උඩරට කඳුකර සිරියා පරදන
රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගුකර මඳහස නංවන
තේ දලු නෙළන ළඳේ
රට පණගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
තේ දලු නෙළන ළඳේ
සිලෝන් නම් අමුතු ජීවීන් කොට්ඨාසයක් ඉන්න ඉන්දියන් සාගරයේ පුංචි ඇටයයි. 1300 සියවසේ විසූ මාකෝ පෝලෝට අනුව නම් සිලෝන් ලෝකේ හොඳම දිවයිනයි. ‘තැස්මේනියාවේ භූමි ප්‍රමාණයට සිරි ලංකාව සමාන වුණත් මාකෝ පෝලෝට අනුව නම් බවභෝග පිරි ලෝකේ හොඳම දිවයින සිරි ලංකාවයි.
මාංශ ඇනුභවයට ප්‍රියකළ 1660 වර්ෂයේ යාපනය අර්ධද්වීපය අත්පත් කරගත් ලන්දේසීන්ට අනුව නම් සිලෝන් ගිල දැමීමට මත්තෙන් ඔවුන්ගේ තොල කට කෙළ උණන රස නහර පිනන ‘හැම්’ (Ham) ගෙඩියක්ය. මේ හැම් ගෙඩියේ Heel of the Ham නොහොත් හැම් ගෙඩියේ හීල් එක වූයේ යාපනයයි. දැන්නම් මේ හැම් ගෙඩිය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත්විජිත පාලන සමයට මත්තෙන් රටේම පාලක උදවිය ගිලදමා හමාර කරමින් සිටින ලෝකයේම අපූරු දිවයිනයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කශේරුව නම් ඇඟලුම් ක්ෂේත්රය හා තේ, රබර් ආදී අපනයන නිෂ්පාදන මුල් කරගත් අපනයන ආර්ථිකයි. ධනවාදී ආර්ථිකයක් ලුහුබඳින රටේ සමස්තය වෙනුවෙන් තම උර හොවා එදිනෙදා ජීවනාලිය වෙනුවෙන් රුපියල් හත්සියයක් හෝ රුපියල් දාහක් වෙනුවන් කය වෙහෙසන, පාන් පිටි රොටියකින් ආමාශයේ රැලි මකාගැනීමට අසීමිත කැපකිරීමක් කරන කතාබහට ලක්නොවුණු රටේම තවත් එක් ප්‍රජාවක කතාවකි ‘තේ කහට’.
ලංකාවේ තේ පරිණාමය අසාමාන්‍ය කතාවකි. එය හුදෙක්ම කේක් ගෙඩියක් මත තැවරූ අයිසිං තට්ටුවකට සමානය. මන්ද 1796න් පසු බි්රතාන්ය යටත්විජිත පාලනය යටතේ ආරම්භ වූ කැපීපෙනෙන වැවිලි ව්‍යාපාරයක් විය. මෙම ව්‍යවසාය එහි ප්‍රධාන අස්වැන්න ලෙස කෝපි වගාකිරීම ආරම්භ කළ අතර, ඇත්ත වශයෙන්ම පළමු කෝපි වගාව තේවලට පෙර අඩ සියවසකට පමණ පෙර විය. 1870 ගණන් වන විට ‘කෝපි මලකඩ රෝගය’ නිසා කෝපි වගාව විනාශ වූවද, ලංකා කෝපි ලොව හොඳම ඒවා අතරට ගමන් කළේය.
මෙය ලංකාවේ තේ කර්මාන්තයට හේතු වූ අතර, එය සමෘද්ධිමත් වූවා පමණක් නොව, ලෝකයේ හොඳම තේ ලෙස කීර්තියක් අත්කර ගත්තේය. ජේම්ස් ටේලර්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ කර්මාන්තයේ සාර්ථකත්වය විවිධ ක්ෂේත්රවලට ප්රතිලාභ එක් කළේය. ඒ අතර මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම් සහ උමං මාර්ග ඉදිවිය.
දශක ගණනාවක්ම ගෙවී අවසන්ය. ඉදිවූ පාලම්වලින්, මහා මාර්ගවලින් හෝ දියුණු වූ ආර්ථිකයෙන් නම් පලක් නැත. ඔවුන් තාමත් එදා ඉදිවූ තේ වත්තේ ලයින් (ලැයිම්) කාමරවලය. කෑවේ පාන් පිටි රොටියය. බීවේ කහට උගුරුය. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූයේද වත්තේ රස්සාවය.
නිතරම ඇදහැලෙන වැස්සට ටකරන් වැසූ වහලවලින් දිය රැල් වැටෙනවා විය හැකිය. හමා එන සුළඟට ගසා යන්නට තැත් කරන ටකරන් වහලයට ගල් තැබූවා විය හැකිය. කරන්ට් නැති දාට පෙට්‍රල් ලාම්පුවේ එළියෙන් පිලිස්සුණු රොටිය කනවා විය හැකිය. කාමරය තුළට ටකරන්වලින් කාන්දූ වූ වැහිපොද නිසා පොඩි එවුන්ගේ සුදු ගවුම් කලිසම්, පොත් පැන්සල් තෙත්වූවා විය හැකිය. නමුත් ඔවුන් දවසේ වියපැහැදම් වෙනුවෙන් හෙට තේ දලු නෙළීමට යායුතුමය.
කෙදිනක මොවුන් වෙනුවෙන් හඬක් නැගේවිද ශේෂ වන පැනයයි.
ලියලන දලුවල කරටිය හැම විට
ඔබේ නෙත් දෙසට නැමේ
දන මන පින වන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ
සේවය යහපත ලොවටම සලසන
කම්කරු ළඳකි ගමේ
ලංකා පොළොවේ පැළවෙන තේ ගස
ඔබේ දිවි රකිනු ලැබේ….
විදුනි බස්නායක