ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාව කතා කරන්නේ වෛරයෙන් බවත් රටේ ජතතාව තුළ වෛරය, ලේ පිපාසය ඇතිකර ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගැනීමට උත්සහා කරන බවත් ලේ පිපාසයෙන්, වෛරයෙන් කටයුතු නොකරන එකම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පැවැසීය.Sri Lanka Latest News
අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.
‘‘අරන්තලාව , අනුරාධපුර ශ්‍රී මහා බෝධියට , මහනුවර දළදා මාලිගාවට ත්‍රස්ථ ප්‍රහාර එල්ල වුණේ රටේ ආණ්ඩුවක් මාරු කරන්න , රටේ ජනාධිපති මාරු කරන්න නෙවෙයි. ත්රස්තවාදීන් එම ප්‍රහාර එල්ල කළේ රට අස්ථාවර කරන්න. නමුත් පාස්කු ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න , පාස්කු ප්‍රහාරයෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගත්තේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම බව 2019 පාස්කු කොමිසන් වාර්තාවේ සඳහන් වෙනවා.
ජාත්‍යන්තර බලවේග සමඟ එකතුවෙලා , ජාත්‍යන්තර ත්‍රස්තවාදින් සමඟ එකතුවෙලා , රජයේ බදු මුදලින් ත්‍රස්තවාදින්ව පෝෂණය කරපු , ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුහුණු කරපු , ඒ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මෙහෙයවපු ප්‍රහාරය තමයි යටපත් කරන්න මේ උත්සහ කරන්නේ. වර්තමාන රජය පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වු පිරිසට සාධාරණයක් ඉටු කරන්නෙ නෑ. රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදුකරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරිමයි. ආණ්ඩුව රාජපක්ෂවරු වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් නිලධාරින්ද ආරක්ෂා කරන තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් නිතියේ රැහනට කොටු කර ගන්නේ කෙසේද ඔවුන්ට දඩුවම් ලබාදෙන්නේ කෙසෙද කියලා සමගි ජනබලවේගය ලිඛිතව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වලට දඩුවම් නොදුන්නොත් නැවත වතාවක් එවැනි තත්ත්වයක් රට තුළ ඇතිවෙන්න පුලුවන්.
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණේ මියගිය පිරිස හෝ ඔවුන්ගේ ඥාතින් පමණක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ හරහා විශාල ප්රමාණයකගේ රැකියා අහිමිවුණා. ඔවුන්ද පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණා. සමහර පුද්ගලයන් පැවසුවා කොවිඩ් නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා කියලා. නමුත් කොවිඩ් කාල සීමාවේ රටේ අපනයනය අඩු වුණේ නෑ. රටේ කර්මාන්තශාලා ක්‍රියාත්මක වුණා. සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වුණා. ඒ අතරේ රාජපක්ෂවරුන්ගේ ගජමිතුරන් කොවිඩ් එන්නත් වලින් නිරෝධායන වැඩසටහන් වලින් මුදල් ගසා කෑවා. කොවිඩ් වලින් රාජපක්ෂවරුන්ගේ ගජමිතුරන් මුදල් උපයාගත්තා.
ඒ වගේම වර්තමාන රජය කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා ආයෝජකයෝ ශ්‍රී ආයෝජනය කරන්නේ නෑ. කර්මාන්තශාලා හිමිකරුවන් ඔවුන්ගේ කර්මාන්තශාලා වෙනත් රටවලට රැගෙන යනවා. සමගි ජනබලවේග රජයක් තුළින් රටට ආයෝජනය ගෙනැවිත් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා වගේම රටේ ජනතාවගේ කර මත පටවා ඇති අධික බදු බර අඩුකරලා ජනතාවට සහන ලබාදීමටත් කටයුතු කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ අද ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. ඔවුන් කාලයක් ජනාධිපතිවරණයට විරුද්ධව කතා කළා. ඔවුන් කාලයෙන් කාලයට දකින සිහින අනුව තමයි කටයුතු කරලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාව කතා කරන්නේ වෛරයෙන් , රටේ ජතතාව තුළ වෛරය ලේ පිපාසය ඇතිකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට ප්රචන්ඩත්වය යොදාගෙන ආණ්ඩු බලයක් ගැනීමටත් නොහැකි වුණා. ප්රජාතන්ත්රවාදීවත් ආණ්ඩු බලයක් ගැනීමට නොහැකි වුණා. ඒ නිසා මොවුන් ජනතාව අතර වෛරය පතුරවමින් ජනතා බලය ලබාගන්න උත්සහ කරනවා.
රට ශක්තිමත් කරන්න හැකියාවක් තිබෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. ලේ පිපාසයෙන් , වෛරයෙන් කටයුතු කරන්නේ නැති එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණයි. මිනි මරපු නැති එකම නායකයාත් ඔහුයි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට රට වැටි තිබෙන අගාධයෙන් ගොඩගැනිමට නිවැරදි වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම ඔහු හොද දක්ෂ අද්දැකිම් තිබෙන කණ්ඩායමකුත් සිටිනවා. අද වනවිට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබෙනවා.
ඒ වගේම ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායමකට විවාදයක් සඳහා ආරාධනා කළේ සමගි ජනබලවේගය. ඔවුන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ. පසුව ඔවුන් සඳහන් කළා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තාය ඒ අභියෝගය භාර ගත්තා. ඒ අතර ජාතික ජනබලවේගයේ හරිනි අමරසුරිය කියනවා විවාදයට රනිල් වික්රමසිංහවත් ගේන්න කියලා. පැරදුණ රනිල් වික්‍රමසිංහ මොන ආර්ථික විවාදද. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරන්නේ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරිම පමණයි. රටේ ආර්ථික වර්ධනයක් ඔහුගේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න බෑ.‘‘