මහ රජුට මේ මහා සෑය ඉදිකිරීමට සුදුසුම දිනයක් සහ නැකැතක් ලැබුණේය. ඒ, ක්‍රිස්තු පූර්ව 149 ඇසළ මාසයේ 30 වැනිදා උදෑසන හයටය. එදින සුවිශේෂ ග්‍රහ තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව පැවසෙන අතර ග්‍රහ වළල්ලේ රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා තම රාශියක් වූ සිංහ රැසේ සිටියදී ග්‍රහ වළල්ලේ මව වන චන්ද්‍රයා සිට ඇත්තේ එක එල්ලේ රවි දෙස බලාගෙනය.
මෙම සුවිශේෂ නැකැත පෙර සිට පැවත එන විශ්වයේ හාස්කමකට මෙන් කලාතුරකින් හමුවන විස්මිත නැකැතක් බව පැවසෙන අතර එම නැකැතින් ආරම්භ කරන සියලු කටයුතු ඉතා සාර්ථකව ඉටුවන බවටද මතයක් වෙයි. එමෙන්ම යටි සිත හා සම්බන්ධ විශේෂ ග්‍රහචාරයක්ද සම්බන්ධ වී ඇති මෙම විශේෂ නැකැත හේතුවෙන් රුවන්මැලි සෑ මළුව යටි සිත අවදි කරගැනීමට වඩාත් ගැළපෙන භූමියක් වනු ඇති බවට එවක සිට පිළිගැනුණු බවද පැවසේ.
රුවන්මැලි සෑ භූමිය අබියසදී අවදි වන යටි සිත විශ්වය හා සම්බන්ධ කිරීමට පහසු වන විශේෂ ශක්තියක් ඇති බව පැවසෙන අතර එම හේතු නිසාම කෙනකුට ඉතා පහසුවෙන් රුවන්මැලි සෑ භූමියේ සිට විශ්වය සමග මනසින් ගනුදෙනු කරන්නට හැකි වන බවට විශ්වාස කෙරේ. තවද මෙම සුවිශේෂ නැකැත හා සම්බන්ධ කේන්දර සටහන අනුව රවි දෙවැන්නේ රැඳී සිටි බව ජ්‍යොතිෂ විශ්වාසයයි. ඒ අනුව උදාවූ නීච භංග රාජ යෝගය රාහු ග්‍රහයා සමග සංයෝග වී ඉතා සුබදායී කාලයක් ලක් පොළොවට උරුම කළ බව පැවසේ. ඒ අනුව ලංකාව ලොව පුරා ප්‍රසිද්ධ වූ බවටද හඳුනාගෙන තිබේ.
විශ්වය හා බැඳුණු අනුරාධපුර භූමියේ විශේෂ පිහිටීම නිසාම බොහෝ වටිනාකම් ඊට හිමිවන බවට පිළිගැනේ. ඒ අනුව අනුරාධපුර මහමෙව්නා උයන, ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ශාඛාව, ලෝවාමහාපාය ආදී වටිනා දේ මෙම භූමිය මතම ඉදිවූවා සේම වර්ෂ 140ක කාලයක් ශ්‍රී ලංකාවේ අග නගරය ලෙස අනුරාධපුර පැවතීමටද එදා මෙදාතුර කාලය පුරාම සුවිශේෂ භූමියක් ලෙස ගරුසරු ලැබීමටද මෙම පිහිටීම බලපා ඇති බව පිළිගන්නට සිදුවේ.
එම විශේෂී විශ්වීය සබඳතා වඩාත් බලගැන්වෙන ස්ථාන දෙකක් රුවන්මැලි සෑ මළුව තුළ තිබී ඇති අතර එම ස්ථාන දෙක පිළිබඳ කිසිවකුත් හරි හැටි දැන නොසිටියද දුටුගැමුණු රජු එම ස්ථාන ගැන පෙර සිටම දැන සිටි බව ජනප්‍රවාදය අනුව පැහැදිලි වේ. ඒ අනුව ඉන් එක් ස්ථානයක් මහා සෑයේ දක්ෂිණ දොරටුව බව හඳුනාගෙන තිබේ. ගැමුණු රජු චෛත්‍ය ඉදිකිරීමේ ආරම්භයේ සිටම සියලු නිරීක්ෂණ කටයුතුවලදී වැඩිපුරම භාවිත කළේ මේ දක්ෂිණ දොරටුව පිහිටි ස්ථානය බවට පිළිගැනෙන අතර චෛත්‍යය ඉදිකිරීම ගැන විවිධ නව අදහස් සැලසුම් ඉතා සාර්ථකව ගැමුණු මහ රජුගේ සිත තුළට ඇතුළු වීමට මෙම ස්ථානය බලපෑ බවටද ජනප්‍රවාදයක් වෙයි.
මෙහිදී ගැමුණු මහ රජුගේ ජීවිතයේ අවසන් විනාඩි කිහිපය හෙළිකරන සුවිශේෂ රහසක් වෙයි. එදින එම අවස්ථාවේ තමන්ට රුවන්මැලි සෑ මළුවේ දක්ෂිණ දොරටුව වෙත රැගෙන යෑමට දුටුගැමුණු මහ රජු පැවසූ බව ජනප්රවාදයේ සඳහන් වෙයි. ඒ අනුව දක්ෂිණ දොරටුවට පැමිණ චෛත්‍යය වන්දනාමාන කරන රජු, අවසන් මොහොතේ තම දකුණත ඉහළට ඔසවා කුමක්දෝ සංඥාවක් කළ බව පැවසේ. එම සංඥාවට අනුව රජු දිව්‍ය දූතයන් දුටු බවත්, මනුෂ්‍ය ආත්මයෙන් මිදෙන තමන්ව දෙව් ලොවට කැඳවාගෙන යන ලෙසට එහි පැමිණ සිටි දේව දූතයනට පැවැසූ බවත් පැවසේ.
ඒ අනුව එවක ගැමුණු රජු මේ මහ සෑයේ දක්ෂිණ දොරටුවේ පිහිටා තිබූ විශ්ව ශක්ති දොරටුව දැන සිටි බවත් එතුමන් කලක් තිස්සේ එම විශ්ව ශක්තියෙන් ප්‍රයෝජන ගෙන විශ්වය හා ගනුදෙනු කළ බවත් පිළිගත හැකිය.
කෙසේ නමුදු එදා මෙදාතුර කාලයේ මේ මහා සෑ මළුව දක්ෂිණ දොරටුව අසලදී බොහෝ විස්මිත අත්දැකීම් අත්දුටු විශාල පිරිසක් ගැන විවිධ කතා පුවත් ඇසුණු අතර ඇතැම් රාත්‍රීන්ගේ විවිධාකාර විස්මිත ආලෝක ධාරාවන් මෙම ස්ථානයට සමීප වන අයුරු දුටුවන්ද සිටියි. එමෙන්ම මේ හා සෑ මළුවේදී සිත් නිවා සනසාගත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ විවිධ අත්දැකීම් අනුව ඇසට නොපෙනෙන විස්මිත බලයක් ශක්තියක් මෙහි ඇති බව නම් කවුරුත් පිළිගනු නොඅනුමානය.
කුමාර රත්නායක