ඇමතිවරයාත් අභිබවා ගොස් ලේකම්වරියකට ලිපි නිකුත් කළ හැකි ද? ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ගැන වැරදි ලිපි නිකුත් කරන ලේකම්වරිය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි. Sri Lanka Latest News
මෙරට ගුරු විදුහල්පති සේවයේ බී. සී. පෙරේරා වාර්තාවෙන් ආරම්භ වූ වැටුප් විෂමතාවට මෙතෙක් පැහැදිලි විසදුමක් ලබා දීමට රජය සමත් වී නොමැති බවත් අධ්‍යාපන පද්ධතියේ ගුරු හිගතාව විශාල අර්බුධයක් තිබිය දී වැඩිවන ජීවන වියදම හමුවේ ගුරුවරු හා විදුහල්පතිවරු විශාල අරගලයක නිරතවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ 40000ක ගුරු හිගයක් පවතින විට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් විසින් වැටුප් විෂමතා සම්බන්ධයෙන් විවිධ මත දරමින් ලිපි නිකුත් කිරීම නිසා සමස්ත අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන් විශාල කැළඹීමකට ලක්ව ඇති බවත් මෙරට සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවක් පවතින බවට රජය පිළිගන්නවාද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම වැටුප් විෂමතා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සහ රාජ්‍ය සේවා කොමිෂම පවා නිර්දේශ කර ඇති මොහොතක අධ්‍යාපන අමාත්‍යාංශයේ එක් නිලධාරිනියක් තනි තීන්දුවක් ගෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වාසනා ගුණරත්න කියන නිලධාරිනිය ඇමතිවරයා පවා අභිබවා ගොස් ලිපි නිකුත් කර ඇති බවත් එසේ සිදු කළ නොහැකි බවත් ඇයට ගන්නා පියවර මෙන්ම මෙම ලිපිය අවලංගු කිරීමට ගන්නා පියවර කවරේද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
ගුරු විදුහල්පතිවරු අතර කැලඹිමක් ඇති කිරිම සම්බන්ධයෙන් කටයුතු කළ අදාළ නිලධාරීන්ට ගන්නා පියවර ද විපක්ෂ නායකවරයා විමසා සිටියේය. වැටුප් විෂමතාව විසදන්න දුන්න මුදලින් 1/3ක මුදලක් ලබා දුන්නත් එමඟින් මෙම ගැටලුව විසඳී නොමැති බවත් මෙම මුදල ලබා දුන් වැටුප් විෂමතා වාර්තාව කුමක්ද කියා මෙන්ම ඉතිරි ප්‍රමාණය ලබා දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම ගුරු සේවයේ 40000ක පුරප්පාඩු ඇති හෙයින් එය විසඳීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී විමසා සිටියේය.